වියළි බිම් අස්වද්දන එල්ලංගා වාරි පද්ධති

 ඡායාරූපය:

වියළි බිම් අස්වද්දන එල්ලංගා වාරි පද්ධති

අතීතයේ මුතුන්මිත්තන්ගෙන් ලද ආභාසයන්, සුහුරු ආකාරයේ විස්කම් අයුරින් මෑත ඉතිහාසය තුළ කැපී පෙනේ. වැව් බැඳි රාජ්‍යයන්ගෙන් පෝෂණය වූ අපේකමේ අපූර්වතාවයන් කාලයක සිට අප ඵලදායී ලෙස භුක්ති විඳින්නේ ඒ නිසාවෙනි. අනාගතය පිළිබඳ සෞභාග්‍යමත් ආකාරයේ ශක්තීන් ගොඩනැඟූ වැව් බැඳි රජුන්ගේ පටන් ගැමියා දක්වා අනාගතය පිළිබඳ නව දැක්මකින් මේ සියලු කර්තව්‍යයන් සිදු කරන්නට ඇත්දැයි යන පැනය

පැන නඟින්නේ ඒ සඳහා ඵලදායී පිළිතුරු සාක්ෂාත් කරමිනි. ඒ අනුව සැලසුම්සහගත ලෙස අතීතය විසින් ගොඩනඟන ලද වැව් සංකල්පයේ සූක්ෂ්ම ක්‍රියාදාමයක් වශයෙන් ‘එල්ලංගා පද්ධතීන්’ හඳුන්වයි.

එල්ලංගා පද්ධතියක අවශ්‍යතාව

ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ නිරන්තරයෙන් හමු වන කුඩා වැව් එම ප්‍රදේශවල ගෘහාශ්‍රිත භාවිතයට වාරි කටයුතුවලට සහ වෙනත් ජීවනෝපායන් සඳහා අවශ්‍ය ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රයක් ලෙස වැදගත් වේ. මෙම කුඩා වැව්වල ක්‍රියාකාරීත්වය තනි වැවකට සීමා නොවී වෙනත් වැව් සහ වැව් ආශ්‍රිතව පවතින විශේෂිත වූ පාරිසරික අංග සමඟ එකම ජල පෝෂක ප්‍රදේශයකදී අන්තර් ක්‍රියා කරනු දක්නට ලැබේ. එල්ලංගා පද්ධතියක් යනු කුඹුරට වාරි ජලය සපයන වැව් පොකුරක් පමණක්ම නොවේ. වියළි කලාපය සාම්ප්‍රදායික ගමක සමාජයීය සංස්කෘතිකමය සහ පාරිසරික අංගයකි. වසරේ කෙටි කාලයක් තුළ රටට මෝසම් සුළං අවස්ථා දෙකකදී ලැබෙන වර්ෂාව හේතුවෙන් පොළොව මතින් ගලා ගිය වැසි දිය රඳවා තබාගෙන වසර පුරා ජලය රැඳි ඵලදායී බිමක් බවට පත් කිරීම සඳහා එල්ලංගා පද්ධති උපකාරී විය. ශ්‍රී ලංකාවට පමණක් ආවේණික සහ අනන්‍ය වූ කෘෂි තාක්ෂණික ක්‍රමවේදයක් වශයෙන් එල්ලංගා වාරි පද්ධතිය කෘෂිකාර්මික උරුමයක්ව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව එල්ලංගා ගම්මාන ක්‍රමවේදය ලොව වැදගත් කෘෂිකාර්මික උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සිදු විය.

එල්ලංගා පද්ධතීන්හි කාර්යභාරය

ශ්‍රී ලංකාවේ කුඩා ග්‍රාමීය වැව් 14,200ක් දැනට ක්‍රියාත්මක තත්ත්වයේ පවතියි. මෙයින් 80%ක් පවතින්නේ වැව් පොකුරු හෙවත් එල්ලංගා පද්ධති ලෙසටයි. මෙවැනි එල්ලංගා පද්ධති 1,262ක් මේ වන විට හඳුනා ගෙන ඇත. ගසක අතු බෙදී යන ආකාරයෙන් වියළි කලාපයේ රැලි සහිත භූ රෝපණයේ ස්වාභාවික ජල මං සැකසී ඇති නිසාවෙන් ඒවා හරස් කොට වැව් බැඳි විට නිර්මාණය වන වැව් පොකුරු එක් පද්ධතියක් වශයෙන් ගොනු කොට සැලකිය හැකි වේ. ජලය ඉහළ සිට පහළට වැවෙන් වැවට ගලා යන විට ඒ අතර අස්වද්දා ඇති වෙල් යායන් පෝෂණය කරමින් සතා සිව්පාවාද සනසමින් මහා වැව් සම්ප්‍රදාය ගොඩනැඟුණි. ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමට අනුව ප්‍රධාන වැව් එල්ලංගා පද්ධති කලාප තුනක් හඳුනාගත හැකි වේ. එනම් උතුරු උතුරු මැද කලාපය, වයඹ කලාපය සහ රුහුණු කලාපයයි. එල්ලංගා පද්ධතීන්ගේ සුවිශේෂත්වය ගොඩනැඟෙන්නේ වියළි කලාපීය ජන ජීවිතය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වශයෙනි.

එල්ලංගාවක රැඳෙන ජලය හේතුවෙන් භූගත ජල මට්ටම ඉහළ යන අතර උල්පත්වල ජලයද වැඩි කාලයක් පුරා ආරක්ෂා වීම සිදු වේ. ඒ නිසා පසේ

ක්ෂුද්‍රජීවීන්ට හොඳින් වැඩීමට සුදුසු තත්ත්වයක් ඇති වේ. මේ නිසා පසේ

ක්ෂුද්‍රජීවීන්ගේ ප්‍රමාණය ඉහළ යයි. මේ ක්ෂුද්‍රජීවීන් විසින් පසට එක් වන සත්ත්ව හා ශාක කොටස් ජීරණය කරමින් පසට පොහොර ලබා දීමක් සිදු කරනු ලබයි. මේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් පස තුළ වසර පුරා ස්වාභාවික පොහොර නිපදවමින් පස සරුසාර වේ. වැව් ආශ්‍රිත ප්‍රජාවට ආහාර සැපයීම, ගෘහ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම, සතුන් හා ශාකවලට උචිත වාස භූමි සැලසීම එල්ලංගා පද්ධතිවලින් සැලසෙන සේවාවන් වේ. එමෙන්ම එල්ලංගා පද්ධති යනු ජල ගැලීම් සහ නියං තත්ත්වයන් දෙකටම ඔරොත්තු දීමට උපකාරී වන සුවිශේෂ පාරිසරික ක්‍රමෝපායකි. එමඟින් භූමිය මතුපිට ජලය ගලා යෑම පාලනය කිරීම, භූගත ජලය ප්‍රතිස්ථාපනය කිරීම මෙන්ම දේශගුණය වියළි කලාපීය පරිසරයට සුවයක් හා අලංකාරයක් එක් කරයි. වියළි කලාපීය භූ රෝපණයේ ක්ෂුද්‍ර පෝෂක ප්‍රදේශයන් තුළ සංවිධානය වූ ජල සම්පත්වලින් හෙබි අපූර්ව පාරිසරික පද්ධතියක් වශයෙන් එල්ලංගා පද්ධතිය හඳුන්වා දෙන්නේ එබැවිනි.

එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණයේ අවශ්‍යතාව

ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන පාරිසරික සුරක්ෂිතතා සංකල්පයේ ආරම්භයක් වශයෙන් සුළු වාරි මාර්ග එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණ කඩිනම් වැඩසටහන ආරම්භ වේ. එහි සමාරම්භය 2018 සැප්තැම්බර් 21 දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නබඩගස්දිගිලිය වැව අසලදී ආරම්භ විය. එල්ලංගා පද්ධති මඟින් බැඳුණු වැව් 2,400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ වියළි කලාපයේ ජනතාව වෙත පහසුකම් සැපයීමේ කර්තව්‍ය මේ වන විට සාර්ථක ආරම්භයන් ඔස්සේ ගොඩනැඟීම රටේ භාග්‍ය සඳහා නායකයකු ගත් උත්සාහයක් වශයෙන් හඳුනා ගත හැක. එහි තවත් එක් පියවරක් වනුයේ වයඹ පළාතේ පඬුවස්නුවර බටහිර කොටකිඹුලාගල අමුණු එල්ලංගා පද්ධතීන් ප්‍රතිසංස්කරණය කිරීමයි.

ඒ යටතේ කණුකැටිය වැව, තොරණේගෙදර වැව, කොටකිඹුලාගල අමුණ, හිඳව වැව, කහටවිලගෙදර වැව, ගොන්නව වැව, පෙරළිකඩවල වැව, පොල්අත්තේගෙදර වැව, ගම වැව, අලුත් වැව, කටුකුඹුර වැව, කන්දෙවත්තේ වැව, ගල්කඩුල්ල වැව, අඹගලමුල වැව, කරඹේ වැව, කිරිමැටියාව වැව යන වැව් සහ අමුණු ප්‍රතිසංස්කරණය කිරීම සිදු වේ. මෙම වසරේ ජුනි මස 12 වැනි දින එම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට නියමිත වේ. එම ප්‍රදේශවල භූගත ජල මට්ටම් ඉහළ නැංවීම, කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදන ඉහළ නැංවීම, ප්‍රාදේශීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම හා දිළිඳුකම පිටු දැකීම, පරිසර සමතුලිතතාව ආරක්ෂා කිරීම, මිරිදිය ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය, ප්‍රජාවගේ හා වන සතුන්ගේ ජල හා ආහාර අවශ්‍යතා සැපයීම මෙන්ම වන සතුන් අතර ගැටුම් අවම කරමින් තිරසර සංවර්ධනයක් සඳහා පියවර ගැනීම අරමුණු වේ.

මේ සියලු ව්‍යාපෘතීන් කියාත්මක කිරීමේ කාර්යයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ මූලිකත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල, සියලුම පළාත් සභා හා ශ්‍රී ලංකා යුද හමුදාව මෙන්ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විෂයානුබද්ධ අදාළ වෙනත් ආයතන සහයෝගීතාව දක්වයි. සමස්ත වැඩසටහනේ ප්‍රධාන ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලබනුයේ ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බළකාය විසිනි. වියැකී යන අතීත ශ්‍රී විභූතිය සහිත දේශීය වගා ක්‍රම ජනතාව අතරට නැවත ගෙන ඒමේ අභිලාශයෙන් ක්‍රියාත්මක වන එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාව ලොව ඉහළ වටිනාකමකින් යුතු අපූර්ව භූමියක් කිරීම සඳහා සිදු කරන මහඟු පුණ්‍යකර්මයක් වශයෙන් හඳුනා ගත හැකිය.

[සුලක්ෂි රත්නායක]

 

මාතෘකා