මුල් ළමා වියේදීම මේ සංඥා හඳුනාගන්න

 ඡායාරූපය:

මුල් ළමා වියේදීම මේ සංඥා හඳුනාගන්න

මොළය ආශ්‍රිත වර්ධන ඌනතා තත්ත්වයක් ලෙස හැඳින්විය හැකි ඔටිසම් තත්ත්වයේදී ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නේ සමාජීය සන්නිවේදනයේ හා අන්තර් පුද්ගල සම්බන්ධතාවල දුර්වලතාවයකි.

දරුවකුගේ වර්ධනයේ ප්‍රධාන අංශ ලෙස ශාරීරික වර්ධනය දැක්විය හැකි අතර සංවර්ධනයේ ප්‍රධාන අංශ රැසක් අතරින් භාෂාව හා කථනය, බුද්ධි කුසලතා වර්ධනය සහ සමාජීය කුසලතා වර්ධනය සුවිශේෂී වේ. ඕටිසම් තත්ත්වයේදී ප්‍රධාන වශයෙන් සිදුවන්නේ ඉහත සඳහන් කළ සාමාජීය කුසලතා වර්ධනය නිසි පරිදි සිදු නොවීමයි. එවැනි දරුවන්ගේ ශාරීරික වර්ධනය බොහෝ විට සාමාන්‍ය වන අතර බාහිර පෙනුමෙහි වෙනසක් දක්නට නොලැබේ. එමෙන්ම ඔටිසම් තත්ත්වය සහිත දරුවන්ගේ මතක ශක්තිය සහ බුද්ධි මට්ටම සාමාන්‍ය හෝ ඉහළ මට්ටමක තිබිය හැකිය. මේ නිසාම බොහෝ විට මවුපියන් තම දරුවාගේ වර්ධනයේ අසාමාන්‍යතාවක් ඇති බව මුල් කාල සීමාවන් තුළදී හඳුනා ගැනීමට සමත් නොවේ.

ඔටිසම් තත්ත්වය හඳුනා ගත හැකි ප්‍රධාන සංඥා කථාව ප්‍රමාදවීම

සාමාන්‍යයෙන් දරුවකු වයස අවුරුද්දක් වන විට "අම්මා" "තාත්තා"වැනි වචන දෙක තුනක් කතාකිරීමට පටන් ගනී. වයස අවුරුදු දෙකක් සම්පූර්ණ වනවිට වචන දෙකක් සම්බන්ධ කර කතා කරයි. ඔබගේ දරුවා වයස මාස 16 වනතුරුත් තේරුමක් සහිතව වචනයක් හෝ කතා නොකරයි නම් හෝ වයස අවුරුදු දෙක සම්පූර්ණ වනවිට වචන දෙකක් සම්බන්ධ කර (උදා: "තාත්තා ගියා", "බිස්කට් ඕනේ" ) කථා කිරී‍ම සිදු නොකරයි නම් දරුවා වෛද්‍යවරයකු ලවා පරීක්ෂාකර ගත යුතුය.

බොහෝ මවුපියන් කාලයාත් සමඟ දරුවා ඉබේම කථා කරයි යැයි සිතා දරුවා වෛද්‍යවරයකු වෙත ගෙන යෑම කල් දමයි. විවිධ දරුවන් කථන හා භාෂා කුසලතා අත්කර ගැනීමේදී විවිධත්වයක් පෙන්වන බව සැබෑය. එහෙත් ඔබගේ දරුවාගේ කථන හැකියාවේ සුළු හෝ අඩුපාඩුවක් ගැන හෝ සැකයක් ඇතිවිට එය සුදුසුකම් ලත් වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරගැනීම සහ අවශ්‍ය ප්‍රතිකර්මයන්ට යොමුකිරීම වගකීමක් සහිත මවුපියන්ගේ කාර්යභාරයකි. කථාව ප්‍රමාදය විවිධ හේතු නිසා සිදුවිය හැකිය. (උදා: කන් ඇසීමේ දුර්වලතා). ඔටිසම් තත්ත්වයද එක් හේතුවකි. ඇතැම්විට ඔටිසම් තත්ත්වය සහිත දරුවකු කතා කිරීම සාමාන්‍ය ලෙස අරඹා පසුව අත්හැර දමයි. මෙම දරුවන් සමහරවිට අපට වටහා ගත නොහැකි, තේරුමක් රහිත ඔහුම සාදාගත් වචන කතාකරයි.

මුහුණ දෙස බැලීම අඩු වීම

සාමාන්‍යයෙන් දරුවකු ඉතා කුඩා අවධියේ සිට මවගේ සහ අනෙක් සමීපතම වැඩිහිටියන්ගේ මුහුණ දෙස හොඳින් බලයි. කතාකරන විට ඇස් දෙස ඍජුව බලාසිටී. මුහුණේ ඉරියව්වලින් දුක, සතුට, පුදුමය ආදී හැඟීම් සන්නිවේදනය කරයි. උපතින් කතාකිරීමට නොහැකි ගොළු තත්ත්වයට පත් දරුවකු පවා මුහුණේ ඉරියව්වලින් සහ අංගචලන මඟින් මවුපියන් සමඟ සන්නිවේදනය කරයි. ඔටිසම් තත්ත්වය සහිත දරුවකු බොහෝවිට මුහුණ දෙස බැලීමට මැලිකමක් දක්වයි. කථා කිරීමේදී එක එල්ලේ මුහුණ බැලීම ඉතා අඩුවෙන් සිදුකරයි. මුහුණේ ඉරියව්වලින් හැඟීම් සන්නිවේදනය කිරීමද අවම මට්ටමක පවතී.

දරුවා තමාගේම ලෝකයක තනිවී ජීවත්වන්නා සේ සිටීම හා තනිව සෙල්ලම් කිරීම

බොහෝවිට සාමාන්‍ය දරුවකු ඉතා කුඩා අවධියේ සිට අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වයි. මෙහිදී මුලින්ම දරුවෙකු අන්තර් ක්‍රියා කරන්නේ මව හෝ පවුලේ සමීපතම අය සමඟය. දරුවා කැමති දෙයකට මේ අය හවුල් කර ගැනීම, ද්‍රව්‍ය, හැගීම්, අදහස් බෙදා හදා ගැනීම, තමා කැමති යමක් ඉහළට ඔසවා හෝ ඇඟිල්ල දික් කර පෙන්වීම මුල් අවධියේදී පෙන්වන අන්තර් සම්බන්ධතා සමහරකි. ක්‍රමයෙන් දරුවා තමාගේ සෙල්ලම්වලට අන් අය හවුල් කරගනී. එමෙන්ම අන් අයගේ සෙල්ලම්වලට තමාද සහභාගී වේ. සෙල්ලමේදී වාරය බෙදා හදා ගැනීම සහ තමාගේ වාරය එනතුරු සිටීම වැනි කුඩා නීතිරීතිවලට අනුව සෙල්ලමෙහි නිරත වේ. නමුත් ඔටිසම් තත්ත්වය සහිත දරුවකු බොහෝවිට තනිව සෙල්ලම් කිරීමට ප්‍රියතාවක් දක්වයි. තමාගේ සෙල්ලමට අනෙක් අය හවුල් කර නොගනී. බොහෝ වේලාවක් එකම සෙල්ලම හෝ ක්‍රියාව නැවත නැවත සිදු කරයි. පෙර පාසලේදී නම් අනෙක් දරුවන් එක්වී සාමූහිකව ක්‍රියාවක යෙදෙන විට ඔටිසම් තත්ත්වය සහිත දරුවා තමන්ගේම වෙනත් කාර්යයක නිරත වේ. ඇතැම්විට ඔටිසම් තත්ත්වය සහිත දරුවන් අනෙක් දරුවන් සාමූහිකව සෙල්ලම් කරනවිට ඔවුන් සමඟ දුවපනින බව පෙනුණද එම සෙල්ලමේ නියම නීති රීති අනුව සෙල්ලම සිදුනොකරයි.

නැවත නැවත සිදු කරන සීමාසහිත ක්‍රියාකාරකම්, ප්‍රියතාවන් හා අංග චලන

ඔටිසම් තත්ත්වය සහිත දරුවන් වෙනස්වීම් ප්‍රිය නොකරයි. බොහෝවිට ඔවුන් ප්‍රිය කරන ඒකාකාර රටාවක් (ආහාර ගැනීමේදී, නිදාගැනීමේදී, සෙල්ලම් කිරීමේදී) ඇති අතර එය වෙනස්වූ විට දරා ගැනීමට අපහසු වේ. එකම සෙල්ලම නැවත නැවත බොහෝ වේලාවක් සිදු කරයි. ඇතැම් විට අනෙක් ළමුන් එතරම් ප්‍රිය නොකරන භාණ්ඩ (උදා: පයිප්ප, කෝටු, ටින්) ආදියට ප්‍රිය කරන අතර ඒවා නිතරම ළඟ තබාගැනීම හෝ ඒවාත් සමඟ බොහෝ වේලා සෙල්ලම් කරයි. සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කිරීමේදී එම සෙල්ලම් බඩුවට අදාළ ක්‍රියාවට වඩා වෙනත් ක්‍රියාවක නිරත වේ. (උදා:සෙල්ලම් කාර් එකක් පැදවීම අනුකරණය කිරීම වෙනුවට එය අනෙක් පස හරවා බොහෝ වේලාවක් රෝද කරකවයි.)

පාසල් හෝ පෙර පාසල් යන වයසේ පසුවන ඔටිසම් තත්ත්වය සහිත දරුවන් පන්ති කාමරයේදී මෙම හැසිරීම්ද පෙන්විය හැකිය. ගුරුතුමිය පන්තියේ උගන්වන විට එයට සවන් නොදී වෙනතක් බලා සිටීම, ගුරුතුමිය උගන්වන විටදී පන්තිය තුළ ඇවිදීම හෝ පන්තියෙන් එළියට යෑම, නම කථා කළ විට ප්‍රතිචාර නොදැක්වීම, පන්තියේ නියමිත ක්‍රියාකාරකම් නොකර ඔහු කැමති වැඩක නිරත වීම, ඇතැම් විට ගුරුතුමියට හා අනෙක් දරුවන්ට බාධාවන සේ හැසිරීම, අනෙක් දරුවන් අපහසුවට ලක්වන සේ ඔවුන් වැලඳ ගැනීම ආදිය ඕටිසම් තත්ත්වය සහිත දරුවන්ගෙන් දක්නට ලැබෙන ලක්ෂණ කිහිපයකි. මෙම සියලුම ලක්ෂණ සෑමවිටම දක්නට නොලැබෙන අතර මීට වඩා වෙනස්වූ හැසිරීම් රටා සහ ගති ලක්ෂණද ඇතැම් දරුවන් පෙන්නුම් කරයි. ඔටිසම් තත්ත්වය සහිත දරුවන් සියදෙනකු ගතහොත් ඔවුන් ඉහත හැසිරීම් රටා පෙන්වන්නේ සිය ආකාරයකට විය හැකිය. එම නිසා රෝග විනිශ්චය ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයකු විසින් කළ යුතු බව අවධාරණය කළ යුතුය.

දරුවාට ඔටිසම් තත්ත්වය ඇති බවට සැකයක් ඇත්නම්?

බොහෝ මවුපියන් තමන්ගේ දරුවාගේ කතාකිරීමේ ප්‍රමාදයක් හෝ වෙනත් හැසිරීමේ වෙනසක් දුටුවිට එය කාලයාත් සමඟ ඉබේ හරියාවි යැයි සිතා වෛද්‍යවරයකු වෙත යොමුවීමට මැළිකමක් දක්වයි. බොහෝ විට මවුපියන්ගේ නොදැනුවත්කම හා සමාජයේ පවතින ඇතැම් වැරදි විශ්වාසයන්ද මීට හේතුවේ. තමන්ගේ දරුවාට යම් රෝගී තත්ත්වයක් ඇතැයි සිතීමට පවා මවුපියන් අකමැති වීම ස්වාභාවික දෙයකි. නමුත් මවුපියන්ගේ ප්‍රධාන වගකීමක් වන්නේ තම දරුවාගේ වර්ධනයේ හෝ හැසිරීමේ කල්පවතින යම් වෙනසක් දුටුවිට එය වැඩිදුර පරීක්ෂා කරගෙන සැකහැර දැනගැනීමයි. ඒ සඳහා ඔබට ළඟම ඇති රෝහලේ ළමා රෝග හෝ මනෝවෛද්‍ය සායනවලට යොමුවිය හැකිය.

ස්නායුවල පවතින ඇතැම් සංකූලතා මෙම තත්ත්වයට බෙහෙවින් බලපාන බව පෙනේ. ඔටිසම් ළමා වියේ පරීක්ෂාකොට හඳුනාගැනීමේ වැදගත්කම ඇත්තේ ඒ නිසාය. කුඩා දරුවන්ට ඔටිසම් තත්ත්වයක් ඇත්දැයි සැකහැර දැනගැනීමට මවුපියන්ට ඇතැම්විට කාලයක් ගතවීම ස්වාභාවිකය. ඊට හේතුවන්නේ මවුපියන්ද එක සමාන දැනුම් මට්ටම්වල නොසිටීමයි.

සෑම දරුවන් 93 දෙනකුගෙන් එක් අයකුට මෙම තත්ත්වය ඇතිබව පර්යේෂණ වාර්තා පෙන්වා දී ඇත. ඉතා ළාබාල අවධියේදීම විශේෂයෙන් පෙර පාසල් අවධියට පෙර හඳුනාගෙන නිසි ක්‍රියාමාර්ග ගතහොත් දරුවාගේ අනාගතය යහපත් දිශාවකට හැරවිය හැකි සම්භාවිතාව වැඩිය. එබැවින් මවුපියන් මෙන්ම ප්‍රාථමික අංශ සහ පෙරපාසල් ගුරුවරුන්ද ඔටිසම් ලක්ෂණ හඳුනාගැනීමේ දැනුවත්භාවයෙන් සන්නද්ධ වීම වැදගත්ය.

අදහස් දැක්වීම - ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය වජන්ත කොතලාවල මහතා (MBBS (Colombo), MD (Psychiatry), MRCPsych(UK) )

සාකච්ඡා සටහන නිරාශා පියවදනි

මාතෘකා