ගිං ගඟේ නාන්නට බැරි අලි බලන කොල්ලෝ

 ඡායාරූපය:

ගිං ගඟේ නාන්නට බැරි අලි බලන කොල්ලෝ

“කන්දේ කකා ලන්දේ යන බෝසත්තූ
අත මිණි බැඳ පය මිණි බැඳ ජයගත්තූ
රාජ සබෙන් හොඳ කරුණා ලැබ ගත්තූ
වලවේ ගඟට බැස්සයි ගෝමර ඇත්තූ”

එවක සමාජයේ අලි පිළිබඳව වූ විශ්වාස, අලි බැලූවන්ගේ වග විත්ති, අලින්ගේත් ඇත් ගොව්වන්ගේත් ජීවිතවල රසමුසු තැන්, තෙත් කලාපයේ විසුවා යැයි කියන අලි පිළිබඳව තොරතුරු සෙවීමත් ඒ අත්දැකීම්වලට ඥාතිත්වය ඇති අය සමඟ දොඩමලු වීමත් අලි සේම විසල් මිහිරක් දනවන ආස්වාදනීය කටයුත්තකි.

අලි නම්

එකල ඇඹිලිපිටිය, උඩවලව ආදී ප්‍රදේශයන්හි සිට මෙරට නිරිත දිග තෙත් කලාපයට පැමිණි අලි ඇතුන් රත්නපුර, කලවාන ඔස්සේ තෙත් කලාපයේ දකුණු දෙසට සංක්‍රමණය වූ වගට ඇතැම් සාක්ෂි අදද හමුවේ. විශේෂයෙන් ග්‍රාම නාම පිළිබඳව සලකා බැලීමේදී එය තහවුරු වෙයි. අත්වැල්තොට, අගලවත්ත යන නම් එසේ අලි ඇතුන් මුල් කොට ගනිමින් නම් ලද ස්ථානයන්ය. ඇතා නාන වළ ඇල්ල, ඇතා මළ ගොඩැල්ල යන නම් මේ අදහසට දෙස් දෙයි.

"උඹ ඉස්කෝලෙ ගිහින් එනකොට පරිස්සමෙන් වරෙං. ඔය බැදි මණ්ඩියේ තනිය ඉන්න පුළුවන්." එදා පාසල් යන විට අම්මා කියූ වදන් අදටත් මතකයේ ඇති මිත්තණියක මට හමු වූයේ බදුරලියට ආසන්න ගමක් වන හැඩිගල්ලේදීය.

අතලේ අලි චූටි මට මුණගැසුණේ තෙත් කලාපීය අලි පිළිබඳ වග විත්ති සොයා ගිය ගමනකදීය.

"ඔන්න ඉන්නව මරු බඩුවක්. ටිකක් කතා කරලා බලන්න."

ඉඟුරුදලුව පිවිසුම් මගේ වන කුඩා කඩයක කහට පෙතක් තොල ගාමින් සිටි මට අලි චූටිව හඳුන්වාදෙමින් කඩේ මුදලාලි පැවසීය. ගතින් කුඩා මිනිසකු වන චූටි මේ සා විසල් සතකු ආං බාං කරන්නකු යැයි කීම එකවරම පිළිගැනීමට මගේ සිත මැළි විය. නමුත් අලි චූටිඅලි සමඟ මහ වැඩකළ මිනිසකු බව මට අවබෝධ වූයේ මා ඔහුගේ කථා මල්ලේ කට ලිහීමෙන් අනතුරුවය.

එකල බදුරලියේ කළුගල ආරණ්‍යය අවට වන බිම අවසර ලත් ගස් කපන්නන්ගේ වැඩ බිමක්ව තිබිණි. අලි එකොළොස් දෙනකු මේ වැඩබිමේ කටයුතු කර තිබේ. මේ වැඩ බිමට අලි රැගෙන ආවේ බණ්ඩා වෙද මහත්තයා ලෙස හඳුන්වන ගිරිතලේ අයෙකි. චූටි මේ බණ්ඩා වෙද මහත්තයාට බුලත්විට ආදිය කොටා දී ඔහු සමඟ හිතවත්කමක් ඇතිකර ගත්තේය.

“මම අලි පස්සේ වැටුණේ ඉස්කෝලෙ තුන වසරෙදි. ඒ කාලෙ අතලෙ තිබුණෙ පොල් අතු ඉස්කෝලෙ. මම ඉස්කෝලෙ එනවා කියල ගෙදරින් ඇවිත් පොත් ටික නුගේ හංගලා අලි එක්ක යනවා.”

ඒ පුංචි මිනිසා මහ කථාවකට මුල පිරීය. තම දරුවා පාසල් නොයන වග අලි චූටිගේ පියාගේ කන වැකිණි. ඒ ඔහු මදින මලෙන් ඇඟපත නිවා ගැනීමට හැන්දෑවට චූටිගේ පියා සොයා එන අලි බාසුන්නැහෙලාගෙනි. පියා චූටිට දඬුවම් කළේය; දිමි ගොටු කඩා ඇඟට දමා තරවටු කළේය. නමුත් අලින් කෙරෙහි චූටිගේ ඇති ආසාව "දිමි දඬුවමෙන්" යටපත් නොවීය.

අලි චූටි

වැඩ බිම, අලි නාවන තැන ආදී සියලු තැන්හි චූටි සැරිසැරුවේය. සැර පරුෂ අලි බාස්ලාට අත් මෙහෙවර පා මෙහෙවර සිදු වූයේ චූටිගෙනි. අලි බාස්ලාගේ සැර පරුෂ පෙනුම, හිස බැඳි ලේන්සුව, ඉන බැඳි හවඩිය, දෙකෙළවරින් උඩට කරකවන ලද උඩු රැවුල, ඇඟේ කෙටූ පච්ච චූටිගේ සිත් ගත්තේය. අලින්ට සෑදෙන බඩේ ගාය, සන්නිය වැනි රෝගාබාධ සඳහා බෙහෙත් කොටා දීම වැනි කටයුතු චූටිගේ කාර්යයන් බවට පත් විය. අලි පිළිබඳ වන ශිල්ප ශාස්ත්‍ර අලි බලන්නන්ගෙන් අහුලා ගැනීමට චූටි දක්ෂ විය. කාලය සෙමෙන් ගෙවී ගියේය. අතලේ චූටි "අලි චූටි "බවට පත් විය.

අලියකු සමඟ කටයුතු කිරීම ආධුනිකයකුට කළ නොහැකි කටයුත්තකි. පළමුව අලි බස පිළිබඳව යම් අවබෝධයක් ලැබිය යුතුය. අලියාගෙන් කෙරෙන කටයුතු, අලියාගේ හැසිරීම ආදිය පිළිබඳව හොඳ ඉවක් ඇත් ගොව්වකු සතු විය යුතුය. ඇත් ගොව්වාගේ විධානයන්ට අනුව ගෝලයා විසින් කටයුතු කිරීමෙන් ගෝලයා මේ කටයුතු පිළිබඳව ඉගෙන ගනී. එහිදී විධානය අලියාට හුරු පුරුදු කට හඬ ඇති ඇත්ගොව්වාගෙනි. අදාළ කටයුත්ත ඉටු කරන්නේ ගෝලයා විසිනි. නිදසුනක් ලෙස අලියාගේ පිට මතට ගොඩවන්නට ඇත්ගොව්වා අලියා ඇමතූ විට අලියා පාදය පායි. අදාළ නිල පාගමින් අලියාගේ පිටට ගොඩවන්නේ ගෝලයාය. මෙවන් විටෙක නිවැරදිව නිල තෙරපීමට ගෝලයා හුරු පුරුදු විය යුතුය. මෙලෙස වසර කිහිපයක් කටයුතු කිරීමෙන් ගෝලයා ඇත්ගොව්වකු බවට පත්වෙයි.

අලි කෑම

අලියාට කෑම සැපයීමද සුළුපටු කාරණාවක් නොවේ. අලියකුට වට අඩි හතරක කිතුලක අඩි පහළොවක් පමණ දිගැති බඩයකුත් පොල් අතුත් එක් රැයකට අවැසිය. අලි නෑවීමේ කටයුත්තද සුවිශේෂී කටයුත්තකි. අලියා නෑවීමට ගන්නේ ලොකු පොල් ගෙඩියක් ලෙලි තුනක් වන පරිදි ලෙලි ගසා ගැනීමෙනි. එකල කළුගල වැඩබිමේදී උදෑසන අටට පමණ අලි බාස්ලා අලියා දියට දමයි. කර මඩ සෝදා ‘කර කඹය’ කරට දමයි. මේ කර කඹය බඹර වැලෙන් සාදන ලද්දකි. ඉන්පසු පොල් අතු දෙකක් අලියාට කෑමට දී අලි බාස්ලාද සප්පායම් වෙති. දවසේ කටයුතු අරඹන්නේ ඉන් අනතුරුවය.

රජ කුල, ගොවි කුල, පන්නර කුල ආදී ලෙස කුල දහයකට අයත් අලි මෙරට සිටින වග චූටිගේ අදහසයි. අලි හාම්පුතුන්, අලි වෙදකම්වල නියැලෙන්නන් හා

ඇත්ගොව්වන් අලින්ගේ දේහ ලක්ෂණ අනුව ඔවුන්ගේ කුලය තීරණය කරයි. රජ කුලේ අලියකු පහත් යැයි සම්මත කුලයක

ඇත්ගොව්වකු හට බැලිය නොහැකි යැයි ඇත්ගොව්වෝ විශ්වාස කරති. අලියා මෙල්ල කිරීමට යොදා ගන්නේ හෙණ්ඩුවයි. මේ හෙණ්ඩුවේ හිස ඇත් කඳ ලිහිණියාගේ පාදයේ වන නියෙහි ස්වරූපයෙන් නිමවා ඇති බවත් ඇත් කඳ ලිහිණියාට අලි දෙදෙනකු දෙපයේ දවටාගෙන යා හැකි බවත් ඇත්ගොව්වන්ගේ පාරම්පරික විශ්වාසයයි.

අලි නිල

අලියකුගේ ඇති මුළු නිල ගණන හැට හතරකි. ඉන් පහළොවක් මාරාන්තික නිලය. ඇවිස්සුම, වලංගුව හා මරණය ලෙස මේ නිල ඇත් ගොව්වෝ වෙන්කර දක්වති. මේ නිල අතරින් කොටසක් තද කිරීමටත් අනෙක්වා ඇල්ලීමටත් වන නිලය. මේ ඇල්ලීමේත් තද කිරීමේත් වෙනස අලි බලන්නෝ හොඳින් හඳුනති. අලි බැලීම ඇත් ගොව්වාගෙන් ඇත් ගොව්වාටත්, අලියාගෙන් අලියාටත් වෙනස් වූ කරුණු කාරණාවන්ගෙන් යුතුය. ඇත්ගොව්වා සහ අලියා අතර ඇත්තේ ස්වාමියකු හා බිරිඳක අතර ඇතිවන තරමේ සබැඳියාවකැයි චූටි පැවසුවේය. අලියකු හා ඇත්ගොව්වකු අතර මේ සබැඳියාව ඇතිවීමට අවම වශයෙන් වසර තුනක් පමණ ගත වේ. මේ නිසාම ඇතැම් ඇත්ගොව්වන් අලින්ගෙන් සමුගන්නා විට අලින්ගේ දෙනෙතින් කඳුළු ගලනා වග චූටිලා පවසන්නේ අත්දැකීමෙනි.

පස්ලෝ කටු

ඇත්ගොව්වාගේ සේවය හමාර කිරීමට අලි හාම්පුතකුට අවැසි නම් ඒ පිළිබඳව කලින් නොපැවසීම හාම්පුතාගේ සිරිතයි. වෙනත් අයකුට යළි අලියා බැලීමට නොහැකි සේ අලියා බැඳීමට ඇත් ගොව්වකුට හැකියාව ඇත. ලෝහ වර්ග පහකින් යුතු “පස්ලෝ කටු” යැයි අලි බලන්නන් වහරන සිහින් කටු සාදවා ඒවා අලියාගේ තෙරපුම් ස්ථානයන්හි ගසා තැබීමෙන් ඇත්ගොව්වෝ මෙය සිදුකරති. එවිට මේ පිළිබඳව නොදැන පැමිණෙන නව

ඇත්ගොව්වා අලියාගේ පිටට ගොඩවීමට හෝ පිටට ගොඩ වී අසුන්ගන්නා "අක්නි තැල්ල" යැයි හඳුන්වන කොටසෙහි වාඩි වූ විට පෙර කී පස්ලෝ ගැසූ තැන් කැවීමෙන් අලියා වේදනාවට පත්වෙයි. එවිට ඇත්ගොව්වා අලියාගේ පහර කෑමට ලක් වෙයි.

පදම පමණ ඉක්මවා ගිය දිනෙක

ඇත්ගොව්වා හොඬගින් ඔසවා ගෙන යන අලින්ද වෙයි. එවන් අලියකු පිළිබඳව විත්ති බෙල්ලන ගම්මානයේ පැරැන්නෝ අදටත් පවසති. චූටිද එවන් අත්දැකීම් ඇත්තෙකි. මෙලෙස ඇත් ගොව්වාගේ වෙරි මත සිඳෙනතුරු ඔහු ඔසවාගෙන යන්නේ ගොවි කුලේ අලි යැයි අලි බලන්නන්ගේ අදහසයි.

අලි තරහ

දිනක් පදම ඉක්මවා සුරාව පානය කළ චූටි නිවසට පැමිණ අලියා බැඳ දැමීය. හැන්දෑ යාමේ වෙරි මත නිවී අලියා රැගෙන කළුගල මහ පාලම වෙත හෙතෙම පැමිණියේ අලියා දියෙහි ලෑමටය. චූටිට නින්ද ගිය මොහොතේ අහල පහළ කොලු කුරුට්ටන් එක්ව අලියාට ගල් කැටවලින් ගසමින් සමච්චල් කළ වගක් චූටි නොදත්තේය. අලියාගේ වෙනස ඉවෙන් මෙන් වැටහුණද චූටි සිය කටයුතු ඉටු කළේය. වෙනදා මෙන් වචනවලට අවනත නොවූ අලියා එකවරම ඇත්ගොව්වා හොඬගින් ගෙන ඉහළට එසවීය. යළි ක්ෂණයෙන් චූටිගේ හිස මුව තුළ රුවා ගත්තේය. ඇසිල්ලකින් හින රැඳි උල් පිහිය අතට ගත් චූටි අලියාගේ හකුපාඩය කෙලින් පිහිය තැබීය. අලියා චූටිගේ හිස සැපීය. ඒත් සමගම උල් පිහිය අලි හක්ක පසාරු කරමින් ඇතුළට කිඳා බැස්සේය. වේදනාවත් සමඟම කෝපයෙන් කුප්පන ලද අලියා තව තවත් තදින් ගොව්වාගේ හිස සැපීය. උල්පිහිය ඇතුළටම කා වැදීමෙන් ඇතිවන වේදනාවත් සමඟ අලියා හිස පහත් කළේය. චූටි වතුරට වැටිණි. අවට සිටියවුන්ගේ පිහිටෙන් චූටි රෝහල් ගත විය. කැලේ පැන්න අලියා දින පහකට පසු අල්ලා ගත්තේ හාම්පුතාගේද පැමිණීමෙන් අනතුරුවය. ඒ අලියා මේ වන විට පස්දෙනකු පරලොව යවා තිබූ බව චූටි මා හා පැවසුවේ ඇඟට පතට නොදැනීමය.

ඇත්ගොව්වන්ගේ විවේකය ගෙවෙන්නේ වැඩ බිමේ ඇති වාඩියකදීය. එවන් විටෙක මධුවිතත් සමග පදම අල්ලන මේ අලි බලන්නෝ ඉඳහිට කවියකින් දෙකකින් තම වෙහෙස මහන්සිය සංසිඳවති.

"අලියා මෙල්ල කෙරුමට හෙණ්ඩුව දෙවියා - එහෙමත් බැරි උනොත් ගනිමින් උල් පිහියා - ඉඳගෙන මැස්ස උඩ කඩමින් ඉසකෙයියා - මේ බව කිව්වේ අලවල තෝමස් අයියා" යනු මෙවන් වාඩියකදී කී අලි මෙල්ල කිරීම පිළිබඳව වන උපදෙස් කවියකි. එමෙන්ම මේ කවිවලට විවිධ කරුණු කාරණා මුල් වෙයි.

"ඇතා ගලට දළ දුනි නම් කොනක් බිඳේ - ගල තද නං ඇතුගේ දළ මුලින් බිඳේ - යාළු ගෙදර තනිවම නොයන් පිය බඳේ - ඇතු දළ බිඳුණු සේ යාළුගෙ හිතත් බිඳේ " යනු චූටිගේ මතකයේ ඇති තවත් උපදේශාත්මක කවියකි.

අලි බැලුම්

මෙවන් වැඩබිම්වල අලි බැලීමට දුර බැහැර පෙදෙස්වලින් පැමිණෙන්නෝද වෙති. එකල දකුණු ලක එක්තරා පෙදෙසකට ඈත ගම් දනව්වකින් අලි බැලීමට පැමිණි ගැටව් දෙදනකි. අලි බැලීම අතරතුරදීම ගමේ සිටින යුවතියන්ට බැලුම් ලෑම මේ ගැටවුන්ගේ සිරිතයි. සතියක් දෙකක් ගතවෙද්දී තරුණියෝ මේ පෙම් දැලට හසු වූහ. වැඩ බිමේ කටයුතු අහවර වීමත් සමඟ ගැටව් දෙදෙනා හොර රහසේම යළි සිය රට බලා ගියහ. එතකින් මේ පෙම් පලහිලව්ද නිමාවට පත් විය. නමුත් ඒ වන විට මේ පෙම්වතියෝ අලි ඇබැද්දියකට මුහුණ පා සිටියහ. මේ හෙයියම්මාරුව පිළිබඳව අලි චූටිගේ මතකයේ ඇති සිව් පදයක් හෙතෙම මා සමග පැවසීය.

"කොයි එකා කොයි රටෙන් ආවත් දූලි ඇල්ලෙන් නෑම ඕනැලු - අලි බලන මේ කොල්ලො දෙන්නත් මාන බල බල නෑම කෙරුවලු - තාන තම්දෙන කෙල්ලො දෙන්නගෙ දෝන වළවල් දෙකම කැඩුවලු - දෙනෝ දාහක් නාන ගිං ගඟෙ මුංල නෑවම කිඹුල කනවලු" යනු එකී ඇබැද්දිය විස්තර වන පද හතරයි. ගැමි තරුණියන් ඒ ඇබැද්දියට ඇද දැමීම නිසා මේ ගැටව් දෙදෙනා ඒ පෙදෙසින් ගලා යන ගිං ගඟට බටහොත් කිඹුලා කන වග කවියෙන් කියවෙන මුත් එසේ කිඹුලාට ගොදුරු වූ අලි බලන්නකු නොවේ යැයි චූටි මා සමඟ පැවසුවේ කට කොනකට නැඟි සිනහව නොසඟවමිනි.

මේ තොරතුරු සමඟ ඉඩ ලැබෙන විටෙක මම අලි චූටි සොයා ගියෙමි. ඒ සෑම ගමනක්ම ආනන්දනීයය. නමුත් මේ අත්දැකීම් ඇති ඇත්ගොව්වන්ගේ දැනුම බාර ගැනීමට ඔවුන්ගේ දෙවන පෙළක් නැත. ඔවුන් සතු ඥානය පරපුරෙන් පිටස්තරයකුට ලබා දීමටද ඔවුහු මැළිවෙති. එමෙන්ම දින දින අලි සම්පත මෙරටින් ක්ෂය වන ලකුණු පහළ වී තිබේ. එවන් පසුබිමක් හමුවේ මෙරට අලි පරපුර මෙන්ම ඇත්ගොව්වන්ද මේ සියලු පාර්ශ්ව හා බැඳි අපූර්වතම අත්දැකීම්ද පාරම්පරික ඥානයද තව නොබෝ කලකින් කාලයේ වැලි තලාවෙන් වැසී යනු ඇත.

සටහන [දුමින්ද ජයවර්ධන]

ඡායාරූප [දුමින්ද ජයවර්ධන හා අන්තර්ජාලය ඇසුරිනි]

මාතෘකා