දැනගෙන දඹදිව යන්න

 ඡායාරූපය:

දැනගෙන දඹදිව යන්න

බෞද්ධ බැතිමතුන්ට සිය ජීවිත කාලය තුළදී ලැබෙන මහඟු අවස්ථාවක් ලෙස දඹදිව වන්දනා චාරිකාව හැඳින්විය හැකිය. වර්තමානය වන විට දඹදිව වන්දනා චාරිකා යන වන්දනාකරුවන්ට වඩා එවැනි වන්දනා ගමන් සංවිධානය කරන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබේ. ඒ ඇතැම් වන්දනා සංවිධායකයන් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි නොවූවන්ය. එවැනි සංවිධායකයන් නිසා දඹදිව වන්දනාවේ ගොස් විවිධ කරදරවලට මුහුණ දෙන බැතිමතුන් ගැනද නිතර අසන්නට ලැබේ. දුෂ්කර සංචාරයක් ලෙස සැලකෙන දඹදිව වන්දනා ගමනට පළපුරුදු සංවිධායකවරයකුගේ මඟපෙන්වීම අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසාය.

ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක පැතිරී ඇති බෞද්ධ සිද්ධස්ථාන සංඛ්‍යාව අති විශාල වන අතර අඩුම වශයෙන් සතියකට වැඩි කාලයක් සියලුම සිද්ධස්ථාන වන්දනා කිරීමට උපරිම වශයෙන් මාසයකට ආසන්න කාලයක් ගතවේ. දඹදිව වන්දනා ගමනේදී දැකබලා ගත යුතුම ස්ථාන හතර ලෙස සිදුහත් කුමරු උපත ලැබූ ලූම්බිණි සල් උයන, සිදුහත් බෝසතානෝ බුද්ධත්වය ලැබූ බුද්ධගයාව හා ජය ශ්‍රී මහ බෝධිය, බුදුන් වහන්සේ මංගල ධර්ම දේශනය පැවැත්වූ බරණැස ඉසිපතන මිගදාය සහ උන්වහන්සේ පිරිනිවන් පෑ වදාළ කුසිනාරා නුවර උපවත්තන සල් උයන හැඳින්විය හැකිය. දඹදිවට රැගෙන යන බැතිමතුන්ට එම ප්‍රධාන ස්ථාන හතරවත් නොවන්දවන සංවිධායකයෝද වෙති. එම නිසා දඹදිව වන්දනාවේ යෑමට අදහස් කරන බැතිමතුන් ඒ සඳහා විශේෂයෙන් පළපුරුදු සංවිධායකවරයකුගේ මඟපෙන්වීම යටතේ එම ගමන සඳහා සූදානම් වීම සුදුසුය.

බෞද්ධ කටයුතු අමාත්‍යාංශය මඟින් වසරේ නිශ්චිත කාල තුළ පමණක් විවිධ සංචාරක සංවිධාන මඟින් දඹදිව බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව සලසා දී තිබේ. දඹදිව වන්දනාවේ නිරත වීමට අදහස් කරන බැතිමතුන් ඒ පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ගමනට සූදානම් වීමෙන් එහිදී මුහුණ පාන්නට විය හැකි දුෂ්කරතා මඟහරවා ගත හැකිය.

වැඩි වශයෙන් දඹදිව වන්දනාවේ නිරත වන්නේ වැඩිහිටි බැතිමතුන්ය. බොහෝ විට වයස්ගතවීමත් සමඟ ඇතිවන රෝගාබාධද සමඟ එවැනි සංචාරයක නිරත වීමේදී ඉන්දියාවේ දේශගුණ තත්ත්වය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. ඉන්දියාව උෂ්ණ දේශගුණයක් සහිත රටක් වුවත් සමහර කාලවලදී අධික ශීත දේශගුණික තත්ත්වයක් පවතී. එබැවින් ඉතා වයස්ගත බැතිමතුන් අධික සීතල කාලයන්හිදී චාරිකාවේ යෙදීමෙන් වැළකීම හිතකරය. නොවැම්බර් සිට පෙබරවාරි දක්වා සීත දේශගුණයක්ද දෙසැම්බර් හා ජනවාරි මාසවල අධික සීතල තත්ත්වයක්ද පවතී. අප්‍රේල් මැද සිට ජූලි දක්වා ඉතා අධික උෂ්ණ තත්ත්වයක් පැවතිය හැකි අතර අගෝස්තු, සැප්තැම්බර් මාසවලදී සාමාන්‍යයෙන් පවතින්නේ උෂ්ණ වියළි කාලගුණයක් වුවත් එහිදී අධික දූවිලි සහිත පරිසරයක් දැකිය හැකිය. ජූලි සිට සැප්තැම්බර් කාලයේ ඉන්දියාවේ පවතින්නේ වැසි සහිත තත්ත්වයකි.

එම නිසා චාරිකාවේ යෙදීමට අපේක්ෂා කරන බැතිමතුන් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඉන්දියාවේ දේශගුණය සැලකිල්ලට ගනිමින් චාරිකාව සඳහා සුදුසු කාලය තේරාගත යුතුය. විශේෂයෙන් දීර්ඝකාලීන රෝගයකින් පෙළෙන්නේ නම් ඒ පිළිබඳ මනා අවබෝධය ඇතිව තමා ප්‍රතිකාර ලබාගන්නා වෛද්‍යවරයාගෙන් නිසි උපදෙස් සහ ඖෂධ ලබාගෙන ගමනට සූදානම් විය යුතුය. චාරිකා සමයට ප්‍රමාණවත් වන තරම් ඖෂධ රැගෙන යැමට මෙන්ම ඖෂධ වට්ටෝරුවද රැගෙන යාමට අමතක නොකළ යුතුය. මැලේරියා රෝගයට අවශ්‍ය ඖෂධ චාරිකාවට සතියකට පෙර පාවිච්චි කිරීම අවශ්‍ය වේ. එමෙන්ම හෙපටයිටිස් ඒ, ඉන්ෆ්ලුවන්සා, උණ සන්නිපාතය ආදී රෝගවලට අදාළ එන්නත් සංචාරයට සති 2කට පෙර ලබාගැනීම සුදුසුය. චාරිකාවට සතියකටවත් පෙර පවුලේ වෛද්‍යවරයා හමුවී තම සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරගෙන අවශ්‍ය නම් වෛද්‍යවරයාගෙන් වෛද්‍ය වාර්තාවක්ද ලබාගන්න. අධික රුධිර පීඩනය, දියවැඩියාව, ඇදුම වැනි රෝගී තත්ත්වයන් සඳහා දිගුකාලීන ප්‍රතිකාර ලබාගන්නේ නම් ඒ සඳහා අවශ්‍ය ඖෂධ සහ ඉන්හේලර් වන්දනා ගමනට ප්‍රමාණවත් වන පරිදි සූදානම් කරගන්න. වාහනවල ගමන් කරන විට වමනය ඇතිවන්නේ නම් පවුලේ වෛද්‍යවරයාගෙන් ඊට සුදුසු ඖෂධ ලබාගෙන චාරිකාවේදී පාවිච්චියට ළඟ තබාගන්න. එමෙන්ම ඔබට ඇති රෝගී තත්ත්වයන් පිළිබඳ චාරිකා සංවිධායකවරුන්ට නොසඟවා පවසන්න. චාරිකා සංවිධායකයන් ලබාදී ඇති නම සඳහන් කාඩ් පත පිටුපස ඔබේ රෝග තත්ත්වයන් සහ ඒ සඳහා ගන්නා ඖෂධ, ඔබට අසාත්මිකතාව දක්වන ඖෂධ සහ ආහාර වර්ග සහ ඔබේ ලේ වර්ගය සඳහන් කරන්න.

දේශගුණික තත්ත්වයන්ට ගැළපෙන පරිදි ඇඳුම්, පැලඳුම් සහ පාවහන් ගෙනයන්න. කාන්තාවන් සඳහා අවශ්‍ය සනීපාරක්ෂක තුවා, මදුරු දෂ්ට කිරීම් වළක්වා ගැනීමට අවශ්‍ය මදුරු විකර්ෂණ ආලේප, දූවිල්ලෙන් වැළකීමට පිරිසුදු නාස් සහ මුඛ ආවරණ කිහිපයක්, තුවා, අත් පිස්නා, පනාවක්, විදුලි පන්දමක් ආදිය සූදානම් කරගන්න. හදිසි අවස්ථාවකදී දැනුම් දිය යුතු පුද්ගලයන් අවම වශයෙන් දෙදෙනකුගේවත් දුරකථන අංක සහ ලිපින සංවිධායකයන්ට ලබාදෙන්න. ජංගම දුරකථනයක් පාවිච්චි කරන්නේ නම් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට දුරකථන ඇමතුම් ලබාගැනීමට රෝමින් සේවාව ක්‍රියාත්මක කරවා ගැනීම වාසිදායකය. එමෙන්ම සෞඛ්‍ය රක්ෂණයක් ලබාගන්නේ නම් එයද වඩාත් සුදුසුය.

චාරිකාවේදී හැමවිටම තමාගේ නඩය සමඟ සිටීම සුදුසු අතර තනිවම ගමන් කිරීමෙන් වළකින්න. යම් ශාරීරික අපහසුතාවක්, තුවාලයක් ඇතිවුවහොත් ඒ පිළිබඳ සංවිධායකයන්ට හා තමන් සමඟ ගමන්කරන අයට වහාම දැනුම් දෙන්න. චාරිකාව තුළදී අසාත්මික ආහාරපාන ආදිය ගැනීමෙන් සහ වීදි ආහාරපාන ගැනීමෙන් වළකින්න. අමු එළවළු සහ පලතුරු ආහාරයට ගැනීමට පෙර හොඳින් සෝදන්න. හොඳින් පිසින ලද කෑම උණුවෙන් ආහාරයට ගන්න. අවශ්‍ය පමණට පෝෂ්‍යදායී ආහාර ගන්න. පානීය ජලය හෝ සීල් කළ බෝතල් වතුර පමණක් භාවිත කරන්න. නළ ළිං, ටැප් වතුර, ළිං වතුර බීමෙන් වළකින්න. උෂ්ණ කාලගුණ තත්ත්වවලදී වැඩිපුර වතුර පානය කරන්න. උණ, සෙම්ප්‍රතිශ්‍යා වැනි අසනීප ගතියක් ඇත්නම් හැකි ඉක්මනින් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න. අනතුරකදී කලබල නොවී හැකිතරම් එම අනතුරුදායක පරිසරයෙන් ඈත් වන්න. දුම්රිය ගමන්වලදී තනියම මැදිරිවලට නැඟීමෙන් වැළකී කණ්ඩායම සමඟ එකටම සිටින්න. සොර සතුරු අවදානමෙන් මිදීමට වටිනා ස්වර්ණාභරණ, ඔරලෝසු පැලඳීමෙන් වළකින්න.

චාරිකාව නිමවා මෙරටට ආ පසු යම් ශාරීරික අපහසුතාවක් ඇතිවුවහොත් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න. එහිදී ඔබ දඹදිව සංචාරයක නිතර වූ බව පැවසීමට අමතක නොකරන්න. මැලේරියා රෝගයෙන් ආරක්ෂා වීමට ගත් ඖෂධ චාරිකාවෙන් පසුවද සති 4ක් නොකඩවා පාවිච්චි කරන්න.

සංවිධායකයන් ලෙස කටයුතු කරන්නන් තම බැතිමතුන්ගේ නාම ලේඛනය සමග ඔවුන්ගේ දැනට පවතින රෝග තත්ත්වයන්, ලබාගන්න ඖෂධ සහ මාත්‍රාව, අසාත්මිකතා, හදිසි අවස්ථාවකදී දැනුම් දීමට බාරකරුවන්ගේ දුරකථන අංක, ලිපිනයන් ඇතුළත් ලේඛනයක් සකස් කර ගන්න. සම්පූර්ණ නඩය සඳහා ලේඛනයක් සහ රෝගී බැතිමතුන් සඳහා වශයෙන් ලේඛන 2ක් සූදානම් කරගැනීම වඩාත් සුදුසුය. බැතිමතුන්ගේ වෛද්‍ය වාර්තා සහ ප්‍රථමාධාර සඳහා අවශ්‍ය මූලික ඖෂධ සහ උපකරණ සැමවිටම ළඟ තබාගන්න.

සංචාරය අතරතුර පිරිසුදු පෝෂ්‍යදායී ආහාර සහ පිරිසුදු පානීය ජලය ප්‍රමාණවත් තරමින් බැතිමතුන් වෙත ලබාදෙන්න. වැඩිහිටි අය සඳහා හැකිතාක් උණුසුම් දියරමය පාන ලබාදෙන්න. සීත කාලවලදී අවශ්‍ය තරම් උණු ජලය ලබාදෙන්න. වීදි දෙපස ඇති ආහාර ලබා ගැනීමෙන් වළකින ලෙස බැතිමතුන් දැනුවත් කරන්න. බැතිමතුන්ගේ ශාරීරික අපහසුතා පිළිබඳ හැකි ඉක්මනින් අවධානය යොමුකර කඩිනමින් පියවර ගන්න. දුම්රියේ ගමන් කරනවිට කණ්ඩායමේ ආරක්ෂාව ගැන වගබලා ගන්න. පයින් ඇවිදින හෝ පාර හරහා මාරු වන අවස්ථාවලදී බැතිමතුන්ගේ ආරක්ෂාවට අවශ්‍ය උපදෙස් ලබාගන්න. එමෙන්ම අනතුරු බහුල සහ අවදානම් ප්‍රදේශ පිළිබඳව බැතිමතුන් දැනුවත් කරන්න.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 'දඹදිව වන්දනා ගමන් සඳහා මාර්ගෝපදේශන' ප්‍රකාශනය ඇසුරිනි.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා