නිලාවේලියේ වෙරළ දිගේ...

 ඡායාරූපය:

නිලාවේලියේ වෙරළ දිගේ...

සංචාරයට කැමති බොහෝ දෙනා තම ගමන් මග නැවතුම්පොළ ලෙසින් තෝරා ගැනෙන්නේ බහුතරයක් දෙනා සංචාරය කරනා ස්ථානයන්ය. ඒ අතර නුවරඑළිය, අනුරාධපුරය කතරගම වැනි ස්ථාන ප්‍රධාන වේ. නමුත් එවැනි ස්ථානවලින් බැහැරව විවිධ වැදගත්කම් සහිත ඉතා සුන්දර ස්ථාන රාශියක් තිබේ. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය යනු එවැනි සුන්දර ප්‍රදේශයකි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය ලංකාවේ ඊසානදිගට වන්නට පිහිටි වර්ග කිලෝමීටර් 2727ක වපසරියකින් යුත් ප්‍රදේශයකි. සේරුවිල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේද සිත් සතුටු කරන සෞන්දර්යාත්මක පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයන්ය.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සංචාරය කරන ඔබට උණු දිය උල්පත් මෙන්ම සේරුවිල වැනි අති පූජනීය ස්ථානයන්ද කෝණේශ්වරම්, පුල්ලෙයාර් වැනි කෝවිල්ද, පෙඩ්‍රික් කොටුව, චීන වරාය, තිරියාය හා ඊසානදිග සුන්දර මුහුදු තීරයද හමුවනු ඇත. එමෙන්ම කන්‍යා උණු දිය උල්පත්, කෝකිලායි කළපුව හා අභය භූමිය මෙන්ම දේශපාලනික වශයෙන් මහත් ආන්දෝලනයකට තුඩු දුන් තෙල් ටැංකි සංකීර්ණය පිහිටියේද මෙහිය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට A6, A12 මාර්ගයන්ගෙන් පැමිණිය හැකි අතර අප හොඳින් දන්නා උණු දිය උල්පත් දැකිය හැක්කේ A12 මාර්ගයේ සිට කිලෝමීටර් තුනක් දුරිනි. මෙහි උණුදිය උල්පත් හතක් දක්නට ලැබෙන අතර මෙහි පාලනය සිදුවන්නේ කන්නියා ප්‍රාදේශීය සභාව මගිනි. මෙහි දිය නෑමෙන් සමේ රෝග ඇතුළු තවත් රෝග ගණනාවක් සුව වන බවද කියැවේ. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කෝවිල් හතරක් පිහිටා තිබෙන අතර ඒවා ගැන වෙන වෙනම මෙසේ හැඳින්විය හැකිය.

නගරය මධ්‍ය වන්නට කෝවිල් දෙකක් පිහිටා ඇති අතර ඒවා වෙන් කරනු ලබන්නේ වැටක් මගිනි. මෙහි පුල්ලෙයාර් කෝවිලට වසර 150ක අතීතයක් ඇති අතර අතීතයේ මෙහි තිබූ එල්ලුම් ගස යට ඉදිකර තිබුණු කුඩා කෝවිල පසුව විශාල කර මෙම පුල්ලෙයාර් කෝවිල ගොඩනගා ඇති බව දැක්වේ. සෑම වසරකම අගෝස්තු මාසයේ වාර්ෂික මහා උත්සවයක් පවත්වන අතර සෑම මසකම සදාර්ති නමින් උත්සවයක්ද පවත්වයි. එමෙන්ම දිනපතා උදෑසන 6 සිට 11 පමණ දක්වාත්, සවස 5.30ටත් පූජා පැවැත්වේ. අනෙක් කෝවිල වන කාලි කෝවිල පිහිටා ඇත්තේ පුල්ලෙයාර් කෝවිලට පිටුපසිනි. 1910දී පමණ මෙහි තිබූ පුරාණ කෝවිල වැඩි දියුණුවට පත්කර මෙම කෝවිල මේ තත්ත්වයෙන් ගොඩනගා ඇති බව කියැවේ. මෙකී සිරි භද්‍රකාලි අම්මාන් කෝවිලේ පූජා පැවැත්වෙන්නේ උදේ හතට, දහවල් දොළහට සහ සවස පහටය.

එමෙන්ම ස්වාමිකන්ද මුදුනේ පිහිටි අලංකාර කෝවිලට අවුරුදු 6500ක පමණ අතීතයක් ඇතැයි සඳහන් වේ. මේ කෝවිල රාම රාවණා යුගයේදී ඉදිකරන ලද්දක් ලෙසද සැලකේ. මීට දශක කිහිපයකට පෙර මේ පැරණි කෝවිල අලුත්වැඩියා කර තිබූ හෙයින් අද දක්නට ලැබෙන්නේ අතීතයේ තිබූ කෝවිල නොවේ. ශිව දෙවියන් සඳහා ඉදිකළ මෙම කෝවිල ඉතා බලවත් ස්ථානයකැයි එහි පූජකවරු සඳහන් කරති. අප්‍රේල් මාසයේදී මෙහි උත්සවය පැවැත්වෙන අතර දිනපතා උදේ හතට සහ සවස හතරට මෙහි පුද පූජා කටයුතු පැවැත්වේ.

මහවැලි ගංගාවේ ජලය සාගරයට ගලා බසින්නේ වෙරගම මැදිනි. මෙම ස්ථානයේ මහවැලි ගංගාව අසල පිහිටි ඉපැරණි කෝවිල හඳුන්වන්නේ වෙරගල කෝවිල නමිනි. ස්කන්ධ කුමරුන් වෙනුවෙන් ඉදිවී ඇතැයි සැලකෙන මෙම කේවිලේ වාර්ෂික උත්සවය පැවැත්වෙන්නේ අගෝස්තු මාසයේදීය.

මෙම දිස්ත්‍රික්කයේ ඔබට තවත් දැකිය හැකි අලංකාර ස්ථානයක් වන්නේ ඊසාන දිග මුහුදු තීරයේ පිහිටි දැකුම්කලු නිලාවේලියයි. මෙතැන ඇති නිල් පැහැයෙන් යුතු ජලාශයත්, නොගැඹුරු බවත් නිසා සංචාරකයන්ට අපූරු සුන්දර ස්ථානයකි. ක්‍රිස්තු වර්ෂ දහවැනි සියවසට අයත් සෙල් ලිපියක්ද මේ ගම්මානයේ දක්නට ලැබෙන අතර, එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු විසින්ද තහවුරු කරනු ලැබ තිබේ. නිලාවේලි මුහුදු තීරයට ගිය ඔබට තවත් කිලෝමීටර් පහක් පමණ එපිටට ගියහොත් දක්නට ලැබෙන්නේ මනරම් දූපතක් වන පරවි දූවයි. මෙම පරෙවි දූපතට ළඟා වීම සඳහා බෝට්ටුවකින් යා යුතු අතර එයට යම් මුදලක් අය කරයි. එම පරවි දූපතෙහිම නොගැඹුරු දිය තටාකයන්ද දක්නට ලැබේ.

වටදාගේ යන්න ඔබ බොහෝ තැන්හි අසා ඇති වචනයකි. දාගැබේ ආරක්ෂාවට පිහිටුවා ඇති මෙය බොහෝ තැන්වල විනාශ මුඛයට පත්ව ඇතිමුත් ඉතා වටිනා වටදාගෙයක් ත්‍රිකුණාමලයේද පිහිටා ඇත. එය නමින් තිරියාය වටදාගෙයයි. මේ තිරියාය වටදාගේ ඔබට දැකගත හැකි වන්නේ ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 45ක් පමණ දුරක් ගෙවා තිරියායට ළඟාවූවායින් පසුවය. මේ වටදාගෙය නිර්මාණය කරනු ලැබ ඇත්තේ තපස්සු භල්ලුක දෙබෑයන් විසින් යැයි විශ්වාස කරන නිසා බුදුන්ගේ කේෂ ධාතු නිදන් කොට එම දාගැබ නිර්මාණය කර ඇතැයි පැවසේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සෑම අතකින්ම අංගසම්පූර්ණ වූ දිස්ත්‍රික්කයක් ලෙස නම් කළ හැක්කේ මෙහි කුරුලු භූමියක්ද ඇති බැවිනි. ඊසාන දිග මුහුදු තීරයේ මුලතිව්වලට දකුණින් මෙන්ම තිරියායට උතුරින්ද කලපුවක් පිහිටා ඇති අතර මේ කළපු හැඳින්වෙන්නේ කෝකිලායි කළපුව නමිනි. නමුත් දේශීය හා විදේශීය කුරුල්ලන් ගැවසෙන බැවින් මෙය කුරුලු අභය භූමියක් ලෙසද සඳහන් වේ. ත්‍රිකුණාමලය පුල්මුඩේ ගමන් මාර්ගයෙන් මෙන්ම අලුත් හල්මිල්ලෑව පුල්මුඩේ මාර්ගයෙන්ද මෙහි ළඟාවිය හැකිය.

ත්‍රිකුණාමලය නගරයේ පිහිටා ඇති තවත් වැදගත් වන ස්ථානයක් වන්නේ සේරුවාවිල පුද බිමයි. බුදුන් වහන්සේගේ තෙවන ලංකා ගමනේදී උන්වහන්සේ මෙහි වැඩ සිටියා යැයි සඳහන් වන අතර කාවන්තිස්ස රජු පසු කාලයක බුදුන්වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කර මෙහි මංගල මහා ස්ථූපය ගොඩනගා තිබූ බවක්ද කියැවේ. මෙකී ස්ථූපය වල් බිහි වී තිබීමෙන් පසුව දඹගස්ආරේ ශ්‍රී සුමේධ ස්වාමීන්වහන්සේ වැඩි දියුණු කර තිබිණි. අඩි 593ක වට ප්‍රමාණයක් ඇති මෙම දාගැබෙහි උස අඩි 100ක් පමණ වේ.

එමෙන්ම කුච්චවේලි සිට කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරින් නිරිත දෙසින් පිහිටි උස ගල්පරයක කටාරම් කෙටූ ගල් ලෙන් කිහිපයක් ඇත. ඒවායේ බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියූ ලෙන් කිහිපයක් දැක්වෙන අතර මේ නාච්චිමලේ පුද බිමයි. එමෙන්ම හේමමාලා කුමරිය හා දන්ත කුමරු දළදා වහන්සේ රැගෙන ගොඩ බැස්සේ ලංකා පටුනට යැයි කියනා ස්ථානයේ ස්ථූපයක් ගොඩනගා තිබෙන අතර එය හැඳින්වෙන්නේ සමුද්‍රගිරි වෙහෙර යනුවෙනි. නමුත් කලකට පෙර පුරාවිද්‍යා ලිපිවල තිබූ අයුරින් මෙහි තිබූ ගල් කණු අද දක්නට නැත.

ත්‍රිකුණාමලය වෙත පැමිණෙන ඔබට A-6 මාර්ගයේ කිලෝමීටර් 150 කණුවේ සිට 157 කණුව දක්වා විහිද ඇති විශාල දිය පිරි ජලාශයක් හමුවුවහොත් එය දෙවැනි අග්බෝ රජ සමයේ නිමවූ ගඟතලා වැව හෙවත් ගංතලා වැවයි. වර්තමානයේදී එය හැඳින්වෙන්නේ කන්තලේ වැව නමිනි. මේ සඳහා ජලය ගෙන එන කිලෝමීටර් 38ක් පමණ දිගු ඇළ නිර්මාණය කරනු ලැබ ඇත්තේ අග්බෝ රජ විසින් යැයිද සඳහන් වේ.

ත්‍රිකුණාමලයේ තවත් වැදගත් ස්ථානයක් වන්නේ ගෝකන්න වරායයි. එය චීන වරාය ලෙසින්ද හැඳින්වේ. වරාය වටා උස් කඳු පිහිටා ඇති නිසා සාගරයේ ගමන් කරනා කිසිම යාත්‍රාවකට මෙහි ඇති නෞකා ගණන හෝ කිසිවක් පෙනෙන්නේ නැත. අතීතයේදී එම වරාය ඉතා වටිනාකමකින් යුක්ත වරායක්ව තිබූ බව සඳහන්ය

මේ දෑවලට අමතරව ඔබට හමුවන තවත් ස්ථානයක් වන්නේ පේද්‍රික් කොටුවයි. මෙය පෙඩ්ඩ්‍රික් කොටුව යනුවෙන්ද හැඳින්වේ. ක්‍රි.ව 275-300 අතර කාලයේදී මහසෙන් රජු එහි වූ දේවාලයක් කඩා විහාරයක් තැනූ බව සඳහන් වේ. 1623දී පමණ පෘතුගීසීන් විසින් එම විහාරය කඩා දමා මෙම කොටුව ඉදිකරනු ලැබ ඇත. 1639දී මෙය ලන්දේසීන් විසින් අයත් කරගත් අතර ප්‍රංශ ජාතිකයන් විසින් එයට ප්‍රහාර එල්ල කරනු ලැබුවේ 1672දීය. නමුත් බ්‍රිතාන්‍ය ජාතිකයන් 1682දී මෙම කොටුව අල්ලාගෙන පෙඩ්‍රික් කොටුව ලෙස ප්‍රසිද්ධ කරන්නට විය.

තවද මෙහි සංචාරය කරන්නාවූ ඔබට ඉල්ලාන්කයිතුරෙයි නටබුන් මෙන්ම මොත්තුවාරම් නටබුන්ද දැකගත හැකිය. එමෙන්ම තවත් වෙහෙර විහාර දාගැබ්ද දැකගත හැකි අතර ඒවායේ සෙල් ලිපිද දැකගත හැකි වනු ඇත.

[රජිත බස්නායක]

සංස්කරණය [සුරේකා නිල්මිණී ඉලංගකෝන්]

පිටු සැකැස්ම [ෙරා්ෂිත් ජවිඳු]

 

මාතෘකා