රටම හෝදන වැඩෙන් නුවරත් හෝදපු හැටි

 ඡායාරූපය:

රටම හෝදන වැඩෙන් නුවරත් හෝදපු හැටි

ගිය සතියේ ඉරිදා උදේ මන්දාරම් අඳුර තැවරුණු නුවර ටවුම වෙනදට වැඩිය පොඩ්ඩක් කලබල වුණා කිව්වොත් නිවැරදියි. හරියටම උදේ 8.30 වෙනකොට මහනුවර දුම්රියපොළ ඉස්සරහ නවත්තලා තිබුණේ "පෝස්ටර් මරුවා" නමින් කවුරුත් දන්න කියන ලොකු වතුර බවුසරයක්. ඒ එක්කම ක්‍රියාශීලී තරුණ තරුණියෝ වගේම කුඩා දරුවෝ ඇතුළු කණ්ඩායමක් මොකක්දෝ ලොකු මෙහෙයුමකට ලෑස්ති වෙන පාටක් පේන්න තිබුණා. ටික වෙලාවකින් කවුරුත් කුතුහලයෙන් බලාගෙන හිටපු ඒ මෙහෙයුම ආරම්භ වුණා. දුම්රියපොළ ඇතුළ, බිම වගේම අවටත් අර කණ්ඩායම යුහුසුලුව සෝදලා පිරිසුදු කරන්න පටන්ගත්තා. තැන තැන තිබුණු ප්ලාස්ටික්, පොලිතින් වෙන වෙනම උරවලට එකතු වෙද්දි දුම්රියපොළ කාටත් ප්‍රසන්න පිරිසුදු ප්‍රදේශයක් බවට පත්වුණේ වැඩි වේලාවක් යන්නටත් පෙරයි.

ඊටපස්සේ තමයි ලොකුම මෙහෙයුම ආරම්භ වුණේ. ඒ තමයි "නුවර හෝදන" ව්‍යාපෘතිය. අඩි ගණන් උස තාප්ප වැහෙන්න තට්ටු ගණන් අලවලා තිබුණු පෝස්ටර් ගලවලා නුවර ටවුම හෝදලා පිරිසුදු කරන එක එච්චර පහසු දෙයක් නම් වෙන්න බැහැ. නමුත් වැඩේට නායකත්වය දීපු කණ්ඩායම හරි අපූරුවට ඒ වැඩේ කරගෙන යමින් තිබුණා. ඒ නිසාම නුවර අයත් පිටින් ආව පිරිසක් තමන්ගේ නගරේ පිරිසුදු කරන හැටි බලාගෙන ඉන්න 'නරඹන්නෝ' පමණක් බවට පත්වුණේ නැහැ. ඔවුනුත් හරි හරියට 'නුවර හෝදන්න ආව කණ්ඩායම' එක්ක එකතුවෙලා නගරය පිරිසුදු කරන මෙහෙයුමට එකතු වුණා. ඒ නිසාම පැය කිහිපයක් යද්දි නුවර ටවුන් එකේ තාප්පවල අලවා තිබූ සියලු පෝස්ටර් ගලවා තාප්ප පිරිසුදු කරන්න ඔවුන්ට හැකිවුණා. මහනුවර නගර සභාවේ නිලධාරීන්, මහනුවර පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශයේ තරුණ කණ්ඩායම් රැසක් ඒ සඳහා තම දායකත්වය ලබාදී තිබුණා.

ඒ විතරක් නෙවෙයි ඒ විදිහට පිරිසුදු කළ නගරය, මින් ඉදිරියට පිරිසුදුව සුන්දරව පවත්වාගෙන යෑමේ වගකීමත් ජනතාවට 'දැනෙන' විදිහට දනවන්න ඒ නුවර හෝදන ව්‍යාපෘතියට හැකියාව ලැබුණා. නාගරික කොමසාරිස්ගේ අණ පරිදි "දැන්වීම් ඇලවීම තහනම්" කළ පුවරු නගරය පුරා සවිකරනු ලැබුවේ මින් ඉදිරියට තාප්පවල පෝස්ටර් අලවා නුවර "කැත කරන" පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට රතු එළියක්ද දල්වමින්.

ඒ විදිහට නුවර හෝදපු ව්‍යාපෘතිය මොකක්ද? කවුද මේ ව්‍යාපෘතියේ නියමුවන්?

ලෝකයේ ජීවත්වන මිනිසුන් විවිධාකාරයි. ඇතැම් මිනිසුන් තම ජීවිත කාලය පුරාම අනුන්ගෙන් ජීවත්වෙද්දී තම ජීවිතය අනුන් වෙනුවෙන් කැපකරන මිනිසුන්ද ඉඳහිට හමුවනවා. "තමා පමණක් යෙහෙන් ජීවත් වුවහොත් ඇති"යැයි සිතන මිනිසුන්ගෙන්ද අඩුවක් නැති රටක "සියලු පුරවැසියන් බලගැන්වීම තුළින් වඩා හොඳ ශ්‍රී ලංකාවක්" බිහිකිරීමේ අදිටන ඇතිව කටයුතු කරන උදාර මිනිසුන් පිරිසකගේ එකමුතුවක් ලෙස 'උදාර ශ්‍රී ලංකා' සංවිධානය හඳුන්වන්න පුළුවන්. නුවර "හෝදා" පිරිසුදු කිරීමේ ව්‍යාපෘතියට නායකත්වය දුන්නේ එම සංවිධානයයි. රටේ ජනතාවගේ හෙට දවස යහපත් කිරීම සඳහා මූල්‍යමය, දේශපාලන සහ සමාජමය වශයෙන් සියලු ජනතාව ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව පිහිටුවාගෙන තිබෙන සංවිධාන එකමුතුවක එක් පුරුකක් වන 'උදාර ශ්‍රී ලංකා' සංවිධානයේ ක්‍රියාකාරීන් තම අදිටන ක්‍රියාවට නංවන්නේ වෙනස් ආකාරයකටයි. "මේක දේශපාලන උපායක්" කෙනකුට එහෙමත් හිතන්න පුළුවන්. එහෙත් ඔවුන් මේ පිළිසකර කරන්නේ, පිරිසුදු කරන්නේ අපි හැමෝගෙම රට, මහජනයා වන අපි හැමෝටම අයිති පොදු දේපළ. අඩුමතරමින් තමන්ගේ සංවිධානයේ නිලතල දරන්නන්ගේ නම් ප්‍රසිද්ධ කරගැනීමේ වුවමනාවක්වත් ඔවුන්ට නැහැ.

"අපි අපේ වියදමින් නගර පිරිසුදු කිරීම් කරනවා. නගර සභාව, පොලිසිය වැනි රජයේ ආයතන අපිට සහයෝගය දක්වනවා. ඒ වගේම ඒ ප්‍රදේශවල ජනතාව කැමැත්තෙන්ම ඇවිත් අපේ ව්‍යාපෘතියට සහභාගි වෙනවා. ඒ විදිහට ඔවුන්ම එකතුවෙලා තමන්ගේ නගරය පිරිසුදු කළාට පස්සේ ඒ නගරය ආයෙමත් අපිරිසුදු වෙනවා දකින්න ඔවුන් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ නගරය පිරිසුදුව තියාගැනීම ගැන උනන්දුවක් නිරායාසයෙන්ම ඔවුන් තුළ ඇතිවෙනවා. අපේ සංවිධානය විසින් දිස්ත්‍රික්ක විසිපහේම මෙවැනි ව්‍යාපෘති විසිපහක් කරන්න බලාපොරොත්තු වෙනවා. "

'උදාර ශ්‍රී ලංකා' සංවිධානයේ නිර්මාතෘ ඔවුන් විසින් සිදුකරන ව්‍යාපෘතිවල අරමුණ පැහැදිලි කළේ ඒ විදිහටයි.

"සංවිධානය පටන් ගත්තට පස්සේ අපි මුලින්ම සැලසුම් කළේ ආර්ථික අපහසුතාවලින් පෙළෙන අයට ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවාගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නයි. ඒ කියන්නේ පොලී රහිතව රුපියල් පනස්දාහක ණය මුදලක් දීලා එයින් ස්වයං රැකියාවක් ආරම්භ කරන්න උපකාරයක් කරන්නයි. එහිදී අපිට මුදල පමණයි ගෙවන්න අවශ්‍ය වෙන්නේ. එයටත් අපි සහන කාලයක් ලබාදෙනවා. නමුත් ගොඩක් අයට අවශ්‍ය වුණේ මහන්සි වෙලා තමන්ගේ ව්‍යාපාරයක් කරලා දියුණු වෙන්න නෙවෙයි. හුඟක් අය අපෙන් ඉල්ලුවේ ණය නෙවෙයි. ආධාරයි. ඒ නිසා ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න බැරිවුණා. ඒ වෙනුවට මේ වගේ නගරයක්ම ආවරණය කෙරෙන, වැඩි දෙනෙක් සහභාගි කරගන්න පුළුවන් අලුත් ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කළා."

ඒ අනුව ඒ එක් ව්‍යාපෘතියක පළමු පියවර ආරම්භ වී ඇත්තේ පසුගිය වසරේ නොවැම්බර් 30 වැනිදා ගම්පහ නගරයෙන්. එහි මගී පාලම සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර, තීන්ත ආලේප කර කැපී පෙනෙන සුන්දර වෙනසක් කළ ඔවුන් ඉකුත් දෙසැම්බර් 8 වැනිදා "රට හෝදලා ගමු" ව්‍යාපෘතියේ ඊළඟ පියවර තැබුවේ කොටුව දුම්රිය ස්ථානයෙන්. "එන්න කොටුව පිරිසුදු කරලා පටන් ගමු - රට හදමු" තේමාව යටතේ ක්‍රියාත්මක වූ එම ව්‍යාපෘතියේදී කොටුව දුම්රිය ස්ථානයේ අස්සක් මුල්ලක් නෑර ඔවුන් පිරිසුදු කළා.

"ජාති, ආගම්, පක්ෂ, පාට නැතුව රට හදන්න කැමති ඕන කෙනෙකුට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්"

කුණු හෝදලා අපේ රට ලස්සන කරන්න මහන්සි වෙන 'උදාර ශ්‍රී ලංකා' සංවිධානයේ මිනිසුන්ගේ උදාර ක්‍රියාවටයි අපේ මේ 'මල්දෝත'.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා