බස් වහර අලුත් කරන පුවත්පත : මහාචාර්ය ජේ.බී. දිසානායක

 ඡායාරූපය:

බස් වහර අලුත් කරන පුවත්පත : මහාචාර්ය ජේ.බී. දිසානායක

ජීව භාෂාව ජීවියෙකු මෙන් මොහොතින් මොහොත වෙනස් වෙමින් වැඩේ. ජීවියා වෙනස් වන පරිසරයට අනුව වෙනස් නුවුවහොත් ඔහු වඳ වී යනු වැළැක්විය නොහැකි ය. ජීව භාෂාව ද ඒ නියාම ධර්මයට අනුකූල ය. භාෂාව භාවිත කරන්නන්ගේ ඕනෑ එපාකම් ද කලින් කලට වෙනස් වේ. ඒ වෙනස්කම් අනුව භාෂාව වෙනස් නුවුවහොත් එය ද වඳ වී යනු ඒකාන්ත ය.

භාෂාව වෙනස් කරන එක් සාධකයක් පුවත්පත ය. ඊට හේතු වන කරුණු නවයක් මෙහි ලා අවධානයට යොමු කෙරේ.

පළමුවැන්න: පුවත්පත් පළ කිරීමට ගත වන කාලය යි. පොතක් පළ කිරීමට දිගු කලක් ගත වේ. නවකතා හා කෙටිකතා ආදිය ලියන සාහිත්‍යකරුවා නිතර කියන්නේ තමාගේ කෘතිය ලිවීමට වසර ගණනාවක් ගත වුණු බව යි. ඒ කතා නැවත නැවත කියවා බලා වෙනස් කිරීම සාහිත්‍යකරුවා අතින් සිදු වන හෙයිනි.

එහෙත් පුවත්පත් පළ කිරීමට ගත වන්නේ ඉතා කෙටි කාලයකි. දිනපතා පුවත්පතක් පළ කිරීමට ගත වන්නේ එක් දවසක් පමණකි. සතිපතා පුවත්පතක් සඳහා සතියක කාලයක් ගත වේ. යමක් ඉක්මනින් පළ කිරීමට සිදු වන විට ඒ ලිපි නැවත නැවත කියවා සකස් කිරීමට අවස්ථාවක් නොලැබේ. එබැවින් නොසැලකිල්ල නිසා යම් යම් භාෂා රීති බිඳ වැටීමට පුළුවන.

දෙවැන්න: පුවත්පත්වලට ලිපි සපයන්නන්ගේ සංඛ්‍යාව යි. අතීතයෙහි දී සාහිත්‍යකරණයට පිවිසියේ ඉතා ම සුළු පිරිසකි. ලේඛන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් හැම දෙනාට ම ලබා ගත නොහැකි විය. එහි නිරත වීමට හැකි වූයේ පන්හිඳෙන් පුස්කොළවල ලිවීමට මනා පුහුණුවක් ලත් කීප දෙනෙකුට පමණකි. එහෙත් අද පුවත්පතකට ලිපි සපයන සංඛ්‍යාව එසේ සීමිත පිරිසක් නොවේ.

තෙවැන්න: පුවත්පත්වලට ලිපි සපයන්නන්ගේ භාෂා ඥානය යි. එදා සාහිත්‍යකරණයට පිවිසියේ භාෂා භාවිතය පිළිබඳ හසළ දැනුමක් ලබා සිටි ලේඛක පිරිසක් පමණකි. ඔවුහු සිංහල භාෂාව පමණක් නොව සංස්කෘත හා පාලි යන භාෂා ද මැනවින් දැන සිටියහ. ගුරුළුගෝමීන්, විද්‍යාචක්‍රවර්තීන්, කලිකල් සවැනි පැරකුම්බාවන්, ධර්මසේන හිමියන්, මයුරපාද හිමියන්, වීදාගම හිමියන් හා තොටගමුවේ රාහුල හිමියන් වැනි ලේඛකයෝ වියරණය දැන ලේඛන කලාවට පිවිසුණෝ වූහ. එහෙත් අද පුවත්පත්වලට ලිපි සපයන ඇතැම් ලේඛකයෝ සිංහලයෙහි මූලික ව්‍යාකරණය වත් ප්‍රගුණ කළ ලේඛකයෝ නොවෙති.

"නාහිමියෝ අපවත් වෙයි" යන වාක්‍යය මෙන් ම "නාහිමි අපවත් වෙති" යන වාක්‍යය ද නිතර දෙවේලේ පුවත්පත්වල හමු වන්නකි.

පැරණි සිංහලයෙහි 'අයෙක්' යන පදය යෙදුණේ නිත්‍ය බහුවචන පදයක් වශයෙනි. එබැවින් ඒ පදය වාක්‍යයක උක්තය වශයෙන් යෙදෙන විට ඊට සම්බන්ධ ආඛ්‍යාතය බහුවචනයෙන් යෙදීම පැරණි රීතිය විය. ගුත්තිල කාව්‍යයෙහි එන "අයෙක් නටත් සුරාමතින්" යන වාක්‍යය මෙනි. එහෙත් පුවත්පත්වල පළ වන්නේ "කසිප්පු පෙරූ අයෙක් පොලිසියට බාර වෙයි" වැනි වාක්‍ය යි.

සිව්වැන්න: පුවත්පත්වල ලිපි ලේඛනාදියෙහි විෂය පථය යි. පැරණි සිංහල ලේඛකයන් ලියුවේ සීමිත විෂය පරාසයක යි. බුද්ධ චරිතය, බුද්ධ ධර්මය, බුද්ධ ශාසන ඉතිහාසය, ආචාර ධර්ම හා කාව්‍ය ශාස්ත්‍රාදිය වැනි විෂයන්ගෙන් ඔබ්බට ඔවුන් ගියේ කලාතුරකිනි. එහෙත් පුවත්පත්වලට ලිපි සපයන්නන්ගේ විෂය පථයෙහි සීමාවක් නැති තරම් ය. දේශපාලනය, ජාත්‍යන්තර සම්බන්ධතා, සමාජ හා මනෝවිද්‍යාත්මක ගැටලු ආදිය ගැන ද පත්‍රකලාවේදීහු ලියති.

පස්වැන්න: පුවත්පත එදිනෙදා ජීවන ප්‍රවෘත්ති කෙරේ විශේෂ අවධානය යොමු කරයි. දිනපතා සිදු වන හදිසි මරණ හා අනතුරු අලළා පිටු ගණන් දිනපතා පුවත්පතක වෙන් වේ. බලවතුන්ගේ දූෂණ කටයුතු හා අපයෝජන ගැන කියවීමට පාඨකයන් දක්වන කැමැත්ත නිසා එවැනි පුවත් භාවාතිශය කොට හුවා දැක්වීමට පුවත්පත් කලාවේදියා උනන්දුවක් දක්වයි.

සයවැන්න: පුවත්පත් ලිපි තීරුවලට සීමා වීම යි. කිසියම් ලිපියක් පළ වන්නේ එක්තරා සීමිත ඉඩ ප්‍රමාණයක යි. ලිපියක සිරස් තලය ඒ තීරුව ඉක්මවා නොයායුතු ය. එබැවින් ඒ සීමාවට ගැළපෙන පරිදි සිරස් තලයේ මාතෘකාව කෙටි කිරීමට පුවත්පතට සිදු වේ. එසේ වන විට පදයක් දෙකක් වියරණය නොතකා වෙනස් කිරිමට පුවත්පත් ලේඛකයාට සිදු වන්නට බැරි නැත. "ඇමතිවරු තුන් දෙනෙක් " යන්න "ඇමතිවරු 3ක්" යනුවෙන් කෙටි කිරීමට සිදු විය හැකි ය. එසේ වූ විට පාඨකයා එය "ඇමතිවරු තුනක්" යනුවෙන් කියවන්නට බැරි නැත. "ආසන තුනක්" යැයී කීවත් "ඇමතිවරු තුනක්" යැයි කීම සිංහල වියරණයට පටහැණි ය.

සත්වැන්න: පුවත්පත පැරණි සම්භාව්‍ය සාහිත්‍යයෙන් වෙනස් වන තවත් අවස්ථාවක් නම් 'තීරු ලිපි' නම් විශේෂාංගයේ පැවැත්ම යි. තීරු ලිපිය යනු කතුවැකියට වඩා වෙනස් ආකල්පයකින් ලියනුු ලබන්නකි. එහි භාෂාව ද එදිනෙදා කට වහර හෝ ජන වහර වියහැකි ය. වියරණය වුවමනාවෙන්ම වරද්දා ලිවීම ඇතැම් තීරු ලිපිවල ලකුණ යි.

අටවැන්න: දැන් හැම පුවත්පතක ම පාහේ පළ වන 'කාටූනය' ද පුවත්පත් බසට නව මුහුණුවරක් ගෙන දෙයි. වචන ගණනාවකින් කිව යුතු අදහසක් එක් කාටූනයකින් කිව හැකි නිසා කාටූනය ඉතා ම ජනප්‍රිය අංගයක් වී තිබේ. කාටූන් ශිල්පියා දේශපාලකයා හඳුන්වන්නේ 'මගෝඩිස්' යන පදයෙනි. ඔහු කළොත් 'මගෝඩි' වැඩක් නිසා ද? ඊට අමතරව 'ලංකෝනිස්' 'සුවාරිස්' 'ඒ තුමා' වැන්නෝ ද දේශපාලකයන් උපහාසයට ලක් කරමින් කාටූන්වල හැසිරෙති.

නවවැන්න: පුවත්පත සිංහල කට වහරට වැදගත් තැනක් දෙයි. බොහෝ තීරු ලිපි ලියනු ලබන්නේ කාටත් තේරෙන කට වහරිනි. එබැවින් සම්භාව්‍ය සිංහල ලේඛකයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වුණු වියත් වහර අබිබවා කට වහර නැඟී සිටී.

යට කී හේතු නිසා පුවත්පත ජීව භාෂාවක් වෙනස් කරන එක් හේතු කාරකයක් වේ. එබැවින් සිංහල භාෂාවට නව මුහුණුවරක් ගෙන දුන් එක් ප්‍රබල සාධකයක් වශයෙන් සිංහල පුවත්පත හැඳින්විය හැකි යි.

 

මාතෘකා