බෝ නොවන රෝගවලින් මිදෙමු

 ඡායාරූපය:

බෝ නොවන රෝගවලින් මිදෙමු

රුධිරය අවශ්‍ය රෝගීන්ට රුධිරය ලබාදෙන්නේ නිරෝගී රුධිර දායකයන් විසිනි. රුධිර දායකයන් ලෙස රැඳෙමින් මෙම උතුම් ක්‍රියා අඛණ්ඩව කරගෙන යෑමට රුධිර දායකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය මනාව තබා ගැනීම වැදගත්ය. මක්නිසාදයත් හෘද රෝග, දියවැඩියාව සහ පිළිකා වැනි රෝගවලට ලක්වූවන් රුධිර දායක සංචිතයෙන් ඉවත්වන බැවිනි. එබැවින් නිරෝගී රුධිර දායකයන් සෞඛ්‍යසම්පන්න දිවි පැවැත්මකට යොමු කිරීම මෙම ලිපියේ අරමුණයි.

මොනවද මේ බෝ නොවන රෝග?

රෝගියකුගෙන් තවත් කෙනකුට සෘජුවම බෝ නොවන රෝග බෝ නොවන රෝග ලෙස හඳුන්වනු ලැබේ. බෝ නොවන රෝග කෙටිකාලීන සහ දීර්ඝකාලීන ලෙස වෙන් කර දැක්විය හැකිය. දීර්ඝකාලීන හෙවත් නිදන්ගත බෝ නොවන රෝග වන්නේ හෘද රෝග, දියවැඩියාව, පිළිකා, ඇදුම සහ නිදන්ගත වකුගඩු රෝගයි. කෙටිකාලීන හෙවත් ක්ෂණික බෝ නොවන රෝග වන්නේ මාර්ග අනතුරු, ව්‍යාපාදය, පිලිස්සීම් ආදිය වේ.

මෙම ලිපිය මඟින් අවධානයට යොමු කරන්නේ ලෝකයේ බොහෝ දෙනෙක් මරණවලට ගොදුරුවන නිදන්ගත බෝ නොවන රෝග පිළිබඳවයි. අඩු සහ මධ්‍ය ආදායම් ලැබෙන ශ්‍රී ලංකාව වැනි රටවල්වල මෙම නිදන්ගත බෝ නොවන රෝගවල ප්‍රවණතාව වර්ධනය වෙමින් පවතී.

මේ සඳහා හේතු වන්නේ, ජීවන රටාව වෙනස් වීම (රැකියාව, ගමනාගමනය, ආහාර රටාව, මත්පැන් දුම්වැටි භාවිතය), ජනගහණ සංක්‍රාන්තිය‍, නාගරීකරණය සහ දෘෂ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය මඟින් ඇති වූ බලපෑම ආදියයි.

බෝ නොවන රෝග වැලඳීමේ අවදානමක් ඔබටත් තිබේද?

බෝ නොවන රෝග වැලඳීමේ අවදානම් සාධකවලින් ඇතැම් සාධක වෙනස් කළ නොහැකි ඒවාය. ඒවා නම් වයස, ස්ත්‍රී පුරුෂ භාවය සහ ජානමය යන සාධක වේ. තවත් සමහර සාධක වෙනස් කළ හැකි ඒවාය. එනම්, දුම්පානය, දුම්කොළ භාවිතය, මත්පැන් භාවිතය, අහිතකර ආහාර පුරුදු, මානසික ආතතිය, ශාරීරික ක්‍රියාශීලී අඩුකම, ස්ථූලතාව වැනි සාධකයන්ය. එසේම රුධිරයේ සීනි මට්ටම වැඩි වීම, අධික රුධිර පීඩනය සහ රුධිරයේ මේද සංයුතිය වෙනස්වීම ආදිය ආඝාතය සහ හෘදයාබාධ වැනි වෙනත් බෝ නොවන රෝග වැලඳීමේ අවදානමද වැඩි කරයි.

ඔබේ බර වැඩිද?

මෙය ඔබටම මැන බලන්න පුළුවන්. ඒ සඳහා ඔබේ බර සහ උස මැනගත යුතුය. ඉන්පසු ඔබගේ “ශරීර ස්කන්ධ දර්ශකය“ (BMI) ගණනය කළ හැකිය.

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) = බර(kg)

උස (m) ×උස (m)

BMI අගය 18.5ට අඩුනම් ඔබගේ බර ප්‍රමාණවත් නැත. 18.5-24.9ත් අතර නම් ඔබගේ බර ප්‍රමාණවත්ය. එය 25-29ත් අතර නම් අධික බර වන අතර 30 හෝ ඊට වැඩිනම් ඔබ සථූලතාවයෙන් පෙළෙයි.

ඉනේ වට ප්‍රමාණය මැනීමෙන්ද සථූලතාව හඳුනාගත හැකිය. මේ සඳහා උදරය සැහැල්ලුවෙන් ඇතිවිට නාභිය හරහා ඉනේ වට ප්‍රමාණය මැනගත යුතුය. පිරිමි අය සඳහා මෙම අගය සෙ.මී. 90ට වඩා අඩු විය යුතු අතර ගැහැනු අය සඳහා සෙ.මී. 80ට වඩා අඩු විය යුතුය.

ඔබේ බර අඩු කර ගන්නේ කොහොමද?

ජීවන රටාව වෙනස් කිරීමෙන්, ආහාර පාලනය මඟින්, ව්‍යායාම කිරීමෙන්, ඖෂධ මඟින් සහ ශල්‍යකර්ම කිරීමෙන් බර අඩු කර ගත හැකිය.

සෞඛ්‍යසම්පන්න ජීවන රටාවකට පුරුදු වෙමු

බෝ නොවන රෝග වළක්වා ගැනීමට ක්‍රියාශීලී ජීවිතයකට පුරුදුවීම වැදගත්ය. එමෙන්ම ශරීරයේ බර පාලනය වීම, හැඩැති රුවක් ලැබීම, මානසික සුවය ලැබීම ඉන් ලැබෙන තවත් වාසි වේ. එදි‍ෙනදා කාර්යයන් සඳහා පයින් ගමන් කිරීම, විදුලි සෝපාන වෙනුවට පඩිපෙළ භාවිතා කිරීම, ගෙවතු වගාව, විදුලි උපකරණ භාවිතා නොකර ගෙදරදොරේ වැඩ කටයුතු සිදුකිරීම ආදිය මඟින් ක්‍රියාශීලී ජීවිතයකට පුරුදුවිය හැකිය. තවද ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම, ක්‍රීඩා කිරීම, කඳු නැඟීම වැනි ක්‍රියාකාරකම් අමතරව සිදු කළ හැකිය. මුලින්ම සරල ක්‍රියාකාරකම්වලින් ආරම්භ කර පසුව වෙහෙසක් දැරිය යුතු දේ වෙත යොමු වන්න.

හැමදාම ව්‍යායාම කරමු

ගේදොර වැඩ කටයුතු වගේම විනෝදාංශ ලෙස ක්‍රීඩාවල යෙදීම, කඳු නැඟීම, බයිසිකල් පැදීම වැනි කටයුතුවල යෙදිය හැකිය. තවද ශ්වායු ව්‍යායාම, යෝග ව්‍යායාම, බර එසවීමේ ව්‍යායාම සහ කාය වර්ධන ව්‍යායාමවලද යෙදිය හැකිය. දිනපතා පැය භාගයක්වත් ව්‍යායාමවල යෙදීම බෝ නොවන රෝග වැලඳීමේ අවදානම අඩු කරයි.

ආහාර පාලනයට පුරුදු වෙමු.

සැමවිටම සමබල ආහාර වේලක් ගැනීම ඉතා වැදගත්ය. අාහාර වේලක පිඟානෙන් භාගයකට (1/2පිෂ්ටය සහිත ආහාර එකතු කර ගන්න. තුනෙන් පංගුවකට (1/3) එළවළු සහ පලා වර්ග එකතු කර ගන්න. ඉතිරි කොටසට (1/6 ප්‍රෝටීන් අඩංගු ආහාර එකතු කර ගන්න. කෑමට පසු පිරිසුදු ජලය සහ පලතුරු ලබා ගන්න.

සීනි භාවිතය අඩු කරමු. -

අධික සීනි මට්ටම රුධිර නාලවලට හානි කර මොළය, හෘදය, ඇස් සහ වකුගඩු ආදිය දුර්වල කරන අතර වැඩි සීනි ප්‍රමාණය තෙල් බවට හැරී තරබාරුව දියවැඩියාව, හෘදයාබාධ අංශභාග තත්ත්වයන් ඇතිවීමේ අවදානම වැඩි කරයි. පැණිබීම සහ අධික සීනි ප්‍රමාණයක් සහිත අතුරුපස ආදිය භාවිතය හැකිතාක් අඩු කළ යුතුය. බීම වර්ග මිලදී ගැනීමේදී සීනි ප්‍රමාණය පෙන්වන වර්ණ සටහන බලන්න.

ලුණු භාවිතය අඩු කරමු. -

ආහාරයට ගන්නා ලුණු ප්‍රමාණය අවශ්‍ය පමණට වඩා වැඩි වූ විට අධික රුධිර පීඩනය ඇතිවීමේ අවදානම වැඩි වේ. වැඩිහිටියකුට දිනකට අවශ්‍ය ලුණු ප්‍රමාණය තේ හැඳි එකකි. ලුණු අධික සකස් කළ ආහාර ගැනීමද අවම කළ යුතුය.

තෙල් භාවිතය අඩු කරමු. -

කොලෙස්ටරෝල් ශරීරයට අත්‍යවශ්‍ය සංඝටකයක් වුවත් වැඩිපුර ගන්නා කොලෙස්ටරෝල් රුධිරවාහිනීවල තැන්පත් වී ඒවා අවහිර කර හෘදයාබාධ අංශභාග තත්ත්වයන් ඇතිවීමේ අවදානම වැඩි කරයි. මාගරින්, බටර්, චීස්, බැදුම් ආහාර, බර්ගර්, බදින ලද අල පෙති, ඌරු මස්, සම සහිත කුකුළු මස්, කේක් සහ බිස්කට් ආදියේ අහිතකර තෙල් වර්ග බහුලව අඩංගු වේ. ඉතා අහිතකර තෙල් වර්ගයක් වන ට්‍රාන්ස් අම්ල මඟින් පිළිකා සෑදීමේ අවදානමද වැඩිවේ. ආහාර ගැනීමේදී තෙල් සහිත ආහාර සීමා කළ යුතු අතර ක්ෂණික ආහාර වෙනුවට කැඳ වර්ග ධාන්‍ය ආදියට පුරුදු වෙමු.

එසේම නිරෝගී ජීවිතයක් ගත කිරීමට යහපත් ජීවන පැවැත්මත් වැදගත් වේ. දුම් පානයෙන් සහ මත්පැන් පානයෙන් වළකින්න. මුඛ පිළිකා ඇති කරන නිසා බුලත්විට සැපීමෙන් වළකින්න. මානසික ආතතියෙන් තොර සැහැල්ලු ජීවිතයක් ගත කරන්න. බෝ නොවන රෝග පිළිබඳ වැඩිදුර විස්තර සහ අවශ්‍ය පරීක්ෂණ සඳහා ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හමුවන්න.

වෛද්‍ය [සමන්ත සෙනෙවිරත්න]

ජාතික රුධිර පාරවිලයන සේවය

මාතෘකා