දෙවැනි බත ගැන දැනුම් ආකරය කටුනේරියේ ඇගි නෝනා

 ඡායාරූපය:

දෙවැනි බත ගැන දැනුම් ආකරය කටුනේරියේ ඇගි නෝනා

''ඒ දවස්වල කටුනේරිය නා කැලේ ගමටම තිබුණේ පුච්චපු ගලෙන් බැඳපු ගෙවල් තුනක් විතරයි. අනෙක් ඔක්කොම පොල් අතු ගෙවල්. මේ කියන්නේ මීට අවුරුදු අනූවකට එහා කතාවක්.... හැබැයි අද ලංකාවේ හොඳම ගෙවල් තියෙන්නේ මේ පැත්තේ තමයි."

එසේ කියන්නේ, සිය දිවිමඟේ වසර 102ක් ගෙවා 103 වැනි වසරට පියමනිමින් සිටින වර්ණකුලසූරිය දෙහිවලගේ ඇග්නස් කොස්තා මාතාවය. ගම් වැසියන් ඈ හඳුන්වන්නේ "ඇගි නෝනා" යන නමිනි. පනහ දශකයේදී "ඇගි අක්කා" වී සිටි ඇය අද වන විට බොහෝ දෙනා හඳුන්වන්නේ "ඇගි ආච්චි" යනුවෙනි. 1917 වර්ෂයේ ජනවාරි විසි වැනි දින වෙන්නප්පුව කටුනේරිය නා කැලේ ගම්මානයේ උපන් ඇය දරුවන් හයදෙනකුගේ මවකි. ඇගේ උපතේදීම මව මිය යෑම හේතුවෙන් සහෝදර සහෝදරියන් කිසිවකු නොමැතිව කුඩා කල සිට හැදී වැඩී ඇත්තේ ඇගේ මිත්තණියගේ සෙවණේය.

සිල්ලප්පු බාස්

කටුනේරිය, මැද කටුනේරිය විසූ වර්ණකුලසූරිය දෙහිවලගේ සිල්වෙස්ත්‍රි කොස්තා මහතා ඇග්නස් කොස්තා මාතාවගේ පියාය. මව නොමැති දියණිය පණ මෙන් රැකගැනීමේ භාරධූර කාර්යය මැනවින් ඉටු කරන අතරම තම වෘත්තියද කිරීමට සිල්වෙස්ත්‍රි මහතාට හැකිව තිබේ. සිල්වෙස්ත්‍රි යන නම කීමේ අපහසුව හේතුවෙන් ගම් වැසියන් මෙන්ම රට වැසියන්ද මොහු ආමන්ත්‍රණය කර ඇත්තේ "සිල්ලප්පු බාස්" යන ආදරණීය නාමයෙනි.

කටුනේරියේ සිල්ලප්පු බාස් යනු මීට වසර සියයකට ඉහත ලංකාවේ සිටි නමගිය වඩු කාර්මික ශිල්පියෙකි. ඔහුගේ දෑතින් නිමකළ නිර්මාණ රැසක් අදටත් දක්නට ඇති අතර ඉන් ප්‍රධාන වන්නේ කටුනේරිය සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේ ඇති කැටයම් සහිත ගරාදි වැටයි. මීට අමතරව කතෝලික දේවස්ථාන රැසක් ඉදිකිරීමෙහිලා පුරෝගාමී වූ අයකු ලෙසටද සිල්ලප්පු බාස් උන්නැහේ ප්‍රකටය.

"මගේ අම්මා මිරිස්සගේ එව්ජින් ප්‍රනාන්දු. මට එයාව දකින්න වාසනාව ලැබුණෙ නැහැ. ඒ වුණාට එයා නැති අඩුව මගේ ආච්චි පිරෙව්වා. මාව හොඳට හදා ගත්තා. මාව ඉස්කෝලේ යැව්වා. මම ගියේ කටුනේරිය කොන්වන්ට් එකට. ඒ දවස්වල පුත්තලමේ තිබුණු හොඳම ඉස්කෝලේ ඒක තමයි. සියලු පන්තිවලට ඉගැන්නුවේ සිස්ටර්ලා. ඒ වගේම තමයි පිරිමි ළමයින්ට තිබුණා පිරිමි ඉස්කෝලේ. මේක තමයි අද කටුනේරිය සාන්ත සෙබස්තියන් කියලා කියන්නේ. මම හයට ඉගෙනගත්තා. පස්සේ මගේ පාසල් ගමන තාත්තා නැවැත්තුවා. ඒ වුණාට මම ගෙදර ඉඳන් ගෙදර දොරේ වැඩ සියල්ල ඉගෙනගත්තා."

කටුනේරිය

"කටුනේරිය කියන නම හැදුණේ කොහොමද?"

"කටුනේරිය කියලා හැදිලා තියෙන්නේ, රජ බිසවක් මේ ගම හරහා යද්දී නෙරියේ කටු ඇනිලා තියනවා ඒ නිසයි. රජ බිසවගේ නම මොකද්ද කියලා කියන්න මම දන්නේ නැහැ. නෙරියේ කටු පසුකාලීනව කටුනේරිය වුණා කියලා කියනවා. ඒ වගේම තමයි මේ මම ඉන්න ගමේ ගොඩක් නා ගස් තිබිලා ති‍ෙයනවා. ඒ නිසා තමයි මේ ගමට නා කැලේ කියලා කියන්නේ."

ඇගී නෝනා පුංචි සන්ධියේ කටුනේරිය කෘෂිකර්මාන්තයට ඉතා ප්‍රසිද්ධ ප්‍රදේශයක් වී තිබේ. "මෙහෙ ඒ දවස්වල දුන් ගාල් තමයි වැඩිපුර තිබුණේ. ඒ කියන්නේ දුන්කොළ. ඊට අමතරව එළවළු වගා කළා. මට මතකයි අපි පුංචි සන්ධියේ මේ ගාල්වලට අපි කළගෙඩියෙන් වතුර ඇදලා දැම්මා. ඒ දවස්වල අද වගේ බට දාලා වතුර ගහන්න තිබුණෙ නැහැ. ලොකු වගාවක් වුණත් කළගෙඩියෙන් තමයි වතුර දැම්මේ."

විවාහය

ඇගි නෝනාට මල් හී සර වදින්නේ වයස අවුරුදු 16දීය. දේවස්ථානයට යන අතර තුර හා ගෙදර දොරේ වැඩකට කඩමණ්ඩියට ගිය අවස්ථාවක ඈ දැක, ඈ පිළිබඳ සිතක් උපදින තරුණයෙකි; වර්ණකුලසූරිය තිමෝති තමෙල්. ඇගි නෝනාට වඩා වයස අවුරුදු හතකින් වැඩිමහල් තිමෝති මොනිටර් විභාගය නොහොත් කනිෂ්ටය සමත් වූ දක්ෂ තරුණයකු ලෙස ගමේ ප්‍රසිද්ධ වූ අයෙකි. ගුරු වෘත්තියට ඇතුළත් වීම සඳහා සියලු සුදුසුකම් සපුරා තිබියදීත් එය ප්‍රතික්ෂේප කරමින් මේ තරුණයා තෝරා ගත්තේ ගඩොල් කැපීමේ ව්‍යාපාරයයි.

"අද වගේ රජයේ රැකියා බලාගෙන එදා තරුණයෝ හිටියේ නැහැ. තමනට ගැළපෙන සහ කරන්න පුළුවන් දෙයක් කළා. දෑතේ වැඩට මූලිකත්වයක් දුන්නා. ඒ වගේම තමයි මගේ මහත්තයත්. එයා ගඩොල් ව්‍යාපාරය ආරම්භ කරද්දී මේ ගමේ කවුරුත් ඒ කර්මාන්තය ගැන දන්නෙත් නැහැ. එයා තමයි කටුනේරියට පුච්චපු ගඩොල් හඳුන්වලා දුන්නේ.

"ඒ දවස්වල ගෙවල් හැදුවේ පුච්චපු නැති ගඩොලින් නැත්නම් මැටියෙන්. එත් නැත්නම් පොල් අතුවලින්. මට මතක විදිහට මුල්ම ගඩොල් දාහ අපි විකුණුවේ රුපියල් විසිපහට. මේ වැඩේ දියුණු වෙද්දී ගඩොල් පෝරනුව දාන්න අපේ මහත්තයා කොස්වත්තට ගියා "

පරපුර

ඇග්නස් මාතාවට හා තිමෝති මහතාට දරුවන් හයදෙනකු ලැබුණත් එක් දරුවකු වයස අවුරුද්දේදී පමණ මෙලොව හැර ගොස් ඇත. මේ දරුවන්ගෙන් එක් දරුවකු හැර අනෙක් හතර දෙනාම රජයේ රැකියාවල නිරත වූ අය වෙති.

"මගේ ලොකු දුව වර්ණකුලසූරිය එලිසබෙත් තමෙල්. දැන් එයාට අවුරුදු හැත්තෑ නවයයි. එයා හෙදියක්. දෙවැනියා තමයි අවුරුද්දේදී නැති වුණේ. ඒ ලෙඩේට එදා කිව්වේ 'රතේ' කියලා. තුන්වැනියා ජුවාම් තමෙල්. එයා වැඩ කළේ ශ්‍රී ලංකා යුද හමුදාවේ. හතරවැනියා ඇනී මේරි ක්‍රිෂාන්තා. එයා රැකියාවක් කළේ නැහැ. පස්වැනියා රීටා බියට්‍රිස්. එයා පවුල් සෞඛ්‍ය සේවිකාවක්. අපේ පවුලේ බඩපිස්සා ෆ්‍රැන්සිස් ජෝශප් එයත් යුද හමුදාවේ සේවය කරලා දැන් විශ්‍රාම අරන් ඉන්නේ. ඒ වගේම මුනුපුරු මිනිපිරියෝ ගොඩක් ඉන්නවා මට."

හෙදියක වූ එලිසබෙත් මහත්මිය කුඩා කල තම සහෝදරයා මිය ගිය ලෙඩේ පිළිබඳව කීවාය. "ඒ දවස්වල රතේ කියලා කිව්වට මේක වකුගඩු ආශ්‍රිත ලෙඩක්. ඒ දවස්වල ඒ ගැන ලොකු දැනුවත්කමක් තිබුණේ නැති නිසා එහෙම කියන්න ඇති."

දෙවැනි බත

දෙවැනි බත ලෙස "කොස්" හැඳින්වූවත් පසුගිය වසර සියයකට ආසන්න කාලය තුළ කොස් ශ්‍රී ලංකාවේ ජනතාවගේ පළමු බත වූ අවස්ථා අනන්තවත් තිබේ. දෙවැනි ලෝක යුද සමය, දැඩි නියඟ පැවති කාල වකවානු ඇතුළු අවස්ථා කිහිපයක් කොස් ශ්‍රී ලාංකේය ජනතාවගේ පළමු බත වූ අවස්ථා ලෙස සැලකිය හැක. පෝෂ්‍ය පදාර්ථ කිහිපයකින් මෙන්ම ඖෂධීය ගුණයක් හෙබි කොස් තුන් වේලටම ආහාරයට ගත් කාන්තාවක් ලෙස අපේ කතා නායිකාව හැඳින්විය හැක. ඇය කොස් ආහාරයට ගත් සැටි ඇගේ බාල දියණිය රීටා බියට්‍රිස් මහත්මිය කීවාය.

"අපේ වත්තේ කොස් ගස් පහක් විතර තිබුණා. මේ ගස්වල වාරේට මෙන්ම අවාරෙටත් කොස් තිබුණා. මේ අතර හොඳ පැණි වරකා ගහකුත් තිබුණා. මට මතකයි අපි පුංචි කාලේ හැමදාම උදේට කිරි කැඳ හදනවා. ඒ හදලා පැණි වරකා පිඟානක් අපිට දෙනවා. අපිට ඉතින් කරන්න තියෙන්නේ හිස් බඩට කිරි කැඳ බීලා පැණි වරකා කන එක තමයි.

මේ නිවසේ දිවා ආහාරය සඳහා කොස් එකතු නොවුණු දවසක් නැති තරම් බවද ඇගී නෝනාගේ දෙවැනි දියණිය මේරි ක්‍රිෂාන්තා මහත්මිය කීවාය.

"කොස් ගෙඩිය කුඩා කාලේ පැහි. ඊළඟට පොළොස්, ඊළඟට කොස්, ඉදුණම වරකා, මේ සියල්ල අපි අාහාරයට ගත්තා. ගොඩක් දවස්වල දවල්ට කොස් තම්බලා කෑවා නැත්නම් පැහි හරි පොළොස් හරි වෑංජන හදලා තිබුණා."

කොස් අලුවා

'රැස දිගාසිරි' චාරිකාවේදී අවධානයට ලක් වූ කරුණු අතර අභාවයට යන දේශීය අාහාර වර්ග ප්‍රධාන තැනක් ගනී.

ශ්‍රී ලංකාවේ පැරණි සූපශාස්ත්‍ර පොත්වලද නොමැති ආහාර මේ අතර තිබිණි. ඇගි නෝනාගේ නිවසේදී අසන්නට ලැබුණු, මාද මීට පෙර අසා නොමැති කොස් ආශ්‍රයෙන් පිළියෙල කරන කොස් අලුවා හා කොස් අග්ගලා එවැනි දුලබ අතුරුපසකි.

"කොස් වැඩි කාලේට තමයි මේක කළේ. කොස් මදුල පෙති කපලා තෙලෙන් බැදගෙන කුඩුකර ගන්නවා. ඊට පස්සේ පැණි දාලා ගුළි කරගන්නවා. මේකට තමයි කිව්වේ කොස් අග්ගලා කියලා. ඒ වගේම තමයි කොස් අලුවා හදා ගත්තෙත්. ඒකෙදි කුඩුකර ගත්තු කොස්වලට පැණි උණුකරලා, වක්කරනවා. ඊට පස්සේ පිටි ඇතිරූ දීසියකට දාලා කෑලි කපා ගන්නවා."

කොස් ඇට බැදුම මේ නිවසේ මූලිකයාගේ කැමතිම ආහාරය වී තිබේ. විශ්‍රාමික හෙදියක වන එලිසබෙත් මහත්මිය කොස් ඇට බැදුම සකස් කරගන්නා අාකාරය විස්තර කළාය. "කොස් ඇට තම්බලා තළනවා ඊට පස්සේ ලුණු කහ අතගාලා තෙලෙන් බදිනවා. සමහර දවස්වලට මේකට මිරිස් එකතු කර ගන්නවා."

මේ නිවසේ සාමාජිකයන් කොස් ආශ්‍රිත කෑම වර්ග පිළිබඳ විශේෂඥයන්ය. ඔවුන් දන්නා කොස් ආහාර ගැන වෙනම ලිපියක් හෝ ඇතැම් විට කිහිපයක් වුවද ලිවිය හැකිය. ඒ අතර වැලි කොස් ඇට මාලුව, පැහි වෑංජනය, පොළොස් වෑංජනය වැනි වෑංජනද තිබේ.

මේ නිවසේදී කියැවුණු තවත් වැදගත් කතා අතර කොස්වල ඇති ඖෂධීය ගුණය පිළිබඳ කිව යුතුවම ඇත.

"කොස් සිබිඩිවල අධික ලෙස පොටෑසියම් පවතින නිසා මෙම ආහාර හෘදයට ඉතාම හිතකරයි. හෘදස්පන්දනයේ පවතින අක්‍රමිකතා දුරු කරන කොස් සිබිඩි රසවත් ආහාරයක්. ඒ වගේම අධික රුධිර පීඩනය වැනි තත්ත්වයන්ගෙන් මිදෙන්නට පුළුවන්." ඒ දැනුම නර්ස් නෝනාගේය.

පවුල් ජීවිතය

ඇගි නෝනා නිවසටම වී කාලය ගත කළ කාන්තාවක් බව කීවත් ඇය සිය ස්වාමියාගේ සියලු කටයුවලට සහාය දී තිබේ. ගඩොල් පොරනුවේ රාජකාරියේ සිට කරත්තයේ ගොනා බැඳීම දක්වා කටයුතුවලට ඇය හවුල් විය.

"අපේ ගෙදර හිටියා සුදු අං දිග ලොකු හරක් දෙන්නෙක්. මේ දෙන්නා කාටවත් පාලනය කරන්න බැහැ. මට විතරයි පුළුවන්. ඒ දවස්වලත් මේ හරකෙක් රුපියල් විසිදහසක් විතර වටිනවා. මුන් දෙන්නා කින්‍යා වර්ගයේ කියලා තමයි කීවේ. ඒ දවස්වල මේ දෙන්නා දුණු බාගේ බැඳගෙන නොයන තැනක් නැහැ. කට්ටිමහන, මඩු පල්ලි, ඒ වගේ රට වටේ යනවා. අද කාලේ කාර් එක වගේ තමයි."

ඇග්නස් මාතාව හා තිමෝති මහතා ඉතා සුන්දර ජීවිතයක් ගත කර තිබේ. වසර කිහිපයකට ඉහතදී තිමෝති මහතා ස්වර්ගස්ථ වී ඇති නමුත් ඔහු පිළිබඳ ඇගේ මතකය ඉතා සුන්දරය.

"ඒ දවස්වල හැම සතියෙම සෙනසුරාදට මම යනවා මහත්තයා බලන්න. මම යන්නේ පයින්. සැතපුම් පහක් විතර තියනවා මහත්තයාගේ ගඩොල් පෝරනුව තිබුණු තැනට. හැබැයි එයා එද්දී මාව පයින් එවන්නේ නැහැ. කරත්තේ මාව ගෙනල්ලා බස්සලා යනවා. ඒක තමයි අපි දෙන්නගේ ආදරේ"

ඇගි නෝනාට සැලකීමට දරුවෝ පස් දෙනෙක් සිටිති. මාරුවෙන් මාරුවට ඇය ආසන්නයේ ඉන් කවුරු හෝ සිටී. මේ අතර වෛද්‍ය විද්‍යාව පිළිබඳව දත් දෙදෙනෙකි. මේ හේතුවෙන් ඇයට කිසිදු තනිකමක් හෝ අඩුපාඩුවක් නොමැත.

'රැස දිගාසිරි' චාරිකාවට සියවස සපිරූ වැඩිහිටියන් ගැන බොහෝ විට ඔත්තු ලැබෙන්නේ හැම බ්‍රහස්පතින්දාවකම ආසාවෙන් එය කියවන පාඨකයන්ගෙනි. ඇතැම් විට සියවස සපිරූවන්ගේ දූ දරුවන් හෝ නෑසියන්ගෙනි. සියවස සපිරූවකුගෙන්ම එවැනි තොරතුරක් ලැබුණේ පළමු වතාවටය.

"මගේ නෑනා ඉන්නවා එයාගේ නම කැතරින්. එයාටත් තව මාස හතරකින් සීයයි. එයාවත් බලන්න එන්න." ඇග්නස් මාතාව සතුටින් පැවසුවාය.

 

[ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න]

මාතෘකා