නිර්භීත වීම අවශ්‍යයි

 ඡායාරූපය:

නිර්භීත වීම අවශ්‍යයි

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

රට තුළ සමාජ දේශපාලන අර්බුදයක් පවතින මෙවැනි අවධියක මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල සේවය කරන මාධ්‍යවේදීන්ට කළ හැකි බලපෑම විශාලයි. රටේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ නිවැරදි තොරතුරු සම්පාදනයෙන් මහජනයා දැනුවත් කිරීම ඔවුන්ගේ පළමු වගකීමයි. නමුත් දේශපාලන අතපෙවීම් හෝ මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ අභිලාෂ අනුව බොහෝ මාධ්‍යවේදීන්ගෙන් මේ වගකීම හරියාකාරව ඉෂ්ට වන බවක් පෙනෙන්නේ නෑ. වසරක් සපුරන 'රැස' පුවත්පතේ පාඨකයකු හැටියට මට හැඟෙන්නේ එහි සේවය කරන මාධ්‍යවේදීන් තමන් සතු වගකීම ඉටු කිරීමට කැපවන බවයි. මේ සඳහා බුද්ධිය හා දැනුම වගේම නිර්භීත බවකුත් අවශ්‍යයි. මට හැඟෙන විදියට 'රැස' මාධ්‍යවේදීන්ට ඒ සුදුසුකම තියෙනවා. ලේක් හවුස් රාජ්‍ය මාධ්‍ය ආයතනයක්. එහි සම්ප්‍රදාය කුමක් වුවත් මාධ්‍යවේදීන් අවදියෙන් සිටිනවා නම් සම්ප්‍රදායන් පවා වෙනස් කළ හැකි බව ‘රැසෙන්’ම වටහාගත හැකියි. 'රැස' මාධ්‍යවේදීන්ට ආයතනයෙන් බාධා ඇතිවූ බවක් අපට පෙනුණේ නෑ. එය සාධනීය ලක්ෂණයක්.


මා එකතු කරන එකම දිනපතා පත්තරය ‘රැස’යි

ෙපාත් ප්‍රකාශක ජනක ඉණිමංකඩ

අද වන විට ප්‍රවෘත්තිය නුසුලබ දෙයකි. ප්‍රවෘත්ති ලබාගැනීමට ඕනෑ තරම් මාධ්‍යද ඇත. ඒ නිසා පුවත්පතක් පළ කිරීම අද විශාල අභියෝගයකි. එහෙත් ඒ අභියෝගයට ‘රැස’ මුහුණ දුන්නේ ඔවුන් වෙත වූ දැවැන්ත අභියෝගයක් උරමත දරමිනි. එනම් ‘ලේක්හවුස්’ නාමය සමඟ සමගාමීව කියැවෙන රාජ්‍ය පක්ෂපාතීත්වය නම් අඩයාලමය. ‘රැස’ මේ අභියෝග දෙකම විශිෂ්ට ලෙස ජය ගත්තේය. ‘රැස’ තම පුවත්පතේ පාඨකයා ආරම්භයේ සිට බැරෑරුම්ව බාර ගත්තේය. ඒ නිසා ඔවුන්ගේ ප්‍රවෘත්ති සැකැස්ම හුදු පුවත් පිළිබඳ දැනුවත්භාවයක් ලබාදීමෙන් ඔබ්බට ගිය බරසාර පාඨකයකු වෙත කෙරෙන එළැඹුමක් වූයේය. තමන් වෙත උපන්ගෙයිදීම ගැසෙන හංවඩුව වන රජයට පක්ෂපාතී පුවත්පතක සීමාව මනාව ජයගත් ‘රැස’ ස්වාධීන දිනපතා පුවත්පතක අනන්‍යතාව වෙනුවෙන් වන පාඨක විශ්වාසය මනාව දිනා ගත්තේය. අප ‘රැස’ මිලදී ගැනුමෙන් නොනැවතී එය එකතු කරන්නේත් ඒ නිසාය. ඵලදායී නිදහස පත්තරයක කොඳුනාරටියයි


සත්‍ය තොරතුරු සන්නිවේදනයේ වගකීම

කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස

සත්‍ය ගවේෂණය මාධ්‍ය‍වේදියාගේ මූලික ගුණයයි. එහිදී ඇතිවන බාධා ඉවත්කරගෙන සමාජ යහපත අරමුණු කරගැනීම මෙහි ස්වභාවයයි. විවිධ මත, අදහස් උදහස්වලට ඉඩ දෙමින් ඉවසීමෙන් සංයමයෙන් කටයුතු කරමින් ජනතා සුබ සිද්ධිය සැලසීම යහපත් මාධ්‍යක කාර්යභාරයයි. එහිදී 'රැස' පුවත්පත වසරක කාලයක් පුරා තම සන්නිවේදන කාර්යය නිවැරදිව ඉටු කිරීමට උත්සාහ දැරූ බව පෙනෙනවා. මේ වගකීම වඩාත් පුළුල්ව ඉටු කරමින් බොහෝ කලක් පැවතීමේ හැකියාව රැස පුවත්පතට ලැබේවායි සුභාශිංසනය කරමි.


ලබා අැති ජයග්‍රහණ ෙබාෙහාමයි

පීටර් ජෙරම් තිසරණ පෙරේරා

ඡායාරූප මාධ්‍යවේදී

‘රැස’ පුවත්පත ආරම්භ කළ දිනයේ පටන් මම පාඨකයෙක්මි. උදෑසන අන්තර්ජාලයට පිවිසීමෙන් පසු මගේ පළමු කර්තව්‍යය 'රැස' පුවත්පතේ අන්තර්ජාල සංග්‍රහය කියවීමයි. එහි පළ වන කවි ඇසුර, භාව, මාත්‍රා, වැලි මිදුල යන විශේෂාංග ඉතාමත් කැමැත්තෙන් රස විඳින අතර එම තොරතුරු නොවරදවා මුහුණුපොත හරහා මගේ හිතවතුන් සහ හිතවතියන් සමඟ බෙදාහදාද ගන්නෙමි. නිතර අන්තර්ජාලයට සම්බන්ධ වීමට පහසුකම් නොමැති බොහෝ දෙනෙකුට එය මහත් පිටිවහලක් වන බව ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් මම දනිමි. අවුරුද්දක් වැනි ඉතාමත් කෙටි කාලයකදී ‘රැස’ පුවත්පත ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව බෙහෙවින් සතුටු වන අතර ඒ සඳහා වෙහෙස වී වැඩ කටයුතු කරන හිතවත් කර්තෘ රංජිත් සමරකෝන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩල⁣යේ සියලු දෙනාටත් බෙහෙවින් ස්තූතිවන්ත⁣ වෙමි. ‘රැස’ පුවත් පතට ජය‍ෙව්වා !


යහ ගුණ පිරි 'රැස!'

මේනක මදුජිත් - ‘දිනුම් කණුව’ තීරු රචක

සම්ප්‍රදායික පුවත්පතක් ලෙස නොව රාමුවෙන් පිට පැන රසවත් සහ හරවත් යමක් එකතු කළ පෙරළිකාර පුවත්පතක් ලෙස ‘රැස’ හැඳින්විය හැකියි. කෙටි කාලයක් තුළ එය ජනමනස තුළ ස්ථාපිත වීම ලියන - කියවන සියල්ලන් ලද ජයක්. එහි ‘යන එන ගමන් කියවන තීරුව’ තුළින් විවිධත්වයෙන් යුතු ලේඛකයන්ගේ තීරු ලිපි රැසක් කියවීමට ලැබීම සුවිශේෂයි. තීරු ලිපියට විවර කළ ඉඩ තුළින් ගොඩනැඟුණ රසිකත්වය ‘රැසට’ ආවේණික සලකුණක්.

වෙනස් ගමනක සාමාජිකයකු වෙමින් නිදහස් අදහස් සමාජගත කරන්නට ලබාදුන් ඉඩ අවකාශයෙන් උපරිම ප්‍රතිඵල විඳිමින්, ඉදිරියේදීත් වෙනස් වෙන්න හිතන අයට සිය මනස බලගන්වන අදහස් රැගෙන හමු වන අපේක්ෂාවද පෙරදැරිව, පළමු වසරේ සාර්ථක බව තුළින් ඉදිරි ගමනට සුබ ප්‍රාර්ථනා එකතු කරන්නට ඔබ සමඟ හදවතින්ම එකතු වන්නෙමි. ‘රැස’ට ජය!!!


‘රැසට’ වසරක්

මාධ්‍යවේදී සහන් හේවා ගමගේ

අපට හුරුවෙලා තිබුණෙ අපරාධ, අපයෝජන, මරණ ආදිය වාර්තා කරන පුවත්පත් රාමුවක්. මේ තත්ත්වය වෙනස් කරන්න නම් රාජ්‍ය මාධ්‍ය කේන්ද්‍රය බලවත් විය යුතුයි. කෙසේ හෝ ‘රැස’ ඒ තත්ත්වයෙන් ඔබ්බට යන්න ‍ගෙවුණු වසරක කාලයට හැකි වුණා. නිර්මාණාත්මක ඉඩ, සාහිත්‍ය, දේශපාලන, සමාජීය කරුණු රැසක් අවම පිටු සංඛ්‍යාවකින් සමබර කිරීම අභියෝගාත්මකයි. ඒ අභියෝගයට ‘රැස’ හොඳින් මුහුණ දුන්නා. රාජ්‍ය මාධ්‍ය කතා කළ යුතු නිදහස් අදහස් හා සිවිල් ප්‍රජාතාන්ත්‍රික අදහස් ගණනාවක් ‘රැස’ ඉදිරිපත් කළා. එය හොඳ ප්‍රවණතාවක්. රාජ්‍ය මාධ්‍ය යන ලේබලයෙන් එළියට එන ‘රැස’ ඇතැම් පිරිසකගේ විවේචනයට මෙන්ම ප්‍රශංසාවටද ලක් වුණා. ඒ, නිදහස් මතවාද වෙනුවෙන් පෙනී සිටීමට ගත් සාර්ථක උත්සාහයක ප්‍රතිචාර. තරුණ ආකල්පවල හැඩ හා රාමුව ‘රැස’ භාවිත කිරීම නිර්මාණාත්මකයි. කියවන්න දෙයක් ඉතුරු කරන පුවත්පත් තියෙන්නෙ අතළොස්සක්. ඒ රාමුව ඉදිරියටත් ‘රැස’ රැක ගන්න. සුබ ගමනක්!


හොඳ සාහිත්‍ය අතිරේකයක් දෙන ‘රැසට’ ස්තුතියි

මහාචාර්ය කුලතිලක කුමාරසිංහ

පසුගිය කාලයේ බොහෝ පුවත්පත්වල සාහිත්‍ය අතිරේක බිඳ වැටුණා. ඒ අතර ‘රැස’ පුවත්පත පිටු හතරකින් යුක්ත සාර්ථක සාහිත්‍ය අතිරේකයක් ඉදිරිපත් කරනවා. සාහිත්‍ය කෘතියක් පිළිබඳව අගනා හැඳින්වීමක් ඉදිරිපත් කරනවා. එසේම ආධුනික කවීන්ට අවස්ථාව ලබාදීමත් අගය කළ යුතුයි. සාහිත්‍ය අතිරේකයේ කර්තෘ වාක්‍යයෙන් සමකාලීන සාහිත්‍ය වටිනාකමකින් යුත් වැදගත් මාතෘකා තෝරාගෙන එය මනාව ඉදිරිපත් කිරීම අගය කළ යුතුයි. සංස්කාරකවරුන්ගේ වගකීම ගැන ගැඹුරු අවබෝධයක් එතුළින් ගම්‍ය වෙනවා. එසේම සමස්ත සාහිත්‍ය අතිරේකයම පාඨක රුචිය වර්ධනය වන අයුරින් ඉදිරිපත් කරනවා. මෙවැනි අතිරේකයක් දිගටම පළ කළ හැකි නම් එය සාහිත්‍ය කලා රුචිකත්වයට කළ හැකි මහත් ප්‍රදානයක්. මේ ආකාරයේ සාහිත්‍ය අතිරේකයක් ලබාදීමට වෙහෙසෙන ‘රැස’ කර්තෘ මණ්ඩලයට ස්තූතිවන්ත වෙනවා. මෙවැනි අතිරේකයක් ඉදිරියටත් පවත්වාගෙන යෑමට සුබ ප්‍රාර්ථනා කරනවා.


රජයේ පුවත්පතකට වඩා වෙනස්

මාධ්‍යවේදී ෆර්හාන් නිස්ම්දීන්

‘රැස’ වසරක ගමන්මඟ හරිම වේගවත්. රජයේ පුවත්පතකින් බලාපොරොත්තු නොවූ ආකාරයේ ආන්දෝලනාත්මක පුවත් ගණනාවක් ‘රැස’ පළ කර තිබුණා. සිවිල් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් වෙනුවෙන් එය ඍජුව හා වක්‍රව පෙනී සිටියා. එය පුවත්පතේ නවමු වෙනසක්. නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් කතා කළ තැනකත් පුවත්පතේ සැබෑ හැඩය පෙන්වමින් ජනතාව වෙනුවෙන් පෙනී සිටියා. අපරාධ - අපයෝජන පුවත්පතකින් බැහැරව මේ ගෙවූ වසරක ගමන රජයේ පුවත්පතක නවමු මානයක්.


ස්වාධීන රාජ්‍ය මාධ්‍යයක්

මාධ්‍යවේදී සුගත් ධර්මප්‍රිය

‘රැස’ පැමිණි මේ ගමන වැදගත් වන්නේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක පුවත්පතක් ලෙසින් 'ස්වාධීනව' තම යුතුකම ඉටු කිරීමට සමත්වීම නිසා බව මගේ විශ්වාසයයි. රජයක මතවාදය ජනතාව අතරට ගෙන යාම යනු 'පවතින ආණ්ඩුවට ප්‍රසිද්ධියේ කඩේ යාම නොවන බවට ' ඔප්පු කර පෙන්නූ ‘රැස’ රජයේ යහපත් වැඩපිළිවෙළද ජනතාව අතරට ගෙනයාම සඳහා සම්ප්‍රදායික නොවන ක්‍රමවේදයක් අනුගමනය කළ අතර එය සාර්ථක වූ බව බොහෝ දෙනාගේ අදහසයි. පැමිණි මඟ කෙටිය. යා යුතු දුර බොහෝය. ‘රැස’ පුවත්පත සමාජ මතයක් ගොඩනැඟීම සඳහා රජයට ඇති විශාලතම අවිය බවට පත්වනු දැකීම මාගේ පෞද්ගලික අපේක්ෂාවයි. ඒ, තවමත් අපට නිසි අවි නොමැති බැවිනි.


සම්ප්‍රදායෙන් පිට ගිය පත්තරයක්

විශේෂඥ මනෝවෛද්‍ය වජිර ධර්මවර්ධන

‘රැස’ ලේක්හවුස් සම්ප්‍රදායෙන් වෙනස් වුණු පත්තරයක්. සිත්ගන්නා තීරු ලිපි මෙන්ම ශාස්ත්‍රිය ලිපිවලිනුත් ‘රැස’ සමන්විතයි. මාධ්‍යයෙන් කතා නොකළ අංශ රැසක් ‘රැස’ ස්පර්ශ කළා. එහි පිටු සැකසුම ප්‍රියජනකයි. සමාජීය විද්‍යාත්මක කාරණාවලට පමණක් සීමා නොකට නව විද්‍යාත්මක ලෝකය වෙනුවෙනුත් ‘රැසට’ ඉඩක් වෙන් කරන්න පුළුවන් නම් වටිනවා. විචාරාත්මක ලිපිවලට පමණක් සීමා නොවී සාකච්ඡා, සංවාදවලටත් ඉඩක් එක් කරන්න පුළුවන් නම් එය පත්තරයට ලැබෙන තවත් ආලෝකයක් වේවි.

මාතෘකා

ජනප්‍රිය ලිපි