භාෂාව කෙවිටක් කරගත් කවියකු හමුවන“සිග්නල් කන්ද”

 ඡායාරූපය:

භාෂාව කෙවිටක් කරගත් කවියකු හමුවන“සිග්නල් කන්ද”

භාෂාව කවියේ ප්‍රකාශන මාධ්‍යය වන නිසා කවිය කියන්නේම භාෂා ප්‍රයෝගයක්. එම නිසා කවියෙක් තමන්ගේ අත්දැකීම, භාෂා භාවිතයේ හුරුබුහුටිකම මත වඩාත් ප්‍රබලව, සංවේදීව, පෙර නොවූවිරූ ලෙස රසිකයා වෙත ප්‍රක්ෂේපණය කරනවා. ඒ නිසා කවියකුට භාෂාව භාවිත කිරීම පිළිබඳ සියුම් සංවේදිතාවක් තිබිය යුතුයි. “කවිය යනු කිසියම් තෝරාගත් භාෂාවකින් ශබ්දය හා රිද්මය ද මුසු කරමින් කරනු ලබන සාහිත්‍ය කටයුත්තක්” බව විචාරකයන් පවසන්නේ එබැවින්. මේ නිසා කාව්‍ය නිර්මාණකරුවන් භාෂාව පිළිබඳව සුවිශේෂී සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා. ඒක කවියකු විසින් කළයුතු නිරන්තර අභ්‍යාසයක්. විලියම් වර්ඩ්ස්වත් නම් වූ ඉංග්‍රීසි කවියා, කවියාගේ බස පිළිබඳව අපූරු ප්‍රකාශයක් කර තිබෙනවා. “කවියාගේ බස සාමාන්‍ය මිනිසා සිතන බසට වඩා වෙනස් නොවිය යුතුය. පොදු ජනයාගේ බසින් තෝරාගත් වචන කවිය සඳහා යොදාගත යුතුය.” මෙය තරමක් විවාදාපන්න කතාවක් වුවත් එය සංවාදයට බඳුන්විය යුතු ප්‍රකාශයක්. නමුත් කවියේදී භාෂාවේ ඇති වැදගත්කම එහිදී සනාථ කෙරෙනවා.

“හිතුවක්කාර අහස” කාව්‍ය සංග්‍රහය ලියා දශකයකටත් වැඩි කාලයකින් අපට “සිග්නල් කන්ද” කාව්‍ය සංග්‍රහය කියවන්න සලස්වන මලික් තුසිත ගුණරත්ත කවියේ භාෂාමය පාර්ශ්වය ඉතා හොඳින් තේරුම් ගත් කවියෙක්. සිය “සිග්නල් කන්ද” කාව්‍ය සංග්‍රහයේ මේ කාරණය ඔහු මනාව විෂද කරනවා. අවැසි තැන ජන වහරත්, තවත් තැනෙක විදග්ධ භාෂා භාවිතයත්, තවත් තැනෙක නාගරික උප භාෂාවන් ද ඔහු සිය කෘතිය පුරා භාවිතයට ගන්නවා.

මලක පාට නෑ මල් ලියකම් අතර

විලක නිසල බව නෑ සයුරක ගඟක

මම ද පාට නැති මිනිහෙක් බව හැඳින

ඔබ ද විලක් වූ එකමය හරි පුදුම

(සසරේ දිග දුර වුව - පිටුව 17)

මේ බස අතිශයින්ම කාව්‍යාත්මකය. හැඟීම්

දනවන සුලුය. මෙබඳුම කවකි මේ.

අම්මා තරම් උස අත්තක පිපුණු

මලක් නැතේ මට හමුවන්නේ සොඳුරු

(මට උන අම්මේ - පිටුව 24)

මෙතැන දී මේ කෙටි කවි පද දෙක තුළට සුවිසල් මවු ගුණය කැඳවන්න මලික් සමත් වෙන්නේ භාෂා භාවිතයේ ඔහු දක්වන විචක්ෂණ බව නිසාමයි.

පෙන්ඩන්ට් එකක් වෙලා

සඳ දිලෙයි අහසේ

සෝමාරි විලාසෙන්

මාලයේ පුරුක් ගැලවි ලිහී

තරුත් විසිරී නිවෙයි.

( රත්තරං හඳ - පිටුව 48)

වෙ‍ෙළඳ කලාපයේ යුවතියක් අමාරුවෙන් මිලට ගෙන පැලඳගත් රත්තරන් පෙන්ඩනය රවටා සොරාගන්නා පෙම්වත් තරුණයකුට පෙම්වතිය කියන්නේ මෙලෙසය.

අයියේ

ඔය හ‍ඳේ තියෙන්නේ

මගේ ඕ ටී සල්ලි

මගේ දාඩිය බිංදු

මගේ පඩියේ කඳුළු

ප්‍රසාදෙට ලැබුණ අප්‍රේල් මාසයේ සතුට

( රත්තරං හඳ - පිටුව 48)

ඒ අත්දැකීම කියන්නට ඔහු භාවිත කරන භාෂාව විමසා බලන්න.

හැම පාට ගා ඇති

මඩපාත බස් එක

අප්පෙක් නැති ගැබක් අරන්

නුඹ බසයට නැග්ගේ

බැස්මක් නැති මහ කන්දකි

නුඹ හැමදා නැග්ගේ

( පිළියන්දලදී - පිටුව 26)

කලෙක පිළියන්දල දී පුපුරා ගිය මඩපාත බස් රථයේ අත්දැකීම කවියා අතිමානුෂීය කතාන්දරයක් කියන්නට භාවිත කරන්නේ එසේයි. ඒ සඳහා ඔහු උපයුක්ත කරගන්නා භාෂාවේ ඇති සජීවී ගුණය වඩාත් තීව්‍ර ලෙස අත්දැකීම කියන්නට උදවු කරනවා.

ළදරු පාසලක් අබියස ඇති අඹ ගස් සෙවණක එකතුවන දරුවන්ගේ මවුවරුන් සම්බන්ධව මලික් ලියන “අඹ සෙවණ පෙරපාසල” කවියද අපූරු භාෂාමය ගෙත්තමකි.

මොන්ටිසෝරි කොටු දැල මත්තෙන් එපිට

බන්ටි ටිකිරි හා පැටවුන් දඟ පිටිය

බැන්ද වියන අඹ ගස මවුනගේ සෙවණ

රැන්දු රහස් වැඩිහිටියන්ටම පමණ

 

ඈ බං කොටියෙක් ද ඔය හැටි හූරන්න

ඔය හැටි පුළුවන් ද රස විල කලතන්න

වේරැස් ගඟට බෑ වැසි දිය උහුලන්න

නෑ බං පැටියා ගත්තා නොවැ ඇහැරෙන්න

( අඹ සෙවන පෙර පාසල - පිටුව 73)

අඹ සෙවණේ මවුවරුන්ගේ කතාබහ තුළ ඇති ශෘංගාරාත්මක රසය කවියා භාෂාවෙන් දනවන්නේ එලෙසින්.

කෙසේ වෙතත්, මලික් තුසිත ගුණරත්න ඉතා පැසුණු භාෂා භාවිතයක් ඇති කවියෙක් බව ඔහුගේ දෙවන කාව්‍ය සංග්‍රහය වන “සිග්නල් කන්ද” උදාහරණ රැසක් ගෙන අපට සනාථ කරයි. එයට හේතු කිහිපයක් තිබේ. එකක් නම් ඔහු කවියට වඩා කෙටිකතා හා නවකතා කියන සාහිත්‍ය ශානරයන් හරහා භාෂාව අභ්‍යාස කිරීමයි. අනෙක ඉක්මන් නොවී ඔහු විවේකීව කවි ලිවීමයි.

 

[කපිල එම්. ගමගේ]

මාතෘකා