ගිනි නිවන මාධ්‍ය සංස්කෘතියක් උදෙසා

 ඡායාරූපය:

ගිනි නිවන මාධ්‍ය සංස්කෘතියක් උදෙසා

මේ මොහොතේ සමහර මාධ්‍ය මඟින් ලබාදෙන සියල්ල සත්‍ය තොරතුරු නොවේ. මේ වකවානුවේ සමහර මාධ්‍ය ක්‍රියාත්මක වන්නේ පවතින තත්ත්වය තවත් වියවුල් කිරීම අරමුණු කරගනිමින්ය. මාධ්‍ය ජනතාවට සේවය කිරීම වෙනුවට, ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම වෙනුවට වගකීම් විරහිත ලෙස රට තව තවත් අගාධකට ඇද දැමීමට කටයුතු කරමින් සිටියි. එම නිසා කටකතා සහ අසත්‍ය ප්‍රචාර පතුරුවන වගකීම් විරහිත මාධ්‍ය භාවිතාව පිළිබඳව අප සමාජයේ සිවිල් පුරවැසියන්ගෙන් කළ මත විමසුමයි මේ.


වගකීමකින් කටයුතු නොකළොත් පාලනය කරන්න බැරි වෙයි

ආචාර්ය ටියුඩර් වීරසිංහ

ජාතික ආපදා අවස්ථාවකදී හෝ සමාජ අර්බුදකාරී අවස්ථාවකදී මාධ්‍ය හැසිරීම සාමාන්‍ය තත්ත්වයකට වඩා සුවිශේෂතාවක් තිබිය යුතුයි. එවැනි අවස්ථාවක පුළුල් වගකීමකින් හා සවිඥානිකත්වයකින් මාධ්‍ය හැසිරෙන්න ඕනේ. එවැනි අවස්ථාවකදී මාධ්‍ය හැසිරෙන අවස්ථා තුනක් පවතිනවා. ඒ සිදුවීම ඒ ආකාරයටම වාර්තා කිරීම එක් අවස්ථාවක්. ඒ කියන්නේ සිදුවීම කිසිම අඩුවැඩියක් නැතුව පවතින ස්වරූපයෙන්ම වාර්තා කිරීම. තවත් අවස්ථාවක් තමයි එම සිදුවීම අදාළ මාධ්‍යකරුවාගේ හෝ මාධ්‍ය ආයතනයේ දෘෂ්ටිකෝණයෙන්, රාමුවකින් ඉදිරිපත් කිරීම. අපේ රටේ මාධ්‍ය තුළ බොහෝවිට සිදුවෙන්නේ ඒක. අනිත් අවස්ථාව තමයි සිදුවීම ග්‍රාහකයාගේ දෘෂ්ටිකෝණයෙන් ඉදිරිපත් කිරීම. මේ තුනම සංකලනාත්මකව අඩුවැඩිව පවතිනවා. මාධ්‍ය තමයි සමාජ ජීවිතයට මූලික වශයෙන් බලපෑමක් ඇති කරන්නේ. මූලික නියාමනයක් හා දිශානතියක් ඇති කරන්නේ. එම නිසා මේ වගේ ව්‍යාකූල අවස්ථාවක වැරදි ලෙස සිදුවීම් සහ තොරතුරු මාධ්‍ය විසින් අර්ථකථනය කරන්න ගියොත් පවතින අර්බුදය වඩා තීව්‍ර වෙන්න පුළුවන්. මාධ්‍ය වගකීමකින් කටයුතු නොකළොත් පාලනය කරගන්න බැරි තත්ත්වයක් උදාවෙනවා. මාධ්‍යයේ වගකීම තමයි එවන් අර්බුදකාරී අවස්ථාවක එම තත්ත්වය සමනය කිරීමට දායකත්වය සපයන ආකාරයට සිදුවීම් වාර්තා කිරීම.


මාධ්‍යයේ මූලික අරමුණ වෙන්න ඕනේ ජනතාවගේ යහපත

මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම

සදාකාලිකවම ප්‍රජාතන්ත්‍රවාදී රටක වගකීම් සහගත මාධ්‍ය භාවිතයක් තිබුය යුතුයි. ජන ජීවිතයට විශාල තර්ජනයක් ඇති වුණු අවස්ථාවකදී ජනතාවගේ පැත්තෙන් මාධ්‍ය විශාල මෙහෙවරක් කරන්න ඕනේ. යම් මාධ්‍යයක් ජනතාව කුපිත වෙන ආකාරයට කටයුතු කළොත් ඒකට ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍යයක් කියන්න අපහසුයි. මාධ්‍යයේ මේ මොහොතේ හැසිරීම මානව හිමිකම් කොමිෂන් සභාව ලෙස නිරීක්ෂණයට ලක් කරනවා. බොහෝ මාධ්‍ය දේශපාලන න්‍යායපත්‍ර අනුව කටයුතු කරන නිසා ජනතාවට සේවය වෙන්නේ නැහැ. මාධ්‍ය වගකීම් සහගතව තොරතුරු ජනතාවට ලබාදිය යුතු සේම ජනතාව අතර නොසන්සුන්තාවක් කෝපයක් ඇති වන වාර්තා නොකළ යුතුයි. එසේ වුවහොත් එය රටේ යහපැවැත්මට හානිකරයි. මේ වකවානුවේ අපි මාධ්‍යයේ නිරීක්ෂණය කළ දේවල් ගැන සහ මාධ්‍ය කටයුතු කළ යුතු ආකාරය මාර්ගෝපදේශනයක් ආකාරයෙන් ඩිජිටල් මාධ්‍ය ප්‍රධානීන් දැනුම්වත් කළා. දැන් මුද්‍රිත මාධ්‍යයටත් ඉදිරියේදී අපි මාර්ගොපදේශනයක් ඉදිරිපත් කරනවා. මේ වෙලවේ ජන ජීවිතය ගැන හැඟීමක් මාධ්‍යයට තිබිය යුතුයි. මාධ්‍යයෙහි මූලික අරමුණ වෙන්න ඕනේ ජනතාවගේ යහපත.


මාධ්‍ය ආචාරධර්ම පද්ධතියක අවශ්‍යතාව පවතිනවා

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

මාධ්‍ය මේ වෙලාවේ ඉතාම ප්‍රවේසමෙන් කටයුතු කරන්න ඕනේ. දැන් සමහර මාධ්‍ය පැහැදිලිවම මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් ගෙන යන්නේ. සංහිඳියාව පැතිරවීම වෙනුවට ඔවුන් කරන්නේ ජාතිවාදය පැතිරවීම. කල් යාමේදී අපිට පේනවා හිතාමතාම මාධ්‍ය මෙහෙම හැසිරෙන්නේ දේශපාලන වුවමනාවන් සඳහා කියලා. දේශපාලන නායකයන් පවා මේ මොහොතේ මීට වඩා සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතුයි කියලා මම හිතනවා. ඒ වගේම ජනතාවත් මේ වෙලාවේ මාධ්‍යවල පවතින සියලු දෑ පිළිගන්නේ නැතිව ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕනේ. මේ වෙලාවේ පවතින මාධ්‍ය සංදර්ශන වහාම නවත්වලා සියලුම මාධ්‍ය පොදු එකඟතාවකට එන්න ඕනේ. මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් නිර්මාණය කරගන්න ඕනේ. මේවා නීති පනවලා කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මාධ්‍ය විසින්මයි ඒ සංයමය ඇති කරගත යුත්තේ.


අසත්‍ය ප්‍රචාරවලින් සමාජය බිය ගැන්වීම නීතියට අනුව වරදක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර

කටකතා සහ අසත්‍ය ප්‍රචාර නිසා සමාජය බිය ගැන්වෙනවා නම් ජාතීන් අතර ගැටලු ඇති වෙනවා නම් නීතිය අනුව ඒක පැහැදිලිවම වරදක්. දණ්ඩ නීති සංග්‍රහය අනුවත් ඒක වරදක්. ඒ වගේම හදිසි නීති රෙගුලාසි අනුවත් ඒක වරදක්. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අනුවත් කටකතා සහ අසත්‍ය ප්‍රචාර නිසා සමාජය බිය ගැන්වීම, ගැටුම් ඇති කිරීම වරදක්. අපි ඒ වගේ දේවල් නිරීක්ෂණය කරනවා. පොලිස් මූලස්ථානය කේන්ද්‍ර කරගෙන විශේෂ නිරීක්ෂණ ඒකකයක් ක්‍රියාත්මක වෙනවා. සමාජ මාධ්‍ය මඟින් සිදුවන අසත්‍ය ප්‍රචාර සහ කටකතා පැතිරවීම් සම්බන්ධ සිදුවීම් මේ වන විට 90ක් පමණ වාර්තා වෙලා තියෙනවා. අපි ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන සඳහා භාරදෙනවා. ඔවුන් නිරීක්ෂණය කරලා වඩා හානිදායක කටකතා පැතිර වූ පුද්ගලයන් ඒ සඳහා අනුබල දුන් අය වෙනුවෙන් ගත යුතු නීතිමය පියවර ගනිවි.


මේ සෙල්ලමේ අවසානය සියල්ලන්ම දැවිලා යන එක

මාධ්‍යවේදී වික්ටර් අයිවන්

වගකීම් විරහිත දේශපාලනයක් පවතින රටක වගකීම් සහිත මාධ්‍ය භාවිතයක් අපිට අපේක්ෂා කරන්න බැහැ. ඒ නිසා මේ මොහොතේ ලංකාවේ පවතිනේ වගකීම් විරහිත මාධ්‍ය භාවිතයක්. එක් පැත්තකින් මාධ්‍යයට අවශ්‍ය වෙලා තියෙනවා මේ රටේ අස්ථාවරභාවයක් ඇති කරන්න. අනිත් පැත්තෙන් දේශපාලකයන්ට අවශ්‍යතාවක් පවතිනවා රටේ අස්ථාවරභාවයක් ඇති කරන්න. මේ සියලුදෙනා කැමතියි ඊළඟ ජනාධිපතිවරණය දක්වා මේ රට අස්ථාවරව පවතිනවා නම්. හේතුව එය ඔවුන්ට දේශපාලන වාසි ගැනීමට රුකුලක් නිසා. ලංකාවේ මාධ්‍ය කවදාවත් නිසි ලෙස හැසිරිලා නැහැ. මාධ්‍යයට අඩුම තරමේ ජාතික පිළිවෙත් රාමුවක්වත් නැහැ. මාධ්‍ය කටයුතු කරන්නේ හිතුවක්කාරී ලෙස. මාධ්‍ය වගකීමකින් කටයුතු කරනවා නම් මේ වගේ අර්බුදකාරී තත්ත්වයකදී පළමුව කළ යුත්තේ සමාජය නැවත සාමාන්‍ය තත්ත්වයකට පත් කරන්න සහයෝගය ලබාදෙන එක. නමුත් දැන් මාධ්‍ය විසින් පැවති අවුල වැඩි කරලා මහජනයා කුලප්පු කරන න්‍යාය පත්‍රයක් අනුව වැඩ කරන්නේ. මේ සියල්ල තමන්ගේ මාධ්‍ය ජනප්‍රිය කරගන්න කරන්නේ. මේකෙන් අන්තිමටම රට ගිනි තියනවා විතරක් නෙවෙයි; ඒ ගින්නෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක කරන අයත් දැවිලා යයි කියලා මම හිතනවා.


වගකීම් විරහිත මාධ්‍ය නිසා කටකතාවලට පිළිගැනීමක් ලැබුණා

දේශපාලන විචාරක ගාමිණී වියන්ගොඩ

මේ සියලුම ගැටලුවලට මුල ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ස්වයං නියාමනයක් නැතිකම බව මාධ්‍ය ගැන සැලකිලිමත් වන අය පෙන්වලා දීලත් දැන් බොහෝ කාලයක්. සමහර රටවල මාධ්‍ය අවිචාරවත් වන විට ඒ සඳහා රජය මැදිහත් වෙලා මාධ්‍ය නිදහස නැති කරලා තියෙනවා. ඒ නිසා මාධ්‍ය විසින්ම මාධ්‍ය සඳහා නියාමනයක් ඇති කර ගැනීම තමයි උචිත. ලෝකයේ පිළිගත් මාධ්‍ය මූලධර්ම තියෙනවා. මාධ්‍ය සදාචාරයේ පිළිගත් දෑ බොහොමයි. ඒ සියල්ල පිළිපැදීම ජනමාධ්‍යයේ වගකීමක්. දැන් ලංකාවේ තියෙන්නේ අවදානම් සහගත තත්ත්වයක්. ආගමික අන්තවාදය සහ ජාතිවාදී අන්තවාදය භයානක ලෙස හිස ඔසවලා. මේ වෙලාවේ ජාතික අවශ්‍යතාව අනුව මාධ්‍ය වගකීමෙන් කටයුතු කළ යුතුයි. විශේෂයෙන් පෞද්ගලික නාළිකා විසින් ඉතා පක්ෂපාතී ලෙස ජනතාව නොමඟ යවන පුවත් පළ කරනවා.‍ යම් කිසිවක අර්ධ සත්‍යයක් නැහැ. තියෙන්නේ සත්‍ය විතරයි. පසුගිය කාලේ මාධ්‍ය කිසිම වගකීමකින් තොරව හැසිරුණු නිසා තමයි කටකතාවලට මේ මොහොතේ ලොකු පිළිගැනීමක් ලැබුණේ. සමාජ ජාලවල උදේ හවා බොරු කියන අය ඉන්නවා. ඔවුන් ජනතාව නොමඟ යවනවා. මේ තත්ත්වය දැන්මම පාලනය කරනොගත්තොත් මහා විනාශයක මුල වෙයි.


ජනමාධ්‍ය රීතිවලට සෝෂල් මීඩියා ආවරණය වෙන්නේ නැහැ

කථිකාචාර්ය රවීන්ද්‍රන් සමරවික්‍රම

ඉතා බරපතළ තත්ත්වයක් මේක. ජනමාධ්‍යයට ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. ඒවා නීති නෙමෙයි රීති. නමුත් මේවාට සෝෂල් මීඩියා ආවරණය වෙන්නේ නැහැ. ඇත්ත ඇති සැටියෙන් වාර්තා කර සමාජය දැනුම්වත් කිරීම වෙනුවට දැන් ඒ අය උත්සාහ කරන්නේ ජනප්‍රියත්වය ළඟා කරගැනීම. මුලින්ම පුවත ග්‍රාහකයාට ලබාදීම තමයි ඔවුන් අරමුණු කරගන්නේ. ඒ තරගකාරීත්වය නිසා ගුණාත්මකත්වය යටපත් වෙලා ජනතාව අභිප්‍රේරණය කරන, කුපිත කරවන ආකාරයෙන් මාධ්‍ය හැසිරෙන්නේ. රටේ ඇතිවුණු ව්‍යාකූලත්වය එතැනින් හමාර නොකර මාධ්‍ය මේක දිගින් දිගටම ඇදගෙන ආපු නිසයි රට මේ තරම් දුරට අරාජික වෙලා තියෙන්නේ. රටේ හදිසි අපදාවක් සිදුවුණොත් මාධ්‍ය මැදිහත් වෙලා ඒකට සහන සලසනවා. නමුත් මේ තත්ත්වයේදී ඔවුන් තරගකාරීත්වය අනුව කරයුතු කරන්නේ. ඒකෙන් බැහැර වෙලා මාධ්‍ය මේ වෙලාවේ ජනතාවගේ පැත්තෙන් හිතලා කටයුතු කරන්න ඕනේ.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා