අවදානමට පෙර සූදානම

 ඡායාරූපය:

අවදානමට පෙර සූදානම

“ඩෙංගු“ බොහෝදෙනෙක් අහන්න අකමැති වචනයක්. නමුත් ළඟකදී ඉඳලා ඇහෙනවා වැඩියි නේද? ඇත්ත... වැඩියි නම් තමයි. 2018 වර්ෂයේ ඩෙංගු රෝගීන් 51,659ක් වාර්තා වෙලා තිබුණා. 2019 ජූලි මාසයේ මැද වෙද්දි 29,123ක් ඩෙංගු රෝගීන් ලෙස වාර්තා වී තිබෙනවා. ඇත්තෙන්ම වර්ෂයෙන් අඩක් ගතවෙද්දී ගිය වර්ෂයේ වාර්තා වූ රෝගීන් ගණනින් භාගයකටත් වඩා පිරිසක් වාර්තා වීම තරමක අවදානම් තත්ත්වයක්.

ඩෙංගු පිළිබඳ ඔබ දැන සිටීම වැදගත් වන නිසා ඒ ගැන අද අපි කතා කරමු. ඩෙංගු රෝගය සාදන්නේ ඩෙංගු මදුරුවා විසින් නම් නෙමෙයි. ඩෙංගු මදුරුවා කියන්නේ රෝග වාහකයා. ඒ කියන්නේ රෝගය සාදන වෛරසය අරගෙන යන කෙනා. එතකොට මේ ඩෙංගු රෝගය සාදන වෛරස වර්ග 4ක් තිබෙනවා. DENV-1, DENV-2, DENV-3, DENV-4,මෙම වෛරස් වර්ග 4න් ඕනෑම එකකින් ඩෙංගු රෝගය හැදෙන්න පුළුවන්. එම රෝගය වැලඳෙන ඕනෑම අයකුගේ ශරීරය තුළ එම රෝගකාරක වෛරසයට විරුද්ධව ප්‍රතිශක්තියක් නිර්මාණය වෙනවා. ඒක හොඳයි නේද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඇත්තටම ඒකෙ ලොකු අවදානමක් තිබෙනවා. ඒ තමයි ඩෙංගු හදන්නෙ එකම වෛරසයක් මඟින් නොවන නිසා ඔබට පළමුවර සෑදුණු වෛරසයට ප්‍රතිශක්තියක් නිර්මාණය වුවත් දෙවන වර සෑදෙන ඩෙංගු රෝගයට හේතුවන වෛරසය පෙර වෛරසයට දක්වන ප්‍රතිචාරය හේතුවෙන් ඩෙංගු රෝගියා මාරාන්තික ඩෙංගු රක්තපාත තත්ත්වය දක්වා අසාධ්‍ය විය හැකියි.

මේ නිසා එක්වරක් හෝ ඊට වැඩි වාර ගණනක් ඩෙංගු රෝගය වැලඳුණු අයෙක් නැවත ඩෙංගු වැලඳීම නිසා අසාධ්‍ය තත්ත්වයට පත්විය හැකි බව සිහියේ තබාගත යුතුයි. ඒ නිසා මතක තබාගත යුතු වැදගත්ම කරුණ වන්නේ මීට පෙර ඔබට ඩෙංගු වැලඳී ඇත්නම් ඔබ සිටින ප්‍රදේශය ඩෙංගු බහුල ප්‍රදේශයක් නම් ඔබට උණ සෑදුනහොත් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවිය යුතු බවයි.

එමෙන්ම එක් වරක් හෝ රෝගය වැලඳී කිසිදු අතුරු ආබාධයකින් තොරව දැඩි අපහසුතාවකින් තොරව සුව වූවා නම් තමා ''Super man'' කෙනකු සේ සිතා නැවතත් උණ සෑදුණු අවස්ථාවක අත් බෙහෙත් කරමින් සිටීම ඔබ දැඩි අනතුරක හෙළන බව තරයේ මතක තබාගන්න. එමෙන්ම එක් වරක් හෝ ඩෙංගු උණ නොසෑදුණු අයෙක් වේ නම් හැකි පමණ රෝගය වැලඳීමට ඉඩ නොදෙන තැනට කටයුතු කිරීමටත් ප්‍රවේශම් වන්න.

ඒ සඳහා සැමදාම සැම විටම සැමදෙනාම කියන ඩෙංගු වෛරසය පතුරවන ඩෙංගු මදුරුවන් මර්දනයට උපරිම සහයෝගය දෙන්න. ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන දුටු වහාම මඟතොටේදී වුවද විනාශ කරන්න. එය තවත් මනුෂ්‍ය ජීවිතයක් ආරක්ෂා කරාවි. එමෙන්ම මදුරු දෂ්ටනයෙන් වැළකී සිටීමට ගත යුතු පියවර අනුගමනය කරන්න. (පැඟිරි තෙල් ආලේප කිරීම ආදිය) වඩාත් වැදගත්ම කාරණය වන්නේ ඔබ, ඩෙංගු රෝගය බහුල ප්‍රදේශයක ජීවත් වනවානම් හෝ සංචාරය කර ඇත්නම් ඉන් පසුවදී වැලඳෙන උණ රෝගවලට නිවසේ හෝ අසල්වැසියන්ගෙන් උපදෙස් හෝ ප්‍රතිකාර නොගෙන කඩිනමින් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් උපදෙස් සහ ප්‍රතිකාර ලබාගැනීමෙන් ඔබගේත් පවුලේ අයගේත් ජීවිත ආරක්ෂා වන බවයි.

වෛද්‍ය කේ. කේ. ජී. [ලහිරු ප්‍රබෝධ]

දිස්ත්‍රික් මූලික රෝහල දික්ඔය


සංස්කරණය - සුරේකා නිල්මිණි ඉලංගකෝන්

මාතෘකා