හොඳම නව නිර්මාණ පාසලේ කළුගංතොට ගුරු තරුව

 ඡායාරූපය:

හොඳම නව නිර්මාණ පාසලේ කළුගංතොට ගුරු තරුව

ගුරු භූමිකාව යනු සමාජය ඉහළම ස්ථරයකට ඔසවා තැබෙන වෘත්තියකි. එය වෘත්තියකට වඩා සේවයක් යැයි නිර්වචනය කිරීම උචිතය. සියලුම වෘත්තීන් ගෞරවනීය වුවද ‘ගුරු භූමිකාව’ තරම් සමාජයෙහි ගරුත්වයට පාත්‍ර‍ වූ වෙනත් වෘත්තියක් නැති තරම්ය. ගුරු සිසු සබඳතාව, මවුපිය දරු සබඳතාවට සමානය. මව්පියන් තම දරුවන් කෙරෙහි දක්වන ලැදියාවට සමාන ලැදියාවක් ගුරුවරු තම සිසු දරුවන් කෙරෙහි දක්වති. මව්පියන් තම දරුවන්ගේ ජයග්‍රහණ දැක කෙතරම් සතුටුවෙත්ද, ගුරුවරුද තම සිසු දරුවන්ගේ ජයග්‍රහණ දැක සතුටුවෙති. කොටින්ම අනුන්ගේ දරුවකුට තමන්ගේ සේ සලකා සම සිතින් ආදරය කළ හැකි නම් ඒ කළ හැක්කේ ගුරුවරයකුට පමණි.

ගුරුවරයා යනු මිණි පහනකි. ඔහු තවත් සිය දහසක් පහන් දල්වයි. තමාටත් වඩා ආලෝකයෙන් වැඩි පහන් දැල්වෙනු දැක සතුටුවෙයි. ගුරු වෘත්තියට සුවිශේෂී කාර්යභාරයක්‌ හිමිය. නව සමාජ පරිසරයක්‌ බිහි කිරීමට හවුල් විය යුතු ගුරුවරයා ඒ සඳහා ශාස්‌ත්‍රීය දැනුමෙන්ද, වෘත්තිය පුහුණුවෙන්ද, මනා පෞරුෂයකින්ද යුත් කෙනකු විය යුතුය. එවන් පුළුල් විභවයක් සහිත අපූරු ගුරුවරයකු කැලණි ගං මිටියාවතෙන් අපට හමුවිණි. ඔහු නමින් යසවර්ධන සමන්කුමාර වේ. වසර තිහකට ආසන්න කාලයක් බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ට සිප් කිරි පොවන ඔහු 2018 වසරේදී ලංකාවේ නිර්මාණශීලීම ගුරුවරයා විදියට සම්මාන ලබා ගත්තේය. මේ ඔහුගේ ගුරු ජීවිතයේ එතෙක් මෙතෙක් ආ ගමන්මඟ පිළිබඳ කතාවයි.

ගුරු වෘත්තියට පිවිසීමට කුඩා කාලයේ සිට බලාපොරොත්තුවක් තිබුණද?

ඔව්. මම අවුරුදු එකොළහක් දහම්පාසල් ගුරුවරයෙක් විදියට දරුවන්ට ඉගැන්නුවා. පුංචි කාලේ ඉඳන් ගුරුවරයෙක් වීමට තිබුණ ආසාව ඒකෙන් වැඩි වුණා. උසස් පෙළ අවසන් වෙලා මම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ රැකියාවක නිරත වුණා. ඊටපස්සේ තමයි මට ගුරුවරයෙක් විදියට පත්වීම ලැබෙන්නේ.

ගුරුවරයෙක් විදියට ඉගැන්වීම් කටයුතු ආරම්භ කළේ කුමන වර්ෂයේදීද?

මට මුලින්ම ගුරුවරයෙක් ලෙස පත්වීම ලැබෙන්නේ 1990 ජනවාරි 01 වැනිදා. ඒ තාක්ෂණ විෂය භාර ගුරුවරයෙක් විදියට.

ඒ මුල්ම පත්වීම ලැබෙන්නේ කුමන පාසලටද?

බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයට තමයි මගේ මුල්ම පත්වීම ලැබෙන්නේ. මම කුඩා කාලයේ ඉඳන් අධ්‍යාපනය ලැබුවෙත් බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේමයි. මේ වෙනකන් මට කිසිම මාරුවීමක් ලැබිලා නැහැ. මම තාමත් සේවය කරන්නේ ඒ පාසලේමයි. ඒ කාලේ තාක්ෂණ විෂය එතරම් ප්‍රසිද්ධ නැති නිසා මම පාසල් දරුවන්ට නව නිපැයුම් පිළිබඳ දැනුම ලබාදුන්නා.

ඒ පාසලට ගිය මුල් අවධියේ මුහුණදුන් අත්දැකීම් මොන වගේද?

තරමක් දුෂ්කර ගමක් මැද්දේ තමයි බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය පිහිටා තිබුණේ. නමුත් මට විශේෂයෙන් කියලා දුෂ්කරතා, අපහසුතාවලට මුහුණදෙන්න සිද්ධ වුණේ නැහැ. මොකද මමත් ඉගෙන ගත්තේ ඒ පාසලෙන්ම නිසා. පාසල අවට පරිසරය, ගුරුවරු, ගම්වැසියන් මට හොඳට හුරු පුරුදුයි.

නමුත් මම පත්වීම ලබලා යන කාලෙදිත් පාසලේ නොයෙකුත් අඩුපාඩු තිබුණා. සෝදාපාළු වෙන ඉඩමක තමයි පාසල පිහිටා තිබුණේ. ඉතින් මම දරුවන්ගේ මවුපියන් එක්ක එකතු වෙලා පාසල් වත්තේ සෝදාපාළුව වළක්වන්න පාසල වටේම බැමි බැන්දා. පාසලට නිසි ප්‍රවේශ මාර්ගයක් තිබුණේ නැහැ. 6x4 කට්ට ගල් අල්ලලා ප්‍රවේශ මාර්ගය හැදුවා. ගේට්ටුව ළඟ පොකුණක්, වතුර මලක් හදලා පාසල් වත්ත අලංකාර කළා.

අධ්‍යාපන අමාත්‍යාංශය, කලාප අධ්‍යාපන කාර්යාලය වැනි ආයතනවලින් ඔබේ පාසලට ලැබෙන සහයෝගය මොන වගේද?

අධ්‍යාපන අමාත්‍යාංශය සහ කලාප අධ්‍යාපන කාර්යාලය යන රජයේ ආයතන දෙකෙන්ම අපේ පාසලට උපරිම සහයෝගයක් ලබාදෙනවා.

දරුවන්ගේ අධ්‍යාපන මට්ටම, සහජ දක්ෂතා ඉහළ නැංවීමට ගුරුවරයකු වශයෙන් ඔබ කර ඇති දේවල් මොනවාද?

අකුරු ලියන්න කියවන්න බැරි ළමයි කිහිප දෙනකුත් අපේ පාසලේ හිටියා. ඒ දරුවන්ව මේ වෙද්දි විශේෂ වැඩසටහන් කරලා ගොඩක් ඉදිරියට ගේන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා.

අපේ පාසලේ ලියන්න, කියවන්න දන්නේ නැති එක ගැහැනු ළමයෙක් හිටියා. නමුත් මේ දරුවා නිර්මාණ පැත්තට ගොඩක් දක්ෂයි. ඉතින් මං මේ දරුවට පොල්කටුවලින් මාල, වළලු, මුදු, කරාබු, කෝප්ප, පොල්කටු හැඳි, තේ පෝච්චි හදන්න ඉගැන්නුවා. මම හදන්න දන්න සියලුම දේවල් ඒ දරුවට කියල දීලා ඊටපස්සේ මම නොදන්න දේවල් ඉගෙන ගන්න ඒ දරුවව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් ළඟට ඉදිරිපත් කළා. ඉතින් මේ දරුවා ලස්සන නිර්මාණ කරලා ඒවා විවිධ ආයතනවලට අලෙවි කළා. පාසල් යන කාලෙදිම මේ දරුවා ඒවා අලෙවි කරලා හොඳ ආදායමක් ලැබුවා. මේ දරුවා පාසලෙන් ඉවත් වුණ ගමන්ම වගේ විවාහ වුණා. එයාගේ මහත්තයා කුලී වැඩ තමයි කළේ. ඉතින් මේ දරුවා ටික දවසක් යද්දි මහත්තයට වැඩට යන්න එපා කියලා ආයෙමත් එයාගේ පොල්කටු නිෂ්පාදනය ආරම්භ කළා. ඒකට එයාගේ මහත්තයවත් හවුල් කරගත්තා. ටිකෙන් ටික මේක වර්ධනය කරලා එයා නිවසේම කොටසක පුංචි කර්මාන්තශාලාවක් ආරම්භ කළා. මේ වෙද්දි ඒ දරුවගේ යටතේ සේවකයෝ පස්දෙනෙක් සේවය කරනවා. මේකේ මම දකින විශේෂම දේ තමයි මේ දරුවට ලියන්න කියන්න හැකියාව නැති වුණත් මේ දරුවගේ යටතේ උසස් පෙළ ලියපු ළමයෙකුත් සේවය කිරීම.

ලංකාවේ මුලින්ම ප්‍රථම පාසල් දරුවකුගේ නව නිපැයුම් අලෙවිහලක් ක්‍රියාත්මක කළ එකම ගුරුවරයා වුණේ මමයි. ‘බලශක්ති අර්බුදයට විසඳුම්’ යන්නෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තරගයක් තිබුණා. ඒ තරගයටත් මම දරුවෙක්ව ඉදිරිපත් කළා. එයා තරගයට යොමු කළ නිර්මාණය වුණේ කාර්යක්ෂම ළිපක්. ඒ තරගයේදී ලංකාවේ ප්‍රථම ස්ථානය දිනාගන්නට ඒ දරුවා සමත් වුණා. අපි ඒ දරුවගේ නමින් ළිප පේටන්ට් කළා. ඊටපස්සේ කුරුණෑගල මැටි කර්මාන්තකරුවකුට දීලා ඒ වගේම ළිප් හැදෙව්වා. ඒවා අලෙවි කරන්න අපි අලෙවිහලක් පටන් ගත්තා. දැනටත් එහි අලෙවි කටයුතු සිදුවෙනවා. ඒ දරුවා දැන් පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. මේ වෙද්දි ඒ දරුවාගේ ආර්ථික මට්ටමත් ඉහළ තලයක තමයි තිබෙන්නේ. ලංකාවේ මෙතෙක් තියෙන එකම සහ නව නිර්මාණ ටෙලි සිත්තම කළෙත් මම. මේ සියලු හේතු නිසා 2018 වසරේදී ලංකාවේ නිර්මාණශීලීම ගුරුවරයා ලෙස සම්මානයට පාත්‍ර වීමට මට හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නව නිර්මාණ විදේශ තරග සඳහා ළමයි 14ක් යවලා තියෙනවා. එක් දැරිවියක් 2015දී ඇමරිකාවේ තිබුණු ඉන්ටෙල් ඉංජිනේරු හා විද්‍යා තරගාවලියේ හතරවන ස්ථානය දිනාගත්තා. 2016 වසරේදී අපේ පාසලේ එක දරුවෙක් ආබාධිතයන්ට පහසු කිහිලිකරුවක් නිර්මාණය කළා. ඒ නිර්මාණයට ලෝකයෙන්ම ප්‍රථම ස්ථානය හිමිවුණා. තරගාවලියේ විශේෂ නිර්මාණ අතර ප්‍රථම ස්ථානය හිමිවුණා. ඒ තරගයට රටවල් 90ක් සහභාගී වුණා. දරුවෝ 3500ක් සහභාගී වුණා. ඒ තරගය ජයග්‍රහණය කරලා මේ දරුවා එතැනදී ඇමරිකානු ධජයෙන් පිදුම් ලැබුවා. අපි ලංකාවේ තියෙන හැම නව නිර්මාණ තරගයකටම සහභාගී වෙනවා.

ඔබ සිතන ආකාරයට විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් ඔබ්බට ගොස් දරුවන්ගේ ආකල්ප වර්ධනය කරන්නේ කෙසේද?

පවතින අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණ සංශෝධනයකට ලක් කළ යුතුයි. පවතින විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය තුළ දරුවා කුඩා කාලයේ ඉඳන්ම පාසලට හා අමතර පන්තිවලට කොටු වෙනවා. එයින් දරුවාගේ ළමා කාලය මඟ හැරෙනවා. ඉතින් දරුවාගේ තේරෙන වයසේදී එයාලා මවුපියන්ට, ගුරුවරුන්ට වෛර කරනවා. දරුවාට බහුවිධ බුද්ධි වර්ධනයක් ඇති කළ යුතුමයි. දිනපතා පාසල් යැවීම, ඉරිදාට දහම් පාසල් යැවීම අනිවාර්ය කාර්යයක් ලෙස මවුපියන් සැලකිය යුතුයි. දරුවාට ඉඩ ලද සෑම අවස්ථාවකම ශාස්ත්‍රිය සංගීතය, කලාව හැදෑරීමට ඉඩ ලබා දිය යුතුයි. එතකොට තමයි අපිට සෑම අංශයකින්ම පරිපූර්ණ මිනිසකු බිහිකිරීමට හැකියාව ලැබෙන්නේ. කුඩා වියේ පටන්ම දරුවාගේ නිර්මාණශීලී හැකියාව වර්ධනය කළ යුතුයි.

අමතර පන්ති මඟින් දරුවන් මානසිකව සහ මවුපියන් මූල්‍යමය අතින් පීඩාවට පත් කරනවා. මේ දෙපාර්ශ්වයම පීඩාවන්ගෙන් මුදා ගැනීම සඳහා ඔබ සිතන ආකාරයට කුමක් කළ යුතුද?

සමහර අමතර පන්ති තියෙනවා ළමයි දෙදාහක්, තුන්දාහක් සහභාගි වෙනවා. ඒ පන්තිවල ගුරුවරයා දන්නේ නැහැ ළමයා මොනවද කරන්නේ කියලා. දරුවා දන්නේ නැහැ ගුරුවරයා මොනවද කියන්නේ කියලා. ඒ නිසා විශාල ප්‍රමාණයක් සහභාගි වන පන්තිවලට දරුවා නොයැවිය යුතුයි. අද කාලේ ගොඩක් දරුවෝ අමතර පන්ති යන්නේ යමක් ඉගෙන ගන්නවාට වඩා නිදහස හොයාගෙන කියලයි මම නම් හිතන්නේ. පාසල තුළ ගුරුවරු සියයට අනූවක්ම හොඳට උගන්නනවා. දරුවෝ පාසලේදී හිතනවා “මං පන්තියෙන් මේක ඉගෙන ගන්නවා” කියලා. පන්තියේදී හිතනවා “මං මේක ඉස්කෝලෙන් ඉගෙන ගන්නවා” කියලා. විශේෂයෙන් ගොඩක් ළමයි උසස් පෙළ අවුරුදු දෙක ඉතාමත් විනෝදයෙන් ගත කරන්න තමයි බලන්නේ. අධ්‍යාපන ක්‍රමය වෙනස් කළොත් මෙය යම් තාක් දුරකට මඟහරවා ගන්නට පුළුවන්.

මේ වෙද්දි තියෙන්නේ විභාග මූලික කරගත් අධ්‍යාපන ක්‍රමයක්. නිදහස් අධ්‍යාපනයට ලැබිය යුතු නිසි තැන මෙයින් ලැබෙනවා කියලා ඔබ හිතනවද?

අපේ රටේ තියෙන ලොකුම ඛේදවාචකය තමයි අධ්‍යාපනයට විභාගය මූලික කර ගැනීම. වර්තමානයේදී තාක්ෂණය කියලා විෂයක් දරුවන්ට හඳුන්වලා දීලා තියෙනවා. ඒ විෂය හඳුන්වලා දුන්නේ සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ නොලබන දරුවන්ට අනිවාර්ය වසර 13ක අධ්‍යාපනය ලබාදීම සඳහා අත්වැලක් වීමටයි. නමුත් අද වෙද්දි සාමාන්‍ය පෙළ ඒ 9ක් ගත්ත ළමයි පවා මේ විෂය හැදෑරීමට වැඩි නැඹුරුතාවක් දක්වනවා. මේ විෂය තුළ සියයට 75ක්වත් ප්‍රායෝගික කුසලතා තිබිය යුතුයි. නැත්නම් නිදහස් අධ්‍යාපනයට ලැබෙන්න ඕන නිසි තැන ලැබෙන්නෑ.

වසර විසි නවයක වෘත්තිය ජීවිතය පිළිබඳව සෑහීමකට පත් වෙනවද?

ඇත්තෙන්ම මට ගොඩක් සතුටුයි. ඒ වගේම මම වෘත්තිය ජීවිතය ගැන සෑහීමකට පත්වෙනවා. දරුවන් යහමඟට ගැනීමේ හැකියාව ඇත්තේ ගුරුවරයෙක්ට පමණයි. මම වෘත්තිය ජීවිතය ආරම්භ කළ දවසේ සිට අද වෙනතුරු දරුවන් වෙනුවෙන් කළ හැකි උපරිම කැපවීම් කළ කෙනෙක්. බොහෝ වෙලාවට ලංකාවේ හොඳම නව නිර්මාණ පාසල විදියට සම්මාන ගන්නේ බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයයි. ඒක මට ලොකු ආඩම්බරයක්.

[නිමාෂා සඳරුවනි]

මාතෘකා