වැටීම

 ඡායාරූපය:

වැටීම

විශාල කළුගල් කුළක් ගල් වෙඩිල්ලකින් පිපිරෙන්නාක් සේ දැඩි අඳුර කැබැලිවලට වෙන් කළ දීප්තිමත් විදුලිය කෙටීමත් සමඟ ඇසුණු මේඝ ගර්ජනාවෙන් ඉක්බිති එළඹි වැසි නැති අහසේ නිශ්චලත්වය සිදුරු කරගෙන ගලා ආ අමුතුම ආකාරයේ ශබ්දය හොඳින් අසන්නට ලයනල් මුදලාලි සවන් යොමාගෙන සිටියේය. ඇත්තෙන්ම ඔහු අවදි කරවන ලද්දේ දැන් ටික වේලාවක සිට ඇසෙන අමුතුම ආකාරයේ තියුණු ශබ්දය විසින්ද නැතහොත් මේඝ ගර්ජනාවෙන්ද යන්න හරියටම සිතාගන්නට ඔහුට නොහැකිය. උලමකුගේ හඬක් වන් අතිශය අමිහිරි, අසා සිටීමට අපහසු මේ හඬ හඳුනාගැනීමට දෙසවන් පමණක් ප්‍රමාණවත් නොවන බව ඔහුට ඊළඟ තත්පරයේදී පසක් විය. ඔහු ශබ්දය හඳුනාගැනීම සඳහා පසිඳුරන්ම ප්‍රයෝජනයට ගත යුතු යැයි අදිටන් කරගත්තාක් සේ නිහඬව අසා සිටියේය. නිදි යහනෙන් මෑත්ව ඉස්තෝප්පුවට පැමිණ මිදුලේ කළුම කළු ඝන අඳුර දෙස නෙත් යොමා සිටින විට සවන්පත් වඩා කාර්යක්‍ෂම වන්නාක් සේ ඔහුට දැනිණි.

එවර ඔහුට ඇසුණේ පිරිමියකුගේ හූ හඬට සමාන හඬකි. ඔහුගේ ඉන්ද්‍රියයන් දිගටම ඒ හඬ ඔස්සේම ක්‍රියාත්මක වෙමින් තිබිණි. තවදුරටත් මෙහෙයවූ කල්පනාව විසින් මේ හඬ ඇසෙන්නේ පොළොව මතුපිටින් නොව, මේ මහා පොළෝ ගර්භයේ කොහේ හෝ තැනෙකින් බැව් ඔහුට පසක් විය. සිදුරු කළ දිගු උණ බම්බුවක් කෙළවරට කන තබා සිටියදී අනෙක් කෙළවරින් යමකු සෙමෙන් හූ හඬ නඟන විට ඇසෙන අයුරින් මේ ශබ්දය තම කන් බෙර විනිවිද යනු ඔහුට දැනේ. ඉනික්බිති අවට සියලු නිවෙස්වල පහන් එකිනෙක දැල්වෙනුද, ඉදිරිපස දොරටු විවර වනුද, ගෘහ මූලිකයන් මිදුලට බසිනුද ලයනල් මුදලාලි දුටුවේය.

ඒ අපූරු හඬ මුළු ගමම අවදි කොට ඇත.

“මොකක්ද ඒ සද්දෙ?”

“කොහෙන්ද ඒ ඇහෙන්නෙ?”

“කවුද හූ කියනව ඇහෙන්නෙ?”

“මහා මූසල සද්දයක්...”

ආදී ලෙසින් එකෙකාගේ අදහස් හුවමාරුව ඊළඟට ඇසිය හැකි විය.

“සද්දෙ එන්නෙ හාමු මහත්තයගෙ වත්ත පැත්තෙන්. හැබැයි වත්ත උඩින් නොවෙයි, කොහේ හරි පොළොව යටින්. කවුරු හරි වළක වැටිලා කෑගහනව වගේ තමයි මට දැනෙන්නේ.”

වයස්ගත වීම නිසා ඇස් පෙනුම සදහටම අහිමි වුවද ඊට සමාන්තරව ශ්‍රවණය තියුණු වූ අයකු සේ ප්‍රකට සියාතු සීයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

අත්හැරදැමූ ළිඳේ පත්ලට එල්ල වූ ආරිගේ රීචාර්ජබල් විදුලි පන්දමේ ඇස් නිලංකාර කරන එළිය වළල්ලට ළිං පතුලේ තිබූ ඇස් දෙක හා හා පුරා කියා ගිනිකණ වැටුණේය. විදුලිය බොත්තම් ඔබා කැසට්පටයක් නිහඬ කළාක් සේ මෙතෙක් දෙසවන් පෑරූ හඬ එක්වරම නැවතිණි.

ළිං බිත්තියට හිස තබාගෙන ඉහළ බලාගෙන සිටි මුහුණ වහාම ළිං පත්ල දෙසට යොමු වී නිශ්චල වීම ඊළඟ තත්පරයේදී සිදු විය. දණක් වතුර පිරුණු, මීවන ගසින් බිත්ති ආවරණය වූ ළිං පත්ලේ බිත්තියට හේත්තු වී පුද්ගලයෙක් නිසොල්මනේ සිටියේය.

“මළහත්තිලව්වේ...! ජේමිස්කාරයා ළිඳට වැටිල...”

දුටු දේ ආරිගේ මුවෙන් ප්‍රවෘත්තියක් ආකාරයෙන් පිට වුණද ඔහුගේම සිතට ඇතුළු වූයේ වෙනත් ආකාරයකටය. ඒ දෑසේ බැල්ම ගුණේට දිවි ඇති තාක් අමතක නොවේ. පසුගිය වසර කිහිපය පුරා ඒ බැල්ම ඔහුගේ සිතට එබී ව්‍යාඝ්‍රයකු සේ ඔහු බියපත් කරමින් සිටියේය.

ලයනල් මුදලාලිගේ අලුතෙන්ම බැටරි දැමූ කෑලි තුනේ විදුලි පන්දමේ හොඳටම සිහින් කරන ලද එළි දහර ඊළඟට ළිං පත්ලට එල්ල විය. හිස පහළට යොමු වීම නිසා අඩක් පෑදුණු තට්ටය හා ඒ වටා පිහිටි කෙස් වළල්ලද ළිඳට නැඹුරු වූ නෙත් වළල්ලක් තුළට පිවිසියේ විදුලි වේගයෙනි. ළිං කට වටා සිටි අනෙක් අය නොදුටු යමක් ලයනල් මුදලාලි දුටුවේය.

පුද්ගලයාගේ සිරුරේ පිටකොන්දේ බෙල්ල මුල වූ කැපුම් පහරකින් සිදු වූ තුවාලයේ කැළල ඔහු ඒ රාත්‍රියේ නැවතත් දුටුවේය, හඳුනාගත්තේය. මේ කැළල හා එහි තිබූ තුවාලය පිළිබඳව ලයනල් මුදලාලි තරම් දන්නා කෙනෙක් නැත. ළිං පතුලෙන් ගොඩට පැමිණි, ලයනල් මුදලාලිගේ දෑස, එක්වරම ගොස් නැවතුණේ ලලිතාගේ දෑස් මතය.

ඇඳ සිටි තනපටය උඩින් පෙරවනයක් ලාගෙන සිටි ඇය ඒ වන විටත් ළිං පත්ලේ වූ මිනිසාගේ වම් කනේ වූ කළු පැහැ ඉන්නා හොඳින් හඳුනාගෙන සිටියාය. ඒ ඉන්නාගේ ස්පර්ශය ඇයගේ දකුණු අතට දැනුදු දැනෙන්නා සේය.

මේ කලබලය අස්සෙත් ලයනල් මුදලාලි උත්සාහ කරමින් සිටියේ ලලිතාගේ දෑසේ ලියැවී ඇති පණිවිඩය කියවාගැනීමටය.

“මේකි අඬනවද - හිනා වෙනවද?”

“හරි හරි, දැං බැලුව ඇති ඉක්මනට මේ යකාව උඩට ගනිමු. නැත් නම් මූ සීතලේ මැරෙයි.”

ඒ හඬ ලොකු ඉස්කෝලෙ මහත්තයාගෙනි. පොරවනය ලාගෙන සීතලේ වෙව්ලමින් ජේමිස් ළිං පතුලේ සිටියේ සීතලටද බියටද යන්න තවමත් කිව නොහැකිය.

“මොකද කරන්නෙ? නාකියා උඩට ගන්නවද?” කඹයක් ගෙන ඒමට ආරච්චි මහත්තයාගේ නිවෙසට දුවන අතරේ ආරිගේ සගයා ආරිගෙන් විමසා සිටියේ හතිය අතරිනි.

“නැතුව මළ හත්තිලව්වේ, මෙච්චර සෙනඟක් ඉඳිද්දි මැරෙන්න අරින්නයැ?”

“හැබැයි ඉතින් එකම සාක්කිය” ඒ කෙඳිරුවේ ආරිගේ යටි සිතයි.

“අම්මපා ඒ ඇස් දෙක... ඒව තමයි ඇස්! රක්තාක්ෂියගෙ ඇස් කොහොම තියෙන්න ඇද්ද?” ආරිගේ සිත ආරිට කියයි.

ලයනල් මුදලාලිගේ සිත කල්පනා සයුරේ ගැඹුරුම තැනක නැවතී ගිලෙමින් තිබේ. සිත එසේ තැවෙද්දී නෙත ලලිතා ළඟට දුවයි, ඇගේ ඇස් කියවන්නට තතනයි. ඒ දෑස්වල මොන කෙහෙල්මලක්වත් ලියැවී ඇති වගක් ලයනල් මුදලාලිට නොපෙනෙයි.

ඇත්ත නම් ඒ ලියැවී තිබූ දේ ලයනල් මුදලාලිට කියවිය නොහැකි වීමයි. ලලිතාගේ ඇස්වල සටහන් වන එක් පණිවිඩයක් හැර අනෙක් පණිවිඩ එකක්වත් ග්‍රහණය කරගැනීමේ ශක්තියක් තම දෑසට හෝ සිතට හෝ නැති බව ලයනල් මුදලාලි දන්නේ නැත.

ලයනල් මුදලාලිට නොපෙනෙන කඳුළක් සිය ඇස්වල තිබෙන බව ලලිතා හොඳටම දනී. ගනුදෙනුවකට වඩා සැබෑ ළෙන්ගතුකම, ඇස්වල කඳුළුවල හිතවත්කම වැඩි වග ගැහැනියක වූ ඇය හොඳින්ම දැන සිටියාය. ඇය දෙතොල් සපාගත්තාය. මේ ළෙන්ගතුකම තාත්තා නැති සිය පොඩි උන් දෙදෙනාට කන්නට මොනවා හරි අත මිට මොළවා අන්තරස්දාන වන නිසා නොවේ, පොඩි කොලුවාගේ හිස අත ගා ආදරය දක්වන නිසාත් නොවේ, ඌට වලිප්පුව හැදුණු දා ඌ උස්සාගෙන ඉස්පිරිතාලෙට ගෙන ගිය නිසාත් නොවේ. ඒ ළෙන්ගතුකම වෙනත් හේතුවක් නිසා ඈ සිතේ ජනිත වූවකි.

“අනේ මේ මනුස්සයා හීතලේ ගැහෙනවා ඇති. කෝපි ටිකක්වත් දෙන්න ඇත්නම්...” ලලිතාගේ හිත හඬයි.

සිත හඬන විට ඇගේ දෑස් ඈටත් නොදැනීම ලයනල්ට ඔරවයි. මොන විදියට බැලුවත් ලයනල් මුදලාලිගේ ඇස්වලට ලැබෙන සංඥා නියමිත පරිදි සිතේ නිවැරදිව සටහන් වන්නේ නැත. “ඔස්ටියෝ ආතරයිටීස්” රෝගයෙන් දණිස් දෙකම ඉදිමී පීඩා විඳින තද කළු පැහැ තරබාරු ඇවිදින මිනිරන් කන්දක් වැනි සිය බිරියගේ සිරුර ලලිතාගේ සිරුරේ ලාලිත්‍යය සමඟ සංසන්දනය කරන්නට ඉස්පාසුවක් ලයනල්ට මේ මොහොතේ නැත.

“මූ මේක ඇතුළේම මැරෙනවා නම්්!” ලයනල් මුදලාලිට සිතෙයි. සිය බිරියගේ රළු පරළු පිළිකුල්සහගත පහස වෙනුවට රම්‍ය සුවදායී පහසක් ලබාගැනීම උදෙසා ලලිතා වෙත තමන් යන මඟ හරහා වැටී ඇති සුවිශාල බාධකය දැන් ළිඳ පතුලේය.

“අම්මපා කවුරුවත් එන්න ඉස්සර එන්න ලැබුණ නං මට.. මම එහෙනං මූ මේක ඇතුළෙම ඉවරයක් කරල දානවා.”

ලයනල් මුදලාලිගේ කාලකණ්ණි සිත පව්කාර සිතිවිලිවලින් බැහැර වන්නේම නැත.

ණය පොතේ ගණන් ඉහළ යන විට තමන්ට අත පෑ හැකි තරමටම ළං වන ලලිතාගේ පහස අවසාන මොහොතේ මේ කාලකණ්ණියා නිසා, එක්වර අත්හැරෙන පහත් කරගත් අත්තක් සේ නැවතත් ඉහළටම ගිය වාර ගණන එකක්-දෙකක් නොවේ.

සිදු වන කිසිවක් නොදැන ගැඹුරු නින්දේ පසු වූ ආරච්චි මහත්තයා පුබුදුවාගෙන කඹය ඉල්ලාගැනීමට ආරිටත් සගයාටත් සෑහෙන වේලාවක් ගත විය. ඇත්තෙන්ම මුහුණ සාක්කුවට වැටෙන්නට මධු පානය කළොත් මිස ආරිලාට මෙවන් සුව නින්දක් ලැබීම සිහිනයක්ම පමණි. එහෙත් ප්‍රමාදයට ප්‍රධාන හේතුව ආරච්චි මහත්මයාගේ ගැඹුරු නින්දම නොවේ.

අතුරුදන් වූ ඇඟලුම් කම්හල් සේවිකාවගේ සිරුර පර ගසින් වට වූ වගුරෙන් මතු වූයේ ඇය අතුරුදන් වී දින තුනකටත් පසුවය. කබරයන් කා අඩක් විනාශ වී ගිය, අධික දුර්ගන්ධයක් ඇති සිරුර මුලින්ම දැක තිබුණේ මාළු බාන්නට ගිය අයෙකි. ආරංචිය අසා එතැනට රැස් වූ පිරිසට ආරි හා සගයා එකතු වූයේ අතිශයින් ප්‍රමාද වීය. ඊට අද කඹය ගෙන යන්නට ගියාටත් වඩා කාලයක් ගත විය.

ආරිට අවශ්‍ය වූයේ පඩි දවසේ ඇයගේ පසුම්බියේ වූ මුදල ලබාගැනීමත්, ඇය සතුව තිබූ කන-කර ගලවාගැනීමත් පමණි. ඒත් ඔහුගේ බීමත් සිතට එය ප්‍රමාණවත් වූයේ නැත. එය තවත් බොහෝ දේ ඉල්ලා සිටියේය. අධික ලෙස බීමතින් සිටි තරුණයන් දෙදෙනාගේ බලයට යටත්ව දිගින් දිගටම හිංසාවට ලක් වූ ඇඟලුම් සේවිකාව අවසානයේ සියල්ල හැර දෑස් පියාගත්තාය. ආරිගේත් සගයාගේත් වෙරි හිඳුණේ ඒ මොහොතේය.

ඒත් සියල්ලටම පිළිතුරු තිබේ. දෑතින් හා දෙකකුලෙන් ඔසවාගෙන ගිය සිරුර වගුරට වැටෙන විට දිය පිරී තිබූ වගුරෙන් දිය විසුරුණේ නැත. ඇසුණේ කුඩා ජබොක් හඬක් පමණි.

ලයනල් මුදලාලිගේ අතු පහත් කරගෙන කෑමේ ක්‍රියාවලිය කඩින් කඩ සිදු වූවක් විය. ඊට හේතුව වළ පත්ලේ සිටින්නා පමණක් නොවේ. ‘ඔස්ටියෝ ආතරයිටීස්’ රෝගයෙන් සිරුර පෙළුණද බිරියගේ ගැහැනු සිතට කිසිම රෝගයක් වැලඳී නොතිබුණු නිසා සියලු සංඥා වටහාගැනීමේ නියම ගැහැනු ශක්තිය ඒ සිත සතුව තිබුණු බැවිනි.

ඇගේ ඇස් වසා, ගම්මුන්ගේ ඇස් වසා, ලලිතාගේ නිවෙසට පිවිසි එක් රැයක අගුළු නොදමා වසාදමා තිබූ දොර විවර කරගෙන ආලවකයා සේ ඇතුළු වූයේ ජේමිස්කාරයාය. දුටු දර්ශනයෙන් තිදෙනාම වික්‍ෂිප්ත වූ බව කිව යුතු නොවේ. ඒ හරියටම ඇඟලුම් කම්හලේ සේවිකාව අතුරුදන් වූ දිනයේ රාත්‍රියමය.

දැන් ළිඳ පත්ලේ සිට දුටු දෑස එදා තමන් වෙත එල්ල වී තිබුණු ආකාරය සිහි වන විට ලයනල් මුදලාලිගේ සියොලඟ කිලිපොළා යයි. ඒ බිය තුළ සැඟවී සිටි අයකු විසින් දෙන ලද පහරකින් ජේමිස්කාරයාගේ බෙල්ලට පහළින් මැහුම් දහඅටක් දැමිය යුතු ප්‍රමාණයේ පැල්මක් ඇති වූයේ හරියටම වගුරේ තිබූ මිනිය හමු වූ රාත්‍රියේමය.

මිනිය සීතල වුවද එය ගම තුළ ඇති කළ උණුසුම විසින් ජේමිස්ට පහර දීමේ සිද්ධිය උණුසුම් ප්‍රවෘත්තියක් නොවීම යටපත් විය. ජේමිස් අයියාට පහර දුන්නේ කවුරුන්දැයි සෙවීමට උත්සාහ ගත්තේ ලලිතා පමණක් නොවේ. ආරි හා සගයාද ඒ සඳහා වෙහෙස දරා කටයුතු කළේය.

“උඹ නේද අරූට කඩුවෙන් කෙටුවේ?”

දෙදෙනාම එක්වර ප්‍රශ්න කර සිටියේ හමු වූ මුල් අවස්ථාවේය. එහෙත් අවසානයේ පහර දුන් එකා සොයන්නට හිත වෙහෙසන්නට දෙදෙනාටම සිදු විය.

කඹයේ ගැටගසා පහළට හෙළන ලද හරස් ලීයක අපූරුවට වාඩි වී ඔන්චිල්ලාවක් පදින පොඩි එකකු සේ ජේමිස්කාරයා ළිඳෙන් ගොඩට ආවේ ඒ වෙලාවේය.

දැල්වූ ගිනිමැලය ළඟ වාඩි වී, අතට ලැබුණු කෝපි කොප්පය බොන ගමන්ම ජේමිස් අයියා ලයනල් මුදලාලිටත් ආරිටත් සගයාටත් එකම බැල්මකින් සංග්‍රහ කොට නැවතත් කෝපි කෝප්පය වෙත නෙත් යොමු කරගත්තේය.

ඉතා අපහසුවෙන් අත්ත පාත් කොට ගෙඩියක් කඩාගෙන කෑ දවසක ලලිතාගේ ගෙයින් නික්ම හොර බළලකු සේ පිට වී යන තමා දෙස ජේමිස්කාරයා බලා සිටි ආකාරය ලයනල් මුදලාලිට නැවත මැවී පෙනුණේය.

මළ සිරුර වගුරට දමා යෑමට හැරුණු විගසම ගසකින් පනින තඩි වඳුරු නාම්බකු සේ එතැන තිබූ රූස්ස කොස් ගසේ දෙබලක සිට බිමට පැන තමන් බියට පත් කළ ජේමිස්කාරයාගේ මුහුණේ වූ බැල්ම ආරිට හා සගයාට සිහිපත් වූයේ එක්වරමය.

ඒ සමඟම ජේමිස්කාරයාට පහර දීමට දෙදෙනාම ඉදිරියට පැන ජේමිස්කාරයාගේ යදඬුවන් දෑතින් හා දෙපයින් හොඳ හැටි පහර කා දුවන අතරේ නිකමට පිටුපස හැරී බැලූ විට ඉණට අත ගසා ගත් ජේමිස්කාරයා දිවයන තමන් දෙස බලා සිටි බැල්ම ඊළඟ මොහොතේ මැවී පෙනුණේය.

එකම ඇස් දෙකෙන් එකම ආකාරයට හෙළන බැල්මක් තිදෙනාගේම සිහිය අවදි කර ලූයේය.

දබරයකින් එක් පස් කූඩයක් ඉහළට එන විට අනෙක් පස හිස් කූඩය පතල පත්ලට යන්නාක් සේ ජේමිස්කාරයා පොළොව මතුපිටට පැමිණෙන විට තමන් වළ තුළට වැටෙන අයුරක් ඔවුන් තිදෙනාටම එක්වර දැනෙන්නට විය.

(කතුවරයාගේ ‘අකුණු’ කෙටිකතා සංග්‍රහයෙනි.)

-------------------------

කෙටිකතා එවන්න

ඔබේ ස්වතන්ත්‍ර කෙටිකතා නිර්මාණ අප යොමු කරන්න. අතින් ලියූ අත්පිටපත් වශයෙන් නොව පරිගණක අක්ෂර සංයෝජනය කළ ‘වර්ඩ්’ පිටපත් වශයෙන් (PDF නොකර), වචන 2500කට නොවැඩිව එෆ්.එම්. අභය අකුරින් හෝ ඉස්කෝල පොත අකුරින් ටයිප් කර යොමු කරන්න. අපගේ ඊමේල් ලිපිනය මෙසේය: [email protected]

 

මාතෘකා