විශ්‍රාම වැටුප් ඉහළ යෑම ගැන ජනතාව මෙසේ කියයි

 ඡායාරූපය:

විශ්‍රාම වැටුප් ඉහළ යෑම ගැන ජනතාව මෙසේ කියයි

2019 අයවැය මඟින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා යෝජිත විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම ජූලි මස සිට ක්‍රියාත්මක කෙරෙන බව පසුගියදා (16) මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේය. ඒ අනුව 2015.12.31ට පෙර විශ්‍රාම ගනු ලැබූ විශ්‍රාමිකයන් 5,00,000කට පමණ මෙම විශ්‍රාම වැටුප් වැඩි වීමේ වාසිය හිමි වේ. ඒ අනුව මෙසේ විශ්‍රාම ගනු ලැබූ විශ්‍රාමිකයන්ගේ මාසික වැටුප රු.2,800 සහ රු.20,000 අතර මුදලකින් වැඩි වන අතර 2015 දෙසැම්බර් මස 31 වැනි දිනට පෙර සේවයෙන් විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුපේ පැවැති විෂමතාව ඉවත් කිරීම හරහා එම විශ්‍රාමිකයන්ට සහන සැලසෙනු ඇත. වසර ගණනාවකට පසුව විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීම පිළිබඳව මේ වන විට සමාජයේ විවිධ කතාබහ ඇති වෙමින් පවතින මොහොතක විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගෙන් ඒ පිළිබඳව මත විමසුමක් කළෙමු.

විශ්‍රාමික වැටුප වැඩි වෙනවා නම් හොඳයි

විශ්‍රාමික ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරී, ලේඛක ආරියවංශ රණවීර

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ගේ වැටුප ජීවන වියදමට සරිලන්නේ නැහැ. විශ්‍රාමිකයි කියන්නේ ලෙඩරෝගත් බහුලයි කියන එකනේ. ඉතින් විශ්‍රාමිකයන්ට බෙහෙත් ටික ගන්නවත් සල්ලි නැහැ. ලැබෙන සොච්චමෙන් කන්න බොන්නවත් මදිනේ. විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාමික වැටුප වැඩි වෙනවා නම් ඒක හොඳයි. දැන් තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ඒක විශ්‍රාමිකයන් හැමෝටම ගොඩක් වටිනවා. නමුත් විශ්‍රාමික වැටුප් වැඩි කිරීමට මේ තරම් කාලයක් ගිය එක ගැන අපි කනගාටු වෙනවා. ඒකට හේතුව තමයි ගොඩක් විශ්‍රාමිකයෝ විශ්‍රාම වැටුප මදිකම නිසා අපහසුතාවට පත්වෙනවා මම දැකලා තියෙනවා. උදාහරණයක් විදිහට මගේ මිත්‍රයෙක් හිටියා එයා අමාත්‍යාංශ ලේකම්වරයෙක්. මටත් වඩා ගොඩක් ජ්‍යේෂ්ඨ නිලධාරියෙක්. ඔහුට පිළිකාවක් තිබුණා. අන්තිම කාලේ බෙහෙත් ගන්නවත් සල්ලි තිබුණේ නැහැ. ඔහු මියගියා. මේ වගේ අසාධාරණකම් වුණු අය ගොඩක් ඉන්නවා. කොහොම නමුත් විශ්‍රාම වැටුප වැඩි වෙන එක නම් ඉතාම හොඳ දෙයක් විදිහට මම දකිනවා.

 

විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ට විශාල සහනයක්

විශ්‍රාමික සහකාර අධ්‍යක්ෂ (ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය)

ඉන්ද්‍රපාල හබරාදූව

දීර්ඝ කාලයක් තිස්සේ සටන් කළත් විශ්‍රාමිකයන්ගේ වැටුප වැඩි වුණේ නැහැ. දැන් තියෙන ආර්ථික මට්ටමත් එක්ක ලැබෙන සොච්චමෙන් මනුස්සයෙක්ට ජීවත් වෙන්න අමාරුයි. කතාවක් තියෙනවානේ රාජ්‍ය සේවකයෝ හැමදාම දුප්පත් කියලා. ඉතින් විශ්‍රාම ගියාම රාජ්‍ය සේවකයෝ ආර්ථික වශයෙන් තවත් අගාධයට වැටෙනවා. මෙහෙම වැටුප් වැඩි වෙන එක විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ට ලොකු සහනයක්. රාජ්‍ය සේවයේ නියැළිලා ඉද්දි පවතින සබඳතා සියල්ලම පාහේ විශ්‍රාම ගියාට පස්සේ සේවකයන්ට අහිමි වෙනවා. ඉතින් කිසිම වැඩක් කරගන්න බැරි තත්ත්වෙට ආවට පස්සේ විශ්‍රාමික වැටුප විතරයි තියෙන එකම සහනය. ඒක කන්න බොන්න තියා බෙහෙත් ගන්නවත් මදි. විශ්‍රාමිකයන් ගොඩක් අසරණ වෙනවා අන්තිම කාලෙදි මිල මුදල් නැතුව. ඒ නිසා විශ්‍රාමික වැටුප පහුවෙලා හරි වැඩි වුණු එක හොඳයි.

 

මවුපියෝ පෙන්ෂන් එක අරන් එනකං බලාගෙන ඉන්න දරුවො මේ රටේ ඉන්නවා

විශ්‍රාමික සංගීත ආචාරිණී (කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය)

සුමනා රංජනී තලගල

විශ්‍රාමික ගුරුවරුන්ගේ වැටුප පොඩි වැඩි වීමක් වුණා ගිය මාසෙත්. වසර 11ක් තිස්සේ සටන් කරලා තමයි ඒ වැඩි වීමත් අපිට ලැබුණේ. විශ්‍රාමිකයන්ගේ පඩි වැඩි වෙනවා නම් ඒක හොඳයි. මොකද ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි තමන්ගේ වැටුපෙන් තමන්ගේ විතරක් නෙමෙයි අනිත් අයගෙත් වියදම් දරන්න වෙනවා. අම්මලා තාත්තලා පෙන්ෂන් එක අරගෙන එනකං දරුවෝ බලාගෙන ඉන්නවා. විශ්‍රාමිකයන්ට සිද්ධ වෙනවා වැටුපෙන් දරුවන්ටත් උදවු කරන්න. නැත්නම් විශ්‍රාමිකයන්ට ජීවත් වෙන්න වැටුප සෑහෙනවා. මවුපියන්ගේ විශ්‍රාම වැටුපෙන් තමගේ වැඩ ටික කරගන්න බලාගෙන ඉන්න දරුවොත් මේ රටේ ඉන්නවා. ඒ නිසා තමන්ට මුදල් ඉතුරු කරගන්න බැරි තත්ත්වයක් විශ්‍රාමිකයන්ට තියෙනවා. මට ඒ ගැටලුව නැහැ. මගේ දරුවො මගේ වැටුප වගේ දහස් ගුණයක් හම්බ කරනවා. නමුත් එහෙම අය ඉන්නේ ටික දෙනයි. දාහකට දෙන්නෙක් වගේ තමයි ප්‍රශ්නයක් නැතුව විශ්‍රාම වැටුපෙන් ජීවත් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි එක එක රෝගවලට බෙහෙත් පාවිච්චි කරන අය ඉන්නවා. ඒ බෙහෙත්වලට රු.10,000 කට වැඩිය වියදම් යන අය ඉන්නවා. ඒ නිසා විශ්‍රාම වැටුප වැඩි වෙනවා නම් ඒක ඉතාම හොඳ දෙයක්.

 

විශ්‍රාමික රාජ්‍ය සේවයකයන්ට ලොකු සේවයක්

විශ්‍රාමික පාඨශාලාචාර්ය (කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය)

ආරියසේන ජයරත්න

2006දී රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප් වැඩි වීමක් වුණා. නමුත් ඒක තාවකාලික වැඩි කිරීමක්. අපි බලාපොරොත්තු වෙනවා මේ ආණ්ඩුවෙන් විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ට එහෙම අසාධාරණයක් කරන්නේ නැති වෙයි කියලා. මෙහෙම වැටුප වැඩි කරපු එක නම් ගොඩක් හොඳ දෙයක්. දැන් තියෙන ආර්ථිකයත් එක්ක මිනිස්සුන්ට ජීවත් වෙන්න පෙන්ෂන් එක මදි. මගේ වයස අවුරුදු 87ක්. වයසත් එක්ක මම රෝග කීපයකින් පීඩා විඳිනවා. මාසෙකට සැරයක් ක්ලිනික් යනවා. ඊට අමතරව පෞද්ගලික වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගන්නවා. රු.20,000කට වැඩිය යනවා බෙහෙත්වලට විතරක්. ලැබුණු විශ්‍රාම වැටුප මට බෙහෙත් ගන්නත් මදි. මට දරුවෝ උදවු කරන නිසා ප්‍රශ්නයක් නැහැ. රජයෙන් විශ්‍රාම වැටුප් වැඩි කරන්න තීරණයක් අරගෙන නම් ඒක අපිට කරපු ලොකු සේවයක් හැටියට මම දකිනවා.

 

වැටුප් විෂමතාව ඉවත් කරපු එක සහනයක්

විශ්‍රාමික හැන්සාඩ් වාර්තාකරු (ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව)

ප්‍රේමචන්ද්‍ර අල්විස්

දීර්ඝ කාලයක් තිස්සේ විශ්‍රාම වැටුප් විෂමතාවක් තිබුණා. ඒ හරහා විශාල අසාධාරණ රැසකට විශ්‍රාමිකයන් පත් වුණා. 1990 මම විශ්‍රාම ගියේ. අපිට වඩා විශ්‍රාම වැටුප වැඩියි ඊට වසර හත අටකට පස්සේ විශ්‍රාම ගිය අයට. දෙගොල්ලොම එකම සේවය කරලත් එහෙම විෂමතාවක් තියෙන්න විදිහක් නැහැ. ඒ විෂමතා ඉවත් කරලා විශ්‍රාම වැටුප් වැඩි වෙනවා නම් ඉතාම හොඳයි. ඔක්කොම කන්නේ බොන්නේ එකම මිල ගණන් දීලනේ. අපිට වැටුප අඩුයි කියලා අපෙන් අඩුවෙන් අය කරන්නේ නෑනේ. ඒ නිසා වැටුප් විෂමතාව ඉවත් කරපු එක හැමෝටම සහනයක්. මේක ඉතාම සාධනීය ක්‍රියාවක් හැටියට මම දකිනවා.

 

රාජ්‍ය සේවයට කෘතගුණ සැලකීමක්

විශ්‍රාමික විදුහල්පති (රත්නපුර උඩුගල විද්‍යාලය) එස්.කේ.එන්. ධනපාල

මේ වැටුප් වැඩි වීම 2015ට පෙර විශ්‍රාම ගිය අයට වඩා වාසිදායකයි කියලා පේනවා. මම මෑතක විශ්‍රාම ගිය නිසා මගේ වැටුප ඒ තරම් වැඩිවීමක් වෙන්නේ නැහැ. නමුත් කොහොමහරි වැටුප කීයක් හරි වැඩි කරපු එක ගැන නම් මම ගොඩක් සතුටු වෙනවා. විශ්‍රාම ගියාම හැමෝටම වෙන්නේ ලැබෙන දේ අරන් ඉන්න. ඉස්සර වගේ මේ ගැන කතා කරන්නවත් ඒ තරම් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩේ ඉතාම හොඳයි. ඉස්සර විශ්‍රාම ගිය අයට රු.25,000ටත් වඩා අඩු ගාණක් වැටුප ලැබුණේ. ඒ අය ලැබෙන සොච්චමෙන් ජීවත් වුණා. දැන් වැටුප ටිකක් වැඩි වුණු නිසා හැමෝටම හොඳයි. මේක රාජ්‍ය සේවයට කෘතගුණ සැලකීමක් හැටියට මම දකිනවා. රාජ්‍ය සේවකයෝ කියන්නේ තමන්ගේ ජීවිතයේ වැඩි හරියක් රැකියාව වෙනුවෙන් කැප කරපු මිනිස්සු. රට වෙනුවෙන් මහන්සි වුණු මිනිස්සු. එහෙම මිනිස්සු ගැන රජය මෙහෙම හිතන එක ගැන මම සතුටු වෙනවා. පවතින රජයෙන් කරපු වටිනාම ක්‍රියාවක් ලෙස විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩි කරපු එක මම දකිනවා.

 

අගය කළ යුතු වැඩක්

විශ්‍රාමික පාඨශාලාචාර්ය (ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලය) ඩී.එම්. කපිල දිසානායක

මම රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගියේ 2013 වසරේ. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගියාට පස්සේ විශ්‍රාමික වැටුප් වැඩි වීමක් වුණේ නැහැ. 1994 මම පළමු ශ්‍රේණියේ ගුරුවරයෙක් වුණේ. එතන ඉඳන් විශ්‍රාම යනකම් වසර ගාණක් මම එකම ශ්‍රේණියේ හිටියේ. වෙන ඉහළ ශ්‍රේණියක් නිර්මාණය කරනවා කිව්වාට ඒක කළෙත් නැහැ. අපිට විශ්‍රාම යනකොටත් අසාධාරණයක් වුණා. අඩු පඩියටයි අපි විශ්‍රාම ගියේ. දැන් විශ්‍රාමික පළමු සේවයේ ගුරුවරයෙක්ට රු.9000ක් විතර වැඩි වෙනවා නම් ඒක ඉතාම හොඳයි. මොකද විශ්‍රාම යන්න කලින් අපිට වැටුපට අමතරව දීමනා ලැබුණා. විශ්‍රාම යද්දි අපිට ඒ දීමනා ලැබෙන්නේ නැහැ. මේක අගය කළ යුතු වැඩක් විදිහට මම දකිනවා.

 [නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා