වසක මතක ‘රැස’

 ඡායාරූපය:

වසක මතක ‘රැස’

'එකම වර්ගයේ කුරුල්ලන් එකට වසන' කතාවක් තිබේ. 'රැසට' අදාළව මේ කතාව කොතෙක් දුරට ගැළපේද යන්න සොයා බැලීම උචිතයැයි හැඟේ.

'රැසෙ'හි කටයුතු කරන සමස්ත කණ්ඩායම 25කි . ඔවුන් විවිධ වයස් හි පසුවන්නෝ වෙති.

මීට වසරකට පෙරාතුව 'රැසට' අවැසි කණ්ඩායම තෝරා ගැනීමේදී සමාරම්භක කතෘවරයාව සිටි චාමර ලක්ෂාන් කුමාරට අවැසි වූයේ 'වෙනස්' විදිහට හිතන කණ්ඩායමක් තෝරා ගන්නටය. ඒ අවශ්‍යතාව හෙතෙම ක්‍රියාවෙන්ම යථාර්ථයක් බවට පත් කළේය.

විවිධ ජාතික සහ විකල්ප පුවත්පත්වල විවිධත්වය අගයන කණ්ඩායමක් ඔහු තෝරා ගත්තේය. විවිධත්වය තුළින් සංහිඳියාව ගොඩනැඟීම අපූරුවට සිදු විය. මත ගැටෙන තැන කෙළවර නිවැරදි මතය පෙරට යන වග පසක් වූ තැන 'රැස' කණ්ඩායමය.

එවක 'ඉරුදින' පුවත්පතේ කටයුතු කළ ගවේෂණාත්මක මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල සහ ශාලික විමලසේන, ‘රාවයේ’ සිටි ජයසිරි ජයසේකර, විකල්ප සහ ජාතික පුවත්පත්වල ප්‍රවීණයෙක් වූ තිඹිරියාගම බණ්ඩාර, දිගු කලක් ‘දිවයිනෙහි’ හා පසුව ‘රිවිර’ සාහිත්‍ය අතිරේකය සංස්කරණය කළ රවීන්ද්‍ර විජේවර්ධන, සුරේකා නිල්මිණි, 'මාධ්‍යවේදියා' හි කටයුතු කළ මධුක තක්සල සහ මංජුල සමරසේකර, පුවත්පත් කිහිපයක සේවය කළ කසුන් ඉරුගල්බණ්ඩාර, ‘දිනමිණෙන්’ පබදු සපුතන්ත්‍රී, ‘ඉරිදා ඇපල්හි’ සිටි නිර්මාණී බණ්ඩාරනායක, ‘මව්බිමෙහි’ කටයුතු කළ ශිවන්ති ප්‍රනාන්දු සහ මෙම ලියුම්කරු ඇතුළු පිරිසක් ඔහු 'අලුත් වැඩේට' මාධ්‍යවේදීන් ලෙස තෝරා ගත්තේය.

පිටු සැලසුම් අංශයට ඔහු තෝරාගත්තේ පිටු සැලසුම් ප්‍රවීණයකු වූ මො.ල. සෙනෙවිරත්න ප්‍රමුඛ කණ්ඩායමකි.

'අලුත් පත්තරේ' වෙනුවෙන් සමූහය එකතු වූ අතර පුවත්පතේ සැකැස්ම, අන්තර්ගතය ගැන නොයෙක් තර්ක විතර්ක අතර දින ගෙවිණි. මාසයක පමණ පෙර සූදානම් කාලය ගෙවී ගිය අතර ඒ වනවිටත් පුවත්පතට නමක් තිබුණේ නැත. නමක් නොතිබිණද 'අලුත් පත්තරේට' ඒ වන විටත් 'දැක්මක්' තිබිණ. ඒ 'ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් හා මිථ්‍යා විශ්වාසවලින් මිදුණු' පුවත්පතක් වීමත්, 'සත්‍යයේ පැත්ත' ගන්නා පුවත්පතක් වීමය.

කාර්යාලයේ කතෘ මණ්ඩල සාකච්ඡාවලත්, අතරින් පතර හමුවන විටත් විවිධ නම් යෝජනා වී විවිධ හේතු නිසාම එකඟතාවන්ට නොපැමිණ ප්‍රතික්ෂේප වූ අවස්ථා එමට විය. බොහෝ සාකච්ඡා 'වෙනත් වෙනත්' කතාවලට සීමා වී කාලය ගියේය.

'අද නමක් ඕන, චෙයාමන් අහනවා'

චාමර ලක්ෂාන් හිටිගමන් දිනක් කීවේය. හැමදාම 'සොඳුරු කරදර' කරන ඔහු එදා කළේ 'නියෝගය'කි. අනෙක් සියල්ල සැහැල්ලුවෙන් කියන සහ කතා කරන ඔහු නියෝගයක් කළානම් ඒ එදා පමණි.

අවසානයේදී 'රැස' නම තිඹිරියාගම බණ්ඩාර සහ ජයසිරි ජයසේකර දෙදෙනාගෙන් යෝජනා විය. ඊට කර්තෘ මණ්ඩලය එකඟ විය. ඊට 'ඇස පාදන' රැස නැමති තේමාව එක් කළේ විමල් කැට‍ෙපආරච්චිය.

එතෙක් නමක් නැති 'අලුත් පත්තරේට' වැඩ කළ සියලු දෙනා එතැන් සිට 'රැස'ට වැඩ කළහ.

නවමු විශේෂාංග, වෙනස් පිටු සැලසුම්, නව ආරක පුවත් යනාදියෙන් සපිරූ නව 'රැසක්' නිර්මාණය වෙමින් තිබිණ. ඊටම සම්බන්ධව නව ආරක වෙබ් අඩවියක් නිර්මාණය විය.

'රැස' මුල්ම කලාපය නිකුත් වූයේ ඉකුත් වසරේ ජනවාරි 11 වෙනිදාය. ප්‍රධාන සිරස්තලය සපයා තිබුණේ 'පාර්ලිමේන්තුව'ය. ඒ පෙරදා පාර්ලිමේන්තුවේ ගුටිකෙළිය නිසාය.

එතැන් සිට 'රැස' මෙරට පාඨක ප්‍රජාව ආදරයෙන් වැළඳගත්හ.

ඒ අතරින් බොහෝ දෙනෙක් 'රැස' මුල් කලාපයේ සිට මේ දක්වාම නිතිපතා එකතු කරන්නෝය. 'රැසෙහි' නවමු අංගයක් වූයේ යන එන විට කියවන 'තීරුවය'. බොහෝ පාඨකයෝ ඒවා වෙනම කපාගෙන එකතු කරති.

වයස සියය සම්පූර්ණ කළ වැඩිහිටියන් සොයාගොස් කළ 'දිගාසිරි චාරිකාව' ඔස්සේ සමාජයේ කිසිදු අවධානයකට ලක් නොවී හුදෙකලාව සිටි, මෑත සියවසක ඉතිහාසය ගැන මහා දැනුම් සම්භාරයක් සහිත මානව මූලාශ්‍ර සමූහයක් සමාජයට හඳුන්වාදෙනු ලැබිණි. රට පුරා කිසියම් විශේෂත්වයක් තිබෙන 'හන්දි' පිළිබඳව කළ 'අපේ හන්දිය' දිවයිනේ නන්දෙස සැඟවුණු අපූරු තොරතුරු පාඨකයින්ට රැගෙන ආවේය.

ඉරිදා පත්තරයක රුව ගුණ සහිතව පළ කෙරෙන සිකුරාදා 'රැසෙ'හි, පිටු හතරක් පුරා සාහිත්‍ය වෙනුවෙන් 'භාව' අතිරේකය නිකුත් විය. එතෙක් පැවැති සම්ප්‍රදායික ක්‍රීඩා පිටු ආරෙන් මිදී, පුවත්පත ඇතුළත සතිපතා ක්‍රීඩා අතිරේකයක් වෙන් විය.

ඕලාරික විශේෂාංග කලාවෙන් ඔබ්බට ගොස් කිසියම් ප්‍රමිතියක් සහිත විශේෂාංග කලාවක් 'රැස' හඳුන්වා දුන්නේය. 'හිතට' වද නොදී 'හිසට කතා කරන' මාධ්‍ය කලාවක් අපගේ සිහිනය විය. එකී සිහිනය ක්‍රමානුකූලව අපි සමාජගත කළෙමු.

පසුගිය වසරේ මහනුවර, දිගන ජාතිවාදී ගින්නක් පටන් ගත්තේය. සමාජය තුළට කළුවර දවස් එළැඹෙමින් තිබිණි. මියගිය තරුණයාගේ පවුලේ සාමාජිකයින් හොයාගෙන ගොස් සමහර මාධ්‍ය කළේ තව තවත් ඒ අයගේ ලේ ප්‍රකෝප කිරීමය. 'කඩු අරගෙන යුද වදින්න එන්නැයි' සමහරු ජාතිවාදීව සමාජය කුලප්පු කළහ.

ඒ තීරණාත්මක අවස්ථාවේ 'රැස', මියගිය තරුණයාගේ නිවසට ගොස් කතා කළේ මේ ගින්න නිවන්නට දායක වන අයුරුය.

'මෙහෙම රණ්ඩු කරලා තවත් දරුවන්ට තාත්තලා නැති කරන්න එපා' මියගිය තරුණයාගේ ඥාතීහු ඉල්ලති යනුවෙන් අපි එය ප්‍රධාන සිරස්තලය කළෙමු.

'හවස හයෙන් පසුව ඇතුළුවීම තහනම් ගමක් සහ ඒ ගමේ පාසල ගැන අපි රටට කීවෙමු. අන්ත දුප්පත් ඒ පාසල අද තීරණාත්මක දියුණුවකය.

සියල්ල හොඳින් සිදුවෙමින් තිබියදී දිනක් 'රැස'වෙබ් අඩවි කර්තෘ' මධුකට දුරකථන ඇමැතුමක් ආවේය. ඔහුගේ මුහුණේ ස්වරූපය කම්පනයකින් පිරී තිබිණ.

'චාමර හොස්පිට්ල් ගෙනිහින්'

එය වචන දෙකකට වඩා බරපතළ විය. නොකියන බොහෝ දේ ඔහුගේ මුහුණෙහි විය. අධික කම්පනය සහිතව 'රැසේ' සියලුදෙනා තුෂ්ණිම්භූතව සිටියහ. මින් පෙර අත් නොවිඳි අත්දැකීම් හෘදයට පීඩා කරමින් තිබිණ.

ඉන් දෙදිනකට පසු අනපේක්ෂිත ලෙස 'රැසේ' කැණිමඩල දෙදරා ගියේය. චාමරගේ මරණය අප වටා අතිමහත් කම්පනයක් ඉතිරි කළ අතර ඔහුගේ අපේක්ෂාවන්ගෙන් පිරී තිබූ 'රැස' පෙරට ගෙනයාම අප උරමත වූ වගකීම විය.

අපි එය නොපිරිහෙළා ඉටු කරන්නට වෙහෙසුණෙමු. සමස්ත කාර්යමණ්ඩලය ඊට ශක්තිය දුන්හ.

පසුගිය ඔක්තෝබර් 26 සිට 'රැසට' තීරණාත්මක විය. සිදු වූ දේශපාලන විපර්යාසය බරපතළ අර්බුදයක් 'රැස' වටා නිර්මාණය කළේය. එතෙක් අප විසින් පවත්වාගෙන ආ ආචාරධර්ම රටාව 'ඇතැමුන්ට' රිස්සුවේ නැත. 'රැසෙ'හි සාරවත් වටිනාකම් කප්පාදුකොට, තොරොම්බල්, සරුව පිත්තල පුවත්පතක් බවට 'රැස' පරිවර්තනය කිරීම සහ දේශපාලන අතකොලුවක් කරගැනීමට සමහරු යත්න දැරූහ. එයින් 'රැස' රැකගන්නට ගත් අප්‍රමාණ වෑයම ඉතිහාසගත නොවෙනස් මතකයකි.

එක් අතකින් විෂයානුබද්ධ දුප්පත්කමිනුත්, තවත් අතකින් සංකල්පීය මොටකමිනුත් හෙබි ඉතාම දුර්භාග්‍ය සම්පන්න ඉරණමක මෙරට බොහෝ මාධ්‍ය ගිලී සිටී. සියල්ලට වඩා දරුණු අභාග්‍යය වන්නේ 'චින්තනමය'දුප්පත්කමය.

ජනමාධ්‍ය බොහොමයක් ස්වකීය භූමිකාව සාතිශය පහළ අඩියකට දමා 'අඳුරේ අතපතගාන' තත්ත්වයකට පත්ව තිබෙන අවකාශයක් තුළ අපි අපේ උපරිම පරිශ්‍රමයෙන් උඩුගම් බලා යෑමට වෙර දරමු. එය තනිව කළ හැක්කක් නොවේ. එහි තීරණාත්මක ගමන් සගයා පාඨක ඔබය. ඔබේ දිරිගැන්වීම, සක්‍රිය දායකත්වය මෙන්ම සාධාරණ විනිශ්චයද අපගේ ප්‍රාණ වායුව වනු ඇත.

[රංජිත් කුමාර සමරකෝන්]

මාතෘකා