සමාජවාදී ආර්ථිකයෙන් ජනතාව හෙම්බත් වූ හැටි

 ඡායාරූපය:

සමාජවාදී ආර්ථිකයෙන් ජනතාව හෙම්බත් වූ හැටි

රොනී ද මැල් යනු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දශක හතරක කාලයක් පුරා අඛණ්ඩව නියෝජනය කළ මන්ත්‍රීවරයෙක් හා අමාත්‍ය වරයෙකි. මෙරට ප්‍රධාන ධාරාවේ පක්ෂ දෙකම නියෝජනය කරමින් කටයුතු කළ ඔහු, වර්ෂ 1977-1987 දක්වා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා ලෙස අයවැය වාර්තා එකොළහක් අඛණ්ඩව ඉදිරිපත් කරමින් මෙරට ආර්ථික දේහය උඩු යටිකුරු කළේය. එමෙන්ම විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් මෙරට සමස්ත සන්දර්භය නවමු මාවතකට විවර කර දුන්නේය. අද පළවන්නේ එම අසහාය දේශපාලඥයාගේ ජීවන මග පිළිබඳ (රැස) පුවත්පත ගෙන එන ලිපි මාලාවේ විසිදෙවන (22) වැනි කතාංගයයි.

71 අප්‍රේල් කැරැල්ල මෙරට ජන සමාජයට අතිශයින් වෙහෙසකර අත්දැකීමක් එක් කළ සිදුවීම් මාලාවක් විය. සමාජ නිශ්චල භාවය ඕනෑවටත් වඩා බිඳ හළ එම සිදුවීම් මාලාව කුමන වාතාවරණයක් යටතේ හෝ අවසන් වීම ජනතාවට යම් අස්වැසිල්ලක් ලැබ දුන්නාට සැක නැත. පශ්චාත් කැරලි සමයේ ජනතාවගේ අපේක්ෂාව වූයේ මින් අනතුරුව හෝ නිදහස්ව හා නිවහල්ව තම දිවි පෙවෙත ගත කිරීමට අවස්ථාව උදා වනු ඇති බවයි.

එහෙත් සමගි පෙරමුණු ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ජනතාව බලාපොරොත්තු වූ ඒ නිදහස් වටාපිටාව රට තුළ ස්ථාපිත වූයේ නැත. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය මෙන්ම මුදල් අමාත්‍ය ඇන්.ඇම්. පෙරේරා මහතාද විශ්වාස කළේ රට දියුණු කිරීම සඳහා සංවෘත, සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවිය යුතු බවයි. එම අර්ථ ක්‍රමය හේතුවෙන් රටේත්, ජනතාවගේත් සියලු කටයුතු පාලනය කිරීමටත්, නියාමනය කිරීමටත් රජය කටයුතු කළේය. ලන්ඩන් ආර්ථික විද්‍යා පාසැලෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගත් ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා, ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධි ද්විත්වයක් ලබා ඇති ලංකාවේ එවකට සිටි එකම උගතා විය. ලන්ඩන්හි අධ්‍යාපනය ලබන අවදියේ තම ගුරුවරයා වූ ලෝප්‍රකට ආර්ථික දර්ශනවාදියකු වූ හැරල්ඩ් ලැස්කිගේ මාක්ස්වාදී සංවෘත ආර්ථික ප්‍රතිපත්තිය කෙරේ පැහැදුනු ඇන්.ඇම්., එම ශාස්ත්‍රය ලංකාවේදී ප්‍රායෝගිකව අත්හදා බැලූ බැව් පෙනෙන්නට විය.

එම සමයේදී චොක්ලට්, ඇපල්, මිදි, දොඩම්, චීස්, බටර් කිසිදු වෙළඳ සැලක දක්නට නොවීය. භූමිතෙල්, පාන්, කිරි පිටි, සීනි, අල, ලූණු, කරවල, පරිප්පු ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ල ලබා ගත හැකි වූයේ සමූපකාරය හෝ සතොස මගින් සලාක ක්‍රමයටයි. බයිසිකල්, ටයර්, ටියුබ්, පැට්‍රල් මැක්ස් මැන්ටල්, බැටරි ඇතුළු බොහෝ භාණ්ඩ මිලදී ගැනීම සඳහා භාවිතයෙන් ඉවත් කළ එම භාණ්ඩය සමූපකාරයට ඉදිරිපත් කළ යුතු විය. රාජ්‍ය ආයතන හරහා සියලු කටයුතු සිදු කෙරුණු අතර පෝලිංවල පැය ගණන් ගත කිරීමට රටේ ජනතාවට සිදු විය.

රටපුරා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත මාර්ග බාධක යොදවා තිබූ අතර, රාත්තල් දෙකකට වඩා වැඩියෙන් ගෙන යන සහල් සහ මිරිස් තොග අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළහ. මෙම මාර්ග බාධක ජනතාව අතර ප්‍රකට වූයේ ‘හාල් පොලු,’ ‘මිරිස් පොලු’ ලෙසය. විදේශයන්ගෙන් ගෙන එන රෙදි පිළි තහනම් වූ අතර සියලු දෙනාට අවශ්‍ය රෙදි ලබා ගත යුතු වූයේ කූපන් ක්‍රමයක් යටතේ සමූපකාරයෙනි. එයින් ලබා ගත් රෙදි භූමිතෙල් ගඳින් යුක්ත වූ අතර වරක් සේදීමෙන් අනතුරුව ඒවායින් විළි වසා ගැනීමට අපහසු වූයේ ඒවා විනිවිද පෙනෙන නිසාවෙනි.

බත් කෑම සතියට දෙදිනක් තහනම් විය. ඒ අඟහරුවාදා සහ සිකුරාදා යන දෙදිනයි. මෙය විපක්ෂයේ සරදමට ලක් වූයේ ජනතාව පෙළන සමගි පෙරමුණු ආණ්ඩුව අඟහරුවාදා බත් කෑම තහනම් කළේ අගමැතිනියගේ පුත් අනුර බණ්ඩාරනායක මහතා සිහිවීම පිණිස බවත්, සිකුරාදා දින බත් කෑම තහනම, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සිහිවීමටත් යැයි කියමිනි. ජනතාවට බත් කෑම තහනම් වුවද, ආණ්ඩුවේ ඉහළ නායකයින්ගේ පවුල්වල ආහාරය සඳහා අවශ්‍ය තරම් බාස්මතී සහල් මෙරටට ගෙන්වූ බැව් විපක්ෂයේ චෝදනාව විය. ජනතාවට තහනම් වූ බොහෝ සුපිරි ආහාර මැති ඇමතිවරුන්ගේ නිවෙස්වල සුලබ විය.

1975 සමය වන විට මෙරට ජනතාවගේ දිවි රැකුණේ බතල, මඤ්ඤොක්කා හෝ කොස් වලට පිං සිදු වන්නටය. තේ බීමට සීනි නොවූ අතර, ඇතැම් ග්‍රාමීය මිනිසුන් හුඹස් මැටි මුසු හකුරු හෝ සක්කර සමඟ තේ බීමට හුරු වූහ. උදරාබාධයක් වෙනුවෙන් මිරිස් හොද්දක් හැදීමට හෝ මිරිස් නොවීය. මෙවැනි වාතාවරණයක් තුළ පවා යහමින් ජීවත් වූ පිරිසක් මෙරට විසූහ. ඔවුන් නම් ආණ්ඩුවේ මැති ඇමතීන්, සමූපකාර කළමනාකරුවන්, කළු කඩ හිමියන් සහ ග්‍රාමීය දේශපාලන බලය අත දරා සිටි ‘ජනතා කොමිටි නායකයන්’ ය. අන්ත අසරණ මිනිසුන් කුණු බාල්දි හාරා අවුස්සා, කෑමට යමක් ඇද්දැයි සොයන තැනට රටේ ආර්ථිකය පිරිහී තිබිණි.

කිසිදු ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකුට විදේශ අධ්‍යාපනය ලැබීමට වරම් නොවූ අතර විදේශ රැකියාවල නියුතුවීම සඳහාද අවස්ථා නොවීය. විනිමය රටින් පිටතට රැඟෙන යෑම දැඩි ලෙස පාලනය කොට තිබූ අතර, නිදහස් විනිමය සීමාව ඩොලර් 05කි. ඒ සඳහා වුවද අයැදුම් පත්‍රයක් හා සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කොට මහ බැංකුවේ අවසරය ලබා ගත යුතු විය.

මෙම විනිමය නීති හේතුවෙන් බලවත් චිත්ත පීඩාවකට මුහුණ දීමට වරක් රොනීටද සිදුවිණි. එය රිය අනතුරකට පත් සිය දියණියකට විදෙස් ප්‍රතිකාර ලබාදීම සම්බන්ධයෙනි.

පේරාදෙනිය සරසවියේ අවසන් වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සුනාලිනී ද මැල් මෙනවියගේ අපේක්ෂාව වූයේ සිය උසස් අධ්‍යාපන කටයුතු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සිදු කිරීමටය. එහෙත් රටේ පුරවැසියන්ගේ දරුවන්ට එවැනි වරප්‍රසාද අහුරා තිබූ වටාපිටාවක, මහජන නියෝජිතයෙකු ලෙස තමාගේ දරුවන්ට විදෙස් අධ්‍යාපනය ලබා දීම වැරදි පූර්වාදර්ශයක් බව රොනී සිය දියණියට තේරුම් කර දී තිබිණි. ඒ අනුව සුනාලිනී සිය කේම්බ්‍රිජ් යෑමේ ආශාව අතහැර දැමුවාය. එහෙත් දීප්තිමත් ශිෂ්‍යාවක් වූ ඇය පේරාදෙනිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය. එහි අධ්‍යයන කටයුතුවල නිරත වුවද සෑම නිවාඩු දිනකම සිය දෙමාපියන් සමඟ ගත කිරීම ඇයගේ සිරිතක් වූවාය. සති අන්තයේ දිනක රොනීට කැළනිය පොලිස් ස්ථානය මගින් දන්වා සිටියේ ඉතා වේදනාකාරී පණිවුඩයකි. පියෙකු ලෙස රොනී අසරණ වුණු හැටි ලබන සතියේ...

[උපුල් ගලප්පත්ති]

මාතෘකා