ලොව ප්‍රබලම ප්‍රතිජීවකය කිඹුල් ලේවලින්

 ඡායාරූපය:

ලොව ප්‍රබලම ප්‍රතිජීවකය කිඹුල් ලේවලින්

ඔහු ශ්‍රී ලංකාවේ සිිටින පෙරළිකාරී මිනිසෙකි. විද්‍යාඥයෙකි; පර්යේෂකයෙකි; සර්පයන් හා මකුළුවන් යනාදී බොහෝ සතුන් පිළිබඳ ආචීර්ණ කල්පික මිථ්‍යා මත පුපුරුවා හළ බුද්ධිමතෙකි; උරගයන් සම්බන්ධයෙන් අපට සිටින ප්‍රාමාණික විශේෂඥයා ඔහුය. ශාස්ත්‍රිය ග්‍රන්ථ හා ලිපි 400කට වඩා ලියූ ලේඛකයෙකි; සුප්‍රසිද්ධ මැජික් ශිල්පියෙකි.

ෙම් සෑම බදාදාවකම දිගහැෙරන ඔහුෙග් ජීවිත කතාවයි.

"බාබු අන්කල්, ඩොක්ටර් නැද්ද? මම ඇවිත් දැන් ටිකක් වෙලා."

දහවල් වීමට ඇත්තේ හෝරාවක් හෝ දෙකක් වැනි අඩු කාලයකි. මම ඇන්ස්ලම් මහතාගේ නිවසට පැමිණෙන විට කිසිවකු නොසිටි බැවින් බිත්ති පොත් රාක්කයකින් පොතක් ගෙන කියවමින් සිටියෙමි. ජෙනිෆර් මහත්මියද නිවසෙහි වූයේ නැත. බාබු ඇන්ස්ලම් මහතාගේ සහායකයාය. එවේලෙහි ඔහු දකින්නට ලැබීම සතුටකි.

"ඩොක්ටර් කීවා අමුත්තෙක් ඇවිත් ඇති කියලා. අමුත්තෙක් නෙවෙයිනේ ඉතින් මේ ඇවිත් ඉන්නේ..."

"ඩොක්ටර් කොහෙද ඉන්නේ"

"ඩොක්ටර් නම් ෆාම් එකේ ඉන්නේ, ඒ පැත්තට යනවද? එනකම් ඉන්නවද?"

"යමු යමු. මොකක්ද ෆාම් එක..."

"ඒක ඕගනික් ෆාම් එකක්. වසවිස නැති එළවළු, පලතුරු වවන එකත් ඩොක්ටර් හරි ආසාවෙන් කරන දෙයක්..."

කමිසයකින් හා කොට කලිසමකින් සැරසී ඔහු හරිහරියට වැඩ කරනු දැක මට සිනා පහළ විය.

"ඇයි දරුවෝ හිනාවෙන්නේ... මේ නාකියට පිස්සු කියලා හිතුවද?"

"මේ වයසටත් උදැල්ලක් අරගෙන වැඩ කරන එක කොයිතරම් දෙයක්ද ඩොක්ටර්... හිනා ගියේ කිඹුල්ලු ගැන කතා කරන්න ඇවිත් අද වෙනම මොනවාහරි ගැන කතාකරන්න වෙයිද කියලා."

"ඇයි අපි කිඹුලා ගැන කතා නොකර ඉන්නේ? මොනවා කළත් මට උන්ගෙන් ගැළවීමක් නැහැ. පේනවනේ, මේ උදැල්ලත් කිඹුලා ලකුණ උදැල්ලක්. ඉතින් අපි මෙතන ඉඳගෙනම ටිකක් කතා කරමු. ගේ ඇතුළ එළිය කියලා ඔයාට වෙනසක් දැනෙන්නේ නෑ නේද?"

මම නැතැයි කීමට හිස වැනුවෙමි. ඔහුගේ දින චර්යාවත් විනෝදාංශත් මේ අපූරු මිනිසා පිළිබඳ සෙවීමට කුතුහලය ඇති කරවයි. තව කෙතෙක් නම් අපි නොකියවපු දේ ඒ ජීවිතය තුළ ඇත්ද?

"ලංකාවේ ලොකු මතයක් තියෙනවා කිඹුලකුගේ පහරදීමකට ලක්වුණු ලෙඩා ඉන්න කාමරේ උඩු වියනක් බඳින්න ඕන කියලා. මොකද හූනෙක් කැත කළොත් ඒ තුවාලේ නරක්වෙන්න පුළුවන්. ලෙඩා කාමරේට ගෙනියන්න කලින් ඉස්සරහ දොර ළඟ ඉඳලා කාමරේට යනකම් පාවඩ දාන්න ඕන කියලත් කියනවා. මොකද කිඹුලෙක්ගෙන් වුණු තුවාලයක් කියන්නේ කිල්ලක් කියලයි ගම්වල අය කියන්නේ. ඒ විතරක් නම් මදැයි, සමහර අය නැකැත් බලන අය ළඟට ගිහින් මේකේ සුබ අසුබ හොයනවා. ලෙඩාගේ ඇඟේ යකඩ කෑල්ලක් එල්ලනවා. ඒ කොඩිවිනවලට අහු නොවෙන්න කියලා. ඒත් මේ හැමදේම මිථ්‍යා මත විතරයි. හැබැයි සමහර මතවල සත්‍යතාවක් තිබුණා. මොකද සමහර ගම්මු කියනවා කිඹුලා කාපු තැනින් එක දිගට දියරයක් ගලනවා කියලා. මොකද කිඹුලා ආහාරයට ගන්නේ නරක් වුණු, පල්වුණු දේවල්. එයාලගේ කටේ බැක්ටීරියා වර්ග තියෙන්න පුළුවන්. ඉතින් තුවාලේ හොඳවෙන්න කල් යනවා. සැරව ගලන්නත් පුළුවන්.

"කිඹුලා තමයි වැව් ආශ්‍රිතව ජලය පිරිසිදු කරන ස්වාභාවික පිරිපහදු යන්ත්‍රය. සත්තු මැරිලා කුණුවෙලා ගියාමත්, අසනීප මාළුත් කිඹුලා කනවා. නයිල් ගඟේ කිඹුල්ලු අඩු වෙද්දි තිලාපියා කියන මාළු විශේෂයේ විශාල අඩුවීමක් සිද්ධවෙන බව පර්යේෂණයකින් හොයාගෙන තිබුණා. මොකද තිලාපියා මාළුන්ව කෑමට ගන්න අනෙක් සතුන්ව ආහාරයට අරන් තිබුණේ කිඹුලා. ඌ පරිසර දාමයක එක කොටසක්. කිඹුල්ලු බොහෝ වෙලාවට වතුරේ වගේම ගොඩබිමේ ඉන්න මීයන්වත් කනවා. ඒ නිසාම කිඹුලගේ ඇඟේ ප්‍රතිජීවක නිෂ්පාදනය වෙනවා. මොකද කන තරමක් කන්නේ කුණුවෙන දේවල්නේ. කිඹුලා දඩයමක් කරගත්තම ඒක එවෙලෙම කන්නේ නැහැ. ටිකක් එවෙලේ කාලා ඉතිරි ටික කුණුවෙන්න ඇරලා කනවා. ඉතින් මෙයාලගේ ඇඟේ, ලේවල වගේම කටෙත් විෂ දේවල්වලට ප්‍රතිශක්තිය ඉබේම හැදිලා තියෙනවා."

"කිඹුල් ලේ විස ඇති නේද?"

"කිඹුලගේ ඛේටය නම් විසයි. මොකද බැක්ටීරියා තියෙන නිසා. ඒත් ලේවල තියෙන්නේ ප්‍රතිශක්තිය. ඒ නිසා මාන්දම එහෙමත් නැත්නම් ඇනීමියා තත්ත්වය කියන රෝගයට ප්‍රතිකර්මයක් කිඹුල් ලේවල තියෙනවා. මාන්දම හැදෙන්නෙත් ලේ අඩුවීමක් නිසා. කිඹුල් ලේවලින් හදපු කරලක් තියෙනවා. ඒක තමයි ඒකට හොඳම බේත. මේක තායිලන්තයේ තමයි වැඩිපුරම භාවිත කරන්නේ. ලෝකයේ තියෙන හැම ප්‍රතිජීවකයකටම වැඩිය ප්‍රබල ප්‍රතිජීවකයක් කිඹුල් ලේවලින් හදලා තියෙනවා. ඒක හොයාගෙන තියෙන්නේ ඇමෙරිකාවේ මහාචාර්ය මාර්ක් මර්චන්ට්. ඔහු මගේ මිත්‍රයෙක්. ඒක ළඟඳීම වෙළෙඳපොළට නිකුත් කරාවි."

කතාව මදකට නතර වූයේ ජෙනිෆර් මහත්මිය පැමිණ ඇන්ස්ලම් මහතාට හදිසි දුරකථන ඇමතුමක් පැමිණ ඇති බවට කරන ලද දැනුම්දීම නිසාය. ඇන්ස්ලම් මහතාගේ පසුපසින් යෑමට සූදානම් වුවත් බාබු මා නවතා ගත්තේය. ඔහු ඇන්ස්ලම් මහතා විසින් සකස් කරන ලද බුලත් වගාව පෙන්වා සිටියේ මහත් ආඩම්බරයෙනි. එය සරුසාරව වැඩී තිබූ වස විසෙන් තොරව සකස් කරන ලද බුලත්ය. නීරමුල්ලිය, කිරිඇන්ද හා තෙබු වැනි එළවළු මුල්මවරට මා දුටුවේ එදා ඔහුගේ වගාවේදීය. ඇන්ස්ලම් මහතා වගා කරන්නේ දියවැඩියාවට අධිරුධිර පීඩනය වැනි රෝගවලට ප්‍රත්‍යක්ෂ ඖෂධ වර්ගයි. වගාවෙහි ඇවිදීමෙන් හිතට මෙන්ම ගතටද ලැබෙන්නේ සුවදායී සන්තෘෂ්ටියකි. ඔහු ගෙවන ජීවිතය කෙතරම් සරල, ඵලදායී එකක්දැයි අද තරම් සිතුණු වෙනයම් දවසක් නොවේ.

"දරුවෝ තේකක් බීලා ඉමු. අපේ කතාවත් නතර වුණානේ. ගම්පොළ ෆාම් එකකට ලොකු මුදු කරවලයෙක් ඇවිත්. එයාලා ෆොටෝ එකක් නම් ගහගෙන. ඒත් ඌ ඇදිලා ගියාලු. දැන් ඒ මිනිස්සු බයේ ඉන්නේ. මොකද මුදු කරවලා කියන්නේ උග්‍ර විස සහිත සර්පයෙක්. මම එයාලට කීවා මගේ ගෝලයෙක් එවන්නම් කියලා, වැඩි දුරක් ගියා වෙන්න බැහැනේ. අපිට ඒ සතාව වටිනවා ප්‍රතිවිෂ හදන්න ගන්න. දැනට අපි ළඟ ඒ වර්ගෙ එක සතෙක්වත් නැහැ."

"ඇයි ඩොක්ටර් ඒ? එයාලා දුර්ලභයිද?"

"ම්ම්ම්.... මෙහෙමයි. තෙල් කරවලා නම් ඕනතරම් ඉන්නවා. ඒත් මුදු කරවලා කියන්නේ ලංකාවට ආවේණික සර්පයෙක්. එයාලා කැමති ගල් අස්සේ උණුහුමක් තියෙන සීතල තැන්වල හැංගිලා ඉන්න. අපි ළඟ මුදු කරවල්ලු කීප දෙනෙක්ම හිටියා. ඒත් එයාලට කොයිතරම් කෑම දුන්නත් වමනේ දානවා. පසසේ උන් මැරුණා."

මේ කතාබහේ පිළිවෙළක් නැති බව ඔබට නොතේරී තියෙන්නට විදියක් නැත. කතාව පටන් ගන්නේ කිඹුලන්ගෙනි. එහෙත් මැදට යනවිට එහි කතා නායකයා මුදුකරවලයෙකි. ඒ අපිළිවෙළට මා මෙන්ම ඔබද හුරුවිය යුතුය. එළියේ පරිසරයෙන් මිදී නිවස තුළට ගියද එහි වෙනසක් මට නොදැනෙන්නේ නිවසෙහි ඇති සිසිල නිසාවෙන්ය. ඇන්ස්ලම් මහතා පරිගණකය අසල අසුන් ගෙන මටද ආසනයක් තබාගෙන සිටියි. කිඹුලන් පිළිබඳ යමක් පෙන්වීමට ඔහු සූදානම් වනවා විය යුතුය.

"ලෝකයේ දැනට ජීවත්වන කිඹුල් විශේෂ 23ක් හොයාගෙන තියෙනවා. සම්මතයෙන් පිළිගත්තු ගාණ ඒක වුණාට දැනට ලංකාවෙ නම් ජීවත් වෙන්නේ එයින් දෙවර්ගයක් විතරයි. ඒ හැල කිඹුලා සහ ගැට කිඹුලා. ලංකාවට ආවේණික තව කිඹුල් විශේෂයක් ඉඳලා තියෙනවා මීට අවුරුදු 80,000කට කලින්. එයා වඳවෙලා ගිහින් තියෙනවා.

"1939 දි කලින් කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂ පී.පී. දැරණියගල මහත්තයට රත්නපුර කුරුවිට පතලකින් පොසිල හමුවෙලා තියෙනවා. ලංකාවෙන් වඳවෙලා ගිහින් හිටි හිපපොටේමස්, ව්‍යාඝ්‍රයා, රයිනෝසිරස්ගේ පොසිලත් එක්ක මේ කිඹුලගේ දතක් හමුවෙලා තියෙනවා. 2013දී ඒ බෙඩ් එකම හාරද්දි අපිටත් දතක් හමුවුණා. 2013 තිබුණු ලෝක කිඹුලු සමුළුවට මම සහ ආචාර්ය කැලුම් මනමේන්ද්‍රආරච්චි ඒ ගැන ලිපියක් ඉදිරිපත් කළා. ඒ කිඹුල් විශේෂය නම් කරලා තියෙන්නේ 'ක්‍රොකඩයිලස් සිංහලයාස්' කියන නමින්."

"බෙඩ් එකක් කියන්නේ මොකක්ද ඩොක්ටර්?"

"මට හිතුණා ඔය ප්‍රශ්නෙ එයි කියලා. බෙඩ් එකක් කියන්නේ අපි නිදාගන්න ඇඳ වගේ එකක් නෙවෙයි. පුරාවිද්‍යා කැණීම්වලදී අඩි 12ක් විතර යටට හාරද්දි එක ලෙවල් එකකට ඇවිත් පොසිල හමුවෙන ස්ථානයට බෙඩ් එකක් කියලා කියනවා. අපිට ඒ කාලේ මේ පර්යේෂණ කරන්න උදවු කළේ ක්‍රොක් ෙෆස්ට් කියන සංවිධානය.

“ලංකාවේ කිඹුලන් සම්බන්ධයෙන් පර්යේෂණ කරලා තියෙනවා තුනක්. පළමු සමීක්ෂණය කරලා තියෙන්නේ රොමිලස් විටෙකර්. ඔහු හා ඔහුගේ බිරිඳ 1977දී ඉන්දියාවේ ඉඳලා ලංකාවට ආවේ මෝටර් බයික් එකකින්. ඒ කාලේ හැල කිඹුල්ලු 2,800ක් හමුවෙලා තිබුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සන්ත්යා පිල්ලෙයි 1991-1996 කරපු පර්යේෂණයකින් හැල කිඹුලන් 1,220ක් හමුවෙලා තිබුණා. ඊට පස්සේ 2016-2017 වෙනකම් කාලේ කරපු පර්යේෂණයකින් මම සහ වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රදීප් රත්නසිරි එක්ක එකතුවෙලා හැල කිඹුලන් 7,516ක් හොයාගත්තා. ඒ තෙවැනි අවස්ථාව. අපි දඹුල්ල, සීගිරිය, කහල්ල, පල්ලකැලේ පර්යේෂණ ගොඩක් කළා. ඒ පර්යේෂණවලදී වගේම මම ඊට පස්සේ කරපු ගොඩක් පර්යේෂණවලට මට උදවු කළා අපූරු මනුස්සයෙක්. එයා කේ. පී. සුනිල්. ඇත්තටම මගේ ආරක්ෂකයා වගේ හිටියේ ඔහු. ඔහු මට දීපු සහයෝගය වචනයෙන් විස්තර කරන්න බැහැ. අපිව හැමතැනකම අරන් ගියේ අපේ රියැදුරු මහත්තයා මයිකල් ජයතිස්ස. ඔවුන් ගැනයි අපි කරපු පර්යේෂණ ගැනයි මම පස්සේ කියන්නම්කෝ."

මා මෙන්ම ඔබද කිසිම දිනක කිඹුලකු දුටු විට ඌ ගැට කිඹුලකුද හැල කිඹුලකුද යන්න තෝරා ගැනීමට නොදන්නවා විය යුතුය. ඔහුගේ පරිගණකයෙහි වූයේ එම සතුන් දෙදෙනා වෙන් කර හඳුනාගැනීමේ රූප සටහනකි.

"ගැට කිඹුලව මතක තියාගන්න නම් කොස් ගෙඩියක පිට පොත්ත මතක තියා ගත්තම හරි. මොකද කොස් ගෙඩියක පිට පොත්ත වගේ තමයි උගේ ඇඟේ කොරපොතු පිහිටන්නේ. ඒත් හැල කිඹුලට තියෙන්නේ විශාල කොරපොතු. ඒවා දුටු පමණින්ම පැතලි ස්වරූපයක් ගන්නවා. ගැට කිඹුලගේ හොම්බ උල් හැඩයක් ගන්නවා. ඒත් හැල කිඹුලට තියෙන්නේ මහත හොම්බක්. ඒවා ඉතින් හරි සූක්ෂ්මව බලන්න ඕන. නැත්නම් පේන්නේ හැමදේම එක වගේ. මිනිස්සුනම් එක එක්කෙනාගෙන් වෙනස්නේ. ඒත් මේ සත්තු එහෙම නැහැ. ඒ ඒ විශේෂවලට ඒ ඒ ආවේණික ලක්ෂණ තියෙනවා. එතකොට එයලගේ විශේෂතා වගේම දුර්වලතාත් හොයාගෙන ඒවට අනුව හැඩගැහෙන්න ලේසියි."

අපුලක් නැතිව නිදහසේ හුස්ම ගත හැකි පරිසරයක ජීවත් වන්නට ලැබීම භාග්‍යයකි. එම පරිසරය විඳීමට තරම් වන හදවතක් ලැබීම ඊටත් වඩා භාග්‍යයකි. මිනිසුන් මිනිසුන් සමඟ ජීවත් වනවාට වඩා මිනිසුන් සතුන් සමඟ ජීවත් වීම අගේ යැයි සිතෙන්නේ මේවා ඇසෙද්දීය. ඉතින් ලබන සතියෙත් තවත් පිටුවක් පෙරළමු; මේ වගේම.

සටහන [නදී මානික්කගේ]

මාතෘකා