‘සෙන්සර්’ එකක් ඇති නිමැවුම්කරු

 ඡායාරූපය:

‘සෙන්සර්’ එකක් ඇති නිමැවුම්කරු

නිලුපුල් නුවන්

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” යන කියමන වර්තමානය වන විට වෙනස් වෙමින් විවිධ ක්ෂේත්‍රයන්හි දක්ෂතා දක්වන්නන් බිහිවෙමින් පවතී. මේ, එවන් දක්ෂයෙකි.

ඔහු නමින් නිලුපුල් නුවන් සෙනෙවිරත්නය. ජීවිතය ජයගත හැක්කේ තමාට තමා ගැන ඇති විශ්වාසය, අධිෂ්ඨානය මතය යන්න ඔහුගේ විශ්වාසයයි. වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන මොහු කුඩා කල සිටම නව නිර්මාණ අත්හදා බැලූ අයෙකි. මොහු සාමාන්‍ය පෙළ දක්වා මොරටුව වීරපුරන්අප්පු විද්‍යාලයෙන් අධ්‍යාපන හදාරා තිබේ. ඉන්පසුව මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලෙන් උසස් පෙළ ගණිත අංශයෙන් අධ්‍යාපනය හදාරා ඇත. 2018 වර්ෂයේ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මඟින් සංවිධානය කරන ලද ‘සහසක් නිමැවුම්’ ප්‍රදර්ශනයේ ජාතික මට්ටමේ, පළාත් මට්ටමේ මෙන්ම ඇගයීම් සම්මානද හිමි කර ගැනීමට ඔහු සමත්ව තිබේ. මේ ඔහුගේ දස්කම් පිළිබඳව කෙරෙන සංවාද සටහනකි.

 ඔබේ නිර්මාණ ගැන කතා කරමුද?

‘සිලින්ඩරය වායු පිරිමැසීමේ උපකරණය’

මෙය LP ගෑස් සිලින්ඩරයක ගෑස් කළමනාකරණය කරන උපකරණයක්. මාස 3ක් ගියා මේ නිර්මාණය නිම කරන්න. මූලික ආකෘතිය ලීවලින් නිර්මාණය කළේ. ලෝහ සහ ස්ප්‍රින්ග් උපයෝගී කර ගත්තා. මූලිකව මේ නිර්මාණය කරන්න හිතුවේ දවසකට වැය වන ගෑස් ප්‍රමාණය අපි හරි හැටි දන්නේ නැහැ. ඒත් මේ උපකරණය හරහා ගෑස් ප්‍රමාණය කළමනාකරණය කර ගන්න පුළුවන් නිසයි. අදාළ දින ගණනකට හෝ පැය ගණනකට උපකරණය සකස් කරගන්න පුළුවන්. දවසකට භාවිත කිරීමට සකස් කර ගන්න ගෑස් ප්‍රමාණය ඉවර වෙන්න ආසන්න වෙද්දී බීප් ශබ්දය තුන් වාරයක් නාද වෙනවා. අපි සකස් කර ගන්නා ප්‍රමාණයෙන් 50%ක් ඉවර වෙද්දී එක් බීප් නාදයක්ද 75%ක් ඉවර වෙද්දී තවත් බීප් නාදයක්ද 95%ත් - 100%ත් අතර අවසානයේදී බීප් නාදය එක දිගටමද නාද වෙන්න තමයි හදලා තියෙන්නේ. මේ නිර්මාණය ‘සහසක් නිමැවුම්’ තරගයේ පළාත් තරගයට තේරුණා. ගොඩක් අභියෝග ආවා සංවේදක (sensors) නිර්මාණය කර ගැනීමේදී. ඒ නිසා මා විසින්ම සංවේදක නිර්මාණය කර ගනු ලැබුවා. දැනට එක් බැටරියක් තමයි පාවිච්චි කරන්නේ. මේක තව නවීකරණය කරලා අවුරුදු කිහිපයකටම පාවිච්චි කරන්න පුළුවන් වෙන විදියට බැටරියක් නිර්මාණය කරනවා. ගෑස් කාන්දුවක් ආවොත් අවවාද දීමට හැකි වන ලෙස අනතුරු සංඥාත් නිර්මාණය කරනවා. මේ උපකරණය වැල්ඩින්, ඔක්සිජන්, නයිට්‍රිජන් ගෑස් ටැංකිවලටද පාවිච්චි කරන්න පුළුවන්.

‘ලේසර් තරංග හරහා දුර මනින උපකරණය’

(laser beam distance meter)

මේක දුර මනින උපකරණයක්. මේ උපකරණය සඳහා සහසක් නිමැවුම් තරගයේ ජාතික මට්ටමෙන් 3 වැනි ස්ථානය දිනා ගන්න හැකි වුණා. මේක හදන්න මට මාස දෙකක කාලයක් ගියා. ඇලුමීනියම් සහ පරිපථ පාවිච්චි කළා. මේ නිර්මාණය දැනටත් ප්‍රයෝජනයට ගන්නවා සමහර රැකියාවන්හි නිරත වන අය. නමුත් මගේ නිර්මාණය ඊට වෙනස්, දුර මනිනවට අමතරව මේ උපකරණය තුළින් යම් දුර තියෙන වස්තුවක උස, පළල, ගැඹුර මැන ගැනීමේ හැකියාව තිබෙනවා. මේක tripod එකකට සම්බන්ධ කරලා තියෙන්නේ. මෙහිදීත් සංවේදක (sensors) නැති එක මට අභියෝගයක් වුණා. නමුත් මමම ඊට අදාළව සංවේදක (sensor) නිර්මාණය කර ගත්තා. මේ නිර්මාණය වෙළෙඳපොළට ඉදිරිපත් කරන්න මම කැමතියි. ඒ වගේම මේ සඳහා ලංකාවේ වගේම ජපානයේත් පේටන්ට් බලපත්‍රයට ඉල්ලුම් කර තිබෙනවා.

‘අංකිත කවකටුව’ (Smart Compass)

සාම්ප්‍රදායික කවකටුවකදී දැක ගන්න ලැබෙන ගැටලු විසඳලා මෙය නිර්මාණය කර තිබෙනවා. සාම්ප්‍රදායික කවකටුව පාවිච්චි කරද්දී අඩිරූලක් අවශ්‍ය වෙනවා. නමුත් මේකේ කවකටු දෙක ඈත් කරාම දර්ශන පුවරුවක් (display) එනවා. කවකටුව ඈත් කර තමන්ට අවශ්‍ය ප්‍රමාණය හදාගන්න පුළුවන්. එවිට වෘත්තයේ අරය, විෂ්කම්භය, පරිධිය, වර්ගඵලය පෙන්වනවා. ඒ අංග හතරම දර්ශන පුවරුවේ (display) පෙන්වනවා. මේකට නැවත ආරෝපණය කළ හැකි බැටරි (rechargeable battery) එකක් තමා පාවිච්චියට අරං තියෙන්නේ. අප විසින් මීට පෙර අඳින ලද වෘත්තවල දත්තයන්ද ගබඩා කර ගන්නවා. අභියෝග තමයි මේක නිර්මාණය කරද්දී ආපු ගණිත ගැටලු. ඒවා කොහොම හරි නිරාකරණය කරලා මම සාම්ප්‍රදායික කවකටුව වෙනුවට මෙය නිර්මාණය කරන්න සමත් වුණා. ‘සහසක් නිමැවුම්’ තරගයේ පළාත් මට්ටමෙන් මට මේ සඳහා ඇගයීමක් ලැබුණා.

‘වන්දා රොබෝ’

මෙය ‘වන්දා’ කියන සත්ත්වයාගේ රොබෝ සංස්කරණයක්. මෙයාව භාවිත කරන්න හිතන් ඉන්නේ වනාන්තර ගැන දීර්ඝ කාලීන පරීක්ෂණ කරන්න සෑහෙන කාලයක් භාවිත කරමින් ශාක සහ සත්ත්වයන් පිළිබඳව පැහැය, සුවඳ ඉන් නිකුත් වන වායු වර්ග, වායුගෝලයේ ආර්ද්‍රතාව ආදිය පිළිබඳ දත්ත ගබඩා කිරීමට මෙමඟින් බලාපොරොත්තු වෙනවා. තවද මෙයට භාවිත වන්නේ ඉතා අඩු ශක්තියක්. මෙය ඉදිරියේදී සූර්ය ශක්තිය යොදා ගනිමින් වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා කෘත්‍රිම බුද්ධියක් භාවිත කරනවා. එමඟින් රොබෝට බාධක හඳුනා ගැනීමට සහ ආරක්ෂාව සලසා ගැනීම වැනි සුළු සුළු දේවල් කළමනාකරණය කරගන්න පුළුවන්. ගබඩා කර ගත් දත්ත පැයකට, දිනකට, සතියකට වතාවක් වන්දා රොබෝ විසින් මූලස්ථානය වෙත ලබා දෙනු ලබනවා.

 දැනට කරගෙන යන නව නිර්මාණ කැන කිව්වොත්...

ඔව්, නියමුවන් රහිත දුරස්ථ පාලක ගුවන් යානා නිර්මාණයක් සහ දැනට යොදාගන්නා ඩ්‍රෝණ තාක්ෂණයක් නවීකරණය කරනවා. සාමාන්‍යයෙන් ජායාරූප ගැනීමට තමයි බොහෝ වේලාවට ඩ්‍රෝණ පාවිච්චි කරන්නේ. ඊට අමතරව UAV (unman aerial vehicle) නිර්මාණය කළා. ඒ කියන්නේ නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා. ඒවා එකිනෙකට වෙනස් වර්ග කිහිපයක්. මේක හදන්න හේතුව තමයි මෙය මූලිකවම මිනිසාගේ එදිනෙදා ක්‍රියාකාරකම්වලට උපයෝගී කර ගැනීමට හැකියාව පැවතීම. හදන්න මාසයක දෙකක පමණ කාලයක් ගත වෙනවා. මම අමුද්‍රව්‍ය විදියට පාවිච්චි කළේ ඇලුමීනියම්, සැහැල්ලු ලී, රිජිෆෝම් වර්ග, ප්ලාස්ටික් වර්ග සහ ඊට අදාළ පරිපථයි. හදද්දී සෑහෙන්න අභියෝග අවා. ගුවන්ගත කරන්න ඉඩ ප්‍රශ්න අාවා. නීතිමය ගැටලු ආවා. ඒවා විශ්වවිද්‍යාලය හරහා විසඳා ගත්තා. කඩා වැටීම්, අනතුරු සිද්ධ වුණා. මම හදපු aircraft එකක පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේක හදන්නේ ජපානයේ ශිබව්රා තාක්ෂණ ආයතනයේයි. (shibaura institute of technology). එම ආයතනයේ රොබෝ තාක්ෂණය සහ රූප සංස්කරණ තාක්ෂණය පිළිබඳ මහාචාර්ය චින්තක ප්‍රේමචන්ද්‍ර මහතාගේ අධීක්ෂණය යටතේ තමයි මේ පරීක්ෂණ සියල්ලම කරන්නේ. මෙහි සංවේදක දෙකක් තියෙනවා. එකක් ඍජුව වැටෙන හිරු කිරණ හඳුනා ගන්නවා. අනිකෙන් පොළොවට වැටී පරාවර්තනය වන හිරු කිරණ හඳුනා ගන්නවා.

මෙමඟින් අධෝරක්ත කිරණවල තීව්‍රතාවය සහ තරංග අායාමය මැන ගැනීමට පුළුවන්. මෙයින් ප්‍රධාන කාරණා දෙකක් කරන්න පුළුවන්. එකක් පොළොවේ තියෙන පස්වල සංයුතිය හඳුනා ගැනීම සහ පොළොවට වැටෙන කිරණ මෙන්ම විකිරණ යම් ප්‍රමාණයක් පොළොවෙන් උරාගෙන තමයි පරාවර්තනය වෙන්නේ. මෙන්න මේ වෙනස් වීම් සලකා බලා ඒ ප්‍රදේශයේ තිබෙන පස්වල සංයුතිය සහ ස්වභාවය තීරණය කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය දත්ත මෙමඟින් එකතු කර ගන්න පුළුවන්. මෙහි ප්‍රධානම ඉලක්කය ඒ පසේ සංයුතියට ගැළපෙන ලෙස එක් එක් ප්‍රදේශ අනුව බීජ රෝපණය කිරීම සඳහා ගුවනින් මුදා හැරීමයි. මෙයින් එක් වරකට බීජ 500ක් 600ක් පමණ ව්‍යාප්ත කිරීමේ හැකියාව ලැබෙනවා. ඊට අමතරව කුඹුරක ගොයම් පැළවල පෝෂණ ඌනතාව හඳුනාගෙන ඊට අදාළ ප්‍රතිකර්ම ගුවන් යානය මඟින් සිදු කිරීමට හැකියාව ලැබෙනවා. පෝෂණ කලාප අඩු වැඩි වශයෙන් හඳුනාගෙන එහි දත්ත ගබඩා කර ගන්නවා. එමඟින් පෝෂණය අවශ්‍ය ගොයම් පැළ සඳහා ප්‍රතිකර්ම සිදු කරනවා. මේ ගුවන් යානයේ බර කිලෝග්‍රෑම් 1.1ක් වන අතර ඊට අමතරව කිලෝග්‍රෑම් 1කට ආසන්න ප්‍රමාණයක් රැගෙන යෑමට හැකියි.

 නිර්මාණකරණයේදී ඔබට සහාය දුන් අය ගැන සඳහන් කළොත්?

මම නව නිර්මාණ අත්හදා බලන්න කැමති කෙනෙක්. මගේ නව නිර්මාණ බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. නිර්මාණ කටයුතු සඳහා ගෙදරින් ලොකු සහායක් ලැබෙනවා. මේ නිර්මාණ සාර්ථක කර ගැනීමට ඔවුන් මට ලොකු ශක්තියක් වෙනවා. වයඹ විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් විද්‍යා දෙපාර්තමේන්තුවේ අංශ බාර ප්‍රධානි ආචාර්ය

ඩබ්. ඒ. එස්. විජේසිංහ, වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය එල්. ඩී. ආර් .ඩී.

පෙරේරා, ජපානයේ ශිබව්රා රොබෝ තාක්ෂණ ආයතනයේ රූප සංස්කරණ තාක්ෂණය පිළිබඳ මහාචාර්ය චින්තක ප්‍රේමචන්ද්‍ර සහ කාංචන අරුණ කුමාර මහතා මට මේ සඳහා විශාල සහායක් ලබා දෙනවා.

සටහන [තියේෂා ද සිල්වා ]

මාතෘකා