පාස්කු ඉරිදා පළමු ප්‍රහාරය දෑසින් දුටු අමරාවතී ගුරුතුමී

 ඡායාරූපය:

පාස්කු ඉරිදා පළමු ප්‍රහාරය දෑසින් දුටු අමරාවතී ගුරුතුමී

 

"ලංකාවේ පාස්කු ඉරිදා දවසේ වුණු බෝම්බ ප්‍රහාර දෙකක් තියෙනවා. අද ඉන්න වැඩි දෙනෙක් නම් දන්නේ මේ ඊයේ පෙරේදා ප්‍රහාරය විතරයි. 1942 අප්‍රේල් 05ත් ප්‍රහාරයක් එල්ල වුණා. ඒ ප්‍රහාරය එල්ල කළේ ජපන්නු. මානසික රෝහලට බෝම්බ දැම්මෙත් එදා තමයි. හැබැයි ඒ වැරදීමකින් කියලයි කිව්වේ."

මීට වසර හැත්තෑ හතකට පෙර, එනම් දෙවන ලෝක යුද්ධය පැවති සමයේ සිදු වූ බෝම්බ ප්‍රහාරය සියැසින් දුටු බුද්ගමු මුදියන්සේලාගේ අමරාවතී පෙරේරා මාතාව, බොහෝ දෙනා නොදන්නා අතීතයක දොරටු විවර කරමින් පැවසුවාය. තව දින කීපයකින් සිය ජීවිතයේ 102 වන කඩඉම පසු කිරීමට සූදානමින් සිටින මේ මාතාව වර්තමානයේ ජීවත් වන්නේ දිවුලපිටිය හේන්පිටගෙදර ප්‍රදේශයේ වුවත් ඇයගේ උපන් ගම මුල්ලේරියාවයි. 1917 අගෝස්තු මස හතරවැනි දින මෙලොව එළිය දුටු අමරාවතී මාතාව, විශ්‍රාමික ගුරුවරියකි. දරුවන් හයදෙනෙකුගෙන් සමන්විත පවුලක තෙවැන්නිය වුවත් කොයි කවුරුත් ඇය අමතන්නේ "චුට්ටම්මා" යන ආදරණීය නාමයෙනි.

ආයුෂ

වයස අවුරුදු සියයක් ජීවත් වූ ඒබ්‍රහම් පෙරේරා හා වයස අවුරුදු හැත්තෑ නවයක් ජීවත් වූ රොබේලා ඩයස්, අමරාවතී මාතාවගේ මව්පිය දෙපළයි. පෞද්ගලික ආයතනයක ලිපිකරුවෙකු වූ ඒබ්‍රහම් පෙරේරා මහතාගේ ප්‍රධාන ඉලක්කය වූයේ දරුවන් රාජ්‍ය සේවයට ඇතුළත් කිරීම සදහා අවශ්‍ය අධ්‍යාපනය ලබා දීමයි. ඒ අනුව පවුලේ දෙදෙනෙකු ගුරුවරියන් කිරීමට ඒබ්‍රහම් මහතාට හැකියාව ලැබිණි.

"මගේ ලොකු අක්කා ටීචර් කෙනෙක්. එයාගේ නම මල්ලිකා පෙරේරා, එයා අවුරුදු අසූ හතක් ජීවත් වුණා. දෙවැනියා ලීලාවතී. එයා රැකියාවක් කළේ නැහැ. එයා අවුරුදු අසූහයක් ජීවත් වුණා. මගේ ලොකු මල්ලි ධර්මසිරි. එයා විගණක නිලධාරියෙක්. එයා අවුරුදු අසූ නවයක් ජීවත් වුණා. පොඩි මල්ලි ගුණදාස එයා රස්සාවක් කළේ නැහැ. අවුරුදු අනූවක් ජීවත් වුණා. මගේ පවුලේ බඩපිස්සී උදුලාවතී නංගි. එයා මුල්ලේරියාවේ ජීවත් වෙනවා. එයාගේ වයස අවුරුදු අනූවයි.

කොහොමටත් අපේ පවුලේ අයගේ ආයුෂ වැඩියි.

අධ්‍යාපනය

අමරාවතී මාතාව විද්‍යාල තුනකින් අධ්‍යාපනය ලබා තිබේ. ඉන් දෙකක් පාසල් වන අතර තෙවැන්න ගුරු විද්‍යාලයයි. "මගේ පළමු පාසල තිබුණේ මුල්ලේරියාවේ. දෙවැන්න වැල්ලම්පිටියේ. මම වැල්ලම්පිටියෙන් තමයි ජෞෂ්ඨය සමත් වුණේ. ඒ වෙන කොට අක්කා ගුරු වෘත්තියට ඇතුළත් වෙලා හිටියා. මම පානදුර වලාන ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළු වුණේ 1943දී. මේ කාලය තමයි මගේ ජීවිතේ හොඳම කාලය කියලා මම හිතන්නේ. රටේ හැමතැනින්ම ආපු ළමයි මෙතන හිටියා. මේ නිසා ලංකාවේ විවිධ ප්‍රදේශ ගැන දැනගන්න මට අවස්ථාව ලැබුණා."

පානදුර වලාන ගුරු අභ්‍යාස විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අමරාවතී මාතාව ගෘහ විද්‍යාව, සිංහල හා බෞද්ධ ධර්මය යන විෂයන් පිළිබද මනා දැනුම ලබන්නීය. වසර දෙකක කාලයක ඇවෑමෙන් ඉන් පිට වන අමරාවතී ගුරු මාතාව වසර විසි හයක් රජයේ ස්ථිර ගුරු සේවයේ නිරත වෙයි. "මට පළමු පත්වීම ලැබුණේ කොළඹ තලංගම බෞද්ධ විද්‍යාලයට. 1946 අවුරුද්දේ ඉදලා 1957 වර්ෂයේ දෙසැම්බර් 31 දක්වා එහි සේවය කළා. දිවුලපිටිය මහා විද්‍යාලයට පත්වීම ලැබුණේ 1957 අවුරුද්දේ. ඒ ඉස්කෝලේ අවුරුදු අටක් සේවය කළා. හුණුමුල්ල මාධ්‍ය මහා විද්‍යාලයට පත්වීම ලැබුණේ 1966 වර්ෂයේ. මම විශ්‍රාම ලබනකම් ඒ කියන්නේ 1973 වර්ෂය වෙනකම් සේවය කළේ හුණුමුල්ලේ තමයි.

ටියුෂන්

අද වන විට ගුරු වෘත්තිය හෑල්ලුවට ලක් වී ඇති බව අමරාවතී මාතාවගේ අදහසයි. ඒ ගැන විමසීමේදී ඇය කියා සිටියේ ඊට ප්‍රධානතම හේතුව ටියුෂන් බවයි. "එදා අපි ඉස්කෝලෙදි හැම දෙයක්ම ළමයින්ට ඉගැන්නුවා. ළමයින්ට උගන්වන්න අපි දැනගනත් හිටියා. නමුත් අද ගුරුවරුන්ට ඉස්කෝලෙදි උගන්වන්න බැරි ලෙඩක් තියනවා. ඒ අය කියන්නේ සවස පන්තියට එන්න කියලා. ඒ කියන්නේ ටියුෂන්. මේ ටියුෂන් නිසා තමයි ගුරුවරයා හෑල්ලුවට ලක් වුණේ. ළමයා ඉගෙන ගන්න සල්ලි ගෙවපු නිසා ගුරුවරයාට තිබුණු ණයත්, බයක් නැති වුණා. මේ හේතුවෙන් ගුරු ගෞරවය නැති වේගෙන ගිහින් අද වෙනකොට නැත්තටම නැති වෙලා."

විවෘත ආර්ථිකය අධ්‍යාපනය ටියුෂන්කරණයට ලක්වීමට ප්‍රධාන හේතුව බවද ඇගේ අදහසයි. දැඩි තරගය මීට ප්‍රධාන හේතුව ලෙස පෙන්වා දෙන ඇය, මේ තත්වය මත සමාජයට දායාද කරන දරුවා බ්‍රොයිලර් වර්ගයේ කුකුළෙකුට සමාන බව කීවාය.

"අපේ කාලේ අපි උත්සාහ කළේ සමාජයේ ජීවත් වෙන්න ඉගෙන ගත්තු එක. අද එහෙම නෙවෙයි අද ඉගෙන ගන්නවා කියන්නේ දැඩි තරගයකින් එක්කෙනෙක්ව පරද්දලා අනෙක් කෙනා ඉදිරියට එන්න දරන උත්සාහයක්. මේ තත්වය මත තමයි අධ්‍යාපනය හැදිලා තියෙන්නේ.

"ටියුෂන්, ටියුෂන් ඉස්කෝලේ ඇරිලා ආපු වෙලේ ඉදලා ටියුෂන්. මේ නිසා අද ළමයින්ට ළමා කාලය නැති වෙලා තියනවා. එදා අපේ කාලේ අපිට හොද ළමා කාලයක් තිබුණා. "

ගෙදර සිට ප්‍රතිඵල

මිට වසර හැටකට පමණ පෙර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමානය පෙළ විභාගය ආරම්භ වූ වකවානුවේ එහි ප්‍රතිපල නිකුත් කිරීම සදහා උත්තර පත්‍ර බැලූ ආකාරය පිළිබදව අලුත් යමක් "රැස " පාඨකයන් හමුවේ තැබීමට අමරාවතී මාතාව සමත් වූවාය. නිශ්චිත දින වකවානු පිළිබඳ මතකයක් නොමැති වුවත් බී.එම්.ඒ.පී. යන නිල මුද්‍රාව තබා තමනට ලැබුණු උත්තර පත්‍ර පරීක්ෂා කොට, නැවත සීල් තබා රෙජිස්ටර් තැපෑලෙන් විභාග දෙපාර්තුමේන්තුවට යොමු කළ අයුරු පිළිබද ඈට හොඳ මතකයක් තිබිණි.

"ඒ දවස්වල මම සාමාන්‍ය පෙළට ඉගැන්නුවා. ඒ නිසා උත්තර පත්‍ර පරීක්ෂා කරන්න අපිටත් ලැබුණා. ඒ දවස් වල තැපෑලෙන් තමයි මේ උත්තර පත්‍ර එන්නේ. අපි බලනවා. බලලා ආයේ තැපෑලෙන්ම යවනවා. ඒ යවද්දී තමයි මගේ නමේ මුලකුරු දාලා හදපු සීල් එක ගහන්නේ. ඒ ගහලා, ලාකඩ තියලා, ලියුම් කවරේ මුද්‍රා තබලා තමයි විභාග දෙපාර්තුමේන්තුවට යොමු කළේ. අපි මේ උත්තර පත්‍ර ලොකු අවධානයකින් බැලුවා. ලකුණක් දෙකක් අඩු වුණොත් අනිවාර්යයෙන්ම ඒ උත්තර පත්තරේ නැවත පරීක්ෂා කරලා ඒ අඩු ලකුණු දෙක දෙන්න පුළුවන් කමක් තිබුණොත් දුන්නා. එහෙම කරලා විභාගේ සමත් කළ ළමයිත් හිටියා. අද නම් ඉතින් මේ ක්‍රම නැහැනේ."

 

 

 

කඩුව

සීතාවක රාජධානිය ආරම්භ වූයේ 1521 සිදු වූ විජයබා කොල්ලයෙන් පසුවයි. මෙම රාජධානියේ ප්‍රථම පාලකයා වූයේ මායාදුන්නේ රජුය. මොහු දක්ෂ, රණශූර පාලකයෙකි. මායාදුන්නේ රජුගේ ප්‍රධාන ඇමති අමරාවතී ගුරුතුමියගේ පරපුරට නෑකම් කියූවෙකි. "මගේ අම්මා අවුරුදු හැත්තෑ නවයක් හිටියා. අම්මගේ අම්මා අවුරුදු සියය පැනලා ජීවත් වුණා. එයාගේ අම්මගෙ- අම්මගේ සැමියා තමයි මයාදුන්නේ රජ්ජුරුවන්ගේ ප්‍රධාන ඇමති වෙලා ඉඳලා තියෙන්නේ. එයා හොඳ රණශූරයෙක් වුණ නිසා අනෙක් අමතිවරුන් මෙයත් එක්ක තරහින් ඉඳලා තියනවා. ජනප්‍රවාදයට අනුව මෙයා මැරිලා තියෙන්නේ බඩවැල් කැපිලයි. ඒ කියන්නේ මෙයාට දීලා තියෙනවා බීම වර්ගයක් දියමන්ති කුඩු දාලා. ඒවාට තමයි බඩවැල් කැපිලා තියෙනවා කියලා කියන්නේ. මේ රජ පරපුරෙන් ආපු කඩුවක් මම පොඩි කාලේ අපේ මාමට ලැබුණා. දැන් නම් එකට වෙච්ච් දෙයක් නැහැ.

විවාහය

අමරාවතී මාතාව විවාහ වන්නේද පුහුණු ගුරුවරයකු වූ දිවුලපිටිය හේන්පිටගෙදර ප්‍රදේශයේ ජීවත් වූ සුබසිංහ ආරච්චිගේ සිරිවර්ධන මහතා සමගය. අමරාවතී- සුබසිංහ යුවළ ප්‍රථම වරට මුණගැහෙන්නේ තලංගම බෞද්ධ විද්‍යාලයේදීය. සුබසිංහ මහතා එවකට එම විද්‍යාලයේ ගණිත ගුරුවරයාව සිට ඇති අතර අමරාවතී මාතාව සිංහල ඇතුළු විෂයන් තුනක් උගන්වා තිබේ . "මගේ මහත්තයා හරි නිහතමානී කෙනෙක්. එයාගේ රාජකාරිය හරියට කළා. මේ හින්දා මම මහත්තයට කැමති වුණා. අපේ කසාදය කළේ 1948 අවුරුද්දේ. හැබැයි අපිට සෑහෙන කාලයක් යනකල් දරුවෙක් ලැබුණෙ නැහැ "

අමරාවතී හා සිරිවර්ධන යුවළ ගුරු වෘත්තියට අමතරව වීවින් (අත් යන්ත්‍ර පේෂ කර්මාන්තය) කර්මාන්ත ශාලාවක හිමිකරුවෝද වූහ. සේවකයන් අසූවකට රැකියා පහසුකම් මේ ආයතනයෙන් සලසා දී ඇති අතර රටේ ප්‍රදේශ රැසකට සාරි යැවීමටද මේ දෙදෙනා සමත් වී තිබේ. "අපි වැඩිපුර සාරි යැව්වේ යාපනයට. අපේ සාරිවලට යාපනේ හොඳ ඉල්ලුමක් තිබුණා. මේ හින්දා හොඳ අදායමක් අපට තිබුණා. හැබැයි අපි මේ හැම දෙයක්ම කළේ අපේ වෘත්තියට බාධාවක් නොවෙන්නයි."

දුක්බර සිදුවීම

අමරාවතී මාතාවගේ සිත නොසන්සුන් වූ එකම සිද්ධිය ඇගේ බාල දියණියගේ අභාවයයි. ඇමරිකාවේ සිදු වූ මේ මරණය ඇගේ සිතට දරා ගැනීමට නොහැකි විය.

"මගේ ලොකු දුව රසිකා සුබසිංහ. එයා ලැබුණේ අපි විවාහ වෙලා අවුරුදු පහකට පස්සේ. ඒ කියන්නේ 1953දී එයා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ ලේකම් පදවියක් දරලා දැන් විශ්‍රාමිකයි. පොඩි දූ දිලිනි මාකවිට. එයා මුල් කාලයේ වැඩ කළේ එයාර් ලංකා ආයතනයේ. පහු කාලෙක ඇමරිකාවට ගියා. එහෙදි එයාට අසනීපයක් හැදිලා මැරුණා. මට ඉන්නේ එක මිනිපිරියයි. එයා ඉන්නේ ඇමරිකාවේ. එයා පිළිකා සම්බන්ධ වෛද්‍යවරියක්. ලොකු දුව රසිකා තමයි දැන් මාව බලන්නේ. එයා මගේ හැම දේම කරනවා. මට කිසි අඩුවක් කරන්නේ නැහැ. මම බණක් භාවනාවක් කරගෙන ජීවත් වෙනවා."

[ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න]

මාතෘකා