කළු ජූලියේ ගිනි දැල් අතරින්

 ඡායාරූපය:

කළු ජූලියේ ගිනි දැල් අතරින්

විස්මිත හෘද සැත්කම් දොළොස්දහසකට අධික ගණනක් සිදු කරමින් රෝගී ජීවිත රැක ගන්නට කැප වූ විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ චරිතයකි. අගනුවරින් බැහැරව හෘද සැත්කම් කළ නොහැකි බවට වෛද්‍ය ක්ෂේත්‍රයේ පැවති බමුණු මතයට අභියෝග කළ ඔහු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් ආරම්භ කිරීමට පුරෝගාමී මෙහෙවරක් සිදු කළේය. ඔහුගේ ජීවන තොරතුරු ඇසුරින් සෑම සිකුරාදා දිනකම ‘රැස’ පුවත්පත මතක සිත ඔස්සේ ගෙන එන “හදවත්වලට පණ දෙන හදවත හොඳ වෙදැදුරු” විශේෂාංග මාලාවේ මේ හයවැනි දිග හැරුමයි.

සරසවි ජීවිතයේදී නාමල් සිසු අරගලවලට ලබාදුන් දායකත්වය ගැන පසුගිය සතියේ අපි ඔබට කීවෙමු. විවිධ පළාත්වලින් පැමිණි සරසවි මිතුරන් අතර නාමල්ගේ ගම් පළාත ගැන දැඩි උනන්දුවක් පැවතිණි. එයට බලපෑ ප්‍රධාන හේතුව වූයේ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් මඩොල් දූව තුළින් හෙළි කර තිබූ කොග්ගල ඔයේ සුන්දරත්වයයි. එම හේතුවෙන් ඔය මැද පිහිටි දූපත් සමූහය ගැන ද ඔවුහු තොරතුරු සොයන්නට දැඩි උනන්දුවක් දැක්වූහ. වාර අවසානයක ලැබූ කෙටි නිවාඩුවකදී කොග්ගල ඔය හා අවට විනෝදචාරිකාවක් සඳහා පිඹුරුපත් සකස් කෙරිණි. චාරිකාවට දින නියම කර ගත්පසු නාමල් කල් වේලා ඇතිව තම ගම් පළාත වූ කහඳට පැමිණියේය. ඒ චාරිකාවේ කටයුතු මැනවින් සංවිධානය කිරීමේ වගකීමද සමඟය.

කොග්ගල ඔයේ දෙදොල් කඩුල්ලට ඉහළින් පිහිටි තොටුපළ කිතුල්ගස් තොටුපළ නමින් හැඳින්වේ. එය ආශ්‍රිත ධීවර කර්මාන්තයේ යෙදී සිටි පිරිස් සේම ඔරු පැදීමට දක්ෂ ඔරු කාරයෝද නොඅඩුව සිටියහ. නාමල් ඔවුන් අතරින් දක්ෂ ඔරු කාරයන් තිදෙනෙක් හා ඔරු තුනක් ගමන සඳහා සූදානම් කර ගත්තේය. ජින්නාත් පොඩි ගමරාලත් කබල් ඔරුවකින් ගිය ගමන සඳහා නාමල් ශක්තිමත් ඔරු තුනක් සූදානම් කළේ සරසවි මිතුරන්ගේ ආරක්ෂාව තමා අත පැවති බැවිනි. මේ සඳහා නාමල්ගේ ගෙදරින් ද මනා සහායක් ලැබිණි. අම්මා උදේට සහ දහවලට සරිලන ලෙස වෙන වෙනම ආහාර සකස් කර දුන්නාය. ගමන සදහා අවැසි සියලු අඩුම කුඩුම ඔරු තුනට පටවා ගත් නාමල් ඔරු පදින්නන් සමග කිතුල්ගස් තොටුපළින් ගමන ආරම්භ කළේය. කොග්ගල ඔය ඔස්සේ දෙදොල් කඩුල්ල පසු කළ පසුව හබරාදූවට ආසන්නයේ දී කොළඹින් පැමිණි සරසවි මිතුරන් කණ්ඩායම ඔරු තුනට ගොඩකර ගනු ලැබීය. වසරක් පුරා විශ්වවිද්‍යාල ජීවිතයට කොටු වී සිටි තරුණ පිරිසට කොග්ගල ඔයේ ගමන අතිශය විනෝදජනක විය. මේ සුන්දර අතීත මතකයන් දිග ඇරි නාමල් ගමගේ අප සමග මෙසේ පැවසීය.

“එදා අපි මඩොල් දූවටත් තවත් දූපතකටත් ගියා. මේ ගමනේදී අපට නොදැනීම කාලය ගෙවී ගිය නිසා යාළුවන්ට අපේ ගෙදර යන්න වෙලාවක් ඉතිරි වුණේ නැහැ.”

මේ ගමනට එක්වූ මිතුරන් කවුදැයි අපි ඇසූ විට ඔහු පැවසුවේ තම කණ්ඩායමේ සිටි විශාල පිරිසක් පැමිණි බවත් ඒ අතර අද පේරාදෙණිය මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය එන්.ඩී. ළමාවංශ ද සිටි බවයි.

මාර්ටින් වික්‍රමසිංහයන් මඩොල්දූව ළමා කෘතියේ මැවූ මග සලකුණු අනුව එය බොහෝ විට කොග්ගල ඔයේ පිහිටි මඩොල් දූවට වඩා කුරුලු දූවට සමීප බව නාමල්ගේ අදහසයි. ඔහු මේ සම්බන්ධයෙන් අප සමග මෙසේ පැවසීය.

“කොග්ගල ඔයේ කොක්දූව, කොත්දූව, මැදින්දූව, තලාතුඩුව, වැද්දූව, කත්දූව, මඩොල්දූව හා කුරුලු දූව වගේ දූපත් ගොඩක් තියෙනවා. මඩොල් දූව පොතේ කෙරෙන විස්තරය අනුව එය වඩා සමීප වන්නේ කුරුලු දූවටයි. මොකද මඩොල් දූව කියන්නේ ඉතා කුඩා දූපතක්.”

නාමල්ගේ ගම් පෙදෙසේ චාරිකාවේ යෙදුණා සේම නිවාඩුවක් ලද පසු වෙනත් සරසවි සගයන්ගේ ගම්වලට යෑමද එකල ඔවුන්ගේ සිරිත විය. එසේ ගිය ගමන් ගැනද නාමල්ට හොඳින් මතක ඇත.

“නිමල් ජයසිංහ කියල අපේ බැජ් එකේ යාළුවෙක් හිටියා. එයාගේ ගම් පළාත රුවන්වැල්ලේ හාතගොඩ අපි දවසක් එහේ ගියා . හාතගොඩ මැදින් රිටිගහ ඔය ගලනවා. ඒ ගම හරිම ලස්සනයි. නිමල්ගේ තාත්තා විදුහල්පති වරයෙක් අම්මා ගුරුවරියක් කියන එකත් මට හොඳට මතකයි. දැන් කැනඩාවල ඉන්න වීරරත්නත් මේ ගමනට එක් වුණා” යැයි නාමල් ගමගේ පවසයි.

විශ්වවිද්‍යාලයේ පැවති පළමු වර්ෂ අවසාන පරීක්ෂණයේදී පන්ති සාමාර්ථයක් ලබා ගැනීමට නාමල් සමත් වුවද ඉන් පසු පැවති සෑම විභාගයකදීම ඔහුට සාමාන්‍ය සාමාර්ථයකින් සෑහීමකට පත් වීමට සිදුවිය. නාමල්ගේ සරසවි ජීවිතයේ තෙවන වසර ආරම්භයේම ඔහු යළි අලුත් නවාතැනකට පැමිණියේය. එය පුංචි බොරැල්ලේ බෞද්ධ මධ්‍යස්ථානයයි. එහි වැඩවිසූ කපුගම අරියජෝති හිමියන් හා නාමල්ගේ පියා අතර පැවති දැන හැඳුනුම් කම අලුත් නවාතැනට පිවිසීමට හේතු විය. පෙර ඔහුගේ නවාතැන් දෙකටම වඩා මෙය පහසුකම් සපිරි තැනක් විය. එහි සරසවි සිසුන් සේම රැකියාව සඳහා කොළඹට පැමිණි විශාල පිරිසක් නවාතැන් ගෙන තිබිණි. සරසවි ජීවිතයේ තෙවැනි නවාතැනේ නාමල් ඇසුරු කර සගයන් අතර නීතිඥ හේමන්ත විතාරණ, වරාය අධිකාරියේ පරිපාලනයට සම්බන්ධව සිටි නීතිඥ ජයන්ත, පොත් සාප්පුවක හිමිකරුවකු වූ මාවනැල්ලේ හඳකුඹුර මෙන්ම නීතිය හැදෑරූ වැඩිහිටියකු වූ මුනිරත්න අත්තනායක ද විය. හඳකුඹුර හිටපු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මැතිතුමන් ළඟින් ඇසුරු කළ අයෙකි. ඔහු හරහා ලලිත් ඇතුලත්මුදලි ඇමතිතුමන් හඳුනා ගන්නටද නාමල්ට අවස්ථාව උදාවිය. මුනිරත්න අත්තනායක මහතා පසු කලෙක එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස ඌව පළාත් සභාව නියෝජනය කළේය.

තෙවැනි වසරේදී සායනික පුහුණුවට නාමල් ඇතුළු කණ්ඩායම වරින් වර විවිධ රෝහල් කරා යොමු කෙරෙණි. නාමල් පළමු සායනික පුහුණුව ලබා ගත්තේ කොළඹ මහ රෝහලෙනි. හා පුරා කියා ඔහු යොමු වූයේ ශල්‍ය වෛද්‍ය වාට්ටුවකටය. ඒ ගැන මතකය අවදි කළ නාමල් මෙසේ පැවසීය.

“මම මුලින්ම සායනික පුහුණුව ලැබුවේ කොළඹ ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ කෘෘස් මහතාගේ වාට්ටුවකයි. එහිදී රෝගියකුගේ ඉතිහාසය ගැන තොරතුරු සොයා ගැනීම, විවිධ පරීක්ෂණ සඳහා රෝගීන් යොමු කිරීම, කැතීටර් දැමීම, වස්ති දීම සියලු වැඩ කරන්න වුණා. හෙදියන්ගේ හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ වගකීම් පවා ඉටුකරන්න එහිදී ඉගෙන ගත්තා. ශල්‍යකර්මයකට භාජනය වූ රෝගියෙකුගේ පශ්චාත් සෞඛ්‍ය සංරක්ෂණය ගැන පවා අපි පුහුණුව ලැබුවා.”

විටින් විට ළමා රෝහලේත් මහරගම පිළිකා රෝහලේත් අක්ෂි රෝහලේත් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේද අංගොඩ මානසික රෝහලේද වසංගත රෝග පිළිබඳ

අයි.ඩී.එච් හිද සායනික පුහුණුව ලැබිණි.

මේ අතර 1983 වර්ෂයේ ජුලි මාසය ගෙවෙමින් පැවතිණි . යාපනයේ හමුදා සෙබළුන් පිරිසක් ඝාතනය වීම මුල් කර ගනිමින් රටම උණුසුම් විය. ඒ උණුසුම කොළඹට වඩාත් දැනෙන්නට විය. දිනක් සායනික් පුහුණුව අවසන් කර බෝඩින් කාමරයේ රැඳී සිටි නාමල්ට එහි පැමිණි සගයෙකු පැවසුවේ කොළඹ අවට කඩ ගිනි ගන්නා බවයි. එහි සත්‍යතාව සොයා බැලීමට නාමල් ඇතුළු බෝඩිමේ සිටි සගයන් නවාතැන් ගෙන සිටි ගොඩනැගිල්ලේ තෙවෙනි මහලට ගොඩවිණි. එතැනට කොළඹ නගරයේ බොහෝ ස්ථාන හොඳින් දර්ශනය වේ. පුංචි බොරැල්ල බෞද්ධ මධ්‍යස්ථානයේ වෙහෙර වහන්සේ ඉදිකර ඇත්තේද මෙම තෙවැනි මහලේය. එහි සිට අවට බැලූ නාමල් ඇතුළු පිරිසට දැක ගන්නට ලැබුණේ කොළඹ අහස කළු කරමින් ඉහළට ඇදෙන කළු දුමාරයන් සමූහයකි. ඒ මතකය ගැන නාමල් මෙසේ පැවසීය.

“මට අද වගේ මතකයි. බොරැල්ල අවට ගොඩක් කඩ ගිනි ගන්නවා මම ඇස් දෙකෙන්ම දැක්කා. එසේ ගිනි ගන්න කඩවල තිබුණ කැසට්, රේඩියෝ, ඉලෙක්ට්‍රික් බඩු වගේම රෙදි පිළිත් පාරට බැස්ස මිනිස්සු අරගෙන යනවා. අපේ බෝඩිමේ සිටි සමහරක් අයත් මේකට සම්බන්ධ වුණා. හවස් වෙනකොට රටේම ඇඳිරි නීතිය දැම්මා.”

මේ වන විට නාමල්ගේ අක්කා වූ ශාන්තාද ඇක්වයිනාස් ආයතනයේ ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරමින් සිටියාය. ඇය නවාතැන් ගත්තේද පුංචි බොරැල්ලේ නිවසකයි. පසු දින උදෑසන ඇදිරි නීතිය ඉවත් කළ පසු තම අක්කා සමඟ ගෙදර යෑමට තීරණය කළ නාමල් 103 බසයකට ගොඩවූයේ මරදාන දුම්රිය පොළට යෑමටයි. පුංචි බොරැල්ල මංසන්ධි‍යේදී දැලි පෙරාගත් මිනිසකු අවපැහැ ගැන්වූ ටන්කර් පෙට්ටියක් අතින් ගෙන නාමල්ලා සිටි බසයට ගොඩ විය. වෙව්ලන දෑතින් යුතුව බයෙන් බිරාන්තව සිටි ඒ මිනිසා හඳුනා ගැනීමට නාමල්ට අපහසු නොවිණි. ඒ මතකය අනුව ඔහු මෙසේ පැවසීය.

“මම දැකපු ගමන් ඒ මනුස්සයව අඳුර ගත්තා. ඒ අපි කෑම කන්න යන පුංචි බොරැල්ල හන්දියේ සයිවර් කඩේ මුදලාලි. ඊයේ කලබල අස්සේ ඒ කඩේ ගිනි තියලා. බස් එකට හෝල්ට් එකක්වත් ඉස්සරහට යන්න හම්බ වුණේ නෑ පාර මැද හිටපු චණ්ඩි පිරිසක් බස් එක නැවැත්තුවා. බස් එකට ගොඩවුණු ඉන් කිහිපදෙනෙක් කතාකරන්න ඉඩ නොතියාම බයෙන් වෙව්ලමින් සිටි සයිවර් කඩේ මුදලාලිට දෙක තුනක් ඇනලා බස් එකෙන් බස්ස ගත්තා. අදටත් මම දන්නේ නෑ ඒ මනුස්සයට මොනව උනාද කියලා.”

 

සීමාවාසික පුහුණුවට කරපිටියට ගිය හැටි.... ලබන සතියේ.

[පබුදු සපුතන්ත්‍රී]

ඡායා [සමන් ශ්‍රී වෙදගේ] [චේනක වික්‍රමාරච්චි]

මාතෘකා