‘රජරට පොත් වසන්තයේ’ අරමුණ පළාතේ ජනයාගේ රුචිකත්වය නැංවීමයි

 ඡායාරූපය:

‘රජරට පොත් වසන්තයේ’ අරමුණ පළාතේ ජනයාගේ රුචිකත්වය නැංවීමයි

රජරට විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන මහාචාර්ය සේන නානායක්කාර

අනුරාධපුරයේ මෙතෙක් නොකෙරුණු දැවැන්තම පොත් ප්‍රදර්ශනයකට රජරට කලාකරුවෝ සැරසෙමින් සිටිති. එය පොත් වසන්තයක් ලෙස නම් කර තිබේ. මෙහි විශේෂත්වයක් වන්නේ එය කලාවට හා සාහිත්‍යයට සීමා නොවීමත් රජරට කලාපයට යා වන දිස්ත්‍රික්ක හතක ජනයා ඊට යොමු කිරීමත්ය. උතුරුමැද පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මේ දැවැන්ත ව්‍යායාමයට එල්බගෙන සිටින අතර එහි සංවිධායක කමිටුවේ ප්‍රධානත්වය ගෙන සිටින්නේ රජරට විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ මහාචාර්ය සේන නානායක්කාරය. ඉදින් මේ අප ඔහු සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

සෑම වසරකම රට පුරාම ජනයා රොද බඳින පොත් ප්‍රදර්ශනයක් කොළඹ තිබියදී ඇයි අනුරාධපුරයට එහෙම ප්‍රදර්ශනයක්?

කොළඹ විතරක් නෙවෙයි, ගාල්ල, මාතර, මහනුවර, යාපනය කියන ස්ථානවලත් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන සංවිධානය කරනවා. මේ කොතැනකදීවත් රජරට කලාපයේ අසරණ අහිංසක ජනයාට එවැන්නක් දැකගන්නවත් අවස්ථාව නෑ. සරලම උදාහරණයක් කීවොත් මෙහෙ කෙනෙකුට කොළඹ යද්දි පොත් ගන්නවාට වඩා සල්ලි ගමන් වියදම් සඳහා වියදම් වෙනවා. එහෙම නම් පොත් ප්‍රදර්ශනයක් දකින්නවත් ගිහින් වැඩක් තිබෙනවාද? මේ නිසා අපි අවම වශයෙන් දිස්ත්‍රික්ක හයක ජනයා ඉලක්ක කරගෙන මේ කටයුත්ත සංවිධානය කළා. ඒ කියන්නේ කුරුණෑගල, වවුනියාව,පොළොන්නරුව, මාතලේ, ත්‍රිකුණාමලය කියන ස්ථාන ගැනත් අවධානය යොමු කළා.

ප්‍රාදේශීය වශයෙන් සිටින ජනතාව අතර පොත්පත් සඳහා උනන්දුව ඇති කණ්ඩායම් සිටිනවාද?

සාක්ෂරතාවෙනුත් අපේ පළාත ඇත්තේ පහළ මට්ටමක තමයි ඉන්නේ. එවැනි විටෙක ජනයාගේ කියවීමේ මට්ටම පහළ වීම සාමාන්‍ය තත්ත්වයක්. ඒ වගේම මේ කලාපයේ ප්‍රාදේශීය වශයෙන් සිටින ජනයා මහා ධනවතුන් නෙවෙයි. මේ අය ගොවි, කම්කරු ආදී සාමාන්‍ය ජන ජීවිතයක් ගෙවන අය. කාලය නාස්තිකරගෙන සොයාගෙන ගිහින් පොත්පත් මිලදී ගෙන කියවනවාට වඩා මේ අයට ජීවන සටනටයි ප්‍රධාන තැන දෙන්න තිබෙන්නේ. හැබැයි මේ අය අතර තමයි සංවේදී, යථාර්ථවාදී, රටදැය, පරිසරය, ආගම, සදාචාරය, අනාගතය, කලාව, සාහිත්‍යය වාගේ හැමදේම හොඳින් තෝරා බේරාගන්නා මනසක් ඇති සැබෑ පුරවැසියන් ඉන්නේ. ඔවුන් මහා සාහිත්‍යධරයින් නොවෙතත් ඔවුන් අවබෝධය වැඩි කරගැනීමට කුමක් හෝ දෙයක් කියවීමට කැමතියි. මෙන්න මේ පිරිසට හැකි පරිදි ලබාගන්න පොතපත සමීප කරදෙන එක තමයි අපේ අරමුණ. උගතුන් කියා විශේෂයෙන් තෝරාගත් පොතපත කියවීමට සුදුසුකම් ඇති අය කියා වෙනම පිරිසක් අපේ දෘෂ්ටියේ නෑ. හැම කෙනාටම පොතපත සහන මිලට, පහසුවට ලබාදීමේ සමාජ සත්ක්‍රියාවක් තමයි අප ඉටු කරන්නේ? ඒවගේමයි ප්‍රධාන විශ්වවිද්‍යාල දෙකක් ඇතුළු අධ්‍යාපන ආයතන ගණනාවක් හා දියුණු පාසල් පද්ධතියක් කේන්ද්‍රගත වූ මහා නගරයක උගතුන් බුද්ධිමතුන්, කලාකාරුවන් වැනි නිරන්තරයෙන්ම පොතපත අවශ්‍ය විශාල පිරිසක්ද සිටිනවා. ඔවුන්ගේ අවශ්‍යතාත් මෙහිදී සපිරෙනවා කියල අප හිතනවා.

මුදලට පොත්පත් දෙනවා නම් කොහොමද සමාජ සේවයක් වෙන්නේ?

ප්‍රාදේශීය වශයෙන් සිටින විවිධ තරාතිරමේ අයට කිසිමදාක දක්නට නොලැබෙන ඉහළ ප්‍රමිතියේ ප්‍රකාශන, ඉතා අඩු මිලට ලබාදීම එකක්. සමහර ආයතන අපට පොරොන්දු වෙලා ඉන්නවා සියයට පනහ දක්වා වට්ටම් යටතේ මිල අඩුවට පොත් ලබාදෙන්න. මොකද අපි පැහැදිලිවම කීව්වා අපට ලාභ ඉපයීමේ පරමාර්ථයක් නෑ කියල. ඒ නිසා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය ඇතුළු ආයතනවල අය බොහෝම සතුටු වුණා අපි වගේ හොඳ ආකල්පවලින් කටයුතු කරන සංවිධාන දුර්ලභ නිසා. ඒ අය ඉදිරිපත් වෙනවා අපටත් සාධාරණයක් කරන්න. ඒ අනුව ඔවුන් ඉතා අඩු මිලට වගේම සෑම ක්ෂේත්‍රයකම අලුත් සහ පරණ විවිධ මට්ටමේ පොත් ඉදිරිපත් කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් මේක අපේ පළාතට නොලැබෙන අවස්ථාවක්.

ඔබ සිතන ග්‍රාහක පිරිස මෙම ප්‍රදර්ශනයට කැඳවන වැඩපිළිවෙලක් තිබෙනවාද?

මම මේ සංවිධායකයන්ට ස්වේච්ඡාවෙන් නායකත්වය දෙනවා. මෙහි ප්‍රධාන වශයෙන් උතුරුමැද පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති අනුර දිසානායක මහතා, පළාත් සභාව ඇතුළු රාජ්‍ය ආයතන සියල්ලකම නිලධාරීන් කටයුතු කරනවා. ඒ අය හරහා ගමක් ගමක් ගෙයක් ගෙයක් ගානේ පණිවිඩය ගෙනියනවා. ඊට අමතරව අපි සියලු ආකාරයේ ප්‍රචාරණ මාධ්‍යයන් භාවිත කරන්නත් බලාපොරොත්තු වෙනවා.

මේ විදියට ජනතාව අතර පොතපත සුලබ කරමින් ඔබ ඔබේ පළාතට ලබාගන්න බලාපොරොත්තු වන දේ කුමක්ද?

ඒ, ප්‍රධාන වශයෙන් පළාතේ ජනතාවගේ රුචිකත්වය ඉහළ දැමීමයි. ජාතියක් බුද්ධිමත් කිරීමට පුරවැසියන්ගේ විචාරශීලීත්වය අවශ්‍යයි. අවර ගණයේ සංගීත ප්‍රසංග, සැණකෙළි වාගේ අරුත් සුන් දේ ජනතාවට ලබාදෙනවාට වඩා ජනතාව පොතපත කෙරේ නැඹුරු කිරීම ඉතා වැදගත් දෙයක්.

මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වන අනෙක් විශේෂාංග මොනවාද?

ජූලි 25, 26, 27 මහ 28 දවස් හතරේ අනුරාධපුර මහජන ක්‍රිඩාංගණයේදී උදේ 10ත් රාත්‍රී 10ත් අතර පොත් ප්‍රදර්ශනය විවෘතව තබනවා. සාහිත්‍ය දේශන, නව පොත් එළිදැක්වීම්, වැඩමුළු, සුභාවිත ගී ප්‍රසංග ආදී වශයෙන් වෙන් වෙන්ව සංවිධානය කළ වැඩ රාශියකුත් තිබෙනවා.

අපි ජූලි 25 වෙනිදා නම් කරලා තිබෙන්නේ මාර්ටින් වික්‍රමසිංහ දිනය කියලා. 26 වෙනිදා මහගම සේකර දිනය. 27 වෙනිදා කුමාරතුංග මුනිදාස දිනය. එදිරිවීර සරච්චන්ද්‍ර දිනය 28 වැනිදා. මේ විධියට ඒ ඒ දිනවලට අදාළ දේශන, සම්මන්ත්‍රණ ආදිය පැවැත්වෙනවා. 28 වෙනිදා රාත්‍රියේ ‘70 දශකයේ ජනප්‍රිය ගී ඇතුළත් ප්‍රසංගයක් පැවැත්වෙනවා. මේ සඳහා රාජ්‍ය සංගීත කණ්ඩායම, නර්තන කණ්ඩායම හා පළාත් සංගීත කණ්ඩායමද සම්බන්ධ වෙනවා.

වර්තමානයේ අප රටත් අප ජීවත් වන ලෝකයත් ගමන් කරන්නේ වෙනස්ම දිශාවකට. එහිදී හැමෝම සිතනවා මේ යුගයේ පොත්පත් අවශ්‍ය නෑ කියල. ඒවගේම නව මාධ්‍ය සමග සියල්ල වෙනස් විය යුතුයි කියලත් සමහරු හිතනවා. මෙවැනි පරිසරයක පොතපත සම්බන්ධයෙන් උනන්දු වීම ඵලදායක දෙයක් වේද?

අපේ සමාජය ඔබ කී ආකාරයට හිතන එකම තමයි වරද. ස්මාර්ට් ෆෝන්, පරිගණක, සමාජජාලා ආදී මොන මාධ්‍යයක් ආවත් පොතපතින් තරම් මිනිසා අංගසම්පූර්ණ කරන්න බෑ. නව මාධ්‍යවලින් කෙරෙන්නේ මිනිසා තව තවත් හුදකලා කරලා සමාජ සහජීවනය නැති කිරීමයි. පරිසරයෙන් දුරස් වූ ආත්මාර්ථකාමී අයෙකු නිර්මාණය කිරීමයි. මේ නිසා අපි දෙමාපියන්ගෙන් ඉල්ලනවා සබුද්ධික සමාජයක් හදන්න ඕනෑ නම් ඔබේ දරුවා සැබෑ යහපත් පුරවැසියෙකු කරන්න ඕනෑ නම් මේ අවස්ථාව ප්‍රයෝජනයට අරන් මෙතැන් සිට දරුවාට පොතපත කියවන්න හුරුකරන්න කියල. පොතපත තමයි සැබෑ කල්‍යාණ මිත්‍රයා. මැක්සිම් ගෝර්කි කීවා පිරිපුන් ජීවිත හදන්න පොතපත කල්‍යාණ මිත්‍රයෙක් මෙන්ම සරසවි වරම් ලැබීමක් හා සමාන වන බව.

අපි බලාපොරොත්තු වෙනවා මේ පොත් වසන්තයේ ප්‍රතිඵලයක් හැටියට අනාගතයේ කවදා හෝ රජරටින් අලුතෙන් ලේඛකයින්, කලාකරුවන්, සාහිත්‍යධරයින් මෙන්ම කුමන ක්ෂේත්‍රයක වුවත් සමාජයේ යහපත් දැක්මක් ඇති පුරවැසියන් බිහි වේවි කියලා.

මාතෘකා