පාරක් තොටක් නැතිව වල්බිහිවන ජනපදයක්

 ඡායාරූපය:

පාරක් තොටක් නැතිව වල්බිහිවන ජනපදයක්

උඩරට කැරැල්ල තිබ්බ වකවානුවේ වලපනේ ප්‍රදේශයේ දරුණු සටන් තිබිලා තියෙනවා. අද ඔය තිබ්බටුගොඩ කියන හරියේ දරුණු සටනක් වෙලා සිංහලයෝ පරසුද්දෝ පෙති ගහලා ඔයට දැම්මා කියලා තමයි අපේ අත්තලා, මුත්තලා කියලා කියන්නේ. උන්නේ බොටු (බෙලි) තිහක් ගොඩගහපු තැන ‘තිස්බොටුගොඩ’ හැටියට ඒ කාලේ හැඳින්වූවත් අද ඒ ගමට කියන්නේ ‘තිබ්බටුගොඩ’ කියලයි. ඒ සටනින් ගලාගෙන ආපු ලේ ඔයේ ඇවිත් රැඳිලා තිබ්බ තැනට තමයි ‘ලේවැල්ලගොල්ල’ කියලා තියෙන්නේ. ඒක තමයි අපේ ගම. අද නම් ගමට කියන්නේ ‘ලැවැල්ලගොල්ල’ කියලා.

දීර්ඝ ගමනකින් පසු දැඩි ලෙස හෙම්බත්ව කරුණාරත්න මාමාගේ ගෙපිලේ ගිමන් හරිමින් සිටියදී ඔහු කතාව පටන් ගත්තේ එලෙසිනි. පුරාවෘත්තයන්ගෙන් අඩුවක් නොවූ වලපනේ දුෂ්කරතාවන්ගෙන්ද බිඳකුදු අඩු නැති බව මේ ආ ගමනේදීද මනාව පසක් විය. එහෙත් ඒ ගැන සිතන්නටත් කලින් කරුණාරත්න මාමා නැවතත් තම හඬ අවදි කළේ අතීත පෞරුෂයෙන් මිදී වේදනාබරවය.

“එහෙව් පාරම්පරික ගම්වල අද තත්ත්වය තමයි මේ. අද අපට උන්හිටි තැන නැති වේගෙනයි යන්නේ. යන්න එන්න පාරක් නෑ. බෙහෙතක් හේතක් ගන්න පහසුකමක් නෑ. අලි මෙහෙන් එනවා. ඌරෝ රිළව් එහෙන්. මේ ගේ මිදුලේ කෙසෙල් පැළයක් හදාගෙන කන්න දෙන්නේ නෑ ඇවිත් ඇදගෙන යනවා. උත්සාහයෙන් යාන්තම් බඩගින්නේ නොඉඳ කනවා. ගමේ හැම සම්පතක්ම අපිට තියෙනවා. ඒ වුණාට අපිට යන්න එන්න පාරක් නැති නිසා ගමේ දියුණුවක් නෑ.”

කරුණාරත්න මාමාගේ කතාව අස්සේම අප ආ ආකාරය මතකයට නැගුණේ නිරායායයෙනි. වලපනේ, කලගන්වත්ත ග්‍රාමයේ සිට තැනින් තැන කොන්ක්‍රීට් ඇතිරූ දැඩි බෑවුම් සහිත අබලන් පටු මාර්ගයේ කිලෝමීටර් එකහමාරක් පමණ දුර ගෙවා තැන්නේ බෝධියට පැමිණි අප මෝටර්සයිකල් එහි තබා ඉතිරි දුර පයින් යාමට තීරණය කළේ තවදුරටත් අවදානමක් ගැනීමට ඇති අකමැත්ත නිසාය. එතැන් සිට කිලෝමීටර් දෙකක පමණ දුර ගෙවා යබරගලට පැමිණීමට මාර්ගයක් ඇතත් එහි ගමන් කරන්නේ ඉඳහිට එළවළු ගෙනයාමට ගමට පැමිණෙන ලොරි දෙක සහ වෙච්ච දෙයක් වුණාවේ කියා හිත හදාගෙන ගල් මුල් උඩින් යන ත්‍රිරෝද රථයක් පමණි.

යබරගලින් එහාට මාර්ගයක් නැත. ලැවැල්ලගොල්ලට යායුත්තේ ගල් මතින් වෙළෙන් නියරෙන් පැන යමිනි. දුෂ්කරතාවයෙන් මෙන්ම සුන්දරත්වයෙන් පිරි මෙම ගම්මාන ආසන්නයෙන් ඇද හැලෙන ‘මාගම් ඇල්ල’ නමින් වූ කුඩා දියඇල්ලෙන් කුරුඳු ඔය පෝෂණය වේ. එතෙත් පැවති නිහඬතාව බිඳ දමමින් යබරගල සිට අපත් සමඟ පැමිණි කේ.වී. සෝමරත්න ගම්මානය පිළිබඳ තතු අපට පවසන්නට විය.

“මේ ගමේ නැති දෙයක් නෑ. හැම දෙයක්ම හැදෙනවා. වතුර ටික තියෙනවා. පොල්, කිතුල්, පුවක් හැදෙනවා. කුඹුරු සරුසාරයි. එළවළු ටික වැවෙනවා. ඒ වුණාට ඒ සියලු සම්පතක්ම තියෙන ගම්මානය වැහීගෙන යනවා. ටිකක් හරි පුළුවන් හැම මනුස්සයාම ගමෙන් යනවා. ළමයෙක් හිටියා නම් ඒ ළමයා ඉස්කෝලේ යවා ගන්න බෑ. අම්මා ඒ දරුවා එක්කගෙන හෙළට ගිහින් ආයේ එක්කන් එනකොට දවස ඉවරයි. ඉතින් ආයේ වෙන වැඩක් කරන්න කාලයක් නෑ. ඉතින් දියුණුවක් ඇති වෙයිද? පාර හදලා පාසල් වෑන් එකක් හරි දැම්මා නම් කොයි තරම් මිනිස් ශ්‍රමයක් ඵලදායී විදියට යොදා ගන්න පුළුවන්ද? කොල්ලෝ කෙල්ලෝ කොළඹ වැඩට ගියාම උන් අවුරුද්දකට සැරයක්වත් ගමට එන්නේ නෑ. උන් රස්සා කරලා ත්‍රීවීල් එකක් බයිසිකලයක් ගත්තට වැඩක් නෑ. ගමට ගේන්න බෑ. ඉතින් කරන්නේ පාරක් අයිනේ පදිංචියට යන එක. වාහනකාරයො පහළට එන්නේ නෑ. එළවළු ගේන්න එන්නේ ගමේ ලොරියක් විතරයි. ඒකත් නාවොත් ගමේ එළවළු අස්වැන්න එහෙමම විනාශ වෙනවා.”

එය වලපනේ බොහෝ ගම්මානවල පොදු තත්ත්වයයි. නිසි මාර්ග පහසුකම් නොමැතිකම මෙම ගම්මානයන්හි දියුණුවට ඇති විශාලම බාධාවයි. විවිධ අවස්ථාවලදී රජයන් මාර්ග ඉදිකළද තවමත් නිසි වැඩපිළිවෙළක් දක්නට නැත. මේ තත්ත්වය පිළිබඳව අප දැනුවත් කළ ආර්.එම්.පී.ජී. ජයසේකර අප හමුවේ තම හඬ අවදි කළේ මෙලෙසිනි.

“යබරගල, ලැවැල්ලගොල්ල, පොත්තල්ලිඳ යන ගම්මානවල පවුල් හාරපන්සීයක් ඉන්නවා. පහුගිය කාලේ දෙතුන් පැත්තකින් මේ ගම් ආසන්නයට පාරවල් කැපුවා. හැබැයි ඒ එකක්වත් සම්පූර්ණ නෑ. අද වෙනකොට සමහර පාරවල් වල් වැදිලා. මේ පාරවල් ටික සැලැස්මක් ඇතුව සම්බන්ධ කළා නම් මේ ගැටලුව ගොඩක් විසදෙනවා. මිනිස්සු ගම අතඇරලා යනවා. ගොඩක් අය යන්නේ දරුවන්ට උගන්වන්න. දරුවෙක් ඉන්නකොට කරන්නේ නෑදෑ ගෙදරක හරි නැවතිලා දරුවගේ අධ්‍යාපන කටයුතු කරගන්න එක. ගමේ අයට ලෙඩක් දුකක් හැදුනොත් තවමත් කරන්නේ ගෝනියක බැඳලා අරගෙන යන එක තමයි. වාරෙට ගස්වල අඹ, කොස්, පුවක් පිරිලා. ඒවා ගස් යටම කුණු වෙනවා. ඒ සම්පත් මුදල් කර ගන්න පාරට ගෙනියන්න විධියක් නෑ. මේ ගම්වල අද තියෙන තත්ත්වය ඕක තමයි. පවුල් 80ක් විතර හිටපු අපේ ගමේ අද ඉන්නේ පවුල් 45ක් විතරයි.”

මේ ගම්මානවල ඇති ගැටලුවලට ලක්ෂ පහ දහයෙන් දියහැකි විසඳුමක් නැත. එසේ ලබා දීමෙන් කුමක් හෝ කළා කියා හිත හදා ගත්තාට එයින් ලැබෙන ඵලය ඉතා අල්පය. එක් වර්ෂයකට එක් ගම්මානයක හෝ මුලික පහසුකම් සපුරාලිය හැකි නම් ඉන් එහාට ගම්වැසියන් තම කාර්යයන් ඉටුකර ගන්නවා ඇත. විශේෂයෙන්ම සම්පත්වලින් අනුන මෙම ගැමියන් ඉල්ලන එකම දේ මාර්ගය පමණක් වන බැවින් එය ඉටුකර දීම පවුල් සිය ගණනකට සහනයකි.

අප ආපසු එන ගමනේදී යබරගලට අසීරුවෙන් එන ලොරි රථය හමුවූයේ අහම්බයෙනි. තවත් විමතිය දනවන කරුණක් වූයේ එම ලොරි රථය පදවන්නා මෙවර වලපනේ ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරයකු වීමයි. එළවළු ප්‍රවාහනය කරන්නකු මෙන්ම යබරගල ගොවියකු වූ කල්ප අත්තනායක වන ඔහු සමඟ අප දොඩමලු වූයේය.

“මම මේ පාර තමයි ස්වාධීන මන්ත්‍රීවරයෙක් හැටියට සභාවට පත් වුණේ. පොදුවේ මීට කලින් හිටියේ ඡන්ද දායකයකු විදියටයි. අපි කලින් හිටිය මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට මේ ගැන අනේකවාරයක් කියලා තියෙනවා. නමුත් ඒ අයගේ අවධානය යොමු වෙන්නේ රාජ්‍ය ප්‍රතිපත්තිත් එක්කනේ. ගමකට එක වැඩකට ලක්ෂ පහක් දහයක් දෙන එකනේ කරන්නේ. ඇත්තම කතාව නම් එහෙම කරලා මේ ගම් සංවර්ධනය කරන්න බෑ. දැන් මම මන්ත්‍රී වුණා කියලා මට ලක්ෂ පහක් දහයක් දුන්නා කියලා මේ ගමේ තියෙන ප්‍රශ්නවලින් 1%ක් වත් සම්පූර්ණ කරන්න බෑ. අවුරුද්දට ලැබෙන ලක්ෂ පහෙන් කිලෝමීටර් හතරක් තියෙන මේ පාරේ අඩි 300ක් කොන්ක්‍රීට් කරලා ප්‍රශ්නේ ගොඩදාන්න බෑ. ඒක තමයි මෙතන තියෙන ප්‍රධානම හේතුව. අනෙක් එක තමයි මේ හුදෙකලා ගම්මාන සියල්ල යා වෙන්න එකම මාර්ගයක් ඉදිකරන්න පුළුවන් නම් මේ ප්‍රශ්නය ගොඩක් දුරට විසදෙනවා.”

අප ඔහුගෙන් විමසුවේ මෙම ගැටලුවලට ප්‍රාදේශීය සභාවට පූර්ණ විසඳුමක් නොමැති වුවත් ප්‍රතිපත්ති සම්පාදන ආයතන ලෙස ප්‍රාදේශීය සභාව, පළාත් සභාව, පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් සැලසුම් සකස් නොකරන්නේ ඇයිද යන පැනයයි. එසේම ඒ ආයතන නියෝජනය කරන මහජන නියෝජිතයන් මෙම ගැටලු විසඳීමෙහිලා ඒ ඒ ආයතන තුළ අරගල නොකරන්නේ ඇයිද කියා විමසූ අපි, ඒ ආයතන ඇහුම්කන් නොදෙන්නේ නම් අරගලය පිටතට ගෙන නොඑන්නේ මන්ද යන පැනයත් අවම වශයෙන් ගම්මානවල පවතින මෙම ගැටලු සම්බන්ධයෙන් මහජන නියෝජිතයන් දැනුවත්භාවයකින් සිටීද යන්නත් ඔහුගෙන් විමසීමට උත්සුක වූයෙමු.

මේ ගැටලු විසඳිලා නැත්තේ මහජන නියෝජිතයන් දැනුවත් නැති නිසා නෙමෙයි. ඒ අයට කොච්චර කිව්වත් කියන්නේ ප්‍රතිපාදන නෑ කියලයි. මුදල් නැති කතාව තමයි හැමවෙලේම කියන්නේ. නමුත් මූලිකම දේ දැක්මක් නැතිකමයි. වලපනේ ගොඩනඟන්න මූලික වුණු ටී.බී.එම්. හේරත් මහත්තයා කැන්දගොල්ල කිට්ටුවටම පාරක් කපලා තියෙනවා. ඒ පාර මේ ගම්මාන හරහා රන්දෙනිගල, මළ ඔයට යා කරන්න පුළුවන් නම් මේ ගම්මාන කවදාවත් හුදෙකලා වෙන්නේ නෑ. වලපනේ සහල් අවශ්‍යතාවෙන් 30%ක් විතර නිෂ්පාදනය වෙන්නේ මේ ගම්මානවලින්. අද අක්කර දෙතුන්සීයක් කුඹුරු පුරන් වෙලයි තියෙන්නේ. කැන්දගොල්ලේ ගම්මු තමන් හදපු ලක්ෂ දහය පහළොව වටිනා ගෙවල් කැලේට ඇරලා ගම අතඇරලා ගිහින් තියෙනවා. නාවෙල ඉස්කෝලේ සම්පූර්ණයෙන්ම වැහිලා ගියේ පාරක් නැති නිසා. නමුත් මහජන නියෝජිතයන් හරි වෙන කවුරු හරි ඒ ගැන අවදානය යොමු කළේ නෑ.

ඔහු කිව් කතාව සත්‍යකි. බොහෝ අය සිතා සිටින්නේ තමන් වලපනේට බොහෝ දේ කර ඇති බවයි. එහෙත් මේ ගම්මාන අපට කියාපාන්නේ ඒ කළ දේ ඇත්තේ අවමයෙන්ද පහළ මට්ටමක බවයි. ඔවුන්ගේ සංවර්ධනය සීතාම්බර පට සළුවක් යැයි අපට සිතේ. ඔවුන්ට අනුව එය පැලඳ සිටි නමුත් තමන් නිරුවතින් බව ඔවුහු නොදනිති. තම දැසි දස්සන්ද ඒ ගැන නොකියන නිසා අවිශ්වාස කිරීමටද හේතුවක් නැත. එහෙත් ඒ ගමන පරෙස්සමින් යා යුතුය. අතරමඟදී නොහික්මුණු කොල්ලන් දිනක හමුවීමට ඉඩ ඇත.

කෙසේ මුත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කල්ප අත්තනායක හෙළිදරව් කළ මාර්ග අපහසුකම් හේතුවෙන් වසා දැමුණු නාවෙල විද්‍යාලයත් ගේ දොර අතැර ගිය කැන්දගොල්ල ගම්මානයත් අද වන විට පුරන් වී ඇති සරුසාර කැන්දගොල්ල වෙල්යායත් සොයා යෑමට වෙහෙස නොබලා අප උත්සුක වූයේ මේ ඛේදවාචකයේ තවත් එක් පැතිකඩක් ඔබ හමුවට ගෙන ඒමේ අරමුණ ඇතිවයි.

සටහන හා ඡායාරූප

කඳපොල සමූහ [සම්පත් ජයලාල්]

මාතෘකා