අපි හඬ කැවීම්වලින් ඉවත් වුණේ...

 ඡායාරූපය:

අපි හඬ කැවීම්වලින් ඉවත් වුණේ...

ප්‍රතිපත්තිමය තීරණයක් නිසා

සංජය ඈපා සෙනෙවිරත්න

හඬ කැවීම්වලින් ඉවත් වීම සම්බන්ධයෙන් ඔබට මොකක්ද ජනතාවට කියන්න තියෙන්නේ?

පළමු වැනි හේතුව තමයි පසුගිය දිනවල සිවිල් සංවිධානවල ක්‍රියාකාරීන් මාධ්‍ය ආයතනවලට ගිහිල්ලා ලිපියක් භාරදුන්නා ඔවුන්ගේ මාධ්‍යකරණය සම්බන්ධයෙන්. එතකොට යම් මාධ්‍ය ආයතනයකින් ඒ අයට දක්වපු ප්‍රතිචාරය මත තමයි මූලිකවම මම එම නාළිකාවේ හඬ කැවීම්වලින් ඉවත් වෙන්න තීරණය කළේ. ඒ මාධ්‍ය ආයතනයෙන් ජ්‍යේෂ්ඨ කලා ශිල්පීන්ට ලැබුණේ අවර ගණයේ ප්‍රතිචාරයක්. එය මාධ්‍ය ආයතනයකින් කිසිවිටෙක බලාපොරොත්තු වන්නට බැහැ. රූපවාහිනී නාළිකාවකින් කොහොමද කියන්නේ ලංකාවේ ඉන්න ජ්‍යේෂ්ඨතම රංගන ශිල්පිනියන්ව හඳුනන්නේ නැහැ කියලා. ඒ නිසා මට ප්‍රතිපත්ති අය තීරණයක් ගන්න සිද්ධ වුණා.

ඔය අතරවාරයේ ඒ ආයතනය විසින් සාකච්ඡාවක් කැඳවලා තිබුණ නේද?

මටත් ආරාධනා කරලා තිබුණා. ඒත් මට සහභාගි වෙන්න ලැබුණේ නැහැ. ඒ නිසා මට මුකුත් කියන්න බැහැ ඒ සම්බන්ධයෙන්. ඒ වගේම තමයි මට දැනගන්න වුවමනාවක් තිබුණෙත් නැහැ එතන මොනවද සාකච්ඡා වුණේ කියන එක.

තවත් සමහරු කියනවා ඔබ ඇතුළු අනෙක් අය හඬ කැවීම්වලින් ඉවත් වුණේ සහෝදර ශිල්පීන්ට සහයෝගය දක්වන්න මිසක් ඉන්දීය ටෙලිනාට්‍යවලට විරුද්ධව නෙමෙයි කියලා. ඒ ගැන මොකද්ද කියන්න තියෙන්නේ?

මේ මොහොතේ අයින් වුණ ප්‍රධාන කාරණාව එම ආයතනය සහෝදර ශිල්පීන්ට දැක්වූ ප්‍රතිචාරය. ඉතින්, සමහරු එක එක කතා කියනකොට ඒ එක එක කතාවලට ප්‍රතිචාර දක්වන්නයි, හේතු දක්වන්නයි අපිට බැහැ. මොකද අපේ හේතුව අපි දක්වලා ඉවරයි.

ටෙලිනාට්‍ය බලපු අයට කියන්න තියෙන්නේ එච්චරමද?

මෙහෙමයි, ඒක ජනප්‍රිය ටෙලිනාට්‍යයක්. ඒත් අපි අයින් වෙනකොට ඔය කවුරුවත් දන්නේ නෑනේ අවුරුදු පහක් විතර යනකන් මේ චරිතවලට හඬ කැව්වේ අපි කියලා. ඉතින් අපි නැතුව ඒ චරිතවලට අසාධාරණයක් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් ඊළඟ කොටස් බැලුවම.

-----------------------------------

හොඳ කලා කෘතියක් ෙනාවන නිසා

ශ්‍යාම් ප්‍රනාන්දු

හඬ කැවීම්වලින් ඉවත් වීම ගැන ඔබ මොකද කියන්නේ?

ඒක මම පෞද්ගලික හේතුවක් මත ගත්ත තීරණයක්. ඇත්තටම ජනතාව වෙනුවෙන් ගත්ත තීරණයක් නෙමෙයි.

ඔව්, ඒක පැහැදිලියි. නමුත් ජනතාවට දෙන පිළිතුරක් විදියට මොකද කියන්න තියෙන්නේ?

මට එහෙම උත්තරයක් දෙන්න නැහැ. ඒක මම ඒ ආයතනයේ අයට දැනුම් දුන්නා මම එන්නේ නැහැ කියලා.

එතකොට ඔබේ රසිකයන්ට කියන්න දෙයක් තියනවාද?

ඒක ඉතින් හොඳ කලා කෘතියක් නෙමෙයිනේ. රසිකයන්ගෙන් සමාව ඉල්ලන්න තමයි තියෙන්නේ ඒ වගේ දෙයකට සම්බන්ධ වෙලා හිටපු එක ගැන. එහෙම දෙයකින් අයින් වෙන එකත් හොඳයිනේ. ඒ නාළිකාව ජ්‍යේෂ්ඨ කලා ශිල්පීන්ට කතා කළ විදියත් හරි නැහැ. ඒකත් එක හේතුවක්. කිසිම දේශපානලමය හේතුවක් නැතිව තමයි අයින් වුණේ.

--------------------

අපේ ආයතනයට මෙහෙම ගැටළු වුණේ නැහැ

අතුල රන්සිරිලාල්

 

රූපවාහිනී හඬ කැවීම් නාට්‍යය බහුල වශයෙන් දකනට ලැබෙන වර්තමානයේ හඬ කැවීම් ශිල්පීන්ටද ලැබෙන්නේ අපමණ වටිනාකමක් යැයි කීවාට වරදක් නැත. හඬකැවීම් ශිල්පීන් කෙතරම් ජනප්‍රිය වී ඇතුවාද කිවහොත් නාට්‍යයෙන් නාට්‍යයට, චරිතයෙන් චරිතයට කෙතරම් වෙනස් වුවද කටහඬ ඇසුණ සැණින් ශිල්පියා හඳුනා ගන්නට තරම් ප්‍රේක්ෂකයින් ශ්‍රාවකයින් අතර එම ශිල්පීන් ආදරණීයයන් බවට පත්ව තිබුණි. මෙලෙස හඬ කැවීම් ශිල්පීන්ගේ දක්ෂතාවය නිසාම ජනප්‍රිය තලයේ ඉහළටම ආ ටෙලි නාට්‍ය, කාටුන් නැතුවාම නොවේ. ඒ එකී චරිත සඳහා එම ශිල්පියා තමන්ටම සුවිශේෂී අනන්‍යතාවයන් ගොඩනගාගෙන තිබූ නිසාය. කෙසේ වෙතත් පසුගිය කාලයේ ප්‍රසිද්ධ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වන මෙගා නාට්‍ය කිහිපයකම හඬකැවීම් ශිල්පින් කිහිපදෙනකුම එම නාට්‍යවල හඬ කැවීම්වලින් ඉවත් වූ බවට තොරතුරු වාර්තා වන්නට විය.

හඬ කැවීම් ශිල්පියෙක් නාට්‍යට කෙතරම් වැදගත්ද, චරිතයට කෙතරම් වැදගත්ද, හදිසියේ ඉවත් වීම ගැටලුවක්ද යන කාරණා පිළිබඳ අවධානය යොමු කරමින් කළ සොයා බැලීමකදි අපි රූපවාහිනී හඬ කැවීම් තාක්ෂණය ප්‍රථම වතාවට හඳුන්වා දුන් ජාතික රූපවාහිනියේ හඬ කැවීම් පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණයකු වන අතුල රන්සිරිලාල් මහතාගෙන් ඒ පිළිබඳව විමසා සිටීමට අමතක නොකළෙමු. එහිදී ඔහු දක්වා සිටියේ මෙවන් අදහසකි.

“ හඬ කැවීම් ශිල්පියෙක් තෝරා ගන්නකොට අපි එය සිදු කරන්නේ ඒ ඒ නාට්‍යයට අනුව ගැලපෙනම ආකාරයටයි. ඒ කටහඬින් චරිතයට උපරිම සාධාරණත්වයක් සිදු වන විදියටයි. අනෙක් ආයතනවල හඬ කැවීම් ශිල්පීන් ඉවත් වීම ගැන මගේ වැඩි දැනුම්වත්කමක් නැහැ. හැබැයි මට විශ්වාසයෙන් කියන්න පුළුවන් අපේ ආයතනයේ නම් කිසිදාක නාට්‍යයක් අතරතුර හඩ කැවීම් ශිල්පීන් ඉවත් වී නැහැ. ඔවුන් ඒක ඉතා වගකීමෙන් මේ වනතෙක්ම ඉටු කරනවා. යම් හෙයකින් වෙනත් නාලිකාවක හඬකැවීම් ශිල්පීන් ඉවත් වෙලා තිබෙනවා නම් ඒ ශිල්පීන්ගෙ පෞද්ගලික තීරණයක් වෙන්න පුළුවන්. ඒක සමස්ත හඬ කැවීම් ක්ෂේත්‍රයටම බලපාන්නක් නෙවෙයි. කොහොම වුණත් අපිට නම් මේ දැන් අලුත් නාට්‍යකට හඬ කැවීම් ශිල්පින් අවශ්‍ය වුණත් ඕන වෙලාවක ඊට දායක වෙන්න ඕනෑ තරම් ප්‍රවීණ හඬ කැවීම් ශිල්පීන් අප සතුව ඉන්නවා. ශිල්පීන් ඉවත්ව යෑමේ අත්දැකීම් නම් අපිට නැහැ.”

මාතෘකා