ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ වන විනාශය

 ඡායාරූපය:

ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ වන විනාශය

 

 

 

 

කුඹුක් ගසකින් ලද හැකි මෙහෙය මෙපමණයි කිව නොහැකිය. වසර දහස් ගණනක් පුරා මහ පොළොවෙහි ජල සාන්ද්‍රණය ආරක්ෂා කර දෙමින් පිරිසුදු වාතාශ්‍රය ලබා දුන් කුඹුක් වෘක්ෂයක් යමකු රැකිය යුත්තේ තම මව පියා රකින අන්දමටය; තම පරම්පරාව රකින අන්දමටය. එවන් වෘක්ෂයක් ගිනි තබා විනාශ කිරීමට උන්මත්තකයකුට හැර සිහිබුද්ධියක් ඇති අයකුට කළ හැකිදැයි යන්න පවා පුදුමසහගතය.

ඵෙතිහාසික සොමාවතිය ජාතික උද්‍යානයට යාබදව ඇති ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ වසර දහස් ගණනක් පැරණි කුඹුක්ගස් විශාල සංඛ්‍යාවකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබෙන්නේ සිත් කම්පාවන අයුරිනි.

ලංකාපුර ප්‍රදේශීය ලේකම් කාර්යාලයට අයත් මෙම ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ වනජීවී දෙපාර්තමේන්තුවට අයත් අඩමන්කාඩුව සහ ආච්චිවිල ප්‍රදේශයේ කලක පටන් මෙම වන විනාශය සිදු වේ. කිසියම් පිරිසක් විසින් ඉතා රහසිගතව මෙහි ඇති ලොකු කුඩා සියලු ගස්වැල් කපා දමමින් එළිපෙහෙළි කර ගිනි තබමින් සිටින බවට ලද තොරතුරක් අනුව (10) දින වනජීවී නිලධාරීන් සහ පොලිසිය සමග අපිද එම ස්ථානයට ළඟා වූයෙමු. වසර දහසකට වැඩි දැවැන්ත කුඹුක් ගසක් බිමට පතිත වී ගිනි ගන්නා අකාරය දක්නට ලැබිණි.

ඊට අමතරව බක්මී සහ මී ගස් සියල්ලද කපා විනාශ කර තිබේ. අවුරුද්දෙන් අවුරුද්ද දිනෙන් දින ගොවීන් යැයි කියාගන්නා පිරිසක් සොමාවතිය ජාතික උද්‍යානය සහ ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය විනාශ කරමින් තමන් යටතට ගනිමින් සිටිති. එසේම වගකිවයුතු නිලධාරීන් කිසිවකු මේ සම්බන්ධයෙන් කිසිම පියවරක් නොගනිති.

කෙසේ නමුත් මෙම ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ මේ වන විට අඩමන්කාඩුව සහ ආච්චිවිල ප්‍රදේශයේ පමණක් මහා දැවැන්ත කුඹුක් ගස් හතකට ගිනි තබා ඇති අතර විශාල මී ගසක් සහ බක්මී ගසක් කපා එහි ලෑලි ජාවාරම්කරුවන් විසින් රැගෙන ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් සුංගාවිල වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්. එම්. එල්. කේ. වාසල පවසා සිටියේ මෙවැන්නකි.

“මුලින්ම කියලා ඉන්න ඕනි මේ අක්කර ගාණක් ලොකු කුඩා සියලුම ගස් කපලා කුඹුරු කරලා තියෙන්නේ ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේම තමයි. මේ රක්ෂිතයෙවත් පෙරන කලාපයෙවත් නෙවේ. මේවාට කවුරු අවසර දුන්නද කියලා මං දන්නේ නෑ. කවුරු අවසර දුන්නත් මං මේ අයට නීතිය ක්‍රියාත්මක කරනවා. මේ වෙනකොට මේ උද්‍යානය තුළ අක්කර ගණනාවක විශාල ගස් කොළන් කපලා විනාශ කර දමලා කුඹුරු කරනවා. ඒ විතරක් නෙවේ ඊට අමතර දැන් අලුතින්ම ලී කණුවලින් වැටවල් ගහලා ආයෙත් අක්කර ගාණක් වැඩ කරන්න තමයි මේ ගස් ගිනි තියලා කපලා සූදානම් වෙන්නේ. මේ අය තව ටික කාලයක් මේ විදියට කටයුතු කළොත් ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයක් නැති වෙනවා. ඒ නිසා මෙවැනි දේ කළ බවට සැක පිට පුද්ගලයන් තිදෙනකු අපි අත්අඩංගුවට ගත්තා. තවත් තොරතුරු රැසක් අප වෙත ලැබෙමින් පවතිනවා. ඒ අනුව කිසිදු පුද්ගලයකුගේ තරාතිරමවත් ජාතියවත් ආගමවත් අපිට අදාළ නෑ. වැරදි සිදුකරන මොන තරාතිරමක පුද්ගලයකු වුණත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒ වාගේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් අපි තිදෙනෙක් අත්අඩංගුවට අරන් තියෙන්නේ.”

කෙසේ නමුත් පරිසර හිතකාමීන් පවසා සිටින්නේ ජාතිය හෝ පුද්ගලයා ගැන නොතකා පරිසරයට හානි සිදු කරන හා සිදු කළ අය වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු සිදු කරන ලෙසයි.

මාතෘකා