"කලාකරුවා ප්‍රධාන වගකීමෙන් ඈත් කරන්නේ අජූත සම්මාන උළෙලවල්"

 ඡායාරූපය:

"කලාකරුවා ප්‍රධාන වගකීමෙන් ඈත් කරන්නේ අජූත සම්මාන උළෙලවල්"

සසංකා විතානගේ

රටේ දේශපාලනය, සමාජයීය හා ආර්ථික වටපිටාව ගැන පැහැදිලි චිත්‍රයක් නැති මෙවන් මොහොතක, නව වසරක ආරම්භය 'පොතකින්' සනිටුහන් වීම හිතේ පිළිකුල අවම කරගන්න මනා උත්තේජකයකි. ජයවර්ධනපුර

විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක වන "සසංකා විතානගේ" තම කුලුඳුල් කාව්‍ය සංග්‍රහය "රැලි නොවන් රළ" නමින් ජනවාරි 8 වැනිදා මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරිණි. එම නිසා අපි සසංකා සමඟ මෙසේ සංවාදයක යෙදුණෙමු.

'රැලි නොවන් රළ' පෙරළෙන්නේ කොයිබට ද?

රැල්ලක් කියන්නෙ රැලි රැලි විසිරෙන එකක්. රැල්ලක් කියන්නෙ මිනිහෙක් කියලා ගත්තොත්, ඔහු තීරණ ගත යුත්තේ කෙළින්. එනම් රැලි, රැලි නොවී ඍජුව කියන එකයි මට කියන්න ඕන වෙන්නෙ. මිනිස්සු සියල්ල. විශේෂයෙන් ගැහැනු.

වත්මන් සමාජයේ 'ගැහැනිය'ගේ භූමිකාව ගැන මොකද හිතන්නෙ?

මට හිතෙන විදියට නම් ජෙන්ඩර් ඒකාකෘතිකරණයක් තිබිය යුතු නැහැ. අපි එහෙම නොහිතනවා නම්, අපිට ඔය ප්‍රශ්නය ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. හැබැයි, ලංකාවේදී ඕක ඇත්තටම ප්‍රශ්නයක් තමයි. සමස්ත සමාජයට යුරෝපාකරයත් අයිතියිනෙ. එතැනදී, ඒ සමාජවල ගෑනු තමයි අංක එක. මෙහේදී, අපිත් කියනවා ගෑනු තමයි එක කියලා. ඒත් වැඩක් කරන්න යද්දි, ඉබේම ගෑනු දෙක වෙනවා සහ ගැහැනිය විසින්ම ඒක එහෙම කර ගන්නවා.

කොතනක ගියත් ගැහැනියගෙ භූමිකාව එකයි සහ එකම විය යුතුයි කියල මං හිතනවා. මවු පදවිය වගේ භූමිකාවක් ගැන විතරක් නෙවෙයි මං කියන්නෙ. මේ ක්‍රය නිෂ්පාදන ක්‍රියාවලිය තුළත් දේශපාලන හා සමාජයීය සන්දර්භය තුළත් යන සියල්ලේම. හරියට අරුන්දතී රෝයි වගේ.

මේ 'ජීවිතේ මායාව' සසංකාට දැනෙන්නෙ කොහොමද?

ජීවිතේ කියන්නෙ මායාවක්ද? මවලා පාන්න දෙයක් ඇත්තටම මට නම් නෑ. ඒක එහෙම්පිටින්ම හිසරදයක්. ඔහේ කුණුහරුපයක් කියාගෙන ඉන්න එක ඔළුවට හරි නිදහස්. සරලවම කිව්වොත් ඒ මායාව මට හිසරදයක්.

මං ආයෙමත් 'ගැහැනිය' කියන මාතෘකාවට ළං වෙනවා. ඇයි 'ගැහැනිය' ස්වාධීන වෙන්න 'බය'?

මේ රට ඇතුළේ ජීවත් වෙන්න නම් ඉතිං, ගැහැනු ස්වාධීන වෙන්න බය වෙන්න ඕන තමයි. ඒක ලොකුවට විග්‍රහ කරන්න දෙයක් නෑනෙ. සෝෂල් මීඩියා, මියුසික් වීඩියෝ, ඇඩ්වර්ටීස්මන්ට් හැමදේම දැක්කම ගෑනුන්ගෙ බය සාධාරණයි. අශික්ෂිත ගෑනු සංහතියක් නැත්තේ නොවේ. හැබැයි ඔබ කියන බහුතරය, ස්වාධීන වෙන්න දඟලන බහුතරය, මේ වගේ සමාජවල ඉන්නකං ඇත්තටම ඒ අය පව්.

ඒකෙන් අදහස් කෙරන්නෙ පවුල් කඩාගෙන, බී ගෙන ඉන්න හදන කොටසක් ගැන නොවෙයි කියන එකත් මං අවධාරණයෙන් කියනවා.

අනික් කතාව, මොකක් හරි ජෙනුයින් වැඩක් කරලා ලෝක ප්‍රසිද්ධ වෙන ගෑනියෙක් ගන්න. ඒ ගැන දැන ගත්තම අපි (අපේ සමාජවල ගෑනු, පිරිමි) අහන පළමුවෙනි ප්‍රශ්නය, එයා කවුද කියන එක නෙවෙයි. ගෑනියෙක් ද ඒ? සහ එයාගෙ වයස කීයද? වගේ ඇරියස් ප්‍රශ්න.

අපි පොඩ්ඩක් 'නිර්මාණකරණය' පැත්තට එමු. නිර්මාණකරුවාට අත්‍යවශ්‍යම සාධකය 'දැනුම' ද? 'පරිකල්පනය' ද?

පැහැදිලිවම මනෝ ගහන්නෙක් වීම වෙන්නෝනෙ මට හිතන්නෙ. ඒ කියන්නෙ පරිකල්පනය. හැඟීම්වලට පැහැදිලි අකුරු නෑ. ඔක්කොම බොඳයි. මේ කවි ඇතුළේ තියෙන්නෙ හැඟීමක අරික්කාලක් වගේ දෙයක්!

මේ සමාජය ඇතුළේ වන්දනා කෙරෙන 'ප්‍රවීණ' කියන කෑල්ල ගැන මොකද හිතෙන්නෙ?

ඵලදාව වැඩි අස්වනු, ඉබේ නැවෙනවා. එච්චරයි ඉතිං...

කවිය 'සමාජ වගකීමක්' ද? මට කිහිප තැනක එහෙම ඇහිලා තියෙනවා.

කලාව කියන්නෙ පැහැදිලිවම මානුෂික අවශ්‍යතාව වෙනුවෙන් ඉටු විය යුතු දෙයක්. ඒක වගකීමකට වඩා කලාකරුවෙකුගේ ප්‍රධාන යුතුකමක්. ඒක් තමයි, එකම යුතුකම විය යුත්තේ. අවශේෂ කාරණා කෙසේ වෙතත්.

'මේ මොහොතේ' දී, ඒ 'යුතුකම' ඉටුවෙනවා ද?

මේ මොහොතෙ ඒ යුතුකම ඉෂ්ට කරන්න බොහෝ කලාකරුවෝ වෙහෙසෙනවා. අසංක සායක්කාරගේ 'මං කෙළින් මිනිහෙක්' වාරණේදි ඒකට විරුද්ධව කොන්ද කෙළින් තියාගෙන නැඟිටින්න මිනිස්සු කොටසක් හිටියා. මිනිස්සු නාට්‍ය හදන්නෙ, පොත් එළිදක්වන්නෙ සල්ලි තියෙන නිසා නෙවෙයි. මේ අප්‍රසන්න ක්‍රමවේදයේ ගඳ දැනෙන කොටසක් ඉන්නවා. නමුත් දැන් මිනිස්සුන්ට ඒ ගැන දැනුවත් කරන්න මාකටිං ඕනත් වෙනවා. අනික් කාරණය මට හිතෙන විදියට කලාකරුවාව, ඔහුගේ ප්‍රධාන වගකීමෙන් ඈත් කරන්න බලපාන එක විශේෂම කාරණයක් තමයි ඔය අජූත සම්මාන උලෙළවල්.

සංවාදය [දුලාජ් මධුශංක දේවපුර]

මාතෘකා