වෙනස් විදියකට අලුත් චිත්‍ර

 ඡායාරූපය:

වෙනස් විදියකට අලුත් චිත්‍ර

කසුන් වික්‍රමසිංහ

අනෙකුත් චිත්‍ර කලා ශෛලියන්ගෙන් වෙනස්ව අපූරු සිතුවම් නිර්මාණය කරන චිත්‍ර ශිල්පියෙක් පසුගියදා අපට මුණ ගැසුණා. ඔහු නමින් කසුන් වික්‍රමසිංහයි. ඔහුගේ නැවුම් කලා මාධ්‍ය සම්බන්ධයෙන් අප සමඟ පැවසුවේ මෙහෙමයි.

“මම මුලින්ම ඉස්කෝලෙ ගියේ පුහුල්වැල්ල මහා විදුහලට. ඉන් පස්සෙ මාතර රාහුල විදුහලෙන් උසස් පෙළ සමත් වෙලා අවසානෙදි නතර වුණේ සෞන්දර්යෙ කලා විශ්වවිද්‍යාලයේයි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයෙන් ප්‍රථම උපාධිය ලබාගෙන බාහිර කථිකාචාර්ය කෙනෙක් විදියට වැඩ කරනවා. ඒ අතර වෙනම ශෛලියකින් මේ චිත්‍ර නිර්මාණය කරන්න පටන් ගත්තා. මේවා කළේ චිත්‍ර මූලිකාංග අතික්‍රමණය කරමින්. මගේ චිත්‍ර ගොඩනැඟිලා තියෙන්නෙ american conceptual art ශෛලිය මත.

මේ style එක ගොඩනැඟිලා තියෙන්නේ ස්භාවික චිත්‍රයක් එක්ක Abstract කියන දෙකම එකතු කරලා semi abstract කියන ශෛලියෙන්. එතනදි මම ගොඩාක් කතා කරන්නේ ජ්‍යාමිතික හැඩතලවලින් මගේ නිර්මාණ ගැන කියන්න.

ඒ නිර්මාණ ගැන පැහැදිලි කිරීමක් විදියට නැවත නැවත පෙන්නුම් කිරීමේ අදහසක් විදියට තමයි මම මගේ ශෛලිය දැනට හඳුන්වලා තියෙන්නේ. එතැනදී මම වෙනස් ආකාරයේ පසුබිම් නිර්මාණය කරගෙන එතැන ඇති ස්වභාවික චිත්‍රය යම් කිසි අයුරකින් වෙනස් කරලා ඒකේ අදහස තවත් ඉස්මතු වෙන ආකාරයෙන් නිර්මාණ කරනවා. සමහර වෙලාවට එතන සුභාවිත හැඩතල, රිද්මය, effect එක වර්ණය සහ ඒකෙ ඇතුළෙ තියෙන දේවල් තවත් පෙන්නන්න මම ඒකට ජාමිතික හැඩතල භාවිත කරනවා. ඒක ස්වභාවික වෙන්නත් පුළුවන්, නැත්නම් රේඛාමය හෝ සමීකරණයක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ස්වභාවික රූපයත් එක්කම බැලන්ස් කරලා තමයි චිත්‍රය මම අන්තිමට ඉදිරිපත් කරන්නෙ.

ඒක ඇතුළෙ මම සංකේත භාවිතයකුත් කරනවා. සරල විදියට කිව්වොත් ජලයට වෙනම සංකේත වගේම ශරීර සමබරතාව වගේ දේවල් රේඛාවෙන් මම ගොනු කරලා පෙන්නුම් කරනවා. මේ style එක ලංකාවේ කවුරුවත් භාවිත කරලා නෑ. ලෝකයේ ගොඩක් චිත්‍ර ශිල්පීන් තමන්ගේ ක්‍රමයක් හොයාගෙන නිර්මාණ ඉදිරිපත් කරනවා. මටත් අවශ්‍ය වුණේ එහෙම දෙයක් කරන්න.

කොහොම වුණත් දැනට මම ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයේ චිත්‍රකලා ගුරුවරයා විදියට සේවය කරනවා. මගේ ඊළඟ බලාපොරොත්තුව තමයි මේ වසර අවසානයේ චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීම.

මාතෘකා