ලංකාවේ මුල්ම ඒජන්සිය මගේ

 ඡායාරූපය:

ලංකාවේ මුල්ම ඒජන්සිය මගේ

 

ගම් දනව් සිසාරා පාඨක ඔබ අතට පුවත්පත රැගෙන යෑම සඳහා පුවත්පත් අලෙවි නියෝජිතවරු දිවා රෑ දෙකෙහි වෙහෙසෙති. ඔවුන්ගේ අත්දැකීම් සහ සුමිහිරි මතකයන් එකට කැටි කොට පාඨක ඔබ වෙත තිළිණ කිරීම අපගේ අරමුණයි. එලෙසින් පත්තර තම ජීවිකාව කර ගත් ඔහු දොඩන්ගොඩ ප්‍රදේශයේ අලෙවි නියෝජිත ලියනආරච්චිගේ සිරිසේනයි. මෙවර පත්තර ලෑල්ල තීරුව වෙන් වන්නේ ඔහුගේ මතක සඳහායි.

දශක 06කට ආසන්න කාලයක් තම ශ්‍රමය වැය කර දොඩන්ගොඩ සිරිසේන ඒජන්සීස් ගොඩනැඟු අකාරයයි මේ.

කොහොමද මේ ව්‍යාපාරය ආරම්භ වෙන්නේ?

1960 ජනවාරි 01 වැනිදා තමා ඒජන්සිය ආරම්භ කරන්නේ. ලංකාවෙන් ආරම්භ කරපු පළමුවෙනිම ඒජන්සිය මගේ. ඒ දවස්වල ඒජන්සියක් පටන් ගන්න 750යි ඕන වුණේ. ඒත් මගේ අතේ ඒ දවස්වල ලොකු මුදලක් තිබුණෙත් නෑ. හැබැයි මගේ පියා ලොකු ව්‍යාපාරිකයෙක්. ඒ වුණාට මට ඔහු උදවු කළේ නෑ. පස්සේ මගේ අාසාව වැඩිකමට මම අම්මගෙන් රුපියල් 50ක් ඉල්ලගෙන තමයි ඇඩ්වාන්ස් එක දුන්නේ. ඔන්න ඔහොමයි ව්‍යාපාරය පටන් ගන්නේ. පත්තර දොඩන්ගොඩ කියලා තමයි දැන් සියලු දෙනා මේ ආයතනය ආමන්ත්‍රණය කරන්නේ. එහෙම කිව්වම නොදන්න කෙනෙකුත් නෑ.

සිරිසේන මහත්තයා කොහොමද මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ කොයි අවදියේද?

මම ව්‍යාපාරයට යොමු වෙන්නේ එස්.එස්.සී. කාලේ. ඒ තරම්ම ආසයි මේ රස්සාවට. මම ඉස්කෝලේ ගිහින් ඉවර වුණාට පස්සේ ගුරු වෘත්තියටත් යොමු වුණා. මගේ පළමුවැනිම පත්වීම කජුදූව ප්‍රාථමිකයයි, ඉන් පස්සේ දොඩන්ගොඩ මහා විද්‍යාලය සපුගහවත්ත, කල්පිටිය විද්‍යාලය වගේ පාසල් රැසක සේවය කළා. දැනට මගේ පුතත් මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්නවා.

සිරිසේන ස්ටෝර්ස් හරහා ආවරණය වන ප්‍රදේශ මොනවාද?

දොඩන්ගොඩ මුළු ටවුන් එකම වගේ තව කළුතර පැත්තෙන් ගත්තම හමන් වත්ත නාගොඩ හන්දිය දක්වාත් මතුගම පාරෙන් මාගම මළබඩ දක්වාත් තුඩුගල ඇල්ල පැත්තෙන් නෑහින්න දක්වාත් තව නෑබඩ පැත්තත් ආවරණය වෙන ප්‍රදේශ වෙනවා.

අමතක නොවෙන සිදුවීම් ගැන මතක් කළොත්?

අමතක නොවෙන සිදුවීම් නම් ගොඩක් තියෙනවා. භීෂණ කාලය තමයි මතකෙට එන්නේ. මම මාස දෙකහමාරක් කොළඹ මහ ඉස්පිරිතාලේ හිටියා වෙඩි වැදිලා. ඒ පත්තර විකුණන්න එපා කියද්දි පත්තර විකුණලා. ඔය කාලේ ලොකුම තරජනය තිබුණේ ලේක්හවුස් එකට. ඒ වෙද්දි මේ පැත්තේ හැම තැනකම වගේ පත්තර විකුණුවේ හමුදාවෙන් හා පොලිසියෙන්. බෝම්බුවල ඒ සඳහාම හමුදා කඳවුරකුත් ස්ථාපනය කරලා තිබුණා. මම විතරයි ඒ කිසිම සහායක් ගන්නේ නැතුව පත්තර විකුණපු එකම කෙනා. අන්න ඒ නිසායි මට උන් වෙඩි තිබ්බේ. දැන් මට වයස අවුරුදු 78ක් වෙනවා. ඒත් තවමත් මගේ ඇගේ කැලල තියෙනවා.

උප අලෙවි නියෝජිතයෝ කීයක් විතර ඉන්නවාද?

හය හත් දෙනකු ඉන්නවා. මතක හැටියට ගමන් කඩේ, හමන් ස්ටේට් වගේ ආයතන උප අලෙවි නියෝජිතයන් විදිහට කටයුතු කරනවා. බයිසිකල්කරුවොත් දෙන්නෙක් විතර තාමත් ඉන්නවා. ඒ අයට මම පෞද්ගලිකව රුපියල් 18,000ක මුදලක් මේ වැඩ කරනවාට ගෙවනවා.

අනාගත බලාපොරොත්තු මොනවාද?

මම මේ ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 59ක් වෙනවා. මේ වෙද්දි මට සපුගහවත්තේත් කඩයක් තියෙනවා. ඒ වගේම බස් සර්විස් එකකුත් තියෙනවා. ලොකු ලොකු බලාපොරොත්තු නම් දැන් නෑ. නිදහසේ රැකියාව කරගෙන ඉන්නවා. මට දරුවෝ තිදෙනෙක් ඉන්නවා. ඒ අය මේ වෙද්දී හොඳ තැන්වල ඉන්නවා. මේ ව්‍යාපාරය දියුණු කරගෙන ඉන්න එක තමයි ඉතින් එකම අරමුණ. මම දැනට සාමවිනිසුරුවරයකු වශයෙන්ද සමාජ සේවය කරනවා.

ලේක්හවුස් පත්තර පිළිබඳ කියන්න අනිවාර්යයෙන්ම දෙයක් ඇති.

ඔව්. ඇත්තෙන්ම ඒ දවස්වල මිනිස්සු ගොඩක් ආසාවෙන් ලේක්හවුස් පත්තර ගත්තේ. දැන් ටිකක් අඩු වෙලා තියෙනවා පත්තර වෙළෙඳාම නම්. හැබැයි මම අවංකවම ආදරය කරන ආයතනයක් ලේක්හවුස් එක.

මාතෘකා