දිමුත් ගේ වාර්තාවකින් සිහිපත් කළ අතීත එක්දින වාර්තා

 ඡායාරූපය:

දිමුත් ගේ වාර්තාවකින් සිහිපත් කළ අතීත එක්දින වාර්තා

කැරීන් ද බැට් (Carrying the bat) යන්න සිංහලයට හරවද්දී අඛණ්ඩව පිත්ත හා ගනුදෙනු කිරීම යනුවෙන්ද එය දැක්විය හැකිය. එය ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතුරුව සිදුනොවන සිදුවීමකි. ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසය නිරීක්ෂණය කරද්දී මෙම සිදුවීම අවස්ථාවන් 56ක දී සිදුව තිබුණද එක්දින තරගවල දී එය වාර්තාවී ඇත්තේ අවස්ථාවන් 12ක දී පමණි. යම්කිසි එක්දින කණ්ඩායමක සියලුම පිතිකරුවන් දැවීගිය අවස්ථාවක ආරම්භක පිතිකරුවා නොදැවී කඩුල්ලේ රැඳී සිටි 'කැරීන් ද බැට්' අවස්ථා පිළිබඳ සිහිපත්වනුයේ ලෝක කුසලානයේදී නවසීලන්තය හා තරගයේ දිමුත් කරුණාරත්න නොදැවී සිටීමට සමත්වීම හේතුවෙනි. මේ ලෝක ඉතිහාසයේ එවැනි දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් තබන සටහනකි.

පළමුවැනියා පුෂ්පයක්

මෙවැනි වාර්තාවක් පළමුවෙන් තබා ඇත්තේ එක්දින හා ටෙස්ට් පිටිය වෙනුවෙන් ලෝකයට හඳුන්වා දුන් පුෂ්පයක් බඳු ක්‍රීඩකයෙකුයැයි පැවසුවහොත් එය නිවැරදිය. ඒ අන්කවරකුවත් නොව සිම්බාබ්වේ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ග්‍රාන්ට් ෆ්ලවර් විසිනි. ඒ 1994/95 තරගවාරයේ ඕස්ට්‍රේලියාවේ පැවැති තුන්කොන් තරගාවලියේ 4 වැනි තරගයේදීය. එම තරගය එංගලන්තය සහ සිම්බාබ්වේ අතර පැවැත්වුණේ සිඩ්නි ක්‍රිකට් පිටියේ දී ය. එහිදී මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 49.3ක දී සියලුම පිතිකරුවන් දැවී ලකුණු 205ක් ලබාගන්නා විට ආරම්භක පිතිකරු ග්‍රාන්ට් ෆ්ලවර් නොදැවී ලකුණු 84ක් ලබා සිටියේය.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ එම දස්කම දැක්වූ පිතිකරුවන් පිළිබඳ මතකය ඇවිස්සෙන්නේ දිමුත් කරුණාරත්න දැක්වූ මෙම දස්කම හේතුවෙනි. එහි පළමු අවස්ථාව 1999 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම කොදෙව් කණ්ඩායම හමුවූණු අවස්ථාවේ ඉතිහාසයට එක්වුණේය. එම තරගය දෙපිලටම තීරණාත්මක තරගයක් වුණු අතර ජයග්‍රහණය කරන කණ්ඩායම සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට නියමිතව තිබීම ඊට හේතුව විය. එදා ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ දිවා තරගයක් ලෙස පැවති එම තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානුවන් මුලින්ම පන්දුවට පහරදීමට කොදෙව්වන්ට ආරාධනා කළහ. තරගයේ මුල සිටම සිය අණසක පැතිර වූ ඔස්ට්‍රේලියානු සුපිරි වේග පන්දුයවන ක්‍රීඩක ග්ලේන් මැක්ග්‍රාත් ලකුණු 20ක් තුළ කොදෙව් කණ්ඩායමේ මුල් කඩුලු 3ම දවාගනිමින් සාර්ථක ග්‍රහණයක් අත්පත්කර දුන්නේය. ඔහු ලබාදුන් එම ආරම්භය ඔස්සේ ගිය ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ කොදෙව් ඉනිම පන්දුවාර 46.4ක් තුළ ලකුණු 110කට සීමා කළහ. එහිදී කොදෙව් පිලේ සියලුම පිතිකරුවන් දැවීයන විට නොසැලී කඩුල්ලේ රැඳීසිටි ආරම්භක පිතිකරු රිඩ්ලි ජේකබ්ස් පන්දු 142ක දී නොදැවී ලකුණු 49ක් රැස්කිරීමට සමත්විණි. ලෝක කුසලාන ක්‍රිකට් තරගයක එවැනි දස්කමක් දැක්වූ පළමු ක්‍රීඩකයා බවට පත්වීමට රිඩ්ලි ජේකබ්ස්ට අවස්ථාවක් හිමිවුණේ ඒ ආකාරයෙනි.

ජේකබ්ස් එම දස්කම දැක්වීමෙන් වසර 20කට පසුව 2019 වසරේ ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තයට එරෙහිව පැවති තරගයේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න එම වාර්තාව යළි අලුත් කළේය. එම තරගයේදී පන්දුවාර 29.2ක් තුළ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 136කට සීමාවුණු අතර ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පන්දු 84ක් පුරා නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් ලබාගත් ලකුණු ප්‍රමාණය 52ක් ලෙස දැක්විණි. දිමුත්ගේ එම ඉනිම එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තාගත ඉනිමක් බවට පත්වුණේ Carrying the bat යන සුවිශේෂී දස්කම දක්වමින් පිතිකරුවෙකු ලෝක කුසලාන තරගයක ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණයද එය වීමත් සමඟය.

ඉහත සුවිශේෂී දස්කම දැක්වූ වෙනත් ශ්‍රී ලංකා පිතිකරුවන්ද ලෝක ක්‍රිකට් ඉතිහාසය පිරික්සා බැලීමේදී අපට සොයාගත හැකිය.

2017 වසරේ ද මෙවැනි වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පිතිකරුවකුට අවස්ථාව උදාවිය. ඒ ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර අබුඩාබිහි පැවති එක්දින තරගයකදීය. එම තරගයේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලැබුණේ ලකුණු 220ක ඉලක්කයකි. එදා එම ඉලක්කය හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 7ම ලකුණු 93ක් තුළ දැවීගියේය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අඩියකට වැටී සිටියත් ආරම්භක පිතිකරු උපුල් තරංග සුපිරි ඉනිමක් දියත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම පිතිකරුවන් ලකුණු 187කට දැවීයන තුරුම නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ ලකුණු 112ක් ලබාගනිමිනි. උපුල් තරංග එලෙස නොදැවී ලබාගත් ලකුණු 112 ට හතරේ පහර 14ක් එල්ල කර තිබූ අතර ඔහු පන්දු 144ක් වෙනුවෙන් ක්‍රීඩාකර තිබුණේය. මෙවැනි දක්ෂතා දැක්වූ තවත් පිතිකරුවන් අට දෙනකු ලෝක එක්දින මතක පොත පෙරළද්දී අපට සොයාගත හැකිය. ඒ අතර සුපිරි පාකිස්තාන පිතිකරුවකු වූ සයීඩ් අන්වර් ගේ නමද ඇතුළත්වේ.

සයිඩ් අන්වර්

1995 වසරේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේහි දී පැවති එක්දින තරගයක දී ඔහු මෙම වාර්තාව පිහිටුවා තිබේ. පකිස්තානය හඹා ගිය ඉලක්කය ලකුණු 220කි. නමුත් එදා පාකිස්ථාන කණ්ඩායමේ සියලුම පිතිකරුවන් පන්දුවාර 49.5ක දී දැවී ගියේ නොසිතූ අයුරිනි. එම තරගයේදී ලකුණු සම වූ අතර ඒ වනවිටත් නොදැවී කඩුල්ලේ රැඳී සිටි ආරම්භක පිතිකරු සයිඩ් අන්වර් පන්දු 131ක දී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 103 කි.

නික් නයිට්

එංගලන්තයේ නික් නයිට් යනු ප්‍ර වේගකාරී පිතිකරුවකු බව අලුතින් කිවිය යුතු නැත. 1996 වසරේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ට්‍රෙන්ට් බ්‍රිජ්හි දී පැවති එක්දින තරගයක දී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමේ සියලුම පිතිකරුවන් පන්දුවාර 50ක් තුළ ලකුණු 246කට දැවී යන විට ආරම්භක පිතිකරුවා වශයෙන් කටයුතු කළ නික් නයිට් පන්දු 145ක් තුළ නොදැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 125ක් විය.

ඩේමියන් මාටින්

2000 වසරේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ඊඩ්න් පාක් පිටියේ දී පැවති එක්දින තරගයක දී මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සියලුම පිතිකරුවන් පන්දුවාර 46.2ක් තුළ ලකුණු 191කට දැවීයද්දී නොදැවී සිටීමට ඔවුන්ගේ ආරම්භක පිතිකරුවා සමත් වූයේය. එම තරගයේදී ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවා වශයෙන් කටයුතු කළේ ඩේමියන් මාටින්ය. ඔහු පන්දු 135ක් තුළ නොදැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 116ක් විය.

හර්ෂල් ගිබ්ස්

2000 වසරේ සාජාහි දි පැවති එක්දින තරගයක දී පාකිස්තාන කණ්ඩායම විසින් දකුණු අප්‍රිකානුවන්ට ලබාදුන් ඉලක්කය වූයේ ලකුණු 169කි. එහිදී එම ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලුම පිතිකරුවන් පන්දුවාර 26.5ක දී ලකුණු 101කට දැවීයන විට ආරම්භක පිතිකරු ගිබ්ස් පන්දු 79කින් නොදැවී ලබා සිටි ලකුණු ප්‍රමාණය 59ක් රැස් කරමිනි.

ඇලෙක් ස්ටුවර්ට්

2000 වසරේ දීම ට්‍රෙන්ට්බිජ්හි දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවති තරගයක දී එංගලන්තයට ලැබුණු ඉලක්කය ලකුණු 196ක් ලබාදුන්නේය. ඉන්පසුව එම ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායමේ සියලුම පිතිකරුවන් පන්දුවාර 49.5ක දී ලකුණු 192කට සීමාවද්දී ආරම්භක පිතිකරු ඇලෙක් ස්ටුවර්ට් පන්දු 147ක් තුළ නොදැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 100ක් විය.

ජාවෙඩ් ඔමාර්

2001 වසරේ සිම්බාබ්වේ කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර හරාරේ නුවර දී පැවති එක්දින තරගයක මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ලබාගත් ලකුණු ප්‍රමාණය 230ක් විය. ලකුණු 231ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායමේ සියලුම පිතිකරුවන් ලකුණු 103ක් තුළ දැවීයන විට ආරම්භක පිතිකරු ජාවෙඩ් ඔමාර් පන්දු 86කින් නොදැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 33ක් විය.

අසාර් අලී.

ප්‍රේමදාස පිටියේ පැවති තරගයක දී ලකුණු 244ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 45ක් තුළ ලකුණු 199කට දැවීගියා අතර එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු අසාර් අලී පන්දු 126කින් නොදැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 81ක් විය.

ටොම් ලැතම්

2016 වසරේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව ධර්මශාලාහි දී පැවති එක්දින තරගයක දී මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමේ සියලුම පිතිකරුවන් පන්දුවාර 43.5ක් තුළ ලකුණු 190කට දැවීයන විට ආරම්භක පිතිකරු ටොම් ලැතම් පන්දු 98ක් තුළ නොදැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 79ක් ලෙස සටහන් වීම මෙම වාර්තාව සමකළ අනික් අවස්ථාව විය.

[නඳුන් ලියනගෙදර] (රෝ ඇසුරෙනි)

මාතෘකා