San Andreas චිත්‍රපටය සැබෑවක් වෙයිද?

 ඡායාරූපය:

San Andreas චිත්‍රපටය සැබෑවක් වෙයිද?

සැන් ඇන්ඩ්‍රියස් භූ පැල්ම සැලකිය යුතු ප්‍රමාණයකින් ලිස්සා ගොස් නොමැති නිසා දැන් එය ලිස්සා යෑමට කාලය හරි බව පවසන භූ විද්‍යාඥයන්, මේ දිනවල සිදු වූ භූ කම්පන එය සුමටව සිදු වීමට උදවු කළ හැකි බවද පවසනවා. එසේ වුවහොත් සිදුවන හානිය එතරම් බරපතළ නොවිය හැකි බවට ඔවුන් උපකල්පනය කරනවා. එසේ පළවන මත අතර එයට වෙනස් මතයක් දරන තවත් සමහරුන් පවසන්නේ මේ කුඩා භූ කම්පන පොළොව යට සිදුවන සුවිසල් භූ කම්පනයක පෙර නිමිති බවයි. සැන් ඇන්ඩ්‍රියස් භූ පැල්මෙහි දකුණු කොටසෙහි වසර 150ක් ඇතුළත සැලකිය යුතු ප්‍රමාණයේ කම්පනයක් ඇති නොවීමත් 1992, 1999 සහ 2019 ජූලි සිදු වූ භූ කම්පන සියල්ල එකිනෙක මනාව පෙළ ගැසී ඇති ආකාරයත් අනුව කිසියම් සුවිසල් භූ කම්පනයක් ඉතා නුදුරු අනාගතයේදී සිදු විය හැකි බව බොහෝ දෙනා පවසනවා.

කැලිෆෝනියාවෙහි දිගට සැතපුම් 800ක් පුරා දිවෙන San Andreas භූ පැල්ම සක්‍රිය වීමත් සමගම සිදුවන භූමිකම්පා මාලාව සහ ඒ හා සබැඳි සිදුවීම් මාලාව 2015 දී තිරගත වූ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක් වූ San Andreas චිත්‍රපටයට පාදක වී තිබේ. මෙය සත්‍ය වශයෙන්ම සිදු වූ සිදුවීමක් නොවුණත්, හොලිවුඩ් චිත්‍රපට නිර්මාපකයන්ගේ විශ්ලේෂණාත්මක දැනුම, පරිකල්පනය සහ අනාගතය පිළිබඳ කිසියම් හෝ දැක්මක් නිසාම වසර කිහිපයකට පෙරම, නුදුරු අනාගතයේ සිදුවිය හැකි යමක් පිළිබඳ කිසියම් පුරෝකථනයක පෙරනිමිති පහළ විය. ලොව පුරා සිදුවන භූ කම්පන පිළිබඳ පර්යේෂණ කරන කණ්ඩායම් විසින් පවසන්නේ San Andreas භූ පැල්ම ප්‍රධාන පෙළේ විනාශයක් සිදු කිරීමට දැන් කාලය පැමිණ ඇති බවයි. අවසාන වරට San Andreas භූ පැල්ම තුළ සැලකිය යුතු වෙනසක් ඇති වී ඇත්තේ වසර එකසිය පනහකට පෙරයි.

දශක ගණනාවකට පසුව ජූලි මස 4 සහ 5 දිනවල දකුණු කැලිෆෝනියාවේ සිදු වූ ද්විත්ව භූ කම්පන මොහාවි කාන්තාරයේ සැලකිය යුතු ප්‍රදේශයක් කම්පනයට පත් කළ අතර එහි වූ ආචරණ ලොස් ඇන්ජලීස් සහ සැන් හුසේ යන නගරවලට පවා තදින් දැනුණ බව සමාජ ජාලාවල සංසරණය වූ තොරතුරු මෙන්ම විද්‍යාත්මක දත්තවලින්ද හොඳින් පැහැදිලි වූ කරුණක් විය. භූ කම්පනය නිසා සමහර නිවෙස්වල වූ පිහිනුම් තටාකවල ඇති වූ ජල තරංග අඟල් හයක් පමණ උස් වූ බවද සඳහන් විය. භූ කම්පනයට අදාළව සිදු වන පසු කම්පන තවමත් ඒ ප්‍රදේශවලට දැනෙමින් පවතී. කෙසේ වුවත් භූ කම්පනයේ අපිකේන්‍ද්‍රය ජනාකීර්ණ පෙදෙසක නොතිබුණ බැවින් කිසිදු ජීවිත හානියක් වාර්තා නොවීම වාසනාවක් සේ සැලකේ. එසේම භූ කම්පනය නිසා පොළෝතලයට සිදු වූ හානිය සැන් ඇන්ඩ්‍රියස් භූ පැල්මෙහි කොටසක් නොවීම ද සැනසීමට කරුණක් වනවා. උතුරු ඇමෙරිකානු සහ පැසිෆික් භූ තල දෙක එකතුවන තැන ඇමෙරිකාවේ බටහිර වෙරළ තීරය ඔස්සේ සැන් ෆ්‍රැන්සිස්කෝ සිට මෙක්සිකානු බොක්ක දක්වා සැතපුම් 800ක් උතුරු දකුණු දිශාවට විහිදෙන සැන් ඇන්ඩ්‍රියස් භූ පැල්ම භූ විද්‍යාඥයන්ගේ දැඩි අවධානයට ලක් වී ඇත්තේ එය වැරදී හෝ සක්‍රිය වුවහොත් ලොස් ඇන්ජලීස්, සැන් ෆ්‍රැන්සිස්කෝ, සැන් හුසේ, සැන් ඩියාගෝ වැනි අතිශය ජනාකීර්ණ නගරවලට සිදු කළ හැකි අතිමහත් විනාශය නිසාමයි.

එසේම මෙම සක්‍රීය වීම සිදු වුවහොත් නිද්‍රාශීලීව සිටින ගිනිකන්දක් ලෙස සැලකෙන යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානයේ පිහිටි යෙලෝස්ටොන් ගිනිකන්ද ද සක්‍රිය වීමට ඇති ඉහළ සම්භාවිතාව නිසා මෙම අවදානම තවත් ඉහළ ගොස් තිබෙනවා. යෙලෝස්ටොන් ගිනි කන්ද අවසාන වරට සක්‍රිය විය යුතුව තිබී ඇත්තේ වසර 65000 කට පෙර නිසා එය කිනම් අවස්ථාවක හෝ සක්‍රිය විය හැකි වීමත්, එසේ වුවහොත් ඇමෙරිකාවේ බටහිර පෙදෙස, මධ්‍යම ඇමෙරිකානු භූ තලය, වොෂින්ටන් අගනුවර දක්වා පමණ නැගෙනහිර ප්‍රදේශය ඇතුළුව ඇමෙරිකාවෙන් සියයට හැටකට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වීමත් එයින් නැඟිය හැකි දුමාරය සහ දූවිලි වලාකුළු කෙටි කාලීන අධි ශීත කාලයක් (Ice Age) ඇති කිරීමට පවා සමත් වීමට හැකි වීමත් යන උපකල්පන නිසා සැන් ඇන්ඩ්‍රියස් භූ පැල්ම සහ යෙලෝස්ටෝන් ගිනිකන්ද පිළිබඳ වූ බිය මුසු සැකය තීව්‍ර කරනු ලබනවා. මේ නිසාම භූ විද්‍යාඥයන් තවමත් පසුගිය සතියක ඇති වූ භූ කම්පන නිසා සැන් ඇන්ඩ්‍රියස් භූ පැල්මට අමතර ආතතියක් ඇති වී ඇති දැයි තවමත් ගණනය කරමින් පවතිනවා. මේ හා සමගාමීවම ඉන්දුනීසියාවේ ද ඇති වූ භූ කම්පනය ද එහිම ආචරණයක්දැයි සැකයක්ද පවතිනවා. කෙසේ වුවත් දැන් දැන් ඇතිවන භූ කම්පනවල ප්‍රබලතාව සහ ප්‍රබල භූ කම්පන ඇතිවීමේ කාල සීමා කෙටි වීම නිසා බොහෝ විද්‍යාඥයන් අනුමාන කරනු ලබන්නේ ලොව කොතැනක හෝ අති ප්‍රබල විනාශයක් සිදු කළ හැකි භූ කම්පනයක් සිදු විය හැකි බවයි.

ලෝකයේ භූ කම්පන සිදුවිය හැකි ආකාර හතරක් දැක්වෙනවා.

භූ තල චලනය වීම නිසා සිදුවන භූ කාරක

භූ කම්පන (Tectonic)

ගිනිකඳු විදාරණය වීම නිසා ඇති වන භූ කම්පන (Volcanic)

භූ ගර්භය තුළ වූ උමං සහ කුහර කඩා වැටීම නිසා ඇතිවන භූ කම්පන සහ (Collapse)

න්‍යෂ්ටික පිපිරීම් වැනි මිනිසුන් විසින් සිදු කරන කටයුතු නිසා ඇතිවන භූ කම්පන (Explosion) වශයෙන්.

කෙසේ වුවත් වැඩිම විනාශයක් සිදු විය හැක්කේ භූ කාරක සහ ගිනිකඳු විදාරණය වීම නිසා ඇතිවන භූ කම්පන මගින්. ගිනිකඳු විදාරණයද තරමකට හෝ පුරෝකථනය කළ හැකි නිසා, අනතුරුදායක පෙදෙස්වලින් ජනතාව කල්තියා ඉවත් කළ හැකි බැවින් අවදානම අඩු කර ගත හැකි වුවත් භූ කාරක භූ කම්පන හදිසියේම ඇතිවිය හැකි නිසාත් එය පූර්ව අනතුරු ඇඟවීමකට හෝ ජනතාව ඉවත් කිරීමකට හෝ කාලයක් නොදෙන නිසා සහ එහි ඇති ප්‍රබලතාව නිසාත් ඉතා භයානක ප්‍රතිඵල ඇතිකළ හැකියි. පෘථිවියෙහි පිටත ස්ථරය (Crust) සැකසී ඇති භූ තල හතම නිරන්තරයෙන්ම සක්‍රියව කිසියම්ම චලනයකට භාජනය වන අතර මේ චලනයන් තුන් ආකාරයකට වර්ග කර තිබෙනවා.

1. සාමාන්‍ය චලනයන් (Normal Faults) වශයෙන් හඳුන්වන, එක් තලයක් අනෙක් තලයට සාපේක්‍ෂව පහළට ගමන් කිරීම සිදු වන විට පොළොව ගිලා බැසීමක් සේ පෙනෙනවා. මෙය සිදු වන්නේ වසර මිලියන ගණනක සිට නිසා පැහැදිලිව දැකීමට නොහැකියි.

2. දෙවන වර්ගය වන්නේ පිටුපසට සිදුවන චලනයන් (Reverse Faults) නමින් හඳුන්වන, එක් තලයක් අනෙකට සාපේක්‍ෂව ඉහළට ගමන් කිරීම. මෙහිදී භූ තල දෙක එකිනෙකට තෙරපෙනවා. මේ නිසා එය පිටතට පෙනෙන්නේ කඳු ඇතිවීමක් ලෙසින් උදාහරණයක් ලෙසින් ගතහොත් යුරෝපියානු සහ ඉන්දියානු භූ තල එකිනෙක තෙරපීම නිසා ටිබෙට් සානුව සහ හිමාලය කඳු පන්තිය ඇති වී තිබෙනවා.

3. අන්තර් ධාරා චලනයන් (Transcurrent Faults) නම් එකිනෙකට සාපේක්‍ෂව තිරස් අතට ඈතට ගමන් කරන තලයන් යන තෙවන වර්ගය එතරම් සුලභ නැතත් මේ තුනම නිසා භූ තල අතර අන්තර්ක්‍රියා හට ගන්නවා.

සැන් ඇන්ඩ්‍රියස් භූ පැල්ම අන්තර්ධාරා චලනයන් ඇති කරන භූ පැල්මක්. මෙහිදී පැසිෆික් සාගරය දරා සිටින බටහිර භූ තලය වයඹ දිශාවට චලනය වන අතර ඇමෙරිකානු මහාද්වීපය දරා සිටින නැඟෙනහිර භූ තලය ගිනිකොන දිශාවට චලනය වනවා. මෙම චලනය වසරකට සෙන්ටිමීටර පහක් පමණ විස්ථාපනයක් ඇති කරනවා. මෙම භූ පැලුම්වල තල එකිනෙකට විරුද්ධව චලනය වීම සුමටව සිදුවන්නක් නොවෙයි. ඒවායේ ඇති විවිධ හැඩතල සහ චලනයන්ගේ අසමානතා නිසා විවිධ අවස්ථාවලදී මේ භූ තල වෙත දැඩි පීඩනයක් සහ ආතතියක් දැනෙනවා. එවැනි අවස්ථාවක ඒ ආතතිය උපරිම ලෙස ගොඩනැඟී අවසානයේ භූ තල දෙක අතර විශාල කම්පනයක් ඇති කරමින් භූ තල අවම ශක්තිය ඇති අවස්ථාව වෙත පැනීමක් සිදු කරනවා. මෙය පුපුරන ද්‍රව්‍ය ටොන් මිලියන ගණනක් පුපුරුවා හැරියා සේ දැනෙන පිපිරුමක්. ඒ නිසයි මේ බලය මෙගාටොන්වලින් ගණනය කරන්නෙ. මේ බලය පිට වීමේදී එය සුවිසල් භූ කම්පනයක් ලෙසින් පිට වනවා. භූමියේදී භූ කම්පනයක් ලෙසින් සහ සමුද්‍රයේදී එය සුනාමියක් ලෙසින් අපට දැනෙනවා.

කෙසේ වෙතත් ජූලි මස මුල් භාගයේ සිදු වූ මේ භූ කම්පන සිදුව ඇත්තේ සැන් ඇන්ඩ්‍රියස් පැල්ම තුළ නොවන නිසා සහ ඒවා සිදු වී ඇති ප්‍රදේශ මෙයට පෙර භූ කම්පන වාර්තා නොවූ භූ පැලුම් හරහා සිදු වීම සහ ඒවා සැන් ඇන්ඩ්‍රියස් භූ පැල්මට ආසන්නව පිහිටා නොතිබීම නිසා මේ කම්පන තවමත් එතරම් අවදානම් ඇතැයි සිතීම අපහසුයි. කෙසේ නමුත් විද්‍යාඥයන් පවසන්නේ අලුතින් සිදු වූ භූ කම්පන සම්බන්ධ භූ පැලුම් තවමත් අධ්‍යයනය කරමින පවතින නිසා සහ මේ භූ පැලුම්වල ගැඹුර ආදිය නිසි ලෙස ගණනය කර නැති නිසා මේ සම්බන්ධතාව පිළිබඳ ස්ථිර යමක් උපකල්පනය කිරීමට තවමත් කල් මදි බවයි.

මෑතකදී සැන් ඇන්ඩ්‍රියස් භූ පැල්ම සැලකිය යුතු ප්‍රමාණයකින් ලිස්සා ගොස් නොමැති නිසා දැන් එය ලිස්සා යෑමට කාලය හරි බව පවසන භූ විද්‍යාඥයන්, මේ දිනවල සිදු වූ භූ කම්පන එය සුමටව සිදු වීමට උදවු කළ හැකි බවද පවසනවා. එසේ වුවහොත් සිදුවන හානිය එතරම් බරපතළ නොවිය හැකි බවට ඔවුන් උපකල්පනය කරනවා. එසේ පළවන මත අතර එයට වෙනස් මතයක් දරන තවත් සමහරුන් පවසන්නේ මේ කුඩා භූ කම්පන පොළොව යට සිදුවන සුවිසල් භූ කම්පනයක පෙර නිමිති බවයි. සැන් ඇන්ඩ්‍රියස් භූ පැල්මෙහි දකුණු කොටසෙහි වසර 150ක් ඇතුළත සැලකිය යුතු ප්‍රමාණයේ කම්පනයක් ඇති නොවීමත් 1992, 1999 සහ 2019 ජූලි සිදු වූ භූ කම්පන සියල්ල එකිනෙක මනාව පෙළ ගැසී ඇති ආකාරයත් අනුව කිසියම් සුවිසල් භූ කම්පනයක් ඉතා නුදුරු අනාගතයේදී සිදු විය හැකි බව බොහෝ දෙනා පවසනවා.

කෙසේ වුවත් ස්වභාවධර්මය සහ භූ තලය කිසිවිටෙක මිනිසාට පාලනය කළ හැකි දේ නොවේ. මේ තාක් කල් විද්‍යාව සහ තාක්‍ෂණය කොපමණ දියුණු වුවත් භූ කම්පන වැනි ක්‍ෂණික ස්වභාවික විපත් කවදා කෙසේ ඇති වේ දැයි පුරෝකථනය කිරීමට අප තවමත් අපොහොසත් වී තිබේ. මේ පුරෝකථන කෙසේ වුවත්, යෙලෝස්ටෝන් දැවැන්ත ගිනිකන්ද මෙන්ම සැන් ඇන්ඩ්‍රියස් පැල්ම ද ප්‍රතික්‍රියා දැක්විය යුතු කාලය බොහෝ කල් ඉකුත් වී ඇති නිසා ඒ සිදුවන විනාශයක් ඇත්නම්, එයට පෙර සූදානමක් ඇතිව මුහුණ දීමට සහ ඉන් පසුව ඇතිවන ආචරණවලට ලෝකය එකා වන්ව පිළියම් යෙදීමට කටයුතු සම්පාදනයට දැන් කාලය පැමිණ ඇති බව මගේ හැඟීමයි.

මාතෘකා