කියලා කට ගන්න කලින් කිඹුලා බෝට්ටුවට පැන්නා!

 ඡායාරූපය:

කියලා කට ගන්න කලින් කිඹුලා බෝට්ටුවට පැන්නා!

 

ඔහු ශ්‍රී ලංකාවේ සිිටින පෙරළිකාරී මිනිසෙකි. විද්‍යාඥයෙකි; පර්යේෂකයෙකි; සර්පයන් හා මකුළුවන් යනාදී බොහෝ සතුන් පිළිබඳ ආචීර්ණ කල්පික මිථ්‍යා මත පුපුරුවා හළ බුද්ධිමතෙකි; උරගයන් සම්බන්ධයෙන් අපට සිටින ප්‍රාමාණික විශේෂඥයා ඔහුය. ශාස්ත්‍රිය ග්‍රන්ථ හා ලිපි 400කට වඩා ලියූ ලේඛකයෙකි; සුප්‍රසිද්ධ මැජික් ශිල්පියෙකි.

මේ සෑම බදාදාවකම දිගහැෙරන ඔහුෙග් ජීවිත කතාවයි.

 

මා වාඩි වී සිටියේ වැව් ඉවුරකය. නිසොල්මන් ජල තලය පීරමින් පැමිණි විශාල කිඹුලකු මගේ ඇඟට පැන්නේ සිතාගත නොහැකි වේගයකින්ය. මට කෑ ගැසීමට හෝ වෙලාවක් නොවීය. දුරකථනය නාද විය. ඇමතුම ආචාර්ය ඇන්ස්ලම් ද සිල්වාගෙනි. එය සිහිනයක් බව තේරුම් ගැනීමට මට මඳ වෙලාවක් ගත විය. මේස ඔරලෝසුවට ඇස ගියේ ක්ෂණයකිනි. පෙරදා රැයෙහි කිඹුල් පහරදීම් පිළිබඳ ඡායාරූප කිහිපයක් බලා නින්දට යෑම මේ සිහිනයට නිමිත්ත වූවා විය යුතුය. වෙලාව අලුයම පහ පසු වී මිනිත්තු විස්සකි.

කාලය පිළිබඳ තැකීමක් නොකරන ලියුම්කාරියට වෙලාවට වැඩ කිරීම පිළිබඳ අපූරු පාඩම් ඇන්ස්ලම් මහතා කියා දුන් පළමු අවස්ථාව මෙය නොවේ. ඔහු කියූ වෙලාවට වඩා තත්පරයක්වත් අඩු හෝ වැඩි නොකර මට ඇමතුම ගත්තේය. ඔහු වැනි මිනිසුන්ට එක් ජීවිත කාලයක් තුළ මෙතරම් දේ කිරීමට හැකිව ඇත්තේ කෙලෙසදැයි යමකු ඇසුවොත් ඒ කාල කළමනාකරණය නිසා යැයි කීමට අටුවා ටීකා අනවශ්‍යය.

"මට අද තියෙන්නේ බොහොම අඩු වෙලාවක්. ඒ නිසා මං කතා කරන්න ඕන හැමදේම වෙන වෙනම සටහනකට දා ගත්තා. නැත්නම් අමතක වෙන්න පුළුවන්නේ."

ඔහුගේ නිවසට යෑම ලබන සතියට කල් ගියේ ඔහුට හදිසි රාජකාරි කටයුත්තකට යෑමට සිදුවීම නිසාය. පසුගිය සතියෙහි ඔහුගෙන් අසා දැනගත් කිඹුලන් පිළිබඳ වූ බොහෝ තොරතුරු තවමත් අකුරු වී නැත. එබැවින් අත්‍යවශ්‍ය කාරණා පමණක් ඔහු හා කථිකා කිරීමට සිතුවෙමි. සර්පයන්ගෙන් මිදී කිඹුලන් පිළිබඳ පර්යේෂණ කිරීමට ඔහු ඇරඹුවේ ඇයිදැයි කරන ලද විමසීමට ඔහු දුන්නේ මෙවන් පිළිතුරකි.

“මං තමයි කිඹුල් මිනිස් ගැටුම ගැන ලංකාවේ මුලින්ම පර්යේෂණ කළේ. කිඹුල්ලු මිනිස්සු මරන්නේ ගොදුරු හොයාගන්න. ඒත් කිඹුලෙක් එක මනුස්සයෙක්ව මැරුවොත් මිනිස්සුන්ට අහුවෙන හැම කිඹුලවම මරලා දානවා. ඉතින් එන්න එන්න මේ ගැටුම උග්‍ර වුණා. ඒ නිසාම ලංකාව පුරාම මම කිඹුලන් ගැන පර්යේෂණ කළා, මේකට විසඳුමක් හොයා ගන්න.

“සර්ප දෂ්ටනයක් නිසා මනුස්සයෙක් මැරුණට කවදාවත් ඒවා ප්‍රසිද්ධ වෙන්නේ නෑ... ඒත් කිඹුලෙක් කාලා මනුස්සයෙක් මැරුණොත් ඒකට මාධ්‍යවලින් පවා ලොකු ප්‍රසිද්ධියක් ලැබෙනවා. ඒ ප්‍රසිද්ධිය සතාගේ පැත්තෙන් අවාසියක්. ඒකෙන් වෙන්නේ කිඹුලා කියන්නේ භයානක සතෙක් කියලා සමාජෙට මතයක් යන එක. මොකද මාධ්‍යවලින් හෙඩ්ලයින් එක දාන්නෙම ‘මිනීමරු කිඹුලකු අසුවෙයි’ කියලා. ඒකමයි මේ කිඹුල් මිනිස් ගැටුම උග්‍ර වෙන්න හේතුව; කිඹුලෙක් දැකපු ගමන් මරන්න හේතුව. කොටින්ම මට ඕන වුණා කිඹුලා කියන්නේ රාක්ෂයෙක් නෙවෙයි කියලා පෙන්නන්න. බඩ අතගෑවම ඇස් පියාගෙන පූසෙක් වගේ ඉන්න සතෙක් ඌ.”

ඔහු කිඹුලන්ව විඳින අයුරු දැක මට සිනා පහළ වූයේ සර්ප විෂ පිළිබඳවද ඔහු මෙවන් කතාවක් කියූ නිසාය. හුරතලයට ඇතිකරන පූසකු හා කිඹුලකු සමාන වන්නේ කෙසේදැයි මට නම් මේ මොහොත වන තුරු සිතාගත නොහැකි කාරණයකි.

“කිඹුලන්ට තියෙන්නේ පුදුම මොළයක් සහ මතකයක්. මොකද කිඹුල් පහරදීම්වලින් සියයට අනූවක්ම වෙලා තියෙන්නේ සැලැස්මක් ඇතිව. කිඹුල් පහරදීම්වලට ලක්වුණු අයගේ ඥාතීන්ගෙන් මේ පිළිබඳ අපි විමසීම් කළා. මේ මැරුණු හැම කෙනෙක්ම කාලයක් තිස්සේ එකම කාර්යයකට, එකම දේකට, එකම ස්ථානයකට ගියපු අය. මට මතකයි මාතර නිල්වලා ගඟේ රෙදි සෝදන්න ගියපු ගෑනු කෙනෙක්ව කිඹුලෙක් ඇදගෙන ගිහින් තිබුණා. ඒ ගෑනු කෙනා හැමදාම හවසට එයාගේ දරුවෙක් එක්ක එතනට ගිහින් තිබුණා. මාස ගාණක්; එකම වෙලාවට, එකම තැනට. එයාලා දැකලත් තිබුණා එහා ඉවුරේ හැමදාම කිඹුලෙක් ඉන්නවා. ඉතින් එයාගෙන් කරදරයක් නෑ කියලත් එයාලා කතාවෙලත් තිබුණා. හැබැයි කිඹුලා ක්ෂණික ප්‍රහාර කරනවා හරි අඩුයි. කොටින්ම ඌ පිස්සු බල්ලෙක් වගේ හපා කන්නේ නැහැ. බොහොම ඉවසීමෙන් ගොදුර දිහා දීර්ඝ කාලයක් බලන් ඉඳලා තමයි දඩයම කරගන්නේ.”

එය සමාජය දැනුවත් කළ යුතු කාරණයකි. එලෙස කිඹුලකු නිසොල්මන්ව සිටී නම් එය කිසිසේත්ම නොසලකා හැරිය යුත්තක් නොවන බව පමණක් අපි සිහි තබා ගත යුතුය.

“තව, අවුරුදු 18ක ගෑනු ළමයෙක් මේ විදියටම කිඹුල් ප්‍රහාරයකට ලක් වෙලා තිබුණා. එයා හැමදාම උදේ මූණ හෝදන්න ගිහින් තිබුණේ කිඹුල් කොරටුවකට. එතන එයාලත් දැනුවත්ව කුඩා අලි පැටියකුට යන්න පුළුවන් තරම් කොටසක් කැඩිලා තිබුණා. එතනින් තමයි කිඹුලා ඇවිත් මේ ගෑනු ළමයව ඇදගෙන ගිහින් තියෙන්නේ. හැබැයි ඉතින් කිඹුලෙක් එහා ඉවුරක ඉන්න බව එයාලත් දැනගෙන ඉඳලා තියෙනවා.”

කිඹුල් කොරටුවකින් සිදු වන දේ මා දැන නොසිටි බැවින් ඔහුගේ කතාවට බාධා කිරීමට සිදුවිය. ඔහුගේ සමීපයේ සිට මේ කතාබහ සිදු වූවානම් මා අසන්නටත් පෙර ඔහු මේ පිළිබඳ පවසන බව අත්දැකීමෙන් දනිමි.

“කිඹුල් කොරටුවකින් වෙන්නේ කිඹුලන්ට එන්න බැරිවෙන්න ආවරණයක් හදන එක. ලංකාවේ කිඹුල් කොරටු තියෙන්නේ අවුරුදු 200කට කලින් ඉඳන්. කිඹුල් අවදානම වැඩි ප්‍රදේශවල මේ කොරටු හදන්න කියලා ඇමෙරිකාවෙන් අපට මූල්‍ය ආධාර පවා ලැබුණා. පේරාදෙණිය කැම්පස් එකේ ළමයි එක්ක ගිහින් තමයි අපි කිඹුල් කොරටු ගහලා දුන්නේ.

“අන්දමන් දූපත් කියන්නේ කිඹුල් තර්ජනය වැඩිපුරම තියෙන ප්‍රදේශයක්. ඒ වගේම සංචාරකයෝ වැඩිපුර ඉන්න පැත්තක්. ඉන්දියන් ආණ්ඩුවෙන් මාවයි මගේ පුතාවයි අන්දමන් දූපත්වලට ගෙන්නවගත්තා. එහේ කිඹුලන් ගැන සම්මන්ත්‍රණයක් තිබුණා. කිඹුල් කොරටු ගැන මගේ අදහස මම ඒකෙදි ඉදිරිපත් කළා. අපි මේ කරපු දේට ජාත්‍යන්තරව විශාල පිළිගැනීමක් ලැබුණා. ලෝක කිඹුල් විශේෂඥ කමිටුවේ සභාපති මහාචාර්ය ග්‍රෑම් වෙඩ් සහ රොමිලස් විටෙකර් මේ දේ අගය කළා. අන්දමන් දූපත්වල සියයට 90ක්ම තියෙන්නේ කැලේ. ඒ නිසා එයාලට දැවවලින්ම මේ කිඹුල් කොරටු ගහන්න පුළුවන් වුණා.

“Mugger Action Plan Survey සඳහා ප්‍රතිපාදන ලබාදීම වෙනුවෙන් Canadian CrocFest හි Curt I. Harbsmeier සහ Shawn K. Heflick යන අයත් ප්‍රථම කිඹුල් අධ්‍යයනය වෙනුවෙන් ප්‍රතිපාදන ලබා දුන් Species Conservation Fund හි Mohamed Bin Zayedත් අධ්‍යයනයන් සඳහා බලපත්‍ර ලබා දුන් ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් මම මතක් කරන්නම ඕන.”

කිඹුලන් සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතුවලට සහාය වූ පුද්ගලයන්ට සහ ආයතනවලට සිය ස්තුතිය පිරිනැමීමටද ඇන්ස්ලම් මහතා අමතක නොකළේය.

“මට පොඩි වෙලාවක් දෙනවද දරුවෝ.”

ඔහු කතාව නැවැත්වීය. ඉන්පසු ඔහු කළ සියලු දේ මට ඇසුණා පමණි.

“පුතා ඇහැරෙන්න. අම්මව ඇහැරවන්න. ඇහැට බේත් දාන වෙලාව හරි. දැන් හයටත් ළඟයි. මම තේ හදලා තියෙන්නේ.”

ඔහු ආදරණීය ස්වාමිපුරුෂයකු බව මා මීට පෙරද ඔබට පවසා තිබේ. ඔහුගේ පුතා නිවසෙහි නොවන වග මට පවසා තිබෙන බැවින් මම ඒ පිළිබඳව පමණක් ඇසුවෙමි.

“පණ්ඩුක නිවාඩු අරගෙනම ඇවිත් තිබුණා ටික දවසක් ඉඳලා යන්න. මොකද මගේ අක්කගේ දුව ක්‍රිෂාන්ති පෙරේරා ඇවිත් ඉන්නවා මෙහේ. එයා අවුරුදු 30ක් තිස්සේ ඉන්නේ ලංකාවෙන් පිට. හැබැයි අවුරුදු 3කට වතාවක් අපිව බලන්න එනවා. ලංකාවට ආවම ඉස්සෙල්ලම එන්නේ මෙහේ තමයි.”

අපි නැවතත් ඔහුගේ පර්යේෂණ පිළිබඳ කතාවන් ඇරඹුවෙමු. ඒ කිඹුලන් පිළිබඳව ඔහුට තියෙන ත්‍රාසජනකම අත්දැකීම මා හා බෙදාගනිමින්ය.

“නිල්වලා ගඟේ කිඹුල්ලු බලන්න ගියපු දවසක මරු වැඩක් වුණා. ඇත්තටම මම එදා නම් බය වුණා. කිඹුලන්ව හොඳට පේන්න ඕන නිසා මම මෝටර් බෝට්ටුවේ ඉස්සරහමයි හිටියේ. එක තැනකින් යද්දි බෝට්ටුවේ රියැදුරා මට කිව්වා මෙතන තමයි ගඟේ ඉන්න ලොකුම කිඹුලා ඉන්නේ කියලා. එහෙම කියලා ඉවරවෙන්නත් කලින් කිඹුලා බෝට්ටුවට පැන්නා. මම පස්සට පැනලා බේරුණා. ඒකනම් අහම්බයක්. එදා මාව ඇදගෙන යන්න හොඳටම අවස්ථාව තිබුණා. මම නිල්වලා ගඟේ දැකපු විශාලම කිඹුලා ඌ.

“අපි පර්යේෂණවලින් හොයාගත්තා මේ කිඹුල් පහරදීම්වලින් සියයට 64ක්ම සිදුවෙන්නේ නාද්දි හෝ ඇඳුම් සෝදද්දි කියලා. මෙයාලා කිඹුලන් ඉන්න තැන්වල ප්‍රවේශම් වීමත් අඩුයි. මොකද කිඹුලත් මාස ගාණක් නිසොල්මනේ ඉන්නවනේ ගොදුර දිහා බලාගෙන. මියගිය අයගෙන් සියයට 90ක් දැනගෙන ඉඳලා තියනවා කිඹුලෙක් ඉන්නවා කියලා. මාළු අල්ලන අය සියයට 22ක් පහරදීමට ලක්වෙලා තිබුණා. බොහෝ අය කිඹුලන් අල්ලගත්තම කෑ ගහලා තිබුණා. මියගියපු 73 දෙනකුගෙන් 49 දෙනෙක්ම එහෙම කෑ ගහලා තිබුණා. ඇත්තටම ඒ ගැටුම්වලට ප්‍රධානම හේතුව මිනිස්සුන්ගේ වැරදි සහ නොසලකාහැරීම්. මේ පහරදීම්වලින් සියයට 84ක්ම පිරිමි අයට තමයි පහර දීලා තියෙන්නේ. ඒ වගේම කිඹුල් විශේෂ විදියට ගත්තොත් සියයට 83ක්ම හැල කිඹුල් ප්‍රහාරවලට තමයි ලක්වෙලා තියෙන්නේ.”

කිඹුලන් පිළිබඳ කතාබහ නිම නැත. එහෙත් ඔහු මට ලබා දුන් කාලය අවසන්ය. ඉතින් කිඹුලන් ගැන ඉතිරි කතා අහන්නට තවත් සතියක් බලා සිටින්නට සිදුවේ. එතෙක් සැනසිලි තෑග්ගක් හැටියට මේ පුංචි කතාව කියවන්න.

“මාළුකාරයෙක් මට දවසක් පුදුම කතාවක් කීවා. එයා‍ගෙ හිතවතෙක් හැමදාම මාළු අල්ලන්න පුරුදු වෙලා තියෙන්නේ ගහක් උඩ ඉඳගෙනලු. ඒ වැවේ ඉන්න කිඹුලා එයා නැති වෙලාවට ගිහින් ගහට පනිනවලු. හැමෝම කියන්නේ කිඹුලා තමන්ගේ ගොදුර අල්ලන්න පුරුදු වුණා කියලා. හැබැයි ඉතින් මම නම් ඒක දැක්කේ නැහැ. ඒත් වෙන්න පුළුවන් දෙයක්.

"වෙලාවකට හිතාගන්න බැහැ, සත්තු මිනිස්සුන්ගෙන් කපටිකම් ඉගෙනගත්තද මිනිස්සු සත්තුන්ගෙන් කපටිකම් ඉගෙනගත්තද කියලා!"

සටහන [නදී මාණික්කගේ]

මාතෘකා