විභාගය අත ළඟ කළ යුතු දේ මෙන්න

 ඡායාරූපය:

විභාගය අත ළඟ කළ යුතු දේ මෙන්න

 

මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු මස 5 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. නව නිර්දේශය යටතේ අයදුම්කරුවන් 198,229ක්ද පැරණි නිර්දේශය යටතේ අයදුම්කරුවන් 139,475ක්ද ලෙස සමස්ත අයදුම්කරුවන් 337,704ක් මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය. උසස් පෙළ විභාගය සඳහා ඉතා සීමිත කාලයක් පවතින හෙයින් විභාග අපේක්ෂකයන්ට අදාළ උපදෙස් සහ අවසාන මොහොතේ මානසික පීඩනයකින් තොරව උසස් පෙළ විභාගය සඳහා සූදානම් විය යුතු ආකාරය පිළිබඳව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් මත විමසුමක් කළෙමු.

 

 

විභාග නීති රීති හරියටම පිළිපදින්න

විභාග කොමසාරිස් බී. සනත් පූජිත

විශේෂයෙන්ම මේ වෙලාවේ විභාගයට පෙර සූදානම ඉතාම වැදගත්. උසස් පෙළ විභාගය ලියන්න ළමයි අවුරුදු දෙකක් තිස්සේ පෙර සූදානම් වෙනවා. ඒත් විභාගයට අවශ්‍ය පෙර සූදානම එයාලට නැහැ. උසස් පෙළ ප්‍රවේශ පත්‍රය අතට ලැබුණු වහාම නම, විභාග අංකය, විෂය අංක, මාධ්‍ය පරීක්ෂා කරන්න. ඒවා වැරදිලා තියෙනවා නම් පාසල හරහා අපිට දන්වලා නැවත නිවැරදි කරගන්න. කාලසටහන ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. විෂය තියෙන දවස විතරක් නෙමෙයි වෙලාව ගැනත් අවධානය යොමු කරන්න. සමහර ළමයි උදේ තියෙන ප්‍රශ්න පත්‍රය ලියන්න හවසට එනවා විභාග මධ්‍යස්ථානයට. ඒ වගේම විභාග මධ්‍යස්ථානයට පැය භාගයකට කලින්වත් යන්න. ලංකාවේ පාරවල්වල නිතරම ප්‍රවාහන අපහසුතා. ඒ වගේම කාලගුණික බාධක එනවා. ඒ ගැන හිතලා කලින් විභාග ශාලාවට එන්න. ඒ වගේම පැය තුනේ ප්‍රශ්න පත්‍ර සඳහා මෙවරත් අතිරේක විනාඩි 10ක කාලය ලබාදෙනවා ප්‍රශ්න තෝරාගැනීම සඳහා. ඒ කාලය ඒ සඳහා පමණක් වෙන් කරන්න. ජංගම දුරකථන ඇතුළු කිසිදු ඉලෙක්ට්‍රොනික් උපකරණයක් විභාග ශාලාව වෙත රැගෙන ඒම සපුරා තහනම්. විභාග අක්‍රමිකතා සිදුකළොත් දැඩි දඬුවම්. විභාග නිරීක්ෂක මහත්ම මහත්මීන්ගේ වගකීම ළමයින්ව නිසි මඟට යොමු කිරීම. දරුවන් වැරදි වැඩක් කරනවා නම් එසේ නොවෙන්න යහපත් විභාග වාතාවරණයක් හදන එක තමයි ඒ අයගේ වගකීම.

සමත් වුණොත් හොඳයි

අසමත් වුණොත් ඒත් හොඳයි

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු පාලන අධ්‍යක්ෂ සමරසිංහ ගුණසේකර

විවිධ විභාගවලින් විවිධ කුසලතා මනිනවා. උසස් පෙළින් මනින්නේ ස්මරණය. ඒ නිසා මේ මොහොතේ ළමයි තමන්ගේ ස්මරණය නැවත නැවතත් ප්‍රගුණ කරන්න ඕනේ. අවසාන මොහොතේ පාඩම් කරන්න යන්න එපා. විභාගයට දවස් දෙකක් තියලා පොත්පත් ටික අයින් කරන්න. ඒ කාලය පාඩම් කරපුවා මෙනෙහි කරන්න භාවිත කරන්න. විවිධ ආකෘති වගේ ක්‍රමශිල්ප ආශ්‍රයෙන් ස්මරණය ගොඩනඟා ගන්න. දැන් වතුර බාල්දිවල කකුල් දාගෙන පාඩම් කරන්න එපා. මට මතකයි විශ්වවිද්‍යාලයේ දක්ෂයෝ විභාගේ දවසට උදේට ටෙනිස් ගහනවා. ඒ නිසා දැන් අනවශ්‍ය විදිහට මනස අවුල් කරගෙන පාඩම් කරන්න යන්න එපා. සමත් වුණොත් හොඳයි. අසමත් වුණොත් ඒත් හොඳයි. ලෝකේ විශිෂ්ටයෝ විභාග සමත් වුණු අය නෙමෙයි. ඒත් ලංකාව වගේ විභාග ක්‍රමය තුළ අධ්‍යාපනය තියෙන රටක විභාග නොලියා බැහැ. මේ වෙලාවේ ළමයි ඉන්නේ අනවශ්‍ය මානසික පීඩනයක. එහෙම අනවශ්‍ය බයක් වෙන්න ඕනේ නැහැ. විභාග කියන්නේ ලෝකේ අධ්‍යාපනය මනින සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ඒ නිසා සැහැල්ලුවෙන් උසස් පෙළ විභාගයට මුහුණදෙන්න. දරුවන්ගේ ජීවිතයේ ඉදිරිය තීරණය කරන්නේ ඒ කඩදාසි නෙමෙයි. ආත්මශක්තිය, ධෛර්යය දෙක විභාගයත් එක්කම ප්‍රගුණ කරන්න.

විනයානුකූල හැසිරීම ඉතාම වැදගත්

කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී.ඒ. අබේරත්න

මේ අන්තිම මොහොතේ අනවශ්‍ය බියකින් කටයුතු කරන්න එපා. විභාගයට සූදානම් වෙන්න. සැහැල්ලුවෙන් ඉන්න. මොකද අනවශ්‍ය මානසික පීඩනයම ඔබේ පිළිතුරු සැපයීම අසාර්ථක වෙන්න හේතුවක් වේවි. ඒ වගේම විභාග නීති රීති අකුරටම පිළිපදින්න. විභාග ශාලාව තුළත් ඉන් පිටතත් විනයානුකූල හැසිරීම ඉතාම වැදගත්. ඒ වගේම ඔබේ නිල ඇඳුම ගැන අවධානය යොමු කරන්න. පිරිමි ළමයි නම් රැවුල්, කොණ්ඩ කපාගෙන, ගැහැනු ළමයි නම් කොණ්ඩ ගොතාගෙන පිළිවෙළට විභාගය ලියන්න එන්න. විභාගය අවසන් වෙලා අස්වීම් සහතිකය ගන්න තෙක් ඔබ පාසල් ශිෂ්‍යයෙක් කියන එක අමතක කරන්න එපා. විභාගය ලියද්දි කලබල වෙන්න එපා. හොඳින්, තමන්ට කළ හැකි උපරිමයෙන් විභාගය ලියන්න. විභාග අක්‍රමිකතා කරන්න එපා. ඒ වගේම විභාගය අවසානයේදී අනවශ්‍ය විදිහට විභාගය ඉවර වීමේ සතුට සමරන්න යන්න එපා. අපි දැකලා තියෙනවා එහෙම කරන්න ගිහින් නිකරුණේ ජීවිත පවා අහිමි කරගත්ත ළමයි. විභාගය කියන්නේ තමන්ගේ දැනුම මනින දෙයක් විතරයි. ඉන් එහාට ජීවිතයක් තියෙනවා.

විෂයන් අතර කාලය කළමනාකරණය කරගැනීම වැදගත්

දේශක තිසිර කුමාර අත්තිඩිය

මේ අන්තිම මොහොත. දැන් තියෙන්නේ ඉතාම සීමිත කාලයක්. දැන් වැදගත් වෙන්නේ විභාග කාලසටහන ලැබුණාම ඒ කාලය අතර පවතින කාලය කළමනාකරණය කර ගැනීම. කාලසටහනේ විෂයන් අතර පවතින කාලය තුළ නිරවුල්ව නැවත සූදානම් වෙලා සාර්ථකව මුහුණදෙන්න. උසස් පෙළ විභාගයෙන් සියල්ල පරීක්ෂා කරන්නේ නැහැ. ප්‍රධාන ඉලක්කගත කරුණු විතරයි පරීක්ෂා කරන්නේ. ප්‍රශ්න පත්‍ර පරිශීලනය කරලා නිරන්තරයෙන් අහලා තියෙන ප්‍රශ්න ගැන අවධානය යොමු කරලා ඒ සඳහා අදාළ විෂය කරුණු පාඩම් කරන්න. මුලින් තියෙන විෂයන්වලට ප්‍රමුඛතාවක් දක්වමින් ඉතිරි කාලය කළමනාකරණය කරගන්න. විභාගය කියන්නේ විෂය නිර්දේශයේ දැනුම බැලීම නෙමෙයි. බහුවර්ණ හැරුණුකොට ප්‍රශ්න තෝරාගන්න අවස්ථාව තියෙනවා. ඒකෙදි පීඩනයකින් තොරව සූදානම් වීම වැදගත්. ප්‍රශ්න පත්‍රය නිසි පරිදි කියවන්න. හරියට ප්‍රශ්න තේරුම් ගන්න. මම මේ වසර ගණනාවේදීම දැකපු දුර්වලතාවක් තමයි ළමයි හරියට ප්‍රශ්නේ තේරුම් නොගෙන පිළිතුරු ලිවීම. ඒ නිසා ලබාදෙන අමතර විනාඩි 10ක කාලය තුළ ප්‍රශ්නය හොඳින් කියවලා පිළිතුරු සපයන්න.

විභාගයක් කියන්නේ ජීවිතයේ එක දෙයක් විතරයි

දේශක හේමප්‍රිය කවිරත්න

විභාගයක් කියන්නේ ජීවිතයේ එක දෙයක් විතරයි. ඒ කොටස ජීවිතයේ ඉතිරි ටිකට බලපානවා. ජීවිතයේ ඉතිරි කාලයම තීරණය වෙන්නේ උසස් පෙළ කඩයිම් විභාගයෙන්. මේ මොහොතේ හැකි හැම වෙලාවෙම විභාගය වෙනුවෙන් කළ හැකි සියල්ල කරන්න. විභාගයකදී ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේ සමස්ත විෂය නිර්දේශයෙන්. ඒ නිසා සමස්ත විෂය නිර්දේශය ගැනම අවබෝධයක් තියෙන්න ඕනේ. බහුවර්ණ අනිවාර්යයි. ව්‍යුහගත රචනා තෝරගන්න පුළුවන්. ළමයි වර්ග තුනක් ඉන්නවා. මුල සිට විභාගයට සූදානම් වෙන ළමයි, අන්තිම කාලයේදි විභාගයට සූදානම් වෙන ළමයි, කෙටි ක්‍රම මාර්ගයෙන් විභාගය සමත් වෙන්න උත්සාහ කරන ළමයි. දැන් සමස්ත විෂය නිර්දේශයම පාඩම් කරන්න බැරි නිසා කරපු ටික හරියටම පාඩම් කරගන්න. විභාගය කියන්නේ ජීවිතයේ වැදගත් දෙයක් වුණාට ජීවිතයම නෙමෙයි. පාඩම් කරපු, නොකරපු හැමෝම අනවශ්‍ය පීඩනයක් නොගෙන විභාගයට මුහුණදෙන්න. ළමයින්ගේ මම දකින ප්‍රධාන දුර්වලතාවක් තමයි කාලසටහන හරියට කියවන්නේ නැති එක. පතරංග ජාතක වගේ විෂය නිර්දේශ කියවන ළමයි හරියට කාලසටහන කියවන්නේ නැහැ. ඒ නිසා දක්ෂ ළමයින්ට විභාග මඟඇරිලා තියෙනවා. විභාගය ඉවර වෙලා ලියපු දේවල් ගැන සංවාද කරන්න යන්න එපා. හොඳට ලිව්වා නොලිව්වා ඒක හිතින් ඉවත් කරලා ඊළඟට තියෙන විෂයන්වලට හොඳින් මුහුණදෙන්න.

 

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා