‘SMART ශ්‍රී ලංකාවක්’ වෙනුවෙන් ජාතික ඩිජිටල් සංක්‍රාන්තිය

 ඡායාරූපය:

‘SMART ශ්‍රී ලංකාවක්’ වෙනුවෙන් ජාතික ඩිජිටල් සංක්‍රාන්තිය

ජාතික විදුලි සන්දේශන සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සාඩම්බර ගමන්මඟෙහි තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2019 ජුනි 11 වැනි දින නෙළුම් පොකුණ රඟහලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ඩිජිටල් සංක්‍රාන්තිය එළිදක්වන ලදී. ඩිජිටල් තරුණ සමුළුව, ඩිජිටල් ජනතා සමුළුව සහ ජාතික ඩිජිටල් සංක්‍රාන්තිය එළි දැක්වීම යන අදියර තුනකින් මෙම උත්සවය පැවැත්විණ. මෙරට ඩිජිටල් තාක්‍ෂණයෙන් සවිගැන්වුණු SMART ශ්‍රී ලංකාවක් බවට පරිවර්තනය කිරීමේ ජාතික ඉලක්කය සාක්‍ෂාත් කරගනු පිණිස ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය විසින් දක්වනු ලබන නිරන්තර දායකත්වය පිළිබඳ කදිම සාක්‍ෂියක් වූ මෙම උත්සවය සඳහා සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ. ශ්‍රී ලංකා රජය මේ වනවිටත් ඩිජිටල්කරණයෙහි ප්‍රතිලාභ ජාතිය වෙත තිළිණ කිරීමේ ඉදිරිගාමී මෙහෙවරකට පියවර තබා ඇති අතර ශ්‍රී ලංකා ටෙලිකොම්හි මෙම ක්‍රියාදාමයද ඒ හා මනාව සැසඳෙන්නකි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ජාතික ඩිජිටල් සංක්‍රාන්තිය යනු Smart Security, Smart Government, Smart Health, Smart Building, Smart Utilities, Smart Environment, Smart Transportation & Mobility, Smart Agriculture, Smart Money, Smart Education Smart Workforce and Smart Infrastructure යන ප්‍රධාන අංශ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති මහා පරිමාණ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ යටිතල පහසුකම් සංවර්ධනය වීමයි. රජය සතු පරිවර්තන ක්‍රියාදාමයන් මෙන්ම කර්මාන්ත ලෝකය පමණක් නොව, අති නවීන සේවා හා විසඳුම් ලබා දීම තුළින් මහජනතාවගේ ජීවිත පරිවර්තනයකට ලක් කිරීම කෙරෙහිද පුළුල් අවධානයක් යොමු කරමින්, මේ සෑම අංශයක්ම යටතේ දැවැන්ත ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මෙකී ක්‍රියාදාමය සැලසුම් කරන ලද්දේ එහි ජංගම දුරකථන හස්තය වන මොබිටෙල් (පෞද්) සමාගම, PEO TV සහ අනෙකුත් අනුබද්ධිත සමාගම්වල සහායද ලබා ගනිමිනි.

මෙම ජාතික ඩිජිටල් සංක්‍රාන්තිය පසුපස ඇති සමස්ත දැක්ම හැඩ ගැසී ඇත්තේ 'අසීමිත ඔබ' යන ඉතා පුළුල් මූලධර්මය ගරු කොට ගනිමින් වීමද සුවිශේෂී කරුණකි. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ කර්මාන්තය මතු නොව සමස්ත ශ්‍රී ලාංකික පුරවැසි ප්‍රජාවද වෙනුවෙන් වටිනාකම් නිර්මාණය කරනු ලැබීමට මනා සලකුණක් තබමින් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විසඳුම් හා ඒ හා සබැඳිය යටිතල පහසුකම් ඇසුරින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය නිරන්තරයෙන්ම මෙරට පුරවැසියන් වෙත අසීමිත අත්දැකීමක් ලබාදෙමින් සිටියි.

පුළුල් පරාසයක විහිදෙන තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විසඳුම් රැසක් ලබාදෙන ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය බහුජාතික සමාගම්, මහා පරිමාණ හා සුළු පරිමාණ සමාගම්, රාජ්‍ය අංශය, සුළු පරිමාණයේ හා ගෘහස්ථ පාරිභෝගිකයන් ඇතුළු මිලියන 11කට අධික පාරිභෝගික පිරිසක් වෙත සිය සේවා සපයයි.

මාතෘකා