මුස්ලිම් විවාහ නීති සංශෝධනය

 ඡායාරූපය:

මුස්ලිම් විවාහ නීති සංශෝධනය

මුස්ලිම් විවාහ සහ දික්කසාද වීම් සම්බන්ධයෙන් අවශ්‍ය නීති සංශෝධනය කිරීමට මුස්ලිම් මන්ත්‍රීවරු එකඟතාවකට පැමිණ තිබේ. මෙහිදී මුස්ලිම් කාන්තාවන්ට විවාහ විය හැකි වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා වැඩි කිරීම, මුස්ලිම් විවාහයකදී මනාලියගේ බාරකරුවා වෙනුවට විවාහ වන කාන්තාව අත්සන් කිරීම අනිවාර්ය කිරීම කාති අධිකරණයේදී මුස්ලිම් දික්කසාද නඩු විභාග කිරීමට පිරිමි මහෙස්ත්‍රාත්වරුන්ට අමතරව කාන්තා මහෙස්ත්‍රාත්වරු එක් කිරීම ඇතුළු කරුණු 11ක් පිළිබඳව එකඟතාවකට පැමිණ තිබේ. මේ ඒ සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරීන්ගේ මත විමසුමකි.

කාලීන අවශ්‍යතාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා

මුස්ලිම් විවාහ නීති සංශෝධනය පිළිබඳව අපි සාකච්ඡා කරලා එකඟතාවකට පැමිණියා. මේක සාමාජීය අවශ්‍යතාවක් ලෙස මම දකිනවා. ලාංකේය සමාජයේ මුස්ලිම් ජනතාව දිගින් දිගටම මේ සංශෝධන පිළිබඳව අවධානය යොමු කරන ලෙස අපෙන් ඉල්ලා සිටියා. කාලීන අවශ්‍යතාවක් මේක. කාලයත් සමඟ පෙර පවතින නීති රෙගුලාසිවල යම් යම් වෙනස්කම් විය යුතුයි කියලා අපි හිතනවා. මුස්ලිම් විවාහ නීති සම්බන්ධයෙන් ආපු එකඟතා මාලාව නැවත අවශ්‍ය සංශෝධනය කිරීම් කරලා අවසාන වශයෙන් සංශෝධනයක් අපිට ඉදිරිපත් කරන්න කියලා අපි මුස්ලිම් කටයුතු අමාත්‍ය එච්. එම්. හලීම් මහතාගෙන් ඉල්ලා සිටියා. මෙය ඉක්මනින් ක්‍රියාත්මක කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.


ඉතා හොඳ ප්‍රවණතාවක්

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්. එම්. අමීන්

මුස්ලිම් විවාහ සහ දික්කසාද නීති සංශෝධනය පිළිබඳව වසර 9ක පමණ කාලයක් තිස්සේ මුස්ලිම් ජනතාව අතර සාකච්ඡා වුණා. ඒ සඳහා මූලිකත්වය ගත්තේ සලීම් අසූර් කියන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා. ඔහුගේ දායකත්වයෙන් සහ විවිධ උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ දායකත්වයෙන් මේ ගැන විවිධ මට්ටමේ සාකච්ඡා ඇති වුණා. මහ සමාජය මේ පිළිබඳව කතා කරන්න පටන් ගත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසුව. නමුත් මුස්ලිම් සමාජය ඒ ගැන ඊට වසර ගණනාවකට පෙර සිට කතා කළා. මට මතකයි මිලින්ද මොරගොඩ මහතා අධිකරණ ඇමති වෙලා ඉන්න වකවානුවේදීත් මේ ගැන කතා කළා. අවසානයේදී මුස්ලිම් මන්ත්‍රීවරුන් ඇතුළු රජයේ පාර්ශ්ව මේ සඳහා සාධනීය එකඟතාවකට ඇවිත් තියෙනවා. එහිදී විවාහ වෙන වයස පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු වුණා. විවාහ වන වයස අවුරුදු 18 දක්වා දීර්ඝ කරන්න ඔවුන් එකඟතාවකට එළැඹිලා තියෙනවා. ඊට අමතරව කාති උසාවිවල මුස්ලිම් කාන්තා නියෝජනය බලාත්මක කිරීම, විවාහයේදී කාන්තා බාරකරු නොව කාන්තාවගේ අත්සන අනිවාර්ය කිරීම ආදී සාධනීය එකඟතා මාලාවක් ඒ යටතේ පවතිනවා. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පක්ෂ භේදයකින් තොරව මේ සඳහා එකඟතාවකට ඇවිත් තියෙනවා. දැන් මේවා ක්‍රියාත්මක කිරීම තමයි වැදගත් වෙන්නේ. අපි අධිකරණ අමාත්‍යංශයට ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙනවා. මේක ඉතා හොඳ ප්‍රවණතාවක්. මුස්ලිම් සමාජය තුළ දීර්ඝ කාලීනව තිබුණු අවශ්‍යතාවක් නිසා මේක ඉක්මණින් ක්‍රියාත්මක කිරීමයි ඊළඟ පියවර ලෙස මම දකින්නේ.


ප්‍රගතිශීලී පියවරක්

ජනාධිපති නීතිඥ අලි ශබ්‍රි

මුස්ලිම් සමාජයේ කැමැත්ත අනුව විවාහ නීති සහ දික්කසාද නීති සංශෝධන අවශ්‍යයි කියලා මම හිතනවා. මෙහිදී බලහත්කාරයෙන් කාන්තාවගේ අකමැත්ත පරිදි විවාහ කිරීම තහනම් කරලා, කාන්තාවගේ අත්සන අනිවාර්ය කරලා තියෙනවා. ඒ වගේම මුස්ලිම් සමාජය තුළත් කතාබහට ලක් වුණු කාරණයක් තමයි වයස අවුරුදු 18ට අඩු ළමයි විවාහ කිරීම තහනම් කරන්න කියන එක. දැන් ඒ නීතියත් හරියාකාරයෙන් සංශෝධනaය කරලා තියෙනවා. කාති අධිකරණවල කාන්තා නියෝජනය වැඩි කරන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම බහුවිවාහ කිරීමේදී කාන්තාවගේ කැමැත්ත සහ දික්කසාදය පිළිබඳව නීති සංශෝධනය කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන් මුස්ලිම් විවාහ සහ දික්කසාද පිළිබඳව සමාජයේ පැවතුණු අවශ්‍යතා විශාල ප්‍රමාණයක් මේ පනත් සංශෝධනය මඟින් සපුරලා තියෙනවා. සමාජය මානුෂීය වශයෙන් ඉදිරි ගමනක් යන්න තියපු ප්‍රගතිශීලී පියවරක් හැටියට මම මේක දකිනවා.


නීති රෙගුලාසි යාවත්කාලීන වෙන්න ඕනේ

ගීත රචක නිලාර් එන්. කාසිම්

මුස්ලිම් විවාහ නීති සම්බන්ධයෙන් විශාල වශයෙන් ගැටලු මතු වෙලා තියෙනවා. රටේ පවතින නීතිය අනුව ප්‍රමාද වෙලා හරි මේ නීති රෙගුලාසි සංශෝධනය වෙනවා නම් ඉතාම හොඳයි. මුස්ලිම් සමාජය තුළ වයස අවුරුදු 18ට අඩු විවාහ කර ගැනීම් පැවතුණා. ඒ තුළ පැහැදිලිවම ළමා අපචාරයක් සිද්ධ වෙන්නේ. කාති උසාවිවල මෙච්චර කාලයක් නඩු කතා කළේ පිරිමි පක්ෂය. ඒකෙන් කාන්තාවන්ට අසාධාරණයක් වෙන බව පැහැදිලියි. ඒ සඳහා කාන්තා නියෝජනය අත්‍යාවශ්‍යයි. මුස්ලිම් කාන්තාවන්ට දැන්වත් සාධාරණයක් ඉටුවිය යුතුයි. ඒ වගේම මුස්ලිම් සමාජය තුළ බහුවිවාහ සංකල්පය පවතිනවා. ඒක පෞද්ගලික කැමැත්ත මත රටක සමාජයක ආර්ථික තත්ත්වයත් එක්කයි අපේ රටේ බහු විවාහ සංකල්පය ඇති වුණේ. නමුත් ලංකාවේ සමාජ ක්‍රමයේ වෙනස්කම් එක්ක නීති එක්ක ඒක වියැකිලා තියෙනවා. ඒත් මුස්ලිම් සමාජයේ ඒක තවමත් පවතිනවා. ලංකාවේ ශරියා නීතිය යටතේ ක්‍රියාත්මක වෙන විවාහා නීති පමණක් නෙවෙයි අනෙක් නීති රෙගුලාසි පවා බරපතළ ලෙස වෙනස් වෙන්න ඕන; කාලයත් එක්ක යාවත්කාලීන වෙන්න ඕනේ. ලෝකයේ බොහෝ රටවල් තියෙනවා කාලයත් එක්ක සංශෝධනය කරලා ශරියා නීතිය ක්‍රියාත්මක කරන. මීට කාලෙකට ඉහතදී හේතුවක් ඇතුව හෝ ගෝත්‍රවාදී සමාජයට අනුකූලව පැවතුණු නීති හා රෙගුලාසි යම් යම් වෙනස්කම් එක්ක කාලානුරූපව වෙනස් වෙලා තියෙනවා. ඒක ලංකාවටත් අවශ්‍යයි. මේවට එකඟ නොවන පිරිසකුත් ඉන්නවා. ඒ අය මම දකින්නේ යාවත්කාලීන නොවන පසුගාමී මානසිකත්වයකින් යුත් මිනිසුන් හැටියට.

 


සමාජයේ අගතිගාමී දේවල් බැහැර විය යුතුයි

ආචාර්ය ෆරීනා රුසෙයික්

ඉස්ලාම් ආගම සහ සංස්කෘතියත් එක්ක ඉතාම ළඟ සබඳතාවක් ඇතුවයි මුස්ලිම් ජනතාව ජීවත් වෙන්නේ. ඒ වගේම මුස්ලිම් ජන සමාජයේ විවාහ ගැන කතා කරනවා නම් වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන් විවාහ වීම කියන එක වැදගත්. විශ්වවිද්‍යාල ආචාර්යවරියක් හැටියට මම පෞද්ගලිකව විශ්වාස කරනවා වයස අවුරුදු 18ට කලින් බාල වයසෙන් විවාහ වීම කියන්නේ ඒ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමක් හැටියට. ඒක රටක් ලෙස අපි සියල්ලන්ම පත්වෙන අගතිගාමී තත්ත්වයක්. ඒ වගේම අඩු වයසින් විවාහ වෙනවා කියන්නේ අධ්‍යාපනය කඩාකප්පල් වීමත් එක්ක ජීවිතය පිළිබඳ හරියාකාර අවබෝධයක් නැති වෙනවා කියන එක. ඒ නිසා වයස අවුරුදු 18ට පසුව විවාහ වෙන්න නීති සම්පාදනය කරන එක හොඳයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි කාති උසාවිවල කාන්තාවන් සිටිය යුතුයි. පිරිමි නඩු අහන්නේ ඔවුන්ගේ කෝණයෙන් බලලා. එහිදී කාන්තාවට අසාධාරණයක් වෙනවා. ඒ නිසා මම හිතනවා කාති උසාවිවල නඩු අහන්න කාන්තා පුරුෂ දෙපාර්ශ්වයෙන්ම සමන්විත මඩුල්ලක් තියෙන්න ඕනේ කියලා. ඒ වගේම ඉස්ලාම් ආගමේ කියලා තියෙනවා විවාහයකදී කාන්තාවගේ කැමැත්ත ගන්න කියලා. ඒක වාචිකව ගන්නවා. ඒ නිසා අත්සනකිනුත් කැමැත්ත ගන්න එක ඒ තරම් ගැටලුවක් නැහැ. ඒ නීති සංශෝධනය හොඳයි. ඒ වගේම තමයි නීතියක් තියෙනවා කාන්තාව දික්කසාද වුණොත් පිරිමි කෙනා මාස තුනක් යනකම් කාන්තාවගේ මුළු වියදම් සහ දරුවන්ට වයස අවුරුදු 18ක් යනකම් ඔවුන්ගේ මුළු වියදම් දරන්න ඕනේ කියලා. දැන් ඒක නිසි ලෙස වෙන්නේ නැහැ කියලා කන්තාවන්ගේ දුක්ගැනවිලි අපි අහනවා. ඒ නිසා මේ කාලයට වියදම අනුව බලලා කාන්තාවට විදයම දෙන්න ඕනේ. ලංකාවේ පවතින පොදු නීතියට අනුකූලව මුස්ලිම් විවාහ නීති සංශෝධනය කරන්න ඕනේ. දීර්ඝ කාලයක් තිස්සේ ඒ ගැන කතා කළා. නමුත් ඉස්ලාම් ආගමේ පවතින මූලික හරයන්ට බාධාවක් නොවෙන ලෙසයි මේ සංශෝධන වෙන්න ඕනේ.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා