කිනිතුල්ලෙක් කළ හදියක්!

 ඡායාරූපය:

කිනිතුල්ලෙක් කළ හදියක්!

ඔහු ශ්‍රී ලංකාවේ සිිටින පෙරළිකාරී මිනිසෙකි. විද්‍යාඥයෙකි; පර්යේෂකයෙකි; සර්පයන් හා මකුළුවන් යනාදී බොහෝ සතුන් පිළිබඳ ආචීර්ණ කල්පික මිථ්‍යා මත පුපුරුවා හළ බුද්ධිමතෙකි; උරගයන් සම්බන්ධයෙන් අපට සිටින ප්‍රාමාණික විශේෂඥයා ඔහුය. ශාස්ත්‍රිය ග්‍රන්ථ හා ලිපි 400කට වඩා ලියූ ලේඛකයෙකි; සුප්‍රසිද්ධ මැජික් ශිල්පියෙකි.

ෙම් සෑම බදාදාවකම දිගහැෙරන ඔහුෙග් ජීවිත කතාවයි.

“මේ තරම් සර්පයෝ, කිඹුල්ලු එක්ක ඉන්න මට ඇහැටවත් පේන්නේ නැති කිනිතුල්ලෙක් කරපු හදියක්.”

තම අසනීපයෙහි අගමුල ඔහු විසින් සොයාගෙන තිබේ. දශක හතක ජීවිත කාලය ඇතුළත මෙවන් අපහසුතා ඇති වී තිබෙන වාර ගණන අතළොස්සක් බවයි ඔහුගේ මතකය. එහෙත් මෙවැනි කිනිතුල්ලන් නිසා මීට පෙරද මරණාසන්න තත්ත්වයේ අත්දැකීමක් ලබා ඇති බව ඇන්ස්ලම් මහතා පැවසුවේය.

"මේ ලෙඩේට කියන්නේ ‘රිකට්ෂියා’ කියලා. මීට අවුරුදු දහයකට කලින් මම කැලේ ඇවිදිද්දි මේ වර්ගයේ කිනිතුල්ලෙක් දෂ්ට කළා. මට මේ සතා කොයිතරම් විෂද කියනව නම් දවස් හතරක් අයිසීයූ ඉන්න වුණා. ඒ වතාවෙ නම් මම මැරෙන්නම ගියා. ඒ වගේමයි මේ වතාවෙත්. ඇඟට පණ නැති ගතියක් දැනෙනවා තාමත්."

ඔහු පවසන පරිද්දෙන් නාග විෂ පවා දැරිය හැකි ප්‍රතිශක්තියක් ඔහු සතුය. එහෙත් එක් කිනිතුල් විශේෂයක් ඔහුට විසය. එය ශරීර ගතවීමෙන් ඔහුගේ එදිනෙදා ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි.

"මේ විසට විෂගල් හරියන්නේ නැද්ද?"

මම පිළිතුර දන්නා ප්‍රශ්නයක් ඇසුවෙමි. මට අවශ්‍ය වූයේ විෂගල් පිළිබඳ මාතෘකාවට පිවිසීමය. මගේ ගැටලුවෙන් ඔහුගේ මුහුණෙහි ඇතිවූ හැඟීම විස්තර කර ගැනීමට මම අපොහොසත් වීමි. සියුම් ලජ්ජාවක්ද සිතට පැමිණියේ එය අනවශ්‍ය දෙයක්දෝයි සිතුණු නිසාය.

"විෂගල්වලින් විෂ අයින් කරන්න පුළුවන්ද බැරිද කියන කාරණාව ගැන මම පර්යේෂණ කරලා හොයාගෙන තියෙනවා. මට කලින් 1918දී ලංකාවේ මේ ගැන පර්යේෂණ සිදුවෙලා තියෙනවා. ලංකාවේ හිටපු ජෝන් ඩේව් කියලා බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙක් මේ ගැන මුලින්ම පර්යේෂණ කරලා තියෙනවා. ලංකාවේ විවිධ ප්‍රදේශවල තියෙන විෂගල් අරගෙන ප්‍රායෝගිකව මේ දේ වෙනවද කියලා බලලා එයින් කිසිදු ප්‍රතිඵලයක් එන්නේ නැති බව සොයාගෙන තියෙනවා. ඒත් ඊට පස්සෙත් ලංකාවේ විෂගල්වලින් සර්ප විෂ අයින්කරන්න පුළුවන් කියලා මිනිස්සු හිතාගෙන ඉඳලා තියෙනවා."

"විෂගල් කියන්නේ මිථ්‍යාවක් කියලා දැනදැනම ඇයි ආයෙමත් ඒ ගැන පර්යේෂණ කළේ?"

"අපේ සමහර ජනප්‍රවාදවල ඇත්තක් නෑම කියන්න බැහැ. ගොඩක් ඒවට පදනමක් තියෙනවා. මට ඕන වුණේ මේ විෂගල් කියන දේ විද්‍යාත්මක සත්‍යයක් ඇත්තෙම නැද්ද කියලා හොයලා බලන්න. අනික ඒ කාලෙ සර්ප දෂ්ටන නිසා මිනිස්සු පුදුම විදියට මැරුණා."

අමුත්තකුගේ පැමිණීමත් සමඟ අපේ කතාබහ මඳකට නතර විය. අපි ඔබ සමඟද මින් පෙර ඔහු පිළිබඳ නාමමාත්‍රිකව සඳහන් කර ඇත්තෙමු. පියාගේ හැඩහුරුකම් හා සමාන කතාබහක් ඇති පන්ඩුක ද සිල්වා නම් තරුණයා, ඇන්ස්ලම් ද සිල්වාගේ පුත්‍රයාය. ඔහු මේ දිනවල පියාගේ අසනීපය හේතුවෙන් නිවසෙහි රැඳී සිටි බවත් තව කිහිප දිනකින් පිටත්ව යන බවත් අප සමඟ පැවසුවේය. ඔහුද පියා මෙන්ම උරගයන් පිළිබඳ විශේෂඥයෙකි. එහෙත් ඔහු පූර්ණකාලීනව එය වෘත්තියක් ලෙස නොකරයි. ඇල්කඩුව සිම්සන්ස් ෆොරස්ට් හොටෙල්හි කළමනාකරුවකු ලෙස සේවය කරන ඔහු පරිසරවේදියෙක්ද වෙයි. ඔහු පිළිබඳ කතාබහ පසුවට කල් තියා අපි නැවතත් විෂගල් පිළිබඳ කතාබස් කළෙමු.

"1969 වර්ෂයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යානුකූලව කරපු පර්යේෂණවලින් ඔප්පු වුණා විෂගල්වලින් ප්‍රයෝජනයක් නැති බව. ඒ වෙනුවෙන් මම ලංකාව පුරාම ඉන්න විෂ වෛද්‍යවරු පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණයක් කළා. ඒ අය ළඟ තිබුණු විෂගල් මට ඒ වෛද්‍යවරු ලබා දුන්නා. මම ඒවා වර්ග කළා. අට වර්ගයක විෂගල් ඒ අතර තිබුණා. නාගදරන ගල්, පුච්චපු මුව අං වගේම රසදිය ගල් ඒ අතරින් විශේෂයි. විෂ දියකරපු බඳුනකට ඒ ගල් සියල්ලම දැම්මා. ටික වෙලාවක් වෙද්දි ඒ ගල්වලට යම්කිසි විෂ ප්‍රමාණයක් උරාගෙන තිබුණා. උදාහරණයක් විදියට කිව්වොත් මේ විෂ ගලක් හදලා තිබුණේ මුව අඟක් පුළුස්සලා. ඒක ඉතින් අඟුරු කෑල්ලක්ම තමයි. භාජනයකට දාපු විෂ ඒ ගලට උරන්න පුළුවන්. ඒකෙදි වෙන්නේ ඇඩ්සෝප්ෂන් (Adsorption) එකක්. ඒ කියන්නේ අපි දන්න ඇබ්සෝබ්ෂන් (Absobtion) හෙවත් උරාගැනීමක් වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ ඒ විෂ, විෂ ගලේ පරමාණුවල දෙපැත්තේ හිටින එක. මම වෙනත් සත්ත්වයන් ආශ්‍රයෙන් සර්ප විෂ සහ විෂගල් සමඟ පර්යේෂණ කළා.

“සර්පයෙක් කෑවම වෙන්නේ සිස්ටමික් පොයිසනින් (Systemic poisoning) කියන දේ. ඒකෙදි මුළු ශරීරය පුරාම ඒ විෂ පැතිරෙනවා. ඒ වගේ වෙලාවට විෂ ගලෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒත් පත්තෑයෙක් වගේ සතෙක් කෑවම ස්ථානීය විෂ (Local poisonin) තියෙන්නේ. ඒ විෂ ඒ ස්ථානයේ තියෙන්නේ, ශරීරය පුරා යන්නේ නැහැ. මේ විෂගල ඒකෙදි ප්‍රයෝජනවත්. ඒත් මම කියන්නේ විෂගල් කිසිම සර්ප දෂ්ටනයකදී භාවිත නොකළ යුතුයි කියලා.

“1976දී සර්ප දෂ්ටනය පිළිබඳ සමීක්ෂණයක් කළා. ඒක තමයි ඒ සම්බන්ධයෙන් ලංකාවේ පළමු සමීක්ෂණය. ලංකාවේ විවිධ ප්‍රදේශවල සර්ප දෂ්ටන නිසා මියගියපු ගෙවල්වලට ගිහින් අපි හොයලා බැලුවේ සර්ප දෂ්ටනය නිසා මියගිය රෝගීන්ට විෂගලක් තියලා තිබුණද කියන දේ. ඒ බොහෝ අය විවිධ වර්ගයේ විෂගල් පාවිච්චි කරලා තිබුණා.”

“විෂගලක් තියලා සර්ප දෂ්ටනයට ප්‍රතිකාර කරලා සුවවුණු කිසිම කෙනෙක් ඉඳලා නැද්ද ඩොක්ටර්?”

“නැහැ, මට එහෙම අය මුණගැහිලා නැහැ. ඒත් දෂ්ටනය වුණු මොහොතෙම විෂගලක් තියලා ඉක්මනින් රෝහලකට ඇතුළු කරපු අය බේරෙනවා. ඒකට තියෙනවා අපූරු හේතුවක්. මම දන්න විදියට බොහෝ අය මැරෙන්නේ බයට. විෂගල නිසා විෂ නැසෙනවා කියන ආත්ම විශ්වාසය එක්ක රෝගීන් බය නැතිව ඉන්නවා රෝහලට යනකම්. එතකොට ප්‍රතිකාර කරන්න පහසුයි. 1970 වගේ වෙද්දි විෂගල් නිෂ්ඵල බව මම විෂ වෛද්‍යවරන්ට දැනුම් දුන්නා. ඒ වගේම ඒ බොහෝ දෙනෙක් ඒ කතාව පිළිගත්තා.

“අහිකුණ්ඨික මිනිස්සු එයාලගේ බේත් විකුණගන්න විෂගල් ඇමක් විදියට පාවිච්චි කරනවා. එයාලා මිනිස්සු ළඟට නයෙක් අරන් යනවා. නයා පෙණේ පිප්පුවම එයාලා විෂගලක් අතේ තියාගෙන ඉඳලා ගලට මතුරලා නයාගේ ඔළුව අතගානවා. නයත් ඔළුව නවාගෙන ඉන්නවා. ඒත් ඇත්තටම වෙන්නේ ඒක නෙවෙයි. නයා කුලප්පු කළාම එයා ඇඟ උස්සනවා. අපිට පුළුවන් උඩින් අත අරගෙන ගිහින් පෙණේ අල්ලන්න, එයාට ඒක නොදැනෙනවා නෙවෙයි. අපිට පෙණේ අල්ලන්න වගේම ඉඹින්නත් පුළුවන්. ඒත් එයාගේ ඇටෙන්ෂන් එක තියෙන්නේ අපේ කකුලට. කකුල හෙල්ලුනොත් කකුලට ගහන්න බලාගෙන ඉන්නේ. මීට වසර ගණනාවකට උඩදි මම එහෙම නයි පෙනයක් ඉම්බා. මම මේ ක්‍රමේ ගැන ලෝරිස් කියලා සඟරාවක පළකළා. ඒක විශාල ආන්දෝලනයක් වුණා. තෙල් බේත් කරන වෙද මහත්තුරුත් කරන්නේ මේක. නැතිව නයා විෂ ගලට බයවෙන්නේ නෑ.”

විෂ කතා රසවත් වන්නේ එසේය. නොදන්නා කොතෙක් නම් දේවල් තව ඇත්දැයි සිතෙන්නේ මේවා ඇසෙද්දීය. දශක ගණනාවක් අපි සමහරු කියන කතාවලට රැවටෙන්නේද මේ ඇත්ත නොදන්නා නිසාය. මිනිසුන් මරණයට පත් කළ හැකි අධික විෂ තමා සතු වුවද සර්පයන්ට ඇති විශාලතම තර්ජනය වන්නේද මිනිසාමය. ඇන්ස්ලම් මහතා සඳහන් කරන අන්දමට ලංකාවෙහි වැඩිපුරම සර්පයන් මිය යන්නේ රථවාහනවලට හසුවීමෙනි.

“මේ වෙද්දි සර්පයෝ ශීඝ්‍රයෙන් වඳවීගෙන යනවා. වැඩිපුරම සර්පයෝ මියයන්නේ වාහනවලට අහුවෙලා. ඒ ගැන මුලින්ම පර්යේෂණ කළේ මම. දැන් නම් ඒ තත්ත්වය බොහෝ දුරට අඩුවෙලා.”

සර්පයකු විෂ සහිත වුවද විෂ රහිත වුවද මරා දැමීමට මිනිසුන් පෙළඹී සිටින්නේ සර්පයන් සම්බන්ධයෙන් වන දුර්මත හේතුවෙනි. කොබෝ නයා ගැන කතාවද එවැන්නකි. ඔබ එය මින් පෙර අසා තිබුණා විය හැකිය. එහෙත් මේ මා එය අසන ප්‍රථම අවස්ථාවය.

“ඉස්සර මිනිස්සු නයි ගැන හිතාගෙන හිටියේ මහ පුදුම දේවල්. කොහොමත් අපේ රටේ මිනිස්සු කතන්දර කියන්න හරි හපන්නුනේ. මේවා නම් සුන්දර රැවටීම්. ඒ කතාවේ තියෙන විදියට නයෙක් වැඩෙද්දි පුරුකෙන් පුරුක වලිගෙ ඉඳන් වැටෙනවා. අවසානේ ඉතිරි වෙන්නේ නයාගේ පෙණේ විතරයි. ඉන්පස්සේ ඒ පෙණය දෙපැත්තේ තටු දෙකක් එනවා. තටු ආවම ඒ නයා හිමාලයට ගිහින් තපස් රකිනවා. ඒ නයාට කියන්නේ කොබෝ නයා කියලා. ඒවා බොරු කතා. නයෙක් ලොකුවෙන්න ලොකුවෙන්න පුරුක් එකින් එක දික්වෙවී වැඩෙනවා මිසක් පුරුක් ගැළවිලා යන්නේ නැහැ.”

“නයි මුගටි ෆයිට් එකක් දැකලා තියෙනවද?” ඒ බාබුය. ඔහුද වත්තේ වැඩ නවත්වමින් අපේ කතාබහ අසාගෙන හිඳී. සමහර අමතක වෙන තැන් මතක් කර දෙයි. මම හිස දෙපසට වැනීමෙන් එය නොදන්නා බව හැඟවීමි. පැහැදිලි කිරීම ඇන්ස්ලම් මහතාගෙන්ය.

“මට නයි මුගටි වෛරය ගැන හොයලා බලන්න තිබුණේ පුදුම උවමනාවක්. ඉතින් මම නයෙකුයි මුගටියෙකුයි ගෙනත් එකට දැම්මා. හැම වෙලාවකම නයා පරදිනවා. මුගටියා දිනනවා. මුගටියා මයිල් පුම්බගෙන එක එක පැත්තට පැන පැන නයාව හෙම්බත් කරනවා. ඉන්පස්සේ පැනපු ගමන් නයාගේ බෙල්ලෙන් අල්ලලා විකලා පොළොවේ ගහනවා. මුගටියා ළඟට පොළඟෙක් දැම්මට ඒක කරන්නේ නැහැ. නයා එක්ක විතරයි මේ තරහව තියෙන්නේ. මුගටියා සතෙක් ඇල්ලුවම කන්නේ පොඩි කෑල්ලයි. බොහොම කලාතුරකින් තමයි මුළු සතාවම කන්නේ. නයෙක් ළඟට පොළඟෙක් දැම්මොත් නම් නයා පොළඟව ගිලිනවා. නයාට හැම සතෙක්ම බයයි. ඒත් නයා මුගටියට නම් පරදිනවා. තෙල් කරවලා කියන්නේ විෂ අධිකම සර්පයෙක්. අපි තෙල් කරවලෙක් ඉන්න කූඩුවකට එක එක සර්පයන්ගේ හැව එකතුකරලා දානවා. ඒත් නයි හැවක් දැම්මම තෙල් කරවලාගේ හැසිරීම හරිම වෙනස්. එයා කූඩුව කඩාගෙන යන්න හදනවා. පුදුම බයක් තියෙන්නේ.”

සත්ත්ව ලෝකය අපූර්වත්වයෙන් යුක්තය. මරණීය විෂ ඇත්තෝ විෂෙන් අඩු සත්ත්වයන්ට බියවෙති; තමාගේ තරම නොදැන සිටිති. මිනිසුන්ගේ හා සතුන්ගේ විශාල වෙනස්කම් නොවන බව සිතෙන්නේ සමහර කතා ඇසීමේදීය. තව බොහෝ දේ දැනගන්නට තිබේ. එහෙත් ඔහුට බොහෝ මහන්සි පාටය. ඒ නිසා ලබන සතියෙහි කතාබස් කරන පොරොන්දුව පිට අප සමුගත්තේ ඇන්ස්ලම් මහතාට ඉක්මන් නිරෝගී සුවය පතමින්ය.

සටහන [නදී මාණික්කගේ]

ඡායා [සුදම් ගුණසිංහ]

මාතෘකා