සොඳුරු දිනක් නිමා විය

 ඡායාරූපය:

සොඳුරු දිනක් නිමා විය

උපමාලි හෝටලයේ ජනෙල් කවුළුවෙන් ඈත පෙනෙන කඳු යාය දෙස බලා සිටියේ කඳු වළල්ලෙන් ඈත සැඟවී යන හිරුගේ දසුන ඈ සිතට සුවයක් ගෙන ආ නිසාය. වසර ගණනාවක් පුරා අම්මාගේත් තාත්තාගේත් එකම සිහිනය අද දවසේ සැබෑ වී ය යන සතුටින් ඔවුන් දෙදෙනා සැහැල්ලුවෙන් හිඳිනු ඇතැයි උපමාලිට සිතේ. පවුලේ එකම දියණියගේ විවාහ මංගල්‍යය අතිඋත්කර්ෂවත් ලෙස පවත්වන්නට හැකි වී ය යන සතුට ඔවුන් අත්විඳින්නට ඇතුවාට කිසිදු සැකයක් තිබිය නොහේ. එය එතරම් අපූරුවට නිමා වූ උත්සවයක් බව උපමාලිට දැනේ. නාන කාමරයට වැදුණු දේවින්ද තවමත් එළියට පැමිණ නැත. කොළඹ සිට වත්තේගම හරහා හූනස් ෆෝල්ස් එන්නට ගත වූ පැය තුනහමාරකට ආසන්න කාලය දිගු වුවත් ගමන් විඩාවක් නොදැනෙන මුත් පෙරදා සිට නිසි නින්දක් නොලැබ ගෙවුණු රාත්‍රිය නිසා ඇඟට දැනෙන තෙහෙට්ටුවත් විඩාබර ගතියත් උපමාලිට නොදැනෙන්නේ නොවේ. උපමාලි හූනස් ෆෝල්ස් හෝටලයට කැමතිය. මේ ඈ මෙහි ආ දෙවෙනි වතාවය. මීට පෙර වසර කිහිපයකට පෙර රැකියාව කළ බැංකුවේ කළමනාකරණ සම්මන්ත්‍රණයක් සඳහා පැමිණි කල්හි නැවත මෙහි එන්නට ඇත්නම් යැයි සිතුණ ද, ඒ මෙවැනි ගමනක් සඳහා වේ යැයි ඇයට නොසිතුණි. ජීවිතය කියන්නේ සිතන පතන දෙයම නොව නොපතන නොසිතන දේම සිදු වන්නක් නොවේ දැයි උපමාලි දන්නීය.

'මොකද මේ තාම ඇඳුම් පිටින්ම? මහන්සි ද? ඇඟ සෝද ගත්තම මහන්සිය ඇරිල යයි. මම නම් බාත් එකක් දා ගත්ත...' නාන කාමරයෙන් පිටතට එමින් දේවින්ද ඇසූ ප්‍රශ්නයෙන් උපමාලි තිගැස්සී ධ්‍යානයෙන් මිදුණාය.

'නෑ. මහන්සි නෑ, මම බලන් හිටියෙ අර ඈත කඳු අතරින් ඉර බැහැගෙන යන ලස්සන...'

'ඔයා වොෂ් දාලා එන කල් මම තේකක් හදන්නද උපා?

'එපා, ඉන්න මම ඇවිත් හදන්නම්...'

දහවල සිට ඇඟට සිර වී තිබුණු ඇඳුම් එකිනෙක ලිහී යන කල උපමාලිට වොෂ් දැමීම පසෙක තබා කෙටි නින්දක් ඇත්නම් යයි සිතිණ. දේවින්ද ඇගේ ආබරණ, කොණ්ඩා සැරසිල්ල එකිනෙක ඉවත් කරන්නේ පුරුදුකාරයෙකු ලෙසිනැයි උපමාලි කල්පනා කළාය.

දුහුල් ඇඳුමකින් සැරසුණු උපමාලි කොණ්ඩය තෙත මාත්තු කරමින් නාන කාමරයෙන් පිටතට පැමිණෙන මොහොතේ දේවින්ද තේ සෑදීමට සූදානම් වී සිටිනු ඈ දුටුවාය. ඈ වෙතින් ගලා ගිය විලවුන් සුවඳින් මත් වූ කලෙක මෙන්, දේවින්ද ඈ තමා වෙතට ළං කොට ගෙන ඒ සුවඳ වින්දේ ඒ සුවඳ සොයා ගිය බඹරෙකු ලෙස යැයි ඇයට සිතිණ.

'මිල්ක්, ෂුගර්...?'

'හ්ම්, මිල්ක්, ටූ ෂුගර්...'

'රසායි, සීනි, තේ, ගාණට.. එතකොට රස්නෙ..?'

'ඔය වගේ දෙබසක් මම බලපු ෆිල්ම් එකකත් තිබුණ මට මතකයි.'

'මොනවද උපා ඔයාට හිතෙන්නෙ? මං කිව්වෙ අද දවසෙ අපේ ෆන්ක්ෂන් එක ගැන. ග්‍රෑන්ඩ්වට තිබුණ නේ ද? ප්‍රසිඩන්ට්ලම කී දෙනෙක් ද? හිටපු ප්‍රසිඩන්ට්ල දෙන්නෙක්...... එතකොට දැන් ප්‍රසිඩන්ට්, ප්‍රයිම් මිනිස්ටර්, මිනිස්ටර්ස්ලා, පොලිටිෂියන්ස්ලා, ආර්ටිස්ට්ලා, සින්ගර්ස්ලා. කවුද හිටියෙ නැත්තෙ කියල මම නම් දන්නෙ නෑ. මම වැඩිය ඒ කට්ටිය දන්නෙත් නෑ නෙ අවුරුදු ගාණක් රටේ හිටියෙ නැති නිසා..'

'ඔව් ඉතිං, අපේ තාත්තගෙ දේශපාලන සම්බන්ධකම් නිසා නේ. ආණ්ඩුවෙ මිනිස්ටර් කෙනෙක් වුණාම, අවුරුදු තිහ හතළිහක් පොලිටික්ස් කළාම, ඔය වගේ ලොක්කො එන්නෙ නැතුවයැ...'

'ඇයි ඔයා ඒකට කැමති නැද්ද? ඔයා ගැන මට මුලින්ම අපේ අම්මල තාත්තල ලියල එවන කොට ඔය විස්තර ඔක්කොම වගේ කියල තිබුණා..'

'ඉතිං ඔයා ඒවට කැමති වුණා...?'

‘මම ඒවට නම් කැමති වුණේ නෑ. අකමැත්තක් තිබුණෙත් නෑ.'

'මගේ නම් ඔය දේවල්වලට කැමත්තක් ඇත්තෙම නෑ. අපේ තාත්තට වගේම අම්මටත් ඕන වුණේ ඔය වගේ ජයට වෙඩිං එක ගන්න. පහුගිය කාලෙ ගත්තත් ප්‍රසිඩන්ට් කෙනෙක් අනිවාර්යයෙන්ම එනව අත්සන් කරන්න. අපේ රටේ පොලිටික්ස් එහෙම තමයි.'

'මට නම් ඒකෙ අවුලක් නෑ, අපේ අම්මල තාත්තලටත් ප්‍රශ්නයක් නෑ. ඒ ගොල්ලොත් කැමති වෙන්න ඇති බිස්නස් කන්ටෑක්ට්ස් හදා ගන්න ලැබුණු හොඳ වෙලාවක් කියල....'

'ඒක නෙවි, මොනවද ප්ලෑන්ස්? ඩිංගක් නිදා ගෙන ඉඳලා එළියට යමු ටිකක් ඇවිදින්න...'

'ඔව්, මාත් ආසයි ටිකක් ඇවිදල එන්න, රෑ වෙලා සීතල නැත්නම්..'

ජීවිතයේ දිගු කාලයක් එකම ඇඳක අම්මා සමග ගුළි වී නිදා ගත් උපමාලි, පළමු වතාවට පිරිමියෙකු සමග එකම සයනයකදී දේවින්දගේ පොරෝණය තුළට වැදී ගුළි වූවාය.

අඩ සඳක් අහස කෙළවරෙහි පායා එනු කාමරයේ ජනෙල් කවුළුවක් තුළින් උපමාලි දුටුවාය. දේවින්ද තවමත් නින්දේය. ඈ ඔහු අවදි නොකොට හිල්ටන් ග්‍රෑන්ඩ් බෝල් රූම්හි පැවති උත්සවයේ මතක සුන්බුන් අතර මොහොතක් සැරිසරන්නට කල්පනා කළාය. තාත්තාගේ දේශපාලන සම්බන්ධකම්, අම්මාගේ පවුලේ ගාම්භීරකම් ප්‍රදර්ශනය කරන්නට රුපියල් මිලියන ගාණක් පැය හතරක් තරම් කාලයකට නාස්ති කරමින් කාලයත් මුදලුත් කා දැමූ කිසිදු ඵලක් නොමැති වියදමක් නොවේ ද කියා උපමාලි කල්පනා කළේ විවාහ යෝජනාවට කැමති වී මඟුල් උත්සවය සැලසුම් කළ කාලයේ සිටය. ප්ලැටිනම් පැකේජ් එකක් ද, ගෝල්ඩ් පැකේජ් එකක් ද ආදී වශයෙන් තෝරාගැනීම් පිළිබඳ කතා කළ කාලයේ සිට උපමාලි මේ විවාහ උත්සවයට කැමත්තක් නොදැක්වූවාය. අම්මාගේ වලව්වේ පවුලේ විශ්වාසවන්ත තරුණ රියැදුරා වූ තාත්තාට උදේ හවා පාසල් රැගෙන යාමේ වගකීම පැවරුණු තරුණ රියදුරුට පෙම් බැඳීමේ සිදුවීම උපමාලිට සිහිපත් කළේ පටාචාරා කතා වස්තුවයි. වාසනාවකට මෙන් අම්මා පටාචාරාවක් නොවූවා සේම, තාත්තාගේ ජීවිතය ද දිනෙන් දින වෙනස් වී, අම්මාගේ පවුල් සම්බන්ධතා ඔස්සේ දේශපාලනයට පිවිස මේ දිගු ගමන පැමිණ ඇත්තේ උපතින්ම ඔහු තුළ වූ උත්සාහවන්තකම නිසාමය. සීයා ද මාළු කදක මාළු විකුණමින් දරුවන්ට ඉගැන්වූ ධෛර්යවන්ත චරිතයක් බව උපමාලි අසා ඇත. උසස් පෙළ දක්වා උගත් තරුණ තාත්තාට වලව්වේ රැකියාව ලැබෙන්නට ඇත්තේ ඔහුගේ උගත්කම, විනීත ගති පැවතුම් නිසා වන්නට ඇතැයි උපමාලි අනුමාන කළාය. රියදුරු වෘත්තියට අමතරව අම්මාගේ වලව්වේ වතුපිටිවල පොත්පත්වල ගණන් තැබීමේ කටයුතු ද තාත්තාට පැවරුණු බව උපමාලි අසා ඇත. කෙසේ වුවත් නොගැළපෙන විවාහයක් කර ගත්ත ද පවුලේ එකම දියණිය වීම නිසාත්, තාත්තාගේ පවුල් පසුබිම හැර වෙනත් වරදක් නොදුටු නිසාත් අම්මා පවුලෙන් ඈත් නොකළා පමණක් නොව, තාත්තාට දේශපාලන වැඩ සඳහා ද උදව් කළ නිසා ඔහු අද මේ තත්වයට පැමිණ ඇති බවයි උපමාලි දනී. ඉදින් අද තාත්තාට සතුටු දවසක් නොවන්නට කිනම් බාධාවක් දැයි උපමාලි කල්පනා කළාය.

'හ්ම් මොනවද කල්පනා කළේ..? දැන් රෑත් වුණා, යමුද හෝටලේ පැත්තෙ රවුමක් ඇවිද ගෙන එන්න?'

'‍යමු යමු. ඉන්න මම කලිසමක් දා ගන්න කල්..'

විදුලි ආලෝකයෙන් ආලෝකවත් වූ හෝටල් බිම පටු මාවත් දිගේ දේවින්ද ගේ අතෙහි එල්ලී සෙමින් ඇවිද යන කල්හි උපමාලිට මළවුන්ගේ අවුරුදු දා හි නොරිකො දෙවොන්දරා සං සමග ඇවිද ගිය රාත්‍රියෙහි වර්ණනාව නිතැතින්ම සිහියට නැගිණ. ඒ පිළිබඳ දේවින්දට මතක් කිරීම ඵලක් නොවන බව ඕ දන්නීය. ගණිතය උපාධියට හදාරා මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස දීර්ඝ කාලයක් එතෙර රැකියාව කරන දේවින්දගේ රස වින්දනය ගැන ඈ මඳ වශයෙන් දන්නී විවාහය ගිවිස ගත් පසු ඔහු හා වරින්වර කළ කතාබහ ඇසුරිනි. එනිසා ඈ නිහඬ වූවාය. එහෙත් නොසිතූ මොහොතක ඔහු අහස දෙස බලා ඈත වළාකුළුවලින් වැසුණු කඳු වළල්ලට උඩින් පායා තිබූ අඩහඳ උපමාලිට පෙන්වූවේය.

'උපා, ඔයාට පේනව ද අර අඩහඳ? ඒත් එක්කම තියෙන තරු පොකුර?'

'හ්ම්, හරිම ලස්සනයි. මම රූම් එකේදි අඩහඳ දැක්කා, දැන් තරුත් එක්ක දකින කොට හරිම ලස්සනයි.'

දේවින්දත් උපමාලිත් දෑත් පටලාගෙන සුදු වැලි අතුළ පටු මාවත දිගේ ඇවිද කාමරයට නොගොස් රාත්‍රී කෑම සඳහා භෝජනාගාරයට යාමට දේවින්ද යෝජනා කළත් උපමාලි ඊට අකමැත්ත පළ කළාය.

'බෑ බෑ, අද වගේ දවසක අපි දෙන්න ඩිනර් ගන්න ඕන අද දවසට ගැළපෙන විදියට.. වොෂ් දාලා, අද අඳින්න කියල ගෙනාපු ෆ්‍රොක් එක ඇඳගෙන, ඔයත් කුරුල්ලෙක් වගේ ටී ෂර්ට් එකක් ඩෙනිමකට ඇඳලා.... වෙඩිං ඩිනර් එකක්නේ ගන්න ඕන...'

'ඕ.කේ. විල් ඩූ දැට් වේ..'

ළා නිල් පාට විදුලි බුබුලු රැසක ළා ආලෝකය මැද සිහින්ව ඇසෙනා මිහිරි සංගීත රාවයක් අතරේ උපමාලිත් දේවින්දත් තනි වී සිටියහ. සිරිතට විරිතට ගන්නට සිදු වූ දිවා ආහාරය අපුල සිතින් මතක් කළ උපමාලිට සැබැවින්ම බඩගින්නක් විය.

'මට නම් හරියට බඩගිනියි. දේවින්ද, ලන්ච් ගන්නව කියල දවාලෙ කෑවෙ මොනවද කියලවත් මට මතක නෑ. පින්තූර ගන්නයි, ගෲප් ෆොටෝස්, ෆැමිලි ෆොටෝස්... අනේ මන්දා! මෙහෙම පිස්සු වෙඩිංග්ස්!'

'මට නම් බඩගින්නට වැඩිය දැන් තියෙන්නෙ නිදිමත. ඒත් රෑට කරන්න වැඩ වගේකුත් තියෙනවා.... මොනවද කන්නෙ? ලයිට් මීල් එකක්, වෙජිටබල් සැලඩ්, ෆ්‍රයිඩ්, ප්‍රෝන්ස්, අපේ රෙඩ් වයින් බොට්ල් එක..'

රතුපාට වයින් පිරුණු කුසලාන දෙතොලින් දෙතොලට මාරු වෙද්දී උපමාලිත් දේවිකාත් ඔවුන්ගේම ලොවක තනි වී සිටියහ.

'ඒයි මෙන්න ඔයාගෙ අම්ම කතා කරනව...'

දේවින්ද උපමාලිට දුරකථනය දිගු කළාය.

'නෑ අම්මෙ, අපි ප්‍රවේසමින් ආවා. හොටෙල් එක ලස්සනයි. දැන් මේ ඩිනර් ගන්න ගමන්. කොහොමද තාත්තා? සතුටු ඇති නේ ද? පරණ ප්‍රසිඩන්ට්ලා, අලුත් ප්‍රසිඩන්ට්, ප්‍රයිම් මිනිස්ටර්, ?'

'අම්මෝ එයාට අද සන්තෝසෙ උතුරල ගිහිං. තාම නිදි... එහෙම නම් නවතින්නම්. ප්‍රවේසමින් ඉන්න. බුදු සරණයි!'

උපමාලි ළා රෝස පාට දුල් ඇඳුමක් ඇඟ ලා ගෙන දේවින්දගේ හිස අතගාන්නට වූවාය. ඇඳෙහි වැටුණු විගස ඔහුට නින්ද ආවේ කෙසේදැයි උපමාලි කල්පනා කළාය. ඈ ඔහුගේ හිසකෙස් අතර ඇඟිලි තුඩු යවද්දී හෝ ඔහු කිසිදු ප්‍රතිචාරයක් නොදක්වමින් අනිත් පැත්තට හැරෙනු ඈ දුටුවාය. රැයෙහි කළ යුතු වැඩ නිම කිරීමට අවදියෙන් සිටිය යුතු නිසා ඔහු නිදනවා යැයි සිතන්නට උපමාලි උත්සාහ ගත්තාය.

රූපවාහිනී තිරයෙහි විකාශය වෙමින් තිබූ සංගීත වැඩසටහනකට නෙත් යොමු කළ උපමාලි එහි නීරස ගතිය නිසා නිවා දැමුවාය. අද වැනි සුන්දර දවසක, ගොළුවන් බිහිරන් සේ මෙලෙස රාත්‍රිය ගෙවේ යැයි ඈ කිසි දිනක අපේක්ෂා නොකළාය. දේවින්දගේ නින්දට බාධා කරන්නට අකමැති වූ ඈ ඇඳෙහි අනිත් පැත්ත හැරී නිදන්නට උත්සාහ කළාය. නින්ද ඈ වෙත නො ඒ. බූත සිතුවිලිවලින් ඇගේ සිත පිරෙනු දැනේ. අවසන දේවින්ද අවදි කළ යුතු යැයි ඈ සිතුවාය.

'ඒයි නැගිටින්න. නිදා ගන්නද ආවෙ..! දන් වැඩ වගේකුත් තියෙනව කිව්ව නේද කරන්න?'

'දන්නෙම නතුව නින්ද ගියා... වෙලාව කීයද උපා ..?

'දැන් දහයත් පහු වෙලා...'

'ඕ මයි ගෝඩ්..! මට කරන්න වැඩ ටිකක් තියෙනව නේ...'

'ඔයාට කෝපි එකක් හදල දෙන්නද?'

'එපා උපා, ඔයා නිදාගන්න... මම මගේ වැඩ ඉවර වෙලා කතා කරන්නම්...'

උපමාලි දේවින්දගේ පිළිතුරෙන් තිගැස්සී ගියාය. මේ නම් කිනම් පාපයක්දැයි ඈ සිතුවාය. මහා ජයට මඟුලක් ගත් ප්‍රීතියෙන් දෙපාර්ශ්වයේම දෙමාපියන් මේ මොහොතෙහි සතුටින් නිදනු නිසැකය. කිසිම දිනෙක පිරිමියෙකු හා තනි වී නැති යුවතියක වූ උපමාලිගේ සිහිනය වූයේ දෙමාපියන් විසින් යෝජනා කළා වුව දේවින්ද තම නීත්‍යනුකූල ස්වාමියා බැවින් ඔහු සමග ජීවිතයේ අසිරිමත්ම රාත්‍රිය සදාකාලික මතකයක් බවට පත් කර ගන්නටය. එහෙත් මේ සිදු වන්නට යන්නේ කුමක් ද? ඈ කොට්ටයෙහි මුහුණ හොවා ගෙන නිදන්නට උත්සාහ කළාය. ඉකි ගසා හඬන්නට රිදුම් දෙන වේදනාව, හදවතින් ඉපිද දෙනෙතින් ගලා යනු ඇයට දැනේ. මොහොතකින් ඈ නින්දට වැටුණාය.

කොතෙක් වේලා ඈ නින්දෙහි සිටියාදැයි උපමාලි නොදත්තාය. එක්වරම ඇහැරුණු උපමාලි දුටු දසුනින් ඇගේ දෑස් ඇයටම අදහා ගන්නට නොහැකි විය. ඈ නිදි ලෙසින්ම දේවින්ද පරිගණක තිරයෙහි ස්ක්යිප් කැමරාවෙන් කතාබහ කරන තරුණයාගේ රුව දෙස බලා සිටියාය. ඉයර්ෆෝන් ඇඳගෙන කතා කරන බැවින් කතා කරන්නේ මොනවාදැයි ඇයට නො ඇසේ. ඔහු රැවුල වවා ගත් කඩවසම් තරුණයෙකු බව උපමාලි දුටුවාය. රාත්‍රිය මැදියමට ළංව ඇති බව උපමාලිට හැඟේ. උදාවන හෙට දවස කෙබඳු දවසක් වේ දැයි සිතා ගන්නට උපමාලි අසමත්ය. ඈ යළිදු නිදන්නට උත්සාහ ගත්තාය. නින්දේ නොනින්දේ සිටි උපමාලිට මොහොතකින් කාමරයේ විදුලි පහන් නිවෙනු දැනිණ. නාන කාමරයේ දොර ඇරෙන වැහෙන හඬත් පසුව දේවින්ද තමා අසලින් වැතිරෙනවාත් ඇයට දැනිණ. ඔහුගේ ළමැදෙහි ඈ තම හිස හොවා ගත්ත ද ඔහු ඉන් මිදී ඇගේ නළලට හාදුවක් දී ඇඳෙහි අනෙක් පසට හැරුණේ උපමාලිගේ සොඳුරු සිහින ලෝකය කැබලි කැබලිවලට කඩා බිඳ දමමිනි. දෙනෙතින් ගලා ගිය කඳුළුවලින් තෙමුණු කොට්ටයෙහි ඈ මුහුණ හොවා ගත්තේ හෙට දින ඇගේ ලොවට හිරු නො පායන අඳුරු දිනක් වීම නො වැළක්විය හැකිය යන සිතුවිල්ලෙනි.

 

කෙටිකතා එවන්න

ඔබේ ස්වතන්ත්‍ර කෙටිකතා නිර්මාණ අප යොමු කරන්න. අතින් ලියූ අත්පිටපත් වශයෙන් නොව පරිගණක අක්ෂර සංයෝජනය කළ ‘වර්ඩ්’ පිටපත් වශයෙන් (PDF නොකර), වචන 2500කට නොවැඩිව එෆ්.එම්. අභය අකුරින් හෝ ඉස්කෝල පොත අකුරින් ටයිප් කර යොමු කරන්න. අපගේ ඊමේල් ලිපිනය මෙසේය: [email protected]

බුද්ධදාස ගලප්පත්ති

 

මාතෘකා