ලෙඩ හොඳ කරන මියුසික් තෙරපි

 ඡායාරූපය:

ලෙඩ හොඳ කරන මියුසික් තෙරපි

අකුරු 7ක් පමණක් ඇති විශ්වීය හෝඩියක් පිළිබඳ ඔබ අසා තිබෙනවාද? එය තමයි සංගීත භාෂාව. මෙය ඕනෑම සත්ත්වයකුට දැනෙන, විඳිය හැකි ඉතා සංවේදී සුන්දර භාෂාවක්.ලෝකය පුරාම මෙකී විශ්වීය භාෂාව යොදා ගනිමින් විවිධ රෝග ආදිය සුවපත් කරන බව කීවොත් ඔබ විශ්වාස කරනවාද? එය මේ වන විට විදේශ රටවල රෝග සුවපත් කිරීමට යොදාගන්නා ඉතා ජනප්‍රිය ප්‍රතිකාර ක්‍රමයක් බවට පත්වී තිබෙනවා.

ඔබ මොහොතක් සිතා බැලුවොත් වැටහේවි වර්තමානයේ භාවිත වන ආකෘතියම නොවූවත් ශ්‍රී ලංකාවේ වාගේම වෙනත් රටවල පවා අතීත මුතුන්මිත්තන්ගේ සිට සංගීතය එවැනි ප්‍රතිකර්මයක් ලෙස පැවති බව. පිරිත් සජ්ජායනා, යාගහෝම, තොවිල් කවි, බෝධි පූජා කවි ආදිය ඊට උදාහරණ ලෙස දැක්විය හැකිය. ඒ විතරක් නෙවෙයි ආතතිය අඩුකර ගැනීමට ජන කවි, තුන්සරණේ කවි මෙන්ම සන්සුන් කරවීමට සමත් දරු නැළවිලි ගීතද ඒ අතර වනවා. ඒ සියල්ලම සංගීත චිකිත්සාව බව දැන් ඔබට පැහැදිලි ඇති.

17,18 වැනි ශතවර්ෂවලදී ප්‍රථම වරට සංගීතය මඟින් රෝග සුවපත් කළ හැකි බවත් එය සිදුවන්නේ සංගීතයේ ඇති කම්පනය උපයෝගයෙන් බවත් සොයාගෙන තිබෙනවා. සංගීතය හරහා ඇතිවන කම්පන තරංග සම සහ මාංසපේශී තුළින් ශරීර අභ්‍යන්තර අවයව තුළට ගමන් කර ඒවා ස්නායු තුළට සහ ශරීරයේ දියර කොටස් තුළටද සම්ප්‍රේෂණය වන බව පැවසෙනවා. ඒ හරහා එම දියර කොටස්වල ගලායෑමේ ගැටලු සහ ස්නායුවල ඇති ආතතියද අදාළ කම්පනයන්ගේ ප්‍රමාණය සහ ගුණය මත වෙනස් වන බව විශ්වාසයයි. මේ ආකාරයට රෝගයට හේතු වී ඇති පටකවල ආතතිය හෝ රුධිරය ගලායෑමේ ඇති බාධාවන්ද යළි යථා තත්ත්වයට පත්වන බව එකල පැවති විශ්වාසයයි. 19-20 ශතවර්ෂවලදී ශරීර අවයවවල ක්‍රියාකාරීත්වයට සංගීතයේ බලපෑම පිළිබඳ අධ්‍යයනයක් සිදුවී ඇති අතර එහිදී සංගීතය හරහා පුද්ගලයකුගේ රුධිර පීඩනය, හෘදස්පන්ධනය සහ හුස්ම ගැනීමේ වේගය වෙනස් වන බව පැහැදිලි කර තිබෙනවා. සංගීත චිකිත්සාවේ විද්‍යාත්මක පසුබිමක් නිර්මාණය වන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුවයි. මෙය මුලින්ම නිර්මාණය වන්නේ ඇමෙරිකාවේදී 1982 වර්ෂයේදීය. එහිදී මනෝවිද්‍යාව සහ මෝහන ප්‍රතිකාර ක්‍රම සමග සම්බන්ධ වී සිදුකෙරුණු අතර 20 වන ශතවර්ෂය වන විට වැඩිදියුණු වූ ක්‍රමවේදයක් බිහිවුණා.

ඇමෙරිකා සංගමයක් සඳහන් කරන්නේ “සංගීතය මඟින් කායික, මානසික, චිත්ත සහ සමාජයීය අවශ්‍යතා පිළිබඳ සලකා බැලීම සහ එමඟින් ජීවිතයේ ඵලදායීතාව වැඩිදියුණු කිරීම තුළින් තමාගේ දුර්වලතා මඟහරවා ගැනීම" සංගීත චිකිත්සාව බවයි. සංගීත චිකිත්සාව තුළින් බලාපොරොත්තු වන්නේ පුද්ගලයකු සතු අභ්‍යන්තර හැකියාවන් වැඩි දියුණු කර ස්වයං පාලනයට අවශ්‍ය ශක්තිය ලබාදීමයි.

සංගීත චිකිත්සාව එක් එක් පුද්ගලයාට ලබාදිය යුතු ආකාරය වෙනස් වන අතර ප්‍රධන වශයෙන් ආකාර දෙකකට මෙය සිදුකළ හැකිය. එම ක්‍රම වන්නේ Active හා Receptive ය. එහිදී Active Method යටතේ සිදුවන්නේ අදාළ රෝගී තැනැත්තා සංගීත චිකිත්සක ක්‍රමයට ඍජුවම සහභාගී කර ගැනීමයි. එහිදී ගීත ගායනා කරවීම, සංගීත භාණ්ඩ වාදනය කරවීම ආදිය සිදුකෙරේ. එය සිදුකෙරෙන්නේ පුහුණුව ලත් සංගීත චිකිත්සකවරයකු (Music Theropist) යටතේය. Receptive ක්‍රමය යටතේ සිදුවන්නේ සංගීත චිකිත්සකවරයා විසින් වාදනය කරන හෝ කරනු ලබන ගායනය රෝගියාට ඇසීමට සැලැස්වීමයි. මෙලෙස භාවිත කෙරෙන සංගීත චිකිත්සාව හරහා සෞඛ්‍ය වැඩිදියුණු කිරීම, තරහ පාලනය, වේදනාවන් සුවපත් කිරීම, හැඟීම් ප්‍රකාශ කිරීම, මතකය දියුණු කිරීම, සන්නිවේදන හැකියාව දියුණු කිරීමට මෙන්ම මානසික රෝග සඳහා සහ කායික රෝග සඳහාද උපයෝගී කරගනී.

විශේෂයෙන්ම මානසික රෝග අතුරින් විෂාදය, ආතතිය, භින්නෝන්මාදය, ඩිමෙන්ෂියා සහ මත්ද්‍රව්‍ය ආදියට ඇබ්බැහි වීම් සඳහා මෙන්ම පුනරුත්ථාපනය සඳහාද සංගීත චිකිත්සාව භාවිත කරන අතර දෘෂ්‍යාබාධ හා ශ්‍රවණාබාධ ආදී දුබලතාවන් සහිත දරුවන්ගේ මානසික සහ කායික සුවය සඳහාද එය භාවිත කෙරෙනවා. එමෙන්ම හෘද රෝගීන්, අංශබාග රෝගීන්, ගර්භණී මවුවරුන්, ළමා රෝගීන්, දන්ත රෝගීන් සහ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ට මෙම සංගීත චිකිත්සාව ලබා ගැනීමෙන් රෝග සුවවීමට දැඩි පිටිවහලක් ලැබෙන බව පරීක්ෂණ මඟින් තරමක් දුරට සනාථ කොට තිබෙනවා. ශල්‍යකර්මයකට පෙර සහ පසු පවතින ආතතිය අඩු කිරීමට, නින්ද හා සම්බන්ධ අපහසුතා, විවිධ ශාරීරික වේදනාවන් ආදිය අඩු කිරීමට මෙය උපකාර වෙනවා. කෙසේ නමුත් මෙහි ඵලදායීතාව සියයට සියයක් සනාථ කර නැතත් ඒ සඳහා දිගින් දිගටම අධ්‍යයන සිදුවෙමින් පවතිනවා. මෙයින් පමණක් රෝග සුව කිරීමට නොහැකි අතර මේ සමඟම එකට යමින් වෛද්‍යවරුන්, මනෝ වෛද්‍යවරුන් මෙන්ම චිකිත්සකවරුන් ආදී සියලුදෙනාගේ ප්‍රතිකාර එකවර ලබාගැනීම ඉතා වැදගත්.

ඒ වගේම මෙම සංගීත චිකිත්සාවේ ප්‍රතිඵල එහි ක්‍රමවේදය සහ සංයුතිය පුද්ගලයාගේ රුචිකත්වය මත වෙනස් වෙනවා. උදාහරණයක් ලෙස Rock සංගීතයට ප්‍රිය කරන රෝගියකුට Classical ශාස්ත්‍රිය සංගීතය යොදාගැනීම ප්‍රතිඵල රහිත වීමට හෝ රෝගය උත්සන්න වීමට හේතුවිය හැකිය. රෝගියාට ප්‍රතිකර්ම ලබාදෙන විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් මත පමණක් පුහුණුව ලත් සංගීත චිකිත්සකවරයකු යටතේ මෙම ප්‍රතිකර්ම ලබාගැනීම තුළින් රෝගය සුවපත් කරගැනීමට හැකියාව පවතිනවා.

[වෛද්‍ය කේ.කේ.ජී. ලහිරු ප්‍රබෝධ]

දිස්ත්‍රික් මූලික රෝහල -

මාතෘකා