තඹුත්තේගම ගොවීන් ණය උගුලක හිර කළ ලොකුලූනු බීජ නිෂ්පාදන මායාව

 ඡායාරූපය:

තඹුත්තේගම ගොවීන් ණය උගුලක හිර කළ ලොකුලූනු බීජ නිෂ්පාදන මායාව

ඉදිකළ ආරක්ෂිත ගෘහ ප්‍රමිතියෙන් තොරයි

බලධාරීන් දැනුවත් කළත් විසඳුම් තවම නෑ

මෙරට කෘෂිකර්මාන්තය යථාවත් කරනු වස් විවිධ ව්‍යාපෘති කලින් කලට කරළියේ කිරුළු දරයි. එහෙත් එවැනි බොහෝ ව්‍යාපෘති සුළඟේ ගසා ගියාක් මෙන් වී ඇත්තේ අපේක්ෂිත ප්‍රතිඵල බින්දුවට බස්සවමිනි. නූතන තාක්ෂණික ගොවිතැන ඈත ගම්මැදි වෙත දායාද කරන්නට දත කන්නවුන්ගේ වංචනික බව මේ අභාග්‍යට හේතුපාදක වී ඇති බව සැඟවිය නොහැකි සත්‍යයයි. ඉරට, හඳට තනි රකිමින් මහ පොළොව හා යුද වදින ගොවීන්ගේ දහදිය හෙට්ටු කොට අත මිට සරු කර ගන්නා අකාරුණික අතරමැදියන් බොහෝ බෝවී තිබේ. අසාර්ථක, නොගැළපෙන ගොවිතැන් ක්‍රම වෙත අහිංසක ගම්මැදි ගොවියන් මැදිකරන එවැනි පාපී මිනිසුන් කාටත් නොකියා සැඟවෙනුයේ කිසිදු පසු විපරමකට ඉඩ නොතබමිනි. එවැනි උගුලක පැටලුණු ගොවීන් පිරිසක් පිළිබඳ තඹුත්තේගම ප්‍රදේශයෙන් අසන්නට ලැබේ.

ආරක්ෂිත ගෘහ තුළ ලොකු ලූනු බීජ නිෂ්පාදන වැඩසටහනට සම්බන්ධ වී ඇති තඹුත්තේගම, සඳසිරිගම, දෙල්නේගම ආදී ගම්මානවල ගොවීන් පිරිසක් ණය ගෙවාගත නොහැකිව මේ වන විට දැඩි අසීරුතාවට පත්ව සිටිති. ජනාධිපති ලේකම් කාර්යාලයේ, කෘෂිකර්ම ඒකකය විසින් ආරම්භ කරනු ලැබ ඇති මෙම වැඩසටහන මඟින් රුපියල් ලක්ෂ දෙකක වටිනාකමට ඇස්තමේන්තු කොට ඇති ‘ආරක්ෂිත ගෘහයක්’ ගොවීන් වෙත ඉදිකොට දී ඇත. ඒ මීට වසර තුනකට පමණ ඉහතදීය. වානේ බට මඟින් වර්ග අඩි දහසක ප්‍රමාණයක වපසරියක් සහිතව ගෘහය සකසා වහලයට පොලිතින් ආවරණයක් යොදා තිබේ. මෙම ගෘහයෙහි වටිනාකමින් රුපියල් අසූදහසක මුදලක් රජය මඟින් දරා තිබේ. ඉතිරි එක්ලක්ෂ විසිදහසක මුදල සමාන කන්න වාරික හයකින් ගෙවීමට ගොවීන් ගිවිසගෙන ඇත්තේ මෙවැනි විපතක පැටලෙන වග සිහිනෙන් හෝ නොපෙනුණ හෙයිනි. ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ උතුරුමැද පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් රාජ්‍ය බැංකුවක් සමඟ අදාළ ණය ගිවිසුමට ගොවීන් එළැඹී ඇත. මෙරට ප්‍රකට කෘෂිකර්මය හා සම්බන්ධ පෞද්ගලික සමාගමක් ආරක්ෂිත ගෘහ ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන ඇත. ලූනු බීජ නිෂ්පාදනයට ගොවීන් තෝරා ඇත්තේ පළාත් කාෂිකර්ම අමාත්‍යාංශය මඟින් ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති ‘කෘෂි නිෂ්පාදන අ‍ෙලවි සමිති’ හරහාය.

මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වී අසරණව සිටින තඹුත්තේගම, දෙල්නේගම ගම්මානයේ උපාලි දිසානායක මහතා සිදුවූයේ කවරක්ද යන්න පැහැදුවේය.

“වටිනාකම ලක්ෂ දෙකක් වුණාට මේ ටනල් එක හදලා තියෙන්නේ හරි ප්‍රමිතියකට නෙමෙයි. මේකේ වහලේ ගහලා තියෙන ආරුක්කු හැඩේ ගැළපෙන එකක් නෙමෙයි. වැහි වතුර ගලාගෙන ගිහිල්ලා පහළට වැටෙන්නේ නෑ. එහෙම්මම රැඳෙනවා. වතුර බරට සමහර ගෙවල්වල පොලිතීන් එක ගැලවුණා. වැහි වතුර අයින් කරන්න අපි වෙනම මහන්සියක් ගන්න ඕන. අපේ සමහර ගොවි මහත්තුරුන්ගේ කුඹුරුවල සවි කරපු සමහර ආරක්ෂිත ගෙවල්වල බට ඇදවෙලා එහෙම්මම බිමට පාත්වුණා. කිසිම පසු විපරමක් තිබුණෙ නෑ. ඒකෙන් වුණේ අපි ණය උගුලක හිරවුණ එක විතරයි. මේකෙන් අපි ප්‍රයෝජනයක් ගත්තත් නැතත් කන්නෙකට රුපියල් විසිදාහකට වැඩි වාරිකයක් බැංකුවට ගෙවන්න ඕන. මං මේ ගැන ජනාධිපති ලේකම් කාර්යාලෙටත් ලිව්වා. ඒත් වැඩක් වුණේ නෑ. මොකක් හරි සහනයක් සලසනවා නම් ලොකු දෙයක්.”

ලොකු ලූනු බීජ නිෂ්පාදනයට වියළි කලාපයේ ගොවීන් යොමු කරන්නේ නම් ඒ සඳහා පිළිගත් විධිමත් නිසි මඟපෙන්වීමක් සහ පසු විපරමක් සහිත වැඩපිළිවෙළක් තිබිය යුතුය. මක්නිසාදයත් එය යම් පමණකට අසීරු කටයුත්තක් වන බැවිනි. තෝරාගත් මවු බල්බ හිතකර දේශගුණික තත්ත්වයන් යටතේ ගබඩා කොට තැබිය යුතුය. ඒ සඳහා සුදුසු දේශගුණික තත්ත්වය මෙරට තුළ ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයේ බව කෘෂි විශේෂඥයන්ගේ අදහසයි. ඒ අනුව සති තුනකට වැඩි කාලයක් ලොකු ලූනු මවු බල්බ පැළවී එනතෙක් එනම් ‘වසන්තිකරණයට’ ලක්වන තෙක් නුවරඑළියේ ගබඩා කොට තැබිය යුතුය. එය ගොවීන්ට හුදෙකලාව කළ හැක්කක් නොවේ. ඒ සඳහා නිසි ආයතනික මඟපෙන්වීමක් සහ පසුවිපරමක් තිබිය යුතුය. එහෙත් සියල්ලෝම මේ ගොවීන් හුදු මායාවක පටලවා නිහඬ වී ඇත්තේ පැදුරටත් නොකියාය.

මෙම වැඩසටහනට සත්භාවයෙන් එකතු වී අද අසරණභාවයට පත්ව සිටින

ආර්.බී. සුනිල් මහතා පැවසුයේ මෙවැනි අදහසකි.

“මේ ලූනු බීජ වැඩසටහන පටන් ගන්නකොට මුල්ම වතාවේ අපිට ලූනු මවු බල්බ කිලෝ දහයක් විතර ගෙනත් දුන්නා. ඒකටත් අපෙන් රුපියල් පහළොස්දාහක් විතර ගත්තා. එදායින් හරි මේ වෙනතුරු කිසිම නිලධාරියෙක් මේ පැත්ත පළාතක ආවේ නෑ. කිසිම පසු විපරමක් නෑ. සිද්ධ වෙච්ච එකම දේ අපි නිකන්ම ණය උගුලක පැටලුන එක විතරයි. අපිට කන්න නැතිවුණත් බැංකුවට ණය වාරිකේ ගෙවන්න ඕන. අපි වෙන මොනව හරි ගොවිතැනක් කරලා හොයාගන්න කීයෙන් හරි ණය ගෙවලා උඩ බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ. මේ හදලා දීලා තියෙන අට්ටාලෙත් කිසි ප්‍රමිතියකට හදපු එකක් නෙමෙයි. කීපවතාවක් මේකෙ වහලේ ඉටි රෙද්ද ගැලවිලා ගියා. මට පුළුවන් විදිහට අමුණලා තියෙනවා. ඒත් ආයෙත් කොයිවෙලේ ගැලවිලා යයිද දන්නෑ. පුළුවන් නම් කවුරු හරි ඇවිල්ලා අපි වැටිලා ඉන්න මේ අමාරුව ගැන පොඩ්ඩක් බලන්න කියලා මං ඉල්ලන්නේ.”

මේ වන විට ගොවීන්ගේ වගාබිම්වල ඉදිකොට ඇති සමහර ආරක්ෂිත ගෘහවල පොලිතීන් ආවරණය ගැලවී ගොස්, වානේ බට ඇද වී බිමට පහත් වී ඇත. තවත් සමහර ආරක්ෂිත ගෘහයක පොලිතින් ආවරණය ඉරී සුළ‍ඟේ ලෙළදෙමින් තිබේ. පොලිතින් වහලය නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවීම හේතුවෙන් වැහි වතුර බැස නොයෑම මතුවී ඇති තවත් ගැටලුවකි. ආරක්ෂිත ගෘහය ඉදිකොට දීම සහ වැඩසටහන හඳුන්වා දීම හැරුණු විට වෙනත් කිසිදු පසු විපරමක් සිදුනොවීමෙන් මේ වන විට දැඩි මානසික පීඩාවකට ලක්වන්නට ගොවීන්ට සිදුව ඇත. ලොකු ලූනු බීජ නිෂ්පාදන වැඩසටහන මුළුමනින්ම අසාර්ථක වී ඇතත් ණය මුදල් අඛණ්ඩව ගෙවීමට සිදුවීමෙන් ගොවීන් වැටී ඇත්තේ කබලෙන් ළිපටය. ණය මුදල් ගෙවීම සඳහා වෙනත් වගාවන් මඟින් උපයා ගන්නා මුදල් යෙදවීමට ඔවුනට සිදුව තිබේ. කව්පි ටිකක්, එළවළු ටිකක් හදා ගන්නා ආදායම ගෙඩි පිටින් බැංකුවට දෙන්නට ඔවුනට සිදුව ඇත. නිසි ප්‍රමිතියෙන් තොර මෙම ආරක්ෂිත ගෘහ ප්‍රයෝජනයක් ගත හැකි අන්දමින් සකසා දී ණය මුදල් ගෙවීමේදී ගොවීන්ට යම් සහනයක් සලසා දීමේ අවශ්‍යතාව දැන් මතුවී තිබේ.

මෙරට ගොවිතැන හා බැඳුණු බොහෝ පෞද්ගලික ආයතනවල ඒකායන අභිලාෂය මුදල් මත පදනම් වූ ලාභය පමණකි. ඔවුනගේ දෛනික න්‍යායපත්‍ර පිරී ඇත්තේ හුදු මවාපෑම්වලිනි. කවර විපතක ගොවීන් පැටලුණද ඔවුනට කම් නැත. මෙරට ගොවීන්ගේ ආර්ථික සමෘද්ධිය හෝ යහපත් ජීවන තත්ත්වයෙන් ඔවුනට ඇති ඵලක් නැත. කෘෂිකර්මය හා බැඳුණු සමහර රාජ්‍ය ආයතනද තකට තක වූ කල්හි ගම්මැදි ගොවියන්ට දෙවියන්ගේ පිහිට පමණක්මය. තඹුත්තේගමින් ඇසෙන මේ කතාව ඒ සඳහා එක නිදසුනක් පමණකි.

තඹුත්තේගම විශේෂ [ඩබ්ලිව්. ප්‍රදීප්]

මාතෘකා