හිස් මත පාත් වූ කුණු කන්ද වසා ඇස් අදහාගත නොහැකි උයනක්

 ඡායාරූපය:

හිස් මත පාත් වූ කුණු කන්ද වසා ඇස් අදහාගත නොහැකි උයනක්

මීතොටමුල්ල ප්‍රදේශයට කොළඹ හතරවටේ එකතුවන කුණු කසළ බැහැර කිරීම ආරම්භ වන්නේ 2008 වසර තරම් ඈතක සිටය. බ්ලූමැන්ඩල් කුණු කන්දට කසළ බැහැර කිරීම අත්හිටුවීමත් සමඟ මීතොටමුල්ලට දිනකදී බැහැර කරන කසළ ප්‍රමාණය ටොන් 800ක් බව එකල වාර්තා විය. දිනෙන් දින විශාල වූ මීතොටමුල්ල කුණු කන්ද අවාසනාවන්ත ලෙස පුපුරා යන විට එය අක්කර 18ක භූමියක පැතිර තිබිණ. සුන්දර නාගරික උද්‍යානයක් වීමට සැරසෙන්නේ එවැනි කසළ බිමකි.

අක්කර දහඅටක් පුරා මීටර් තුන්සීයක් උඩට නැඟී තිබූ කන්ද සමනල කන්ද නොවේ, එය පිදුරුතලාගලද නොවේ, එහි සොබාදහමේ අපූරු චමත්කාරයක්ද නොවේ.

එය මිහිපිට අපායක් බඳු 'කුණු කන්දකි'. ඒ කවුරුත් හොඳින් දැන සිටි 'මීතොටමුල්ල කුණු කන්ද'ය.

"උයාගත්ත දේ කන්න බෑ..අසනීපවල කෙළවරක් නෑ..දරුවෙක්ගේ ඇඳුමක්වත් වේලාගන්න බෑ..කුණු වෙච්ච මස් කෑලි,මාළු කෑලි අරගෙන කපුටෝ ඉගිලෙනවා. ඒවා ඇඳුම්වලට වැටෙනවා. නොදරුවෝ මිදුලට බැස්සම සත්තු කුණු කන්දෙන් ගෙනත් දාන ජරාව අහුලගෙන කනවා..මේක අපායක්."

එදවස කුණු කන්ද පාමුල මිනිසුන්ගේ සුලබ කතාව එසේ විය. එවැනි කතා සිය දහසක් අහුලා ගන්නට ඒ ඉසව්වෙන් අපහසු වූයේ නැත. වසර ගණනක් තිස්සේ ඔවුහු කලින් කල බලයට ආ මැතිඇමැතිවරුන්ට තම දුක කීහ. එහෙත් ප්‍රශ්නයට පිළිතුර ප්‍රශ්න වැලක්ම ඉතිරි කරමින් කාලයද ඔහේ ගතවී ගියේය. සිදු වූ එකම දේ කුණු කන්ද දිනෙන් දින විශාල වීමත් ඒ කුණු කන්ද පාමුල ජීවත් වූ පොඩි ඈයෝ ලොකු ඈයෝ වීමත් ලොකු ඈයෝ වයසක ඈයෝ වීමත් පමණි.

වසර ගණනාවක් තිස්සේ කොළොම්පුරේ තැන තැන එකතු වූ කුණුවලින් තැනුණු ඒ මහා කුණු කන්ද අවසන දරාගත නොහැකි බර පුපුරා හැරියේ පාමුල සිටි අහිංසක මිනිසුන්ගේ හිස් මතටය. 2017 වසරේ බක්මහ කුමාරයා රටම වැලඳ ගනිද්දී මීතොටමුල්ලේ ජනතාවට සිදු වූයේ අනුන්ගේ කුණුවලට ජීවිතවලින් වන්දි ගෙවන්නටය. පුපුරා නාය ගිය කුණු කන්ද වසර විස්සක් පුරා ඒ කුණු කන්ද නිසා දුකම උහුලාගෙන සිටි අහිංසක මිනිසුන්ට සරදම් කළේ එලෙසිනි.

බොහෝ දෙනකුගේ ඇස් ඇරුණේ ඉන් පසුවය. කුණු ප්‍රශ්නයට තිරසර විසඳුමක් අවැසි බව වටහා ගත් බලධරයන් ඒ සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කළේය. බස්නාහිර පළාතේ කසළ ප්‍රශ්නයට තිරසර විසඳුම් රැසක් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් සකස් කරනු ලැබූ අතර එහිදී මීතොටමුල්ල කුණු කන්ද කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්නට විෂය බාර අමාත්‍යවරයා විසින් පියවර ගනු ලැබීය. මීතොටමුල්ල කසළ කන්ද ආශ්‍රිත භූමිය නාගරික උද්‍යානයක් බවට පත් කිරීමේ කාර්ය නාගරික සංවර්ධන අධිකාරියට පැවරෙන්නේ ඒ අනුවය.

වසර ගණනාවක් තිස්සේ ප්‍රදේශවාසීන්ට මිහිපිට අපායක් බවට පත්ව තිබූ මීතොටමුල්ල කසළ අංගණය සොඳුරු නාගරික උද්‍යානයක් බවට පත් කිරීමේ සමාරම්භක අවස්ථාව හා රුක් රෝපණ වැඩසටහන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ. මීතොටමුල්ල යෝජිත නාගරික උද්‍යාන ව්‍යාපෘති පරිශ්‍රය සොඳුරු නාගරික උද්‍යානයක සිරි ගන්නට සැරසෙමින් සිටින මොහොතක අපි එහි අලුත් තතු සොයා ගියෙමු.

ඛේදවාචකයක් මතින් නැඟෙන සංවර්ධනයේ අරුණලු දකින්නට මෙන් කොළොන්නාවේ ජනතාවද එම ව්‍යාපෘතියෙන් පිබිදී සිටින බවක් පෙනෙන්නට තිබිණ.

මීතොටමුල්ල ප්‍රදේශයට කොළඹ හතරවටේ එකතුවන කුණු කසළ බැහැර කිරීම ආරම්භ වන්නේ 2008 වසර තරම් ඈතක සිටය. බ්ලූමැන්ඩල් කුණු කන්දට කසළ බැහැර කිරීම අත්හිටුවීමත් සමඟ මීතොටමුල්ලට දිනකදී බැහැර කරන කසළ ප්‍රමාණය ටොන් 800ක් බව එකල වාර්තා විය. දිනෙන් දින විශාල වූ මීතොටමුල්ල කුණු කන්ද අවාසනාවන්ත ලෙස පුපුරා යන විට එය අක්කර 18ක භූමියක පැතිර තිබිණ. සුන්දර නාගරික උද්‍යානයක් වීමට සැරසෙන්නේ එවැනි කසළ බිමකි.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර විස්තර අපි එහි නියෝජ්‍ය ව්‍යපෘති අධ්‍යක්ෂ එම්.එම්. අනුර ප්‍රසන්න මහතාගෙන් විමසුවෙමු.

"2017 නාය යෑමෙන් පසු මේ ස්ථානයේ මේ කුණු කන්ද ඒ ආකාරයෙන්ම පැවතුණා. ඒ නිසා අවට පරිසරයට, ඇළ මාර්ග පද්ධතියට සහ සාමාන්‍ය ජන ජීවිතයට විවිධ බලෑම් සිදු වුණා. ඒ කරුණු සලකා බැලීමෙන් පසුව තමයි රජය විසින් මෙම කුණු කන්ද ආශ්‍රිතව නාගරික උද්‍යානයක් සකස් කිරීමට තීරණය කරනු ලැබුවේ. ඒ අනුව මෙම කසළ අංගණය නාගරික උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදු වෙනවා."

අක්කර 18ක බිමක් පුරා පැතිරි විශාල කුණු කන්දක් නාගරික උද්‍යානයක් කිරීමේ කාර්ය කිසිසේත් පහසු එකක් නම් නොවනු ඇත. නමුත් ඒ සඳහා වන නිසි සැලසුමක් නාගරික සංවර්ධන අධිකාරිය සතුව තිබේ.

සංවර්ධනය කිරීම සඳහා තෝරාගෙන තිබෙන භූමියට 2017 වසරේදී නාය යෑමට ලක්වූ ප්‍රදේශය සමඟ මීතොටමුල්ල පාසල සහ තෙල් සංස්ථාවට අයත් භූගත නල පද්ධතියක්ද අයත් වේ. ව්‍යාපෘතිය තුළ මූලික අරමුණ වන්නේ කසළ කන්ද ප්‍රතිනිර්මාණය කර වෙනත් භාවිතයක් සඳහා එය ඵලදායී ලෙස යොදා ගැනීමයි. එහිදී කසළ කන්ද ආශ්‍රිත පරිසර පද්ධතිය අගනුවරට ගැළපෙන ආකාරයට ප්‍රතිනිර්මාණය කිරීමක් අපේක්ෂා කෙරේ. 2004 වසරේදී පමණ මෙම කසළ කන්ද ආශ්‍රිතව ජනාවාස ඇති වී තිබෙන අතර රජයට අයත් ඒ සියලුම ඉඩම්වල පැල්පත්වාසීන් පදිංචි වන්නට පටන්ගෙන ඇති අතර 2009 වන විට මෙම තත්ත්වයේ වැඩි වීමක් දැක ගත හැකි විය. කෙසේ වෙතත් ඒ සියලු දෑ ඇතුළුව නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 39ක පමණ භූමි ප්‍රමාණයක් ඉදි කිරීමට නියමිත නාගරික උද්‍යානයට අයත් වේ. එම භූමිය සොඳුරු පරිසර හිතකාමී නගරයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවනු ලැබ තිබේ.

නාය යෑමට ලක්වූ කසළ කන්ද ඒ සඳහා භාවිත කරන්නේ කෙසේද යන්න කෙනකුට ප්‍රශ්නයක් විය හැකිය.

"දැන් පවතින කසළ කන්ද පාලනයෙන් තොර කසළ කන්දක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ එහි අපජලය කළමනාකරණයක් සිදුවන්නේ නැහැ. ඒ වගේම එයින් පරිසරයට පිටකරන අහිතකර වායු සම්බන්ධයෙන් පිරිපහදුවක් සිදුවන්නේ නැහැ. ඒ වගේම කසළ කන්දක ජීව කාලයක් තිබෙනවා. ඒ කියන්නේ කසළ දැමීම පටන්ගන්න, ක්‍රියාත්මක වන සහ අවසන් වන කාලයක් තිබෙනවා. ඒ අවසන් වන කාලය කුමක්ද කොහොමද ඒක අවසන් කරන්නේ කියන කාරණාය ගැන සැලසුමක් සහ අවබෝධයක් තිබිය යුතුයි. බොහෝ වෙලාවට වෙනත් රටවල් නම් කරන්නේ මේ සඳහා සනීපාරක්ෂක කසළ රඳවන භාවිත කිරීමයි. නමුත් අපි කවුරුත් දන්නවා මේ කසළ කන්දට එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. මේ ව්‍යාපෘතියෙන් අපි මූලිකවම කරන්නේ පාලනයක් රහිතව තිබුණු කසළ කන්ද පාලනයකට යටත් කිරීමයි. එහිදී අපජලය සහ වායු කළමනාකරණය නිසි පරිදි සිදුවනවා. ඒ වගේම මේ කන්ද මීටර් 48ක් තිබුණා. මේ ව්‍යාපෘතිය යටතේ අපි මුලින්ම එය මීටර් 31 දක්වා අඩු කරලා ස්ථායීභාවයට පත් කරනවා. එහෙම ස්ථායි මට්ටමට ගෙනාවට පස්සේ දෙවැනි අදියර විදිහට තමයි අපි මෙය උද්‍යානයක් බවට පත් කිරීම සිදුකරන්නේ. එහිදී අපි මූලික කරුණු කිහිපයක් පිළිබඳ සැලකිල්ල යොමු කර තිබෙනවා."

ඒ අනුව එම සැලසුම් සියල්ල සිදුවන්නේ විධිමත් ක්‍රමවේදයකට අනුවය. මෙම කසළ බිම උද්‍යානයක් ලෙස සකස් කිරීම සඳහා කරුණු රැසක් ඉටු කර ගැනීම අවශ්‍ය වේ. එයට හේතුව මෙහි වසර ගණනාවක් තිස්සේ කුණු දමා ඇත්තේ පාලනයකින් තොරව වන නිසාය. එබැවින් කසළ කන්දේ තිබෙන බෑවුම පවත්වාගෙන යෑම, කසළ කන්ද තුළ තිබෙන අනවශ්‍ය සහ අහිතකර වායු පිටතට ගෙන දහනය කිරීම හෝ වෙනත් ඵලදායී යමක් සඳහා යෙදවීම, අපජලය කළමනාකාරණය මෙන්ම උද්‍යානයක් ලෙස ඉදිරියට මෙම භූමිය පවත්වාගෙන යන්නේ කෙසේද යන ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහා තාක්ෂණික ශක්‍යතා අධ්‍යයනක් කිරීම අවශ්‍ය වේ. එම කටයුත්ත සිදුකරනු ලබන්නේ ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් වන අතර මෙම ව්‍යපෘතිය සඳහා සම්පූර්ණ මූල්‍ය දායකත්වය දරන්නේ නාගරික සංවර්ධන අධිකාරියයි.

එසේ නාගරික සංවර්ධන අරමුදල විසින් දරනු ලබන බරපැන වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවාද යන්නද විමසිය යුත්තකි. මන්ද එසේ වැය කරනු ලබන්නේද ජනතා මුදල් වන නිසාය. මීතොටමුල්ල කසළ අංගණයේ ඉදිවන නාගරික උද්‍යානයට වැය කරන මුදල් නැවත ආයෝජනය කර ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට සැලැස්මක් තිබේ. එනම් ව්‍යාපෘතිය අවට ඇති භූමි ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිලාභ ලබා ගත හැකි ක්‍රීඩාංගණයක්, පහසුකම් සහිත ප්‍රජා ශාලාවක් වැනි ස්ථාන ඉදි කිරීම තුළින් ඒ හරහා නැවත රජයට ආදායමක් ළඟා කර ගැනීම එම අධිකාරියේ සැලැස්මයි.

කසළ කන්ද මත නිර්මාණය කරනු ලබන උද්‍යානය ප්‍රධාන මට්ටම් හතක් යටතේ ඉදිකිරීමටද නියමිත අතර ඒ සෑම මට්ටමකදීම ඒ ඒ මට්ටමට ආවේණික වූ ජනතාවට විනෝද අංගයක් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ විශේෂ ලක්ෂණයකි. එහි ඉහළම මට්ටමේදී කොළඹ නගරය හොඳින් දර්ශනය වන සුන්දර දර්ශන තලයක් නිර්මාණය වනු ඇත. එමෙන්ම එය ජනතාවට විවේක කාලය නිදහසේ ගත කළ හැකි පහසුකම්වලින්ද සමන්විත වනු ඇත.

"මේ උද්‍යානය අවට ජනතාවට විශේෂ ප්‍රතිලාභ ගෙන එන ස්ථානයක් බවට පත් කිරීම අපේ අරමුණයි. මීතොටමුල්ල කුණු කන්දත් එක්ක ඒ අවට පැල්පත්වාසීන්ගේ ජනගහනය වර්ධනය වුණා. ඒ එක්කම එම ප්‍රදේශයේ සමාජ විරෝධී කටයුතුත් වර්ධනය වුණා. නමුත් මේ උද්‍යානය ඉදි වුණාට පස්සේ ඒ තත්ත්වය පැහැදිලිව වෙනස් වනවා. ඒ එක්ක සමාජ සංවර්ධන කටයුතු වැඩි වෙනවා. ඒ තත්ත්වය තුළ සමාජ විරෝධී කටයුතු අධෛර්ය වෙලා හොඳ සමාජ භාවිතයක් ඇති වනවා. ඒ තත්ත්වය තුළ පරිසර හිතකාමී සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස අපට මින් උපරිම ඵල ලබා ගත හැකියි"

ඛේදවාචකයන් තුළ වසන්තයන් මැවීම පහසු නොවූවත් මේ අරුණලු වැටී ඇත්තේ එවැනි වසන්තයකටයි. මීතොටමුල්ල කසළ කන්ද නිසා වසර ගණනාවක් සුසුම් හෙළූ ජනතාවට ඒ වසන්තය උදා කර දීම ජාතියේ වගකීමයි.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා