වැලි මිදුල

 ඡායාරූපය:

වැලි මිදුල

වැලිමිදුල පිටුවට ඔබ එවන නිර්මාණ අතරින් හොඳම නිර්මාණය සඳහා සතිපතා ‘රන්පෑන‘ ත්‍යාගය වශයෙන් අගනා පොතක් පිරිනැමේ. මේ සඳහා පොත් ලබාදෙන්නේ ‘සන්ථව‘,‘සූරිය‘,‘ග්‍රැෆිකෙයා‘ යන ප්‍රකාශන ආයතනයි. ඔබේ චිත්‍ර, කවි, රචනා, කෙටිකතා සහ වෙනත් ලිපි, පන්තිභාර ගුරුතුමාගේ/තුමියගේ අනුමැතිය ඇතිව පහත ලිපිනයට එවන්න.

 

වැලිමිදුල සංස්කාරක,

රැස කතුමඬුල්ල,

ලේක් හවුස්,

ඩී.ආර් විජේවර්ධන මාවත,

කොළඹ 10.

 

--------------

කර්තෘ: ටී. බී. ඉලංගරත්න

මෙය ඉතා රසවත් යොවුන් නවකතාවකි. මෙහි තිබෙන්නේ අමාරිස් නම් ළමයකු ගැන කතාවයි. ඒ ළමයා හරිම දුප්පත්. ඔහුගේ පවුලේ කට්ටිය ගොඩක් ඉන්නවා. නංගි කෙනෙක්, මල්ලිලා කිහිප දෙනෙක් සමඟ අමාරිස් ජීවත් වුණේ පුංචිම පුංචි පැල්පතක. ඔහුගේ තාත්තා ජීවතුන් අතර නැහැ.

දවසක් අම්මා, අමාරිස් පොහොසත් ගෙදරකට ගෙනිහින් බාර දුන්නා. ඒ ගෙදර හිටියේ හාමු සහ බේබි.ගෙදර අත් උදව්වට සිරිමලී නැන්දා සහ ජේමිස් මාමා හිටියා. අමාරිස් මේ ගෙදරට ගෙනිච්චෙත් අත්උදව්වටයි. බේබි පුංචි ගැහැනු ළමයෙක්.එයාගෙ අයියගේ නම නිහාල්. එයාට ගෙදරට කියන්නෙ ලොකු බේබි. අමාරිස් මේ ගෙදරට යන්නට ටික කලකට පෙර කව්ද කට්ටියක් ලොකු බේබි පැහැරගෙන ගිහින්. ඒ ගැන මතක් වෙන හැම වෙලාවෙම හාමු අඬනවා.

මේ ගෙදර හැම දෙනාම අමාරිස්ට ආදරෙයි. එක දවසක් ඔවුන් අනුරාධපුරේ යන විට අමාරිසුත් එක්ක ගියා. හැමෝම හරි සතුටින් ගමන ගියත් අනුරාධපුරේදි දුක්බර දෙයක් සිදුවුණා. එක් පිරිසක් අමාරිස් පැහැරගෙන ගියා. අමාරිස් බුද්ධිමත්. කටකාරයි. කොහාම හරි අමාරිස් සතුරන්ගෙන් බේරුණා.හුඟක් කල් අතුරුදන්ව සිටි නිහාල් හාමු සොයාගන්න පුලුවන් වුණා.මේ කතාවේ සිදුවීම් හරි පුදුමයි. මෙය සතුටුදායක අවසානයක් තිබෙන කතාවක්.

[ෂෝන් යතින්ද්‍ර රාජපක්ෂ]

7 ශ්‍රේණිය F, කොළඹ රාජකීය විදුහල

---------------

හේන් ගොවිතැන

හේන් ගොවිතැන අතීතයෙදී විශාල වශයෙන් ගොඩ භූමිවල සිදුකර ඇති අතර මෙය ශ්‍රී ලංකාවේ පැරණි වගා ක්‍රමයකි. ලංකාවේ හේන්වගා ආකාර දෙකකි. එනම්,

1.මුල්කැටහේන

එක් කේන්ද්‍රයක සිට පිටට විහිදී යන වෘත්තයක කොටසක් කොටස්වලට බෙදා ගැනීමෙන් සාදන ලද හේන.

2.ඉරවලි හේන

චතුරස්‍රාකාර භූමියක් කුඩා චතුස්‍රාකාර භූමිවලට බෙදී යන ආකාරයෙන් සාදාගත් හේන ලෙසය.

හේන් වගාව සඳහා වර්ෂා ජලය ප්‍රයෝජනයට ගන්නා අතර කෘත්‍රිම ජලය සැපයීම සිදූ වූයේ නැත. හේන ආරම්භයේ සිට අස්වැන්න නෙළා ගන්නා අවස්ථාව තෙක්ම හේන් ගොවියා තම ආගම හා සම්බන්ධව කටයුතු කරයි. හේනෙහි තල, මෙනේරි, කුරක්කන්, කරවිල, කොමඩු ආදී බෝග වගා කර ඇත. හේන් වගාවේදී ශාකපත්‍ර දිරාපත්වීමෙන් ලැබෙන ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය පොහොර ලෙස භාවිතා කරයි. එම නිසා ඉහළ ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීමට හැකිවේ. හේනේ අනිවාර්ය අංගයක් ලෙස පැල පෙන්වාදිය හැකි අතර මෙමඟින් හේනට පැමිණෙන සතුන් පළවාහැරීමට කටයුතු කර ඇත. ගොවියන් විසින් කුරුලු පාළුව යන කොටස පවත්වාගෙන ගොස් ඇති අතර මෙමඟින් කුරුල්ලන් වගාවට පැමිණෙයි. එවිට වගාවේ සිටින අහිතකර කෘමීන් එම කුරුල්ලන් විසින් ආහාරයට ගනී. එවිට වගාවේ කෘමීන් පාලනය වේ. හේන් වගාව යනු ගුණාත්මක ඉහළ අස්වැන්නක් ලබාගත හැකි වගා ක්‍රමයකි.

පූර්ණ සම්පත්

12 කලා, කුලි/කනදුල්ල මහා විදුහල

-------------------

කතකගේ පරිණාමය

මාපිය සෙවණේ සෙනෙහස රඳවන

ළදැරියයි ඇය නිවහනේ

දින ගෙවිලා එළැඹෙන වසරක සිසුවියයි ඇය

ශිල්ප ලබනා සිප් හලේ

වසන්තයේ මල් කැකුළ විලසින්

සුවඳ විහිදෙන රුවැත්තිය යෞවනයේ

ආදරේ මුදු සුවඳ විහිදන පෙම්වතියයි

ඇය මතු දිනේ

බිරිය වී වෙනත් සෙවණක

ලැගුම් ගනීවී දුක සිතේ

සියලු දුක්ගිනි දරාගන්නා

දාසියයි ඒ නිවහනේ

මවක වීලා ලොවෙන් බුහුමන්

ලබයි ඇය නිති හැම දිනේ

ළයේ රුහිරුද කිරට හරවා

සිඟිති පණ නළ සවිකළේ

දිරිය දියණිය නුඹයි හැම විට

වැඩබිමේ හා කම්හලේ

දහම රකිමියි පසක් කරමින්

පෝයදා පන්සල් ගියේ

ජීවිතේ අවසන් විරාමය

ගෙවයි වැහැරිව අගුපිළේ

සියලු පැතුමන් මිළින වීලා

ගැහැනියයි ඒ මිය ගියේ

 

[තෂානි දේවිකා]

12 ඒ

කුලි/ජේ. ආර්. ජයවර්ධන ජාතික පාසල

දුම්මලසූරිය

-----------------

නියඟය අවසන්ද...?

මාස කිහිපයකට කලින් වැටුණු අවසන් වැස්සෙන් තෙමුණු පොළවට අද මේ හෙමින් පොළව සිඹින පිණි වැස්ස ගෙන දෙන්නේ පැහැපත් රටාවක්. ඒ හැම පිණි බිංදුවක්ම දූවිලි එක්ක අපූරු රටා මවනවා. ඒත් එක් මොහොතකට විතරමයි. තවත් නිමේෂයකින් තවත් පිණි බිංදුවක් එක්ක වෙනත් ඉසව්වක වෙනස්ම රටාවක් ගොතන්නේ මොහොතකට පෙර කිසිවක්ම නොවූ විලසකින්.

හැමදාමත් කාලයත් එක්ක බොහොමයක් දේ තමන්ගේ වෙනස්කම් සටහන් කරගන්නවා. හොඳම උදාහරණය පරිසරය. මොනතරම් අපි ඒ ගැන කතා කළත්, තර්ක විතර්ක කළත් ඒ ගැන අපේ ආකල්ප, උනන්දුව මදියි කියලමයි මට දැනේනේ. පරිසරයේ මේ වෙනස්වීම්, හැසිරීම මට මතක් කරන්නේ වෙනත් පණිවිඩයක්. අපේ මව්පියන් අපි අතින් දැන හෝ නොදැන සිදුවෙන වැරදීම් දිහා හොඳ පරීක්‍ෂාවෙන් බලාගෙන ඉන්නවා. ඒ හැම මොහොතකම පුංචි පුංචි අවවාද නොදෙනවාමත් නොවෙයි. ඒත් අවසානයේ දවසක යම් කිසි වරදක් අසලදී පහුගිය සිදුවීම් සියල්ලම සිහිපත් කරමින් දඬුවමක් දෙන්න ඔවුන් පැකිළෙන්නේ නැහැ. ඒ වගේ මොහොතකදී “මම දවස් ගාණක් තිස්සේ බලාගෙන හිටියේ, තමන් කරන වැරදි වැඩ දිහා. අද ඒ හැම එකකටම හරියන්න මේ දඬුවම් කරන්නේ...” කියලා අපට සැර වැර කළ අවස්ථා කොතෙක් නම් ඇත්ද? ඇත්තටම ස්වභාව ධර්මයත් ඒ වගේ කාලයක් තිස්සේ අපෙන් වෙන අතපසුවීම්, වැරදි දිහා ඉවසීමෙන් බලාගෙන ඉඳලා අවසානයේ එක්වරම අපට දඬුවමක් දෙනවා. ඇත්තටම ඒක දඬුවමක්ම නොවුණත් සිහිපත් කිරීමක්. ඉතිහාසයේ පිටු පුරාම එවැනි සිහිපත් කිරීම් එමටයි.

ගමේ කෙළවර නාන ළිඳ දැන් හුදකලාව අහස දිහා තමන්ගේ නිල් පැහැති නෙත දල්වාගෙන බලාගෙන ඉන්නවා. ඒ ඇහේ කිසිම කැළඹීමක් නැති වුණත් මහා කතාවක් ලියැවිලා තියනවා. කාලයකට කලින් ගමේ හැමෝම මේ ළිඳ වටේ එක්කාසු වෙලා එක සීරුවට තමන්ගේ අවශ්‍යතාවන් ඉටුකර ගත්තා. කෙනෙක් ඇඟපත හෝදා ගනිද්දී තවත් අය ඇති තරම් හිසට වතුර වත්කර ගත්තා. ඒ වතුර ගලාගෙන පහළින් ඇති තණ නිල්ල තෙමා යද්දී ඉතිරි වතුර ලියදි කිහිපයක් පුරවාගෙන කෙත් යාය ඇතුළේ සැඟවෙලා යනවා. ඒත් අද ළිඳ කෙළවරක සවි කළ වතුර මෝටරය දවස පුරා අන්තිම වතුර බිංදුව තෙක්ම එක හුස්මට ඇදගෙන යනවා. එකිනෙකාගේ නිවාසවල නාන කාමරවලින් ගලාගෙන යන වතුර ඉලක්කයක් නැතිව ගලාගෙන වීදිය කෙළවර කාණුවට එකතු වෙනවා හැර උඳුපියලිය පඳුරකටවත් තෙතමනයක් දෙන්න නතර වෙන්නේ නැහැ. ළිඳ පහළ තණ බිස්ස තිබුණු තැන මතකයක් විතරයි. තාත්තගේ පුංචි සංදියේ පටන් ළිඳට පහළින් ඇති කුඹුරේ නිල්ල නෙළපු ගුණදාස සීයා පළවෙනි වතාවට මේ කන්නය වගා නොකරන්න තීරණය කරලා.

“ගොයම් හිටවන්න තියා කුඹුර මඩ කරන්නවත් වතුර මදි පුතේ” ඒ හඬ වියළි උඩු හුළඟ එක්කම ඈතට ගහගෙන යනවා. ඇත්තටම කුඹුර තෙමෙන්න තරම්වත් වතුර ගලාගෙන යන විදිහට ආපහු ළිඳෙන් වතුර ඇදලා නාන්න අපිට බැරිවෙයිද? නැත්නම් ගමේ බොහොමයක් කුඹුරු මැද්දේ ඇති කමතේ පහු කාලෙක ඉදිවුණු ගඩොල් පෝරණුවලින් අහසට එකතු වෙන දුම් රොටු මේ ලියද්දෙත් දකින්න පුළුවන් වෙයි.

ඉඩෝර කාලය අපි හැමෝටම ගෙනත් දෙන්නේ පීඩාවක්. වියළි තණ පත් අතර දුහුවිලි සළු ලෙළ දෙන්නේ දීප්තිමත් හිරුගේ ඔච්චම්, සරදම් අපට සමීප කරන ගමන්. ඉඩෝරය මකන්න පැළයක් හිටුවන්න කරන මතක් කිරීම් හැම තැනකින්ම ඇහෙනවා. ඒත් මීට මාසෙකට කලින් හිට වූ ඇහැළ පැළය ඇසල මාසය වනතුරු තමන්ගේ ජීවය රැක ගන්න මහා සටනක් කරනවා. ඒ පැළවලට වතුර පොදක් ළං කරන්න අපට අමතක වෙලා. හිස් මුදුන දවාගෙන හිරු කිරණ පතිත වෙද්දී හෙවණ හොයාගෙන මැයි ගහ යටට මුවා වෙන්න දුවගෙන ගිය අපි අද නගරයේ වීදිය අයිනේ කිසිම හැඟීමක් නැතිව ඔහේ බලාගෙන ඉන්න දුරකතන කණුවේ හෙවනැල්ලට මුවාවෙන්න කරන්නේ පුදුම උත්සාහයක්. ඒත් එතැනදී හිස මුවා වෙද්දී දෙපය අව් රශ්මිය විඳිනවා. දෙපා මුවා කර ගනිද්දී හිස නොඅඩුව හිරු රැස්වලින් නැහැවෙනවා.

ඊයේ පොළව සිඹගත්ත පිණි වැස්ස වැටෙද්දී මාස කිහිපයක් දකින්නවත්, ඇහෙන්නවත් නැතිව උන්න මැඩියන් මහා හයියෙන් තමන්ගේ සතුට ප්‍රකාශ කළේ එක දිගට නාද කරමින්.

ඒත් ඇත්තටම නියඟය අවසන්ද?

[චමත්ක කවීන් බණ්ඩාර]

-----------

මාතෘකා