සංගීත භාණ්ඩයක සියවස් පුරාණය

 ඡායාරූපය:

සංගීත භාණ්ඩයක සියවස් පුරාණය

සංගීත භාණ්ඩ නිෂ්පාදකයන් ලෙස සියවසක ඉතිහාසයකට උරුමකම් කියන දකුණු ලක මාතර පුරවරයේ “නවෝදා රිද්ම තරංග” සංගීත භාණ්ඩ නිෂ්පාදන ආයතනය ව්‍යාපාරික ලෝකයේ නොමැකෙන නාමයක් දිනාගෙන සිටින ආයතනයකි. සංගීත ක්ෂේත්‍රයේ නියැලී සිටින නවීන හා ආධුනික දෙපාර්ශ්වයටම නැතිවම බැරි ආයතනයකි. මුළු මහත් සංගීත ක්ෂේත්‍රයට සවියක් වෙමින් පෙරමුණ ගෙන සිටින ආයතනයේ වර්තමාන අධිපතීත්වය දරන බවීන්ද්‍ර ඉන්දික විතාන නව නිපැයුම්කරුවකු ලෙසද ක්ෂේත්‍රයට මහඟු සේවයක් කරමින් අද වන විට සංගීත හා නර්තන ක්ෂේත්‍රයට නැතුවම බැරි අයකු බව ඔප්පු කර හමාරය.

නවෝදා රිද්ම තරංග ආයතනයේ නව සංගීත භාණ්ඩ නිෂ්පාදනය හා අලුත්වැඩියාවන් කෙරෙන ගොඩනැඟිල්ලේ සතර අතින් ඇසෙන සංගීත භාණ්ඩවල හඬ සුසර කිරීම් (TUNE) මධ්‍යයේ දොඩමලු වූ බවීන්ද්‍ර තම ව්‍යාපාරයේ ඉතිහාසය මෙනෙහි කරමින් එම දිගු වූත් රසවත් වූත් කතන්දරය අප හමුවේ දිග හැරියේය.

“මීට අවුරුදු 100කට පමණ ඉහතදී මගේ සීයා බැනට් ඇලෙක්සැන්ඩර් විතාන මහතා තමයි සංගීත භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් හා හා පුරා කියල මාතර ආරම්භ කරල තියෙන්නේ. ඉන්දියාවේ ගිහින් සංගීත භාණ්ඩ නිෂ්පාදනය කරන්න ඉගෙන ගෙන ඇවිත් තියෙන පුද්ගලයෙක් සීයට කොළඹදී අහම්බෙන් මුණගැහිලා තියෙනවා. සීයා එයාගෙන් තමයි මේ කර්මාන්තය ඉගෙනගෙන තියෙන්නේ. ඊට පස්සේ සීයා මාතර, ගබඩාවීදියේ ගෙදරට ඇවිත් සංගීත භාණ්ඩ නිෂ්පාදනය කරන්න පටන් අරගෙන තියෙනවා. සීයා එක්ක අපේ තාත්තයි, ලොකු තාත්තයි මේ නිෂ්පාදන කටයුතුවලට හවුල් වෙලා කරගෙන ගිහින් තියෙනවා. මාතර බ්‍රෝඩ්වේ පාරේ ගොඩනැඟිල්ලේ තමයි මීට අවුරුදු දහයකට පහළොවකට එපිටදී “රිද්ම තරංග” ව්‍යාපාරය පවත්වාගෙන ගියේ. අපේ නැන්දලා තමයි පිටුපසින් ඉඳගෙන භාණ්ඩ නිෂ්පාදනය කරන්න ශක්තියක් දීලා උදවු උපකාර කරල තියෙන්නෙ.”

ව්‍යාපාරයේ නිර්මාතෘ බැනට් ඇලෙක්සැන්ඩර් විතාන මහතාගෙන් ලද ශිල්පීය ඥානය ස්වයංව තව තවත් මුවහත් කරගෙන සංගීත හා නර්තන ක්ෂේත්‍රයේ නමක් දිනා ගන්නට ඔහුගේ පුතණුවන් වූ කීර්තිසිංහ විතාන නොහොත් ක්ෂේත්‍රයේ කවුරුත් හඳුන්වන ‘පුංචි අයියා’ සමත්විය. ක්ෂේත්‍රයේ හිණිපෙත්තේ සිටි පුංචි අයියා තාල වාදන භාණ්ඩ නිපදවමින් හා අලුත්වැඩියා කරමින් හඬ සුසර (TUNE) කිරීමේ මනා දක්ෂතාවක් තිබූ අයෙකි. පියාගේ අඩි පාරේ ගමන් ගත් පුංචි අයියා ගුරු මුෂ්ටිය තුට්ටුවකටවත් මායිම් නොකර තම පුත්‍රයා වූ බවීන්ද්‍රට ශිල්පීය ඥානය ලබා දුන්නේ බවීන්ද්‍රගේ උපන් හපන්කම් හා නිර්මාණාත්මකභාවය හා ඒ පිළිබඳව තිබූ ඇල්ම ඉවෙන් මෙන් වටහාගෙන තිබූ නිසා විය යුතුය.

තාල වාදන ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන ජනනාත් වරකාගොඩ නවෝදා රිද්ම තරංග නිෂ්පාදන ගැන අප හා කියා සිටියේ මෙසේයි.

“මම තාල වාදන ක්ෂේත්‍රයේ ‘අ’ යන්න ආ යන්න කියවන කාලයේ මගේ පියා (විජේරත්න වරකාගොඩ) එක්ක මාතර රිද්ම තරංග එකට එනවා. ඇවිත් අපි කවුරුත් හඳුන්වන පුංචි අයියාව මුණ ගැහිලා අපිට අවශ්‍ය කරන තාල වාදන භාණ්ඩ නිෂ්පාදනය කරවා ගන්නවා. භාණ්ඩවල දෝෂ ඇති වුණාම අලුත්වැඩියා කර ගන්නෙත් පුංචි අයියාගෙන් තමයි. විශේෂයෙන්ම විදේශීය රටවල්වල පැවැත්වෙන ප්‍රසංගවලට යනකොටත් මම රිද්ම තරංගයෙන් තමයි බෙර, තම්මැට්ටම් ආදිය නිපදවා ගන්නේ.”

සංගීත භාණ්ඩවලට ගොඩ වෙදකම්ද හොඳින් දැනගෙන සිටි පුංචි අයියාගේ පුත්‍ර බවීන්ද්‍ර සිය පියාගෙන් ලද ආභාසය ඉවහල් කර ගනිමින් මෙයට වසර 20කට පමණ පෙර මාතර නගරයේ තම පදිංචි නිවසට යාබදව නව ගොඩනැඟිල්ලක් ඉදි කරමින් නවෝදා රිද්ම තරංග නමින් ව්‍යාපාරය පුළුල් කිරීමට කටයුතු කළේය. මෙම ගොඩනැඟිල්ල පුරා ගොඩගසා ඇති නව නිෂ්පාදන භාණ්ඩ හා අලුත්වැඩියා කටයුතු සඳහා බාරගත් විවිධ වූ සංගීත භාණ්ඩ අතරින් බවීන්ද්‍ර වාඩිලාගෙන සංයමයකින් යුතුව අලුත්වැඩියාවන් කරන තාල වාදන භාණ්ඩවල අවසන් අදියරේ කටයුතුවල නිරතව සිටින අතරතුර යළිත් අප සමඟ කතාබහට එක්වෙමින් මෙසේ කීය.

“මේ මම කරන්නේ හම් බැඳල අවසන් කරපු තාල වාදන භාණ්ඩවලට බෙහෙත් තියලා ටියුන් කරන එකයි. මේ කටයුත්ත කරන එක ලෙහෙසි පහසු නැහැ. හරියට බෙහෙත් හදාගෙන තියල ටියුන් කරන්න ඕන. බෙහෙත් තැබීමේ පදම හරියට දැනගෙන ඉන්න ඕන. දැන් මම අවුරුදු 20ක විතර ඉඳල මේ කටයුත්ත කරනවා. බොහොම ප්‍රවේශමෙන් ඉවසිල්ලෙන් කරන්න ඕන දෙයක්.

මෙම නිර්මාණකරුවා තවත් විශේෂ නිර්මාණයක් ලීයෙන් නිපදවා ඇති අයුරු අපට දක්නට ලැබුණි. බායාවට තබ්ලා (ජිල්) දෙකක් ගිල්වා නිපදවා ඇති මෙම තාල වාදන තබ්ලාව ඔහුගේ අපූරු නිපැයුමකි. ප්‍රසංගයකදී එකම අවස්ථාවක තබ්ලාව විධියටත් ඩොලැක්කිය විධියටත් මෙම භාණ්ඩය පාවිච්චි කිරීමේ හැකියාව ඇත. එම නිර්මාණයද ඔහුගේ අතින් නිමැවුණු අපූරු භාණ්ඩයකි.

හරක් හම් සහ එළු බොකු යන හම් දෙවර්ගයම තාල වාදන භාණ්ඩ නිෂ්පාදනය සඳහාත් අලුත්වැඩියාවන් සඳහාත් යොදා ගනී. හම් වර්ග ආයතනය මිලදී ගන්නා අතර ඒවා ගෙනැවිත් බාර දෙන්නෝ දිනපතාම ඒ කටයුත්තේ නිරතව සිටිති. ආයතනයේ පසෙකින් ඇති කුටියක විශාල ටැංකියක මෙම හම් බහාලමින් දින 03ක් පමණ පදම් කර ගැනීම එක් සේවකයකු විසින් කරනු ලබයි. අනතුරුව හොඳින් වේළා ගන්නා හම් භාණ්ඩවලට සරිලන අයුරින් කපාගෙන භාණ්ඩ නිෂ්පාදනය ආරම්භ කරයි. එක් දිනක නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අනුමාන කරමින් අවශ්‍ය කරන ප්‍රමාණයට පමණක් පදම් වූ හම් කපා ගනියි. අවශ්‍ය ප්‍රමාණයට වඩා සකස් කරගෙන එම හම් ඉතුරු වුවහොත් ඒවා යළි ප්‍රයෝජනයට ගත නොහැකි වන බව එහි සේවය කරන්නෝ පවසති.

තවත් පිරිසක් ලියවන පට්ටල්වල ලියවා සකස් කර ගන්නා ලී කඳන් ගෙනැවිත් බාරදෙන අතර මෙම ආයතනයේද ඇති විශේෂයෙන් සකස් කළ ලියවන පට්ටලයක් මඟින් අවශ්‍ය ලී කඳන් කැටයම් යොදා සකස් කරන නිර්මාණකරුවන් කිහිප දෙනෙක් ලහි ලහියේ භාණ්ඩ නිෂ්පාදනයේ අවශ්‍යතාවන් සපුරා දෙති. පදම් කරගත් හම්වලින් වර පටි කපා ගන්නා කිහිප දෙනකු වර පටි ක්‍රමානුකූලව තාල වාදන භාණ්ඩය ආවරණය කරමින් ගැට ගසා හමක් බැඳ වර පටිවලින් මනාව සිර කරයි. මෙම කටයුතු අවසාන වීමෙන් අනතුරුව බවීන්ද්‍ර තම රාජකාරිය අරඹයි. ඒ තමන් විසින් සාදා ගන්නා ලද බෙහෙත් තබා දැඩි ඉවසීමකින් යුතුව භාණ්ඩය සුසර කිරීමේ කර්තව්‍යයි. එමනාව සුසර කිරීමෙන් නිෂ්පාදන ක්‍රියාවලිය අවසන් කර ගනී.

නවෝදා රිද්ම තරංග ආයතනයෙන් තම තාල වාදන භාණ්ඩයක් අලුත්වැඩියා කර ගැනීමට පැමිණ සිටි අප හොඳින් දන්නා හඳුනන නර්තන ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වූ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ වර්තමාන නැටුම් උපදේශක හා නාට්‍යවේදී ඒ.එස්.එම්. රිස්වි මහතා අප හා මෙසේ කීය.

“බොහෝ කාලයක ඉඳල අපිට අවශ්‍ය කරන තාල වාදන භාණ්ඩ අලුතින් මිලදී ගන්නෙත් දෝෂ ඇති වුණාම අලුත්වැඩියා කර ගන්නේත් මේ ආයතනයෙන් තමයි. ඉස්සර පුංචි අයියා ඉන්න කාලේ ඉඳලම අපි රිද්ම තරංග එකට තමයි ආවේ ගියේ. දැන් බවීන්ද්‍ර ඉතාමත් හොඳින් අපේ අවශ්‍යතාවන් ඉටු කරල දෙනවා. සාධාරණ මිල ගණන් වගේම නිෂ්පාදනය හා අලුත්වැඩියාවන් ඉතාමත් හොඳයි. ඉක්මනින් කර ගන්නත් පුළුවන්”.

තවදුරටත් තාල වාදන භාණ්ඩ ගැන කරුණු ගෙනහැර දැක්වූ බවීන්ද්‍ර, “නියම හඬක් ගන්නට නම් අකුණු සැර වැදුණු වරකා ගසක අරටුව සහිත ලී කඳක් තමයි යොදා ගන්නේ. අද අකුණු සැර වැදුණු කොස් ගස් සොය සොයා ඉන්න වෙලාවක් නැහැ. තාල වාදන භාණ්ඩවලට විශාල ඉල්ලුමක් තියෙන නිසා අකුණු වැදුණු ඒවා හොයන්න බැහැ. ඇහැල ලී, කිතුල් ලී කඳන් බෙර, දවුල් නිෂ්පාදනයට හොඳයි. මගේ මතය නම් කොස් ලී යොදා නොගෙන වෙනත් ආදේශක ලීයකට අප යා යුතුයි. කොස් ගස් කැපීම අපරාධයක්. ඊළඟට තියෙන බරපතළ ප්‍රශ්නය තමයි හරක් හම්, එළු බොකු සොයා ගැනීමේ අපහසුතාව. ගව හා එළු ඝාතකාගාරවලින් දැන් අපට ඉතාම අඩුවෙන් තමයි හම් ලැබෙන්නේ. වැඩියෙන්ම තාල වාදන භාණ්ඩවලට යොදා ගන්නේ හරක් හම් හා හරක් සිවි. එළිච්චියන්ගේ සිවි ඇතැම් භාණ්ඩවලට යොදා ගන්නවා. ගව ඝාතනය නැවතුණොත් හම් පිටරටින් ආනයනය කරන්න වෙනවා. හරක් හමට ආදේශක වෙනත් හම් නැහැ. පිටරටින් හම් වර්ග ගෙන්වන්න සිදු වුණොත් භාණ්ඩවල මිල ඉතාමත් වැඩි වෙන්නට ඉඩ තියෙනවා.” යැයි පැවසීය.

අකුරැස්ස මධ්‍යම විශේෂ [විජිත සල්ගාදු]

මාතෘකා