ICCPR පනත : නීතිඥ ආචාර්ය නලින් අබේරත්න

 ඡායාරූපය:

ICCPR පනත : නීතිඥ ආචාර්ය නලින් අබේරත්න

දිගන සිද්ධියේදී හා මෑතක පාස්කු ප්‍රහාරයේදී බොහෝ දෙනා බන්ධනාගාර ගතවූ හා බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ පනතකි; 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයි.සී.සී.පී.ආර්.). එය විමසන්නට පෙර මඳක් අපගේ රටේ මෙවැනි පනතක් පැනවීමට හේතු සහගත වූ කරුණු කාරණා කෙරෙහි ඇස යොමු කිරීම වටනේ යැයි මට සිතේ. අප වසර 30ක අඛණ්ඩ සිවිල් යුද්ධයකට පැටලී සිටි ජාතියකි. කෙසේ හෝ අපි යුද්ධය දිනුවෙමු. එහෙත් අපට යුද්ධය නිසා අහිමි වූ දෑ බොහෝය. සංවර්ධනය වෙමින් පවතින රටක් එම වසර 30 තුළ දියුණුම රාජ්‍යයක් බවට පත්කළ හැකිව තිබිණි. එපමණක්ද? එරටෙහි ජනතාවගේ බියෙන් සැකයෙන් තොරව නිදහසේ ජීවත් වීමේ අයිතිය එතරම් කලක් යටපත්ව තිබෙන්නට ඇත්ද යන්න අමුතුවෙන් කිව යුත්තක් නොවන්නේ අපි සියල්ලෝම එකී අත්දැකීම අත්විඳි ජනතාවක් වන හෙයිනි. එවැනි අසුන්දර කටුක අත්දැකීම් යළි යළිත් සිදු නොවන්නට රටක රජයක් ලෙස නොයෙකුත් පියවර ගැනීමට සිදුවිය. එක් අතකින් නීතිමය වශයෙන්ද අනෙක් අතින් පූර්ව ව්‍යුහාත්මක වෙනස්කම්ද වහ වහා කළ යුතුව තිබේ. 2009 යුද්ධය අවසන් වීමට පෙර පවා යම් යම් නීති ප්‍රතිපාදන සම්පාදනය කරගත යුතුව තිබිණි. එයින් සමහර පියවර තබනු ලැබුවේ ජාත්‍යන්තර සම්මුතීන් හා සමගාමීව කටයුතු කිරීමේ පරමාර්ථයෙනි. එවන් එක් ප්‍රගතිශීලී නීතිමය පියවරකි 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයි.සී.සී.පී.ආර්.) පනත.

එකී පනතේ පූර්විකාවේම කියා තිබෙනුයේ “සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (අයි.සී.සී.පී.ආර්.) ව්‍යවස්ථාමය පියවර මඟින් පිළිගැනීමක් ලබාදී නැති මානව හිමිකම්වලට අදාළ ඇතැම් ව්‍යවස්ථා බලාත්මක කිරීම සඳහාද ඊට සම්බන්ධ හෝ ආනුෂාංගික කරුණු සඳහාද විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනතකි” යනුවෙනි.

එසේ නම් අපේ රටේ මූලිකම ලියවිල්ල වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අඩංගු නොවුණු සමහර මානව හිමිකම් තවදුරටත් ලබාදෙන ඌනපූරණයක් එයින් බලාපොරොත්තු වනවා යැයි යන්න එහි මුඛ්‍ය අදහස බව පැහැදිලි වේ. තවදුරටත් සඳහන් වන්නේ ජාත්‍යන්තර සම්මුතීන්වලට සමගාමී වීම සඳහාද මෙම පනත ගෙන ආ බවයි.

“1966 දෙසැම්බර් මස 16 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරගනු ලැබ 1976 මාර්තු මස 23 වැනි දින බලාත්මක වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව රාජ්‍ය පාර්ශ්වයක් වන හෙයින්ද ඉහත කී සම්මුතියට

ශ්‍රී ලංකාව විසින් 1980 ජුනි මස 11 වැනි දින එකඟත්වය දෙන ලද හෙයින්ද ඉහත කී සම්මුතියේ සඳහන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලින් සැලකිය යුතු ප්‍රමාණයකට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන්ම පාර්ලිමේන්තුව විසින් පනවන ලද වෙනත් නීතිවලද ව්‍යවස්ථාමය පිළිගැනීමක් ලබාදී ඇති හෙයින්ද

“මෙතෙක් ප්‍රමාණවත් ලෙස ව්‍යවස්ථාමය පිළිගැනීමක් ලබාදී නැති ඉහත කී සම්මුතියේ සඳහන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට උචිත නීති සම්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රජයට අවශ්‍ය වී ඇති හෙයින්ද

ආදී වශයෙන් දක්වා ඇත. එසේ නම් රටේ මූලික ව්‍යවස්ථාවේ සඳහන් නොවුණු එසේම ජ්‍යාත්‍යන්තර සම්මුතීන් අනුව පිළිගැනුණු සමහර අයිතිවාසිකම් ඒ හා සමගාමීව ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ලබාදීම මෙන්ම එකී අයිතිවාසිකම් තීව්‍ර කිරීම පිණිසද මෙකී පනත හඳුන්වා දුන් බව පැහැදිලිය.

එහෙත් ජනතාව අතරට ගිය මතය එය නොවේ. ඔවුන්ගේ පොදු මතය වූයේ රජයකට හෝ පොලිසියකට තමාගේ සතුරන් හෝ තරහකරුවන් මර්දනය කිරීමට මෙම පනත් ගෙන ආ බවයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම යෝජිත ප්‍රතිත්‍රස්ත පනතද එවන් කතාබහට ලක්වුණු සහ ලක්වෙන පනත්ය. එහෙත් එම පනත් මෙන් නොව මෙම 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයි.සී.සී.පී.ආර්.) යන වචනවලම තිබෙන අදහස් කිසියම් ජන කොට්ඨාසයක අයිතීන් මර්දනය කිරීම නොව අයිතීන් වඩාත් තහවුරු කිරීම බව මෙම පනත පුඵල්ව විග්‍රහ කරන කල්හි පෙනේ. එසේ නම් ජනතාවගේ ඔළුගෙඩිවලට මොළවලට පපු කැවුතුවලට “රිමාන්ඩ් කරන පනතක්” බවට මේ පනත කිඳා බැස්සේ කෙසේද? එයට එක් උත්තරයක් නම් මෙම පනතේ 3(1) වගන්තියේ “කිසිම තැතැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙලඹවීම් නොකළ යුතුය.” යනුවෙන් සඳහන් කාරණය හරහා සිදුවූ සිද්ධීන්, සිද්ධි දාමයන් නිසාය. 2018 මාර්තු මස දිගන සිද්ධියත් සමඟ බොහෝ දෙනා විශේෂයෙන්ම සිංහල ජන කොට්ඨාස බන්ධනාගාර ගතවන ලදි. ඒ මෙම පනතේ 3 වැනි වගන්තිය (4) වැනි උප වගන්තිය ප්‍රකාරව “මේ වගන්තිය යටතේ වූ වරදක් සංඥෙය සහ ඇප දිය නොහැකි වරදක් විය යුතු අතර එවැනි වරදක් සිදුකර ඇති බවට සැක කරනු ලබන හෝ චෝදනා ලැබ සිටින කිසිම තැනැත්තකු විශේෂ අවස්ථානුගත කරුණුවලදී මහාධිකරණය විසින් හැර ඇප මත මුදා හරිනු නොලැබිය යුතුය.” ආදී වශයෙන් සඳහන් කර තිබේ.

ඒ අනුව 3 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය ආකාරයේ වරදක් කළ විට ඇප ලබා ගැනීම මහාධිකරණයට අඩු අධිකරණයකින් සිදු කළ නොහැක. තවත් ලෙසකින් කියනවා නම් ඇප ලබා ගැනීමේ මුල් අවස්ථා අධිකරණය වන්නේ මහාධිකරණයයි. ඒ අනුව සාමාන්‍යයෙන් ඇප සම්බන්ධයෙන් බලපානු ලබන 1997 අංක 30 දරන ඇප පනත මේ අවස්ථාවේදී අදාළ නොවන බව මෙයින් ගම්‍ය වේ. ඇප පනතේ 2 වැනි වගන්තියෙන් කියනුයේ “මේ පනතේ මින් මතු විධිවිධාන සලස්වා ඇති පරිදි වූ ව්‍යාතිරේකවලට යටත්ව මේ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ අනුගම්‍ය ප්‍රතිපත්තිය විය යුත්තේ ඇප දීම රීතිය වශයෙන් සැලකීම සහ ඇප දීම ප්‍රතික්ෂේප කිරීම ව්‍යාතිරේකයක් ලෙස සැලකීමයි” වශයෙනි. එසේ නම් ඇප දීම රීතිය වන අතර ඇප ප්‍රතික්ෂේප කිරීම ව්‍යතිරේකයයි. එසේ වන්නේද ලෝකයේ පිළිගත් ස්වර්ණමය රීතියක් වශයෙනි. එකී ස්වර්ණමය රීති අතර (Presumption of innocence) අහිංසකත්වයේ පූර්ව නිගමනය එනම් කිසිවකුට එරෙහිව චෝදනාවක් ඔප්පු කරනු ලබන තාක්කල් ඔහු නිර්දෝශී පුද්ගලයකු බවට උපකල්පනය කළ යුතු බවට වන උතුම් රීතියයි.

එංගලන්තයේ යුගයේ විනිසුරුවරයා (Judge of the Era)

ලෙස සැලකෙන Lord Denning සාමිතුමා එක් අවස්ථාවකදී මෙසේ ප්‍රකාශ කළේය.

දෙවියන් වහන්සේ ලෝකය, මිනිසා ගැහැනිය සහ ඵල සහිත තහනම් ගස මැවූවද ආදම්ට සහ ඒවාට තමා පැනවූ නීතියම කඩකර තිබියදීත් කරුණු කියන්නට අවස්ථාවක් දුන් බවයි. එසේ නම් සෑම තැනැත්තකුටම සාධාරණ නඩු විභාගයකටවත් (Fair trial) මුහුණ දීමට තිබෙන අයිතිය ස්වරණමය රීතියකි. එසේ නම් වත්මන් නීතිය අර්ථයෙන් ගත්කල තමාට එරෙහිව චෝදනාවක් ගොනු කළ විට එකී චෝදනාවට නිවැරදිකරු යන විත්තිවාචකය ඉදිරිපත් කර සුදුසු හා සාධාරණ ඇපයක් මත එළියට විත් නිදහසේ නඩු විභාගයකට මුහුණදීමට අයිතියක් තිබිය යුතුය යන්නයි. ඒ අනුව අපගේ ඇප පනත බලපාන නීතිමය කටයුතුවලදී එකී නඩුවේ විත්ති පාර්ශ්වයට ලැබෙන සාධාරණ අවස්ථාව මෙම පනතේ 3 (4) වගන්තිය අනුව අහිමි වී යයි. දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව ගෙවීමට සිදුවේ. එවිට කිසියම් හෙයකින් නඩුව අවසානයේ විත්තිකරු නිදොස් කොට නිදහස් වුවහොත් කිසිදු හේතුවක් නොමැතිව ඔහුට දඬුවමක් ලබා දී ඇත. එය මුළු මහත් මානව චින්තනයම ප්‍රජාතන්ත්‍රවාදී නීතියම ආපසු හැරවීමක් බඳුය.

2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයි.සී.සී.පී.ආර්) සමඟ 2018 මාර්තු මස 06 වැනි දින පැනවූ 2061/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශිත හදිසි නීති රෙගුලාසි තත්ත්වයත් සමඟ එනම් මා පසුගිය ලිපියේ සඳහන් කළ නීති රෙගුලාසි 12(1) කඩකිරීමෙන් වරදක් කළ විට තවත් තත්ත්වය බරපතළ වේ. මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ යන අය සහ තවත් අය පසුගිය වසරේ දිගන සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස බන්ධනාගාර ගතවූයේ ඉහත කී පනත් හා නීති රෙගුලාසි යටතේය. එලෙස සිංහල ජන කොට්ඨාසයක් බන්ධනාගාර ගතවූ පනතම හා හදිසි නීති රෙගුලාසියම මෙවර මුස්ලිම් අන්තවාදීන්ට බලපානු ලැබූවේද එක අයුරින්මය. ඒ නිසාය මා පසුගිය ලිපියේ ප්‍රකාශ කරනු ලැබූයේ රටක හදිසි නීතිය බල පැවැත්වීමේ තිබෙන විපාකය. දෙමළ ත්‍රස්තවාදයට බලපානු ලැබූයේත් එකී නීතියම වේ. එහෙත් මෙම 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජ්‍යාත්‍යන්තර සම්මුතිය (අයි.සී.සී.පී.ආර්)

පනතින් කියැවෙන්නේ සෑම සියලු ආකාරයේම අයිතිවාසිකම් ගැනය. ඒ අනුව වරදක් සිදු කළ බවට චෝදනා ලැබ සිටින තැනැත්තන්ගේ අයිතිවාසිකම් පවා එකී පනතේ 4 (1) වගන්තියේ දක්වා තිබේ.

එහෙත් අප සමාජයේ කතාබහේදී විශේෂයෙන්ම සමහර මුද්‍රිත මෙන්ම විද්‍යුත් මාධ්‍ය ඔවුන්ගේ ප්‍රචාරවලදී දක්වනු ලැබූයේ හුදෙක් එක් ජන කොට්ඨාසයකට පමණක් එනම් සිංහල බෞද්ධයන්ට පමණක් විශේෂ කොට පළිගැනීමට මෙසේ කරනු ලැබූ බවයි. ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ අවස්ථාවල මෙම පනත යටතේ නඩු පවරා තිබේ. කෙසේ වෙතත් මෙම බොහෝ නඩුවලදී දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතවී සිටීම මා දුටු ප්‍රායෝගික සත්‍යයකි. මෙම පනත යටතේ විශේෂයෙන් 3 වන වගන්තියේ (1) උප වගන්තිය ප්‍රකාරව නඩු පැවරූ අවස්ථාවලදී මහාධිකරණ විනිසුරුවරුන් ඇප දීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවන් වැඩි වශයෙන් දක්නට ලැබිණි. ඔවුන්ගේ මතය වූයේ වසර 30ක යුද්ධය පැවති තත්ත්වයට රට නැවත ආපසු හැරවීමට ඉඩ නොදිය යුතුය යන්නයි. මෙම පනතේ 3(4) උප වගන්තිය ප්‍රකාරව ඇප ඉල්ලීමේදී අති විශේෂ කරුණු ඉදිරිපත් කළ යුතුය.

අති විශේෂ කරුණු මොනවාද යන්න කිසිම නීතියක අර්ථ නිරූපණය කර නොමැති අතර එසේ සඳහන් කිරීමද ප්‍රායෝගිකව කළ නොහැකි කරුණකි. නඩුවෙන් නඩුවට විනිසුරුවරයාගෙන් විනිසුරුවරයාට අති විශේෂ කරුණු යන්න විග්‍රහ කිරීමේ පුළුල් නිදහසක් පුළුල් අරුතක් මෙම සිද්ධාන්තය යටතේ හිමි වේ. මෑතකදී කොළඹ උසාවියක පැවතුණු මෙවන් නඩුවක අවස්ථා ගනණාවක අති විශේෂ කරුණු ඉදිරිපත් කරමින් ඇප අයදුම්පත් ඉදිරිපත් කළද විනිසුරුවරයා විසින් එකී ඇප අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප කරන ලදී. ඉන්පසු අවස්ථාවකදී විත්තියේ නීතිඥවරයාගේ තර්කය වූයේ අති විශේෂ කරුණක් නොතිබීමම අති විශේෂ කරුණක් වන බවයි. එයම පිළිගත් විනිසුරුවරයා එම විත්තිකරුවන්ට ඇප ලබාදෙන ලදි. ඒ අනුව උසාවියෙන් උසාවියට විනිසුරුවරයාගෙන් විනිසුරුවරයාට අභිචෝදක පක්ෂයෙන් අභිචෝදක පක්ෂයට අති විශේෂ කරුණු යන්න විග්‍රහ කරන ආකාරය වෙනස් වේ. එසේම සමාජ කථිකාවතේ සඳහන් පරිදිම අවශ්‍ය නම් රජයකට හෝ පොලිසියකට තම දේශපාලනික හෝ පෞද්ගලික අභිමතාර්ථ සාධනය කර ගැනීමට පළිගැනීමේ චේතනාවෙන් මෙම පනතේ 3 (4) උප වගන්තිය ප්‍රකාරව කටයුතු කළ හැකිය. එය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන මෙන්ම භයංකාරය.

මාතෘකා