කලාවෙහි නිමග්න ජීවිතයක්

 ඡායාරූපය:

කලාවෙහි නිමග්න ජීවිතයක්

"මගේ පුතා දැන් හම්බුකරල මටත් දෙනවනෙ"

යොවුන් වියෙහිදීම කලාවට සම්බන්ධ වීමෙහි ප්‍රතිඵල ලෙස තමන්ට මුලින්ම ලැබුණු රුපියල් පනහක මුදල පියාට දීමෙන් පසුව සැනට් දික්කුඹුරට ලැබුණු ප්‍රතිචාරය එය විය.

ඔහුගේ පියා මේ වන විට ජීවතුන් අතර නැත. සැනට් දික්කුඹුර කලාකරුවාගේ වයස අවුරුදු හැට අටකි. යොවුන් වියෙහිදී මහත් අභිමානයෙන් යුතුව පියා ඇමතූ පුතු අද වන විට රටම දන්නා කලාකරුවෙකි. රූපවාහිනිය, සිනමාව, වේදිකාව ජයගත් නළුවකු හා අංග රචනය, වේදිකා පරිපාලනය ඇතුළු වේදිකා නාට්‍ය නිර්මාණයට අදාළ සියලු කටයුතුවල ප්‍රවීණත්වයට පත් වූ විශිෂ්ටයකු හැටියට රසික සමාජයට හොඳින් හුරුපුරුදු ශිල්පියකි. සමහර දරුවන් ඔහු හඳුනාගන්නේ “පෝලෝ සීයා” හැටියටය.

පෝලෝ වෙළෙඳ දැන්වීමක පෙනී සිටීමෙහි ප්‍රතිඵලය එයයි. හෝගාන පොකුණ චිත්‍රපටයෙහි ගමේ කෝපි කඩේ මුදලාලි හැටියටද දරුවෝ ඔහු ගැන දනිති. චරිත සුළු වුවද රඟපෑම ප්‍රබලය.

පියාට තමන් ඉපයූ පළමු මුදල ලබා දුන් ඔහු මුදල් පසුපස හඹා නොගිය හෙයින් දශක පහකට ආසන්න වූ කලා දිවියෙහි හරිහම්බ කරගත් දේපළක් නැත. එහෙත් උපයාගත් කීර්තියෙහි වටිනාකම තක්සේරු කිරීම අසීරුය.

"මට ලොකු දේපළක් නැහැ. ඒත් මම අද ඉන්න තැනට ඔසවා තැබූ මගේ ආදරණීය රසික ජනතාව තමයි මට තියන ලොකුම දේපළ. මා නිසා ඔවුන් ලබන සතුට තමයි මට තියෙන ලොකුම සතුට"

සැනට් දික්කුඹුර කියයි.

ඔහු රඟපෑ චිත්‍රපට ගණන හතළිහකට ආසන්නය. අහස්ගව්වේ තත්පර කිහිපයකින් ඇරඹි නළු භූමිකාව ‘ස්වරූප’ චිත්‍රපටය දක්වා දුර ගමනක් පැමිණියේය. තම යොවුන් වියෙහිදීම ධර්මසේන පතිරාජ කලාකරුවා හමුවීම කලා දිවිය ඔපවත් කරගැනීම සඳහා බලපෑ බව ඔහුගේ අදහසය.

1967 පාසල් වේදිකාවෙන් රඟපෑමෙහි අත්පොත් තැබූ ඔහුට ධම්ම ජාගොඩගේ රංග ශිල්ප ශාලිකාව සහ ලයනල් වෙන්ඩ්ට් රඟහල සරසවි බවට පත් විය. අංග රචනය හැදෑරීම සඳහා ලයනල් වෙන්ඩ්ට් රඟහලට බැඳුණු කණ්ඩායමේ සාමාජිකයන් අතරින් පාඨමාලාව සම්පූර්ණයෙන් හැදෑරූ සාමාජිකයා ඔහු විය. එමෙන්ම ශ්‍රී ලාංකේය අංග රචනා කලාවෙහි තමන්ගේම ලකුණක් තැබීමටද ඔහු සමත් විය. එම විෂයෙහි ඔහු සම්මානයටද පාත්‍ර විය.

1976 වසරේදී සෙක්කුව නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වන්නට ලැබීමද තමා ලද භාග්‍යයක් ලෙස ඔහු සලකයි. එහි රඟපෑම් සම්බන්ධයෙන් ඔහු සම්මානයට පාත්‍ර විය.

1988 වසරේදී ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මෝරා’ නාට්‍යය සඳහා පසුතල නිර්මාණය, අංග රචනය හා රඟපෑම යනාදී වශයෙන් කැපවුණු කාර්යභාරයක් කළ ඔහු එම වසරේ හොඳම අංග රචනය සඳහා සම්මාන ලැබීය. මෝරා නාට්‍ය එකල ඔහුගේ ජීවිතයෙහි කොටසක් බවට පත් විය. ජයන්ත චන්ද්‍රසිරි නාට්‍යවේදියා සැනට්ගේ කලා හැකියාවන් මනාව හඳුනාගනිමින් ඔහුට නිසි ගෞරවය ලබා දුන්නේය.

"මෝරා නාට්‍යයෙ සෙට් එක තවමත් තියෙන්නෙ අපේ ගෙදර මිදුලෙ."

සැනට් සිනාසෙයි.

දෙහිවල, කළුබෝවිල ශ්‍රී ගුණාලංකාර පාර අංක 99 ඔහු ජීවත්වන නිවසයි. එය ගරා වැටීමට ආසන්නය.

"මේ ගේ තාත්තට ලැබුණෙ එස්. එස්. ජයසිංහ මහත්තයගෙන්. අංක අනූනවය අසුබයි කියල කවුරුත් ගත්තෙ නෑ. ඒ නිසා තාත්තා අරගත්තා. අපේ පවුලෙ අනෙක් අය බැඳලා. මම විවාහ වුණේ නෑ. මම ඒ ගෙදරම නැවතුණා. අක්ක විවාහ වුණෙත් නෑ. එයා ගෙදර එක පැත්තක ඉන්නවා. මේ ගෙදර කොයි වෙලාවෙ කඩා වැටෙයිද දන්නෑ."

සැනට්ගේ තනියට සිටින්නේ බලු සුරතලුන් කිහිප දෙනකි. රටේ කොයි දෙස කොයි වැඩේට ගියත් ගෙදර එන විට උන්ට බත් පාර්සල් කිහිපයක් ගෙන ඒම ඔහුගේ සිරිතය. ඒ සුරතලුන් ඔහුට හමු වී ඇත්තේද මඟ තොටේදීය. ඔවුන්ටද ඔහු නැතිව ජීවත් විය නොහැක.

ජීවිතය ගත වන්නේ ඔහොමය. බැලූ බැල්මට ඒකාකාරී යැයි පෙනෙතත් සැනට් එසේ නොසිතයි. එහි වෙනසක් කර ගැනීම දුෂ්කර කටයුත්තකි. ඒ ගැන සිතා වෙහෙස වීමටද ඔහු අකමැතිය. ඒ පිළිබඳ විමසා ඔහු වෙහෙසීමට පත් නොකර පැටි වියෙහි සිට වත්මන දක්වා ඔහුගේ ජීවන තතු විමසීම අපගේ අභිලාෂය විය.

"මම උපන්නෙ මරදානෙ. තාත්තගෙ ගම මඩිහේ. අම්මා මිරිස්සෙ. මගේ උපන් දිනය 1950.08.09 වැනිදා."

සැනට් අතීතයට එබෙයි.

සැනට්ගේ සීයා වන ඩී. අර්නෝලිස් ගැමි කලාකරුවෙකි. දොස්තර එස්. කේ. වික්‍රමසිංහගේ ඇසුර ලද වමේ ක්‍රියාකාරිකයකි. වමේ ඉතිහාසය ලියැවෙන පොත්වල ඒ නමද සටහන් වී ඇත.

පියාගේ නම ඩී. කේ. දයානන්දය. මව මැගිලින් නෝනා හෙවත් ලුසි නෝනාය.

"මගේ තාත්තා කොළඹ ඇවිත් තියෙන්නෙ ජීවත්වෙන්න මාර්ගයක් හොයාගෙන. එයාගෙ තාත්තා කළේ වඩු වැඩ. පවුලේ හත් දෙනෙක්. ඒ කාලෙ ජීවත් වීම දුෂ්කරයි. තාත්තා ඉගෙන ගෙන තියෙන්නෙ හතේ පන්තියට විතරයි. කොළඹ ඇවිත් තියෙන්නෙ මේසන් වැඩපළක අත් උදව්කරුවකු හැටියට. ඒ ඇවිත් පොල් කඩේකත් වැඩ කළා. තාත්තගෙ දක්ෂකම් ගැන පැහැදුණු නිසා මුදලාලි එයාගෙ දුව තාත්තට බන්දලා දුන්නා."

ඔහුගේ පියා කොළඹ පැමිණ අනුන් යටතේ වැඩ කළේ කෙටි කලකි. ඔහු තමන්ගේම ව්‍යාපාර කිහිපයක් පටන් ගත්තේය. පින්තූර රාමු කිරීම, වෙසක් සැරසිලි නිෂ්පාදනය ඒ අතර විය.

තැන් තැන්වල කුලී නිවාසවල ජීවිතයට තිත තැබුණේ 99 නිවස හිමි වීමෙන් පසුවය.

"ඒ කාලෙ තාත්ත යටතේ 60 දෙනෙක් විතර වැඩ කළා. ගෙදර හැම තැනම වෙසක් බඩු. කලෙයිමගල් ඇතුළු මුළු කොළඹටම වෙසක් භාණ්ඩ බෙදා හැරියෙ අපේ ගෙදරින්. ඒක හරි සුන්දර කලාවක්. අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒත් මගෙ හිත ගියේම සීයගෙ ආභාසය නිසා නාට්‍ය පැත්තටයි."

අහංගම දික්කුඹුර පදිංචිව සිටි ඩී. අර්නෝලිස් ටීටර් කලාකරුවකු ලෙස ගම් තුලානෙහි ප්‍රකටව සිටියේය.

"සීයාගෙ ටීටර් පොඩි කාලෙ බලන්න ලැබුණා. කලාව ගැන මගෙ හිතේ කුතුහලයක් ආසාවක් ඇතිවෙන්න මුල් වුණේ සීයා. ඒ කාලෙ කාන්තා චරිත රඟපෑවෙත් පිරිමි. ඒ අය කාන්තාවො හැටියට වෙස් ගන්වද්දි වර්ණ යොදන හැටි මගේ සිත් ගත්තා." සැනට් කියයි.

"මරදානෙ ඉපදුණාම ගමේ අත්දැකීම් ලැබුණෙ කොහොමද?"

"මම පොඩි කාලෙ ටිකක් දඟයා. තාත්තට ඕනෑ වුණා මට උගන්වන්න. තාත්ත විවිධ ව්‍යාපාරවල යෙදුණා. තැන් තැන්වල යන්න සිදු වුණා. ඒ නිසා ළමයින්ට පිළිවෙළකට ඉගෙන ගන්න බැරි වෙයි කියලත් හිතුව.

ඒ නිසා සුභූති විදුහලෙන් අයින් කරල දෙනියායෙ රෝමානු කතෝලික විදුහලට දැම්මා. ඊට පස්සෙ ගමේ ඉස්කෝලෙ ඉගෙන ගත්තා."

සැනට්ගේ ළමා වියෙහි තොරතුරුවලට කන් දීම ආස්වාදජනක අත්දැකීමකි. ඒ සඳහා ලබන සතියෙහි අවස්ථාව ලබා ගනිමු.

[තිඹිරියාගම බණ්ඩාර]

මාතෘකා