මන්නාරමේ පොළොං දඩයම!

 ඡායාරූපය:

මන්නාරමේ පොළොං දඩයම!

ඔහු ශ්‍රී ලංකාවේ සිිටින පෙරළිකාරී මිනිසෙකි. විද්‍යාඥයෙකි; පර්යේෂකයෙකි; සර්පයන් හා මකුළුවන් යනාදී බොහෝ සතුන් පිළිබඳ ආචීර්ණ කල්පික මිථ්‍යා මත පුපුරුවා හළ බුද්ධිමතෙකි; උරගයන් සම්බන්ධයෙන් අපට සිටින ප්‍රාමාණික විශේෂඥයා ඔහුය. ශාස්ත්‍රිය ග්‍රන්ථ හා ලිපි 400කට වඩා ලියූ ලේඛකයෙකි; සුප්‍රසිද්ධ මැජික් ශිල්පියෙකි.

ෙම් සෑම බදාදාවකම දිගහැෙරන ඔහුෙග් ජීවිත කතාවයි.

ඔහු අතැති සේයාරුව මම දකින්නේ දෙවැනි වතාවටය. මින් පෙරද ඔහු මා සමඟ මේ සම්බන්ධයෙන් කථිකා කළද ඒ සේයාරුවෙහි නිමිති කතාව ඇසීමට මට අතපසු විය.

"ආශ්‍රයට කැමතිම මිනිස්සු එක්ක ඇවිදින්න තියන එකෙනුයි, මම ආසම මාතෘකා ගැන පර්යේෂණ කරන එකෙනුයි තමයි මම ජීවිතේ වැඩිපුරම සතුටු වෙන්නේ."

මම ඔහුගේ දකින විශේෂතා අතර මෙය එක් දෙයකි. ඇන්ස්ලම් මහතා සංචාරය කළ ස්ථාන පිළිබඳ පවසද්දී ඔහු නැවත එම සියලුම පියවර තබා අදාළ ගමන සිතින් යනු පෙනේ. ඒ අපහසුතා, සංකීර්ණතා මෙන්ම සුන්දර අවස්ථාවන්ද ඔහු නැවත නැවතත් විඳියි. ඒ මතකයද අපූරුය.

"ඔයා මේ ෆොටෝ එක ගැන කලිනුත් ඇහුවා නේද, මම කොල්ලා වගේ ඉන්නවා කිව්වේ..."

වයස අවුරුදු හැත්තෑ අටක් වුවත් සැබැවින්ම තරුණයකුට වඩා ඔහු කාර්යශූරය; මානුෂීය ගුණධර්මවලින් පොහොසත්ය. ඒ සියල්ලටම වඩා නිහතමානීත්වයෙන් පිරිපුන්ය.

මට පොළඟුන් පිළිබඳ ඇත්තේ අඳුරු මතකයකි. හොරණ ප්‍රදේශයේදී මගේ හිතවත්ම යෙහෙළියකට පොළඟෙකු දෂ්ට කර ඇය තදබල ලෙස අසනීප වීමත් ඉන් ඇති වූ කම්පනයත් හැර වෙන යමක් මට සිහි නොවේ. එහෙත් ඇන්ස්ලම් මහතා මන්නාරම බලා තම සගයන් සමඟින් යන්නේ පොළොං දඩයමටය... ඒ දඩයමෙහි විශේෂත්වය ඉන් පොළඟුන්ගේ ජීවිතයට හානියක් සිදු නොවීමයි...

"මන්නාරමේ වැලි පොළොංගු පුදුම විදියට ඉන්නවා. ප්‍රතිවිෂ හදන්න අවශ්‍ය පොළොං විෂ හොයන්න තමයි අපි ඒ ගියේ. එතන හිටිය අය මේ සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් තියෙන අය. මොකද සර්පයෝ අල්ලන වැඩේ හැමෝටම කරන්න බෑ. ඒකට පුදුම සංයමයක් වගේම හොඳ දැනුවත් බවක් තියෙන්න ඕන.

“ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් ඉන්නවා ඩේවිඩ් වොරල් කියලා. එයා සර්ප දෂ්ටනය ගැන ලෝක සමීක්ෂණයක් කළා. ලෝකයේ හුඟක් මිනිස්සු මැරෙන්නේ වැලි පොළඟා කාලා කියලා එයා හොයාගෙන තිබුණා. අපි මන්නාරම ගමන යන්න තව හේතුවක් ඒක. යාපනය වෛද්‍ය පීඨයේ මහාචාර්ය සෑම් කුලරත්න වැලි පොළොං දෂ්ටනය ගැන සමීක්ෂණයක් කළා ලංකාව ඇතුළේ. රෝගීන් අසූවකගෙන් තමයි ඒක කරලා තිබුණේ. බොහෝ වෙලාවට සිදුවෙන්නේ ලේ වහනය වීමක්. වැලි පොළොං දෂ්ටනය හරි උග්‍රයි. තවම වැලි පොළොං දෂ්ටනයකින් කිසිම කෙනෙක් මැරිලා නැහැ. ඒකටත් හේතුවක් තියෙනවා. ලංකාවේ වැලි පොළඟා ලෝකයේ ඉන්න අනිත් වැලි පොළොංගු තරම් විෂ නැහැ, ඒ වගේම හුඟක් පොඩියි; අඩියකටත් වැඩිය අඩුයි. අපි විෂ දොවද්දිත් වැලි පොළොංගු 50කගෙන් ගන්න පුළුවන් මිලි ග්‍රෑම් 0.2ක් වගේ සුළු ප්‍රමාණයක්. දෂ්ටනයකදි ඉතා සුළු විෂ ප්‍රමාණයයි ශරීරගත වෙන්නේ. ඒකයි වැලි පොළොං දෂ්ටනයකින් මරණීය විසක් යන්නේ නැත්තේ.”

වැලි පොළොඟුන් අල්ලා ගැනීම කෙතරම් දුෂ්කර ක්‍රියාවක්දැයි ඇසීමට මම සිටියේ අවස්ථාවක් ලැබෙන තෙක්ය. සැබැවින්ම මට අවශ්‍ය වූයේ ගහක වැලක ගෙඩියක් අලයක් කොළයක් සොයන ලෙසින් පොළොඟුන් සොයන්නේ කෙසේද යන්න දැනගැනීමටය.

“ඒ ගමන හරිම විනෝදයි. සාමාන්‍යයෙන් වැලි පොළඟා ඉන්නේ තල් ගස් යට වැටිලා දිරලා ගියපු තල් කොළ අස්සේ... ඉතින් උන් හොයන එක ලේසි නැහැ. ඒ වගේම හරිම අවදානම් වැඩක්. අපි ඒ ළඟටම ගිහින්නේ හොයන්නේ. ඉතින් කවුරුහරි තල් කොළයක් අස්සේ ඉන්න පොළඟෙක් දැක්කොත් උඩ පැනලා විලාප තියනවා මම එතනට යනකම්. හරියට පොඩි ළමයි වගේ, පුදුම සතුටක් අපි කොහොමත් වැලි පොළඟුන් පනහක්වත් හොයාගෙන තමයි එන්නේ."

මෙතරම් කාලයක් ප්‍රතිවිෂ නිෂ්පාදනයට අවශ්‍ය විෂ දොවා ඉන්දියාවට යැව්වද දෙවැනි අදියර ලෙස තව නොබෝ කලකින් ලංකාවෙහිම ප්‍රතිවිෂ නිෂ්පාදනය ඇරඹීමට අදහසක් ඇති බව දැනගැනීමට ලැබුණේ ඔහුගෙන්ය. ඒ ක්‍රියාවලිය අපි මින් පෙර ලිපියක සඳහන් කළ බැවින් ඒ සඳහා අශ්වයන් අවශ්‍ය බව ඔබට මතක ඇතිවා විය යුතුය. එහෙත් ලංකාවෙහි ඒ සඳහා පහසුකම් ඇත්දැයි මම ඇන්ස්ලම් මහතාගෙන් විමසුවෙමි.

"පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අක්කර 3,000ක් විතර අයිතියි. ඒ නිසා අශ්වයන් ඇතිකරන්න අවශ්‍ය ඉඩ පහසුකම් ඇතිවෙන්න තියෙනවා. ආරම්භයේදී ඒක බොහොම වියදම් යන වැඩක්. ඒත් අපි ඒක පටන් ගන්නවා."

දිනක් පාඨකයෙක් රැස කාර්යාලයට කතා කර පැවසුවේ කලින් අප ලිපියක සඳහන් කළාට පරස්පර විරෝධී යමක් තමා දැක ඇති බවයි. ඔහු ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙහි විශ්‍රාමලත් එනම් ඔහු පැවසුවේ මුගටියකු හා පොළඟකු අතර සටනක් පැය හතරක් පුරා

තිබෙනු තමා දැක ඇති බවයි. පොළඟා දිගින් දිගටම පැන මුගටියාට පහර දීමට තැත් කරද්දී මුගටියා තම ලෝම පුප්පා ගෙන අසුරු සැනින් පොළඟාගේ හිසට පැන හිස හපා පැන දුවා යළිත් සුළු මොහොතකින් නැවතත් එයම කරනු දුටු බවත් එලෙස පැය හතරකට පමණ පසු පොළඟා මියගොස් සිටි බවත්ය. මා එය වෛද්‍ය ඇන්ස්ලම් මහතාට පැවසුවේ ලිපියෙහි පාඨක අදහස්වලට ඉඩ සකස් කිරීමටය.

"ඒක එහෙම වෙන්න පුළුවන්. හැබැයි කලාතුරකින්. මොකද අපි විවිධ තරමේ පොළොංගු සහ මුගටියන් එකට දාලා පර්යේෂණ කරලා තියෙනවා. ඒ වෙලාවල්වලදී ඒ දෙගොල්ලොම මඟාරිනවා. හැබැයි මුගටියෙක් පොඩි පොළඟෙක්ව දැක්කම සමහර විට පහර දීමක් කරන්න පෙලඹෙන්න පුළුවන්. ඇසිපිය ගහන වේගයෙන් සතෙක්ගෙ ඇඟට පැනලා ඔළුව කන එක තමයි මුගටියෙක් කරන්නේ. ඒ වගේ සත්තුන්ගේ ඔළුව කන්නේ මුගටියා ඇරුණම උණහපුළුවා.”

පොළඟුන් ගැන කතා නවත්වා ඔහු උණහපුළුවන් ගැන පවසයි. මේ කතාබහ මට නම් රසවත් වන්නේද ඒ නිසාය. ඔහු ගුරුවරයකුද වන නිසා ඒකාකාරී බවින් තොර කතාබස් ඔහුට පුරුදු ඇතිවා විය යුතුය.

“උණහපුළුවා තමයි ලංකාවේ ඉන්න වඳුරු ගණයට අයත් කුඩාම සතා. එයා මොනරුන්ගේ ඔළුවම හොයාගෙන කනවලු. අතීත කතාවක් තිබුණා මොනරෙක් ගහේ ඉද්දි හෙළවෙන කොළයක් හරි උගේ ඇඟට වැටිලා ඇහැරෙයි කියලා බයේ; උණහපුළුවා ඒ කොළේ පවා අරන් ගිහින් බිමින් තියනවලු. ඉන්පස්සේ ඇවිත් ඔළුව අල්ලලා හපනවලු. ඉස්සර අපි ඒ ගැන පර්යේෂණ කළා. උණහපුළුවා ඉන්න කූඩුවට කුකුල් පැටියෙක් දැම්මම ඌ කූඩුවේ උඩට ගිහින් කකුල් දෙකෙන් කූඩුවෙ රැඳිලා අත් දික්කරලා බෙල්ල අල්ලගන්නවා. ඉන්පස්සේ ක්ෂණිකව ඔළුව අල්ලලා විකනවා. හැබැයි ඉතින් පොඩි කෑල්ලක් කාලා අතෑරලා දානවා. ඇත්තටම ගම්මු අතරේ ජනප්‍රවාද විදියට තියෙන සමහර කතා සත්‍ය සිදුවීම්.”

“එතකොට උණහපුළුවට උගේ පැටියා මැණිකක් කියන්නේ ඇයි?”

“අහ්, ඌ කැතයි කියලනේ මිනිස්සු කියන්නේ ඉතින්. මට නම් උණහපුළුවන්ගේ පෙනුම හරිම ස්වීට්. එයාලා කැත නැහැ. දැක්කම බදාගන්න හිතෙනවා. ඔයාම බලන්නකෝ.”

උණහපුළුවකු හැබෑවටම ලස්සනට පෙනුණේ මට අදය.

අපි නැවතත් පොළඟුන් පිළිබඳ කතාවට අවතීර්ණ වූයේ කුඩා පොළොං පැටව්න් තිස් දෙදෙනකුගේ ඡායාරූපයක් ඔහු පරිගණක තිරය මත පෙන්වීමෙනි.

“ලංකාවේ විශේෂ හයක පොළොංගු ඉන්නවා. ලොකුම තිත් පොළඟා. ඌට කණ්ණාඩි පොළඟා, දාර පොළඟා, පොළොං පිඹුරා කියලත් කියනවා. මීට අමතරව වැලි පොළඟා, පළා පොළඟා ඇරුණම පොළොං තෙලිස්සා වර්ග තුනකින් ඉන්නවා. කුණකටුවා කියන්නෙත් එයාටම තමයි. පළා පොළඟයි, පොළොං තෙලිස්සා වර්ග දෙකකුයි ලංකාවට ආවේණිකයි. අනිත් අය ඉන්දියාවෙන් ආපු අය. සර්ප දෂ්ටනවලින් සියයට 40ක් මැරෙන්නේ පොළොං දෂ්ටන නිසා.”

පොළොං ධේනුව අනෙක් සමහර සර්පයන් සේ බිත්තර නොදමයි. බිත්තර බඩේදිම මෝරා ඒවා පැළී එළියට එන්නේ පොළොං පැටව්න්ය. මම කිසිදා නොඇසූ කතාවක් ඇන්ස්ලම් මහතා පැවසුවේ ඉන් අනතුරුවය.

“ගමේ විශ්වාසයක් තියෙනවා පොළොං ධේනුව පැටව් බිහිකරද්දි මැරෙනවා කියලා. පැටව් එන්නේ ධේනුවගේ බඩ පැළිලා කියලා තමයි කියන්නේ. ඒ බිහිවන පැටව් අම්මගේ මලකුණ කාලා ජීවත්වෙනවා කියලා කියනවා. ඒත් ඒක මිථ්‍යාවක්. පොළොං ධේනුව සාමාන්‍ය විදියට පැටව් විස්සක් තිහක් එකවර බිහිකරනවා. බඩ පැළීමක් වෙන්නේ නැහැ. ඒ පැටව් කාලයක් ගිහින් කැලේට ඇදිලා යනවා. මට හිතෙන්නේ ඒක උන්ගේ ආරක්ෂාවට වෙන දෙයක්. පොළොංගු ඉන්න තැන මකුණු ගඳ එනවා කියලා ජනප්‍රවාදයක් තියෙනවා. ඒකත් වැරදියි. මිනිස්සු එහෙම කියන්න හේතුව බලද්දි එයාලා කිව්වේ පොළඟෙක් කට අරිද්දි ගොයම් මැස්සෙක්ගේ ගඳ එනවා කියලා. අපි ළඟ සිය ගණනක් පොළොංගු ඉඳලා තියෙනවා. ඒත් එහෙම ගඳක් දැනිලා නම් නැහැ.”

බොහෝ අය පිඹුරා හා පොළඟා වෙන් කර හඳුනා ගැනීමට අපොහොසත් වෙති. එබැවින් පොළඟකු පිටස්තරව හඳුනාගන්නා ලකුණු කිහිපයක් ඇන්ස්ලම් මහතා පැවසුවේය.

“පොළඟා වගේ පිඹුරු විශේෂ ඉන්නවා. සතුන් ඇති කරපු මගේ යාළුවෙක් මැරුණා එහෙම වැරදීමක් වෙලා. කොළඹ සත්ත්වයන් ඇති කරන තැනක තඩි පිඹුරෙක්ව තිත් පොළඟෙක් කියලා කූඩුවකට දාලා තිබුණා. එයාලව හොයාගන්න ලක්ෂණ තුනක් තියෙනවා. හිසේ ඉඳලා වලිගයේ අග දක්වා බඩ පැත්තේ උඩ පිට කොන්ද වෙනකම් කණ්ණාඩි වගේ ලප පේළියක් යනවනම් ඌ කණ්ණාඩි පොළඟා. පොළඟගේ හිස ත්‍රිකෝණාකාරයි. හිසෙහි උඩ පැත්තේ ඉංග්‍රීසි වී (V) අකුරේ හැඩයට ලපයක් තියෙනවා. වැලි පොළඟකුගෙ නම් හිස මත කුරුසයක් වගේ ලකුණක් තියෙනවා.

“ලංකාවේ පොළඟෙක් කෑවම ඒ විෂ යන්නේ රුධිරයට පමණක් නොවෙයි. ඒ විෂ ස්නායු පද්ධතියටත් බලපානවා. ඒකෙන් පස්සේ ඇස් ඇඳිරිය හැදෙනවා. ඇස් අරින්න බැරිවෙනවා. පොළඟෙක් කෑවම තිරිංග නොබැඳ පුළුවන් ඉක්මනට රෝහලකට ගෙනියන එක තමයි කරන්න ඕන. ඒ වගේම මුදු, වළලු වගේ ආභරණ අයින් කරන්න ඕන. මොකද ඇඟ ඉදිමෙනවා. අනික ඇස්ප්‍රීන් වර්ග, තැඹිලි, කුරුම්බා වගේ දේවල් දෙන්න හොඳම නෑ. සාමාන්‍යයෙන් පොළඟෙක් දෂ්ට කළාම ඒ විෂ වකුගඩුවලට යනවා. එතකොට වකුගඩු හිරවෙලා ලේ කැටි ගැහෙනවා. වකුගඩු අකර්මණ‍ය වෙනවා. මුත්‍රා එක්ක ලේ පිටවෙනවා.”

පොළොන් විෂ ගැන පාඩම තව බොහෝ දිගු විය. ඒ හැම තොරතුරක්ම වැදගත් වුවත් ඒ සියල්ල මෙහි සටහන් කරන්නට ඉඩක් නැත. ලංකාවට හොඳම ප්‍රතිවිෂක් ළඟදීම ලැබීමට නියමිත බවට ඔහු පැවසූ තොරතුර ගැන වැඩි විස්තරද පසුවට අසන්නට ඉටාගතිමි.

“ඩයිනෝසර්ලා තවමත් ඉන්නව කියල විශ්වාස කරනවද?” ඇන්ස්ලම් මහතා උන්හිටි ගමන් ඇසුවේය.

මට උඩ බිම බැලිණි.

“එකම එක ඩයිනෝසර් විශේෂයක් තවමත් මිහිපිට ඉන්නවා!” ඔහු මා මවිතයට පත් කරමින් පැවසුවේය.

සතියක් පුරා ඔබ කුතුහලයෙන් තැබීම හොඳ දෙයක් නොවුණත් එසේ කරන්නට සිදු වී තිබේ.

සටහන [නදී මාණික්කගේ]

මාතෘකා