ලංකාවේ තාක්ෂණයෙන් බිහි වූ අන්තර්ජාතික ප්‍රමිතියේ රොකට් ලෝන්චරය

 ඡායාරූපය:

ලංකාවේ තාක්ෂණයෙන් බිහි වූ අන්තර්ජාතික ප්‍රමිතියේ රොකට් ලෝන්චරය

“පළමුව අපි හැදුවේ එක් ෂෙල් වෙඩිල්ලක් විදිය හැකි ලෝන්චරයක්. එය ඉතාම සාර්ථක වුණා. එයින් පසුව ෂෙල් වෙඩි 4ක් යැවිය හැකි ලෝන්චරයක් අපි නිර්මාණය කළා. එයත් ඉතාම සාර්ථක වුණා. අපිට එයින් කිලෝමීටර් 20ක් පමණ දුරකට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ලැබුණා. ඒ පර්යේෂණ සාර්ථක වූ පසුව අපි යළිත් ෂෙල් වෙඩි 10ක් යැවිය හැකි රොකට් ලෝන්චරයක් නිර්මාණය කළා. එයත් අතිසාර්ථකයි. මේ වන විට අපි එකවර ෂෙල් වෙඩි 10ක් යැවිය හැකි ලෝන්චරය නිර්මාණය කර අවසානයි. මිලිමීටර් 122 ෂෙල් උණ්ඩ භාවිත කර ප්‍රහාර එල්ල කළ හැකි මේ රොකට් ලෝන්චරය අන්තර්ජාතික ප්‍රමිතියෙන්ම යුක්තයි.” ඒ හඬ මහාචාර්ය තිරාන් ද සිල්වාගේය.

යුද්ධය නිම වී දශකයකට ආසන්න කාලයක් ගත වී තිබේ. එසේනම් උණ්ඩ, වෙඩි හා රොකට් පිළිබඳ කතාවක් කරළියට එන්නේ ඇයිදැයි ඔබ සිතනවා විය හැකිය. ජර්මනියේ දැවැන්ත තාක්ෂණික විප්ලවයක් සිදු වූයේ දෙවැනි ලෝක යුද්ධයට නාසි හමුදා සූදානම් වන කාලයේදීය. සෝවියට් සමූහාණ්ඩුව සිය අභ්‍යාවකාශ තාක්ෂණය ඉහළ නංවා ගත්තේද යුද තාක්ෂණික පර්යේෂණ ඔස්සේය. මෙවැනි උදාහරණ බහුලව සොයාගත හැක. නවීන අවි ආයුධ තාක්ෂණ පර්යේෂණ සිදු විය යුත්තේ යුද්ධය සඳහාම නොවේ. රටක ආරක්ෂාව, ස්වෛරීත්වය රැක ගැනීම සඳහා නව තාක්ෂණික අවි ආයුධ සම්පතකි.

මෙරට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයෙහි විශේෂඥයෝ පිරිසක් කාලයක් තිස්සේ හෝමාගම පිටිපන අක්කර දෙකහමාරක භූමි භාගයක සුවිශේෂී නිර්මාණකරණයක යෙදුණහ. ඔවුන්ගේ නිර්මාණය වූයේ මල්ටි බැරල් රොකට් ලෝන්චරයකි.

ලෝකය පුරාම 'රොකට් ලොන්චර් සහ මල්ටි බැරල්' යුද කටයුතුවලදී මහේශාක්‍ය ලීලාවෙන් භාවිතයට ගැනුණි. ශ්‍රී ලංකාවද යුද වකවානුවේ මේ අවිය අත්‍යවශ්‍ය අවස්ථාවලදී භාවිතයට ගනු ලැබීය. කෙසේ වෙතත් විදෙස් රටකින් මේ අවිය ගෙන්වීමේදී වැයවන අධික වියදම දැරිය නොහැකි තරම් විශාලය. ලක්ෂ 1500ක් ඉක්මවන මුදලක් ඊට වැය වෙයි. යුද කටයුතු දරුණුව පැවැති වකවානුවේ සතුරු පාර්ශ්ව ක්ලේමෝ බෝම්බ භාවිතය වැඩි වශයෙන් සිදු කළ අතර එයින් ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධව ගැටලු රාශියක් නිර්මාණය විය. එමතු නොව ඒ හරහා විශාල ජීවිත හානිද සිදු විය.

උතුරේ යුද්ධය මුළුමනින්ම වෙනස්‌ කළේ 2000 වසරේදී ශ්‍රී ලංකා රජය රහසිගතව මෙරටට ගෙන්වූ මල්ටි බැරල් රොකට්‌ විදින යන්ත්‍ර සහ පොළොව දෙදරන ග්‍රාඩ් රොකට්‌ය. බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, නෝර්වේ, ඇමරිකාව, කැනඩාව සහ ඉන්දියාව පවා මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර ශ්‍රී ලංකාවට ගෙන්වන බව දැන සිටියේ නැත. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මෙහිදී ඉතාමත් ප්‍රශස්ථ ලෙස මීට මුහුණ දීමට උපක්‍රම සැකසීය. මේ අතර ජනාධිපතිවරයාගෙන්ද මීට උපරිම සහායක් ලැබිණ. පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් (විශ්‍රාමික) ආචාර්ය තිරාන්ද සිල්වා මහතා ජනාධිපතිවරයා හමුවී අවශ්‍ය සහයෝගය ඉල්ලා සිටි අතර එයට ඉතාමත් යහපත් ප්‍රතිචාර ලැබිණි.

'එතුමා අපිට කීවේ රටේ ඉදිරි ආරක්ෂාව ගැන සලකා නව නිර්මාණ සිදු කරන්න කියලයි. ඒ වගේම එතුමා විශාල සහයක් ලබා දුන්නා. අවශ්‍ය ගොඩනැඟිලි සම්මන්ත්‍රණ ශාලා ඇතුළු අනෙක් පහසුකම් ලබාගැනීමට සහාය දුන්නා. ඒ විතරක් නොවෙයි, බාහිර උපදේශන හා තාක්ෂණ සහාය ලබාගන්න එතුමා කැබිනට් අනුමැතියත් අරන් දුන්නා. එය අපට විශාල ශක්තියක් වුණා. 'ඒ සහාය නිසාම අපි තීන්දු කළා මල්ටි බැරල් රොකට් ලෝන්චරයක් හදන්න.' ආචාර්ය තිරාන්ද සිල්වා පැවසුවේය.

ඒ අනුව ඔවුහු මිලියන 150 – 200ක් පමණ වූ අතිවිශාල මුදලක් රටේ ජාතික සංවර්ධනයට ඉතිරි කළහ. මෙරට තාක්ෂණය යොදා ගනිමින් මේ නිර්මාණකරුවෝ ස්වකීය හැකියාව ප්‍රදර්ශනය කළහ. පසුගිය නිදහස් දිනයේ ඔවුන් ප්‍රදර්ශනය කළේ ඒ අපූරු වෙහෙසෙහි ප්‍රතිඵලයයි.

'පර්යේෂණ ගාස්තු, විද්‍යාඥයන්ගේ ගාස්තු ආදී සියල්ලම සමඟ මේ ලෝන්චරයට වැය වුණේ රුපියල් ලක්ෂ 70ක මුදලක් පමණයි. මේකට අවශ්‍ය ෂෙල් උණ්ඩය සඳහා අපට තාක්ෂණික උපදෙස් සමඟ වැය වුණේ රුපියල් 25,000ක පමණ මුදලක්. එය විදේශ රටකින් මිලට ගත්තා නම් රුපියල් 1,45,000ක් 1,80,000ක පමණ මුදලක් වැය වනවා.' ආචාර්යවරයා වැඩිදුරටත් පැවසුවේය.

මේ නව නිෂ්පාදනය උපරිම තාක්ෂණයෙන් අනූනය. දුරස්ථ පාලකයක් මඟින් එය ක්‍රියාත්මක වන අතර මෙවන් තාක්ෂණයෙන් අනූන අවියක් කිසිම රටකින් මෙරටට ලබාදී නැත. මෙය මෙතෙක් හමුදාව භාවිත කළ අවිවලට වඩා නවීන තාක්ෂණයෙන් යුක්ත බව පැවසේ.

“ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති මේ ආයතනයට ත්‍රිවිධ හමුදාපතිවරුන්ම විශාල සහයෝගයක් දක්වනවා. එයත් අපට ලොකු හයියක්.” යැයි ඔහු වැඩිදුරටත් පැවසුවේය. ත්‍රිවිධ හමුදාවේ තාක්ෂණික ශිල්පීහු රැසක්ම මේ කාර්යට සම්බන්ධ වූහ.

“මේ විද්‍යාඥයෝ සියලුම දෙනා මෙරට විශ්වවිද්‍යාලවලින් බිහිවුණු අය. ශ්‍රී ලංකාවේ විද්‍යාඥයන්ගේ දැනුම, භාවිතය හා ඔවුන්ගේ ක්‍රියාකාරකම්හි අඩුවක් පවතින බවට බොහෝ චෝදනා තිබුණද මේ අවස්ථාවේදී විද්‍යාඥයන් රැසක් එකතුව කළ මෙම නිර්මාණය පිළිබඳ තමාට ඇත්තේ ආඩම්බරයක් බව මෙහි නිර්මාණ ප්‍රධානි භෞතික විද්‍යාඥ කමාන්ඩර් (විශ්‍රාමික) චන්දන පෙරේරා මහතා පැවසුවේය.

'ගොඩක් අය මේ ගැන දැන් උනන්දුයි. විශේෂයෙන්ම මේක නවීන තාක්ෂණය එක්ක කළ වැඩක්. යුක්‍රේනය වගේ රටවල් මේ ගැන විශේෂයෙන් අවධානය යොමු කරලා තියෙනවා. ඕනෑම තැනකදී මෙය භාවිත කළ හැකියි. සාමාන්‍ය මිසයිලයක් නැවක හෝ යාත්‍රාවක භාවිතා කරනවානම් නිරන්තර සෙලවීම නිසා ඉලක්කය ගැනීම අපහසුයි. ගුවනේදීත් ඒ වගේ. මේ සියල්ලට සරිලන විදිහට අදාළ ඉල්ලකයට නිවැරදිව යොමු කිරීමට හැකි විදිහටයි අපි මේ නිර්මාණය කළේ.

“යුද්ධය පැවති කාලයේදී මල්ටි බැරල් අවියක් රුපියල් 1,20,000ට වැඩි වුණා. මල්ටි බැරලයේ උණ්ඩ 40ක් එක පාරට යද්දී ලක්ෂ 50ක් විතර වැය වුණා. අපි උත්සාහ කළාම තේරුණා අපිට මේක නිර්මාණය කරන්න පුළුවන් කියලා. අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල ලංකාව තුළ තිබුණා. රටේ දේශගුණයට, අවශ්‍යතාවට ගැළපෙන විදිහට හදන්න අපි උත්සාහ ගත්තා. මිසයිල තාක්ෂණයේ මූලිකාංග පොදුයි. මේ නිසා යුද හමුදාවට, නාවික හමුදාවට, ගුවන් හමුදාවට වශයෙන් අවශ්‍ය ආකාරයට නිර්මාණය කිරීමට හැකියාව ලැබුණා. මේ කාර්යය සඳහා යුද, ගුවන්, නාවික කියන සියලුම නිලධාරීන් යොදාගත්තා. ඒ අයට අවශ්‍ය හැකියාවත් තිබුණා.” ඒ කොමාන්ඩර් චන්දන පෙරේරාය.

මල්ටි බැරලය මඟින් සිදුවන්නේ විශාල ප්‍රදේශයක් වැනසී යෑමය. මල්ටි බැරලය භාවිතයෙන් මීටර් 680ක වපසරියක් විනාශ කළ හැකිය. එහෙත් මිසයිලයේ විශේෂත්වය වන්නේ නිශ්චිත ඉලක්කයක් පමණක් විනාශ කිරීමට හැකි වීමය. මල්ටි බැරල් විදිනය හා මිසයිලය නිර්මාණයට යොදාගෙන ඇති අමුද්‍රව්‍ය 100%ක්ම දේශීය ඒවාය. මල්ටි බැරලය වරකට උණ්ඩ 4ක් පිට කළ හැකි අතර කිලෝමීටර් 22ක් දක්වා දුරට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවෙන් යුක්තය.

විදේශ රටකින් මිලදී ගැනීමේදී මිලියන 150ක් එනම් ලක්ෂ 1500ක් 2000ක් පමණ වැය කළ යුතු අවියක් අපට ලක්ෂ 50ක පමණ වියදමකින් එනම් ලක්ෂ 1450ක් 1950ක් පමණ ඉතිරි කර ගන්නට එක් අවියකින් හැකි වී ඇත. ජාතික ධනය සුරක්ෂිත කරමින් කළ මේ ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රශංසාව හිමි විය යුතුය.

මෙහි වඩාත් වැදගත්ම දෙය වන්නේ ඉතාම සරල, කුඩා දෙයක් වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගණන් ජාතික ධනය වැය කරන රටක ඉතාම සාර්ථක නිර්මාණයක් ජාතියට ලබා දීමට ඔවුන් සමත්ව සිටීමය.

[උපුලි ජයරත්න]

මාතෘකා