සිය දහසක් රෝගීන්ට සැනසුමක් පිළිකාව නසන බෙහෙතක් : මහාචාර්ය ගෝමික උඩුගමසූරිය

 ඡායාරූපය:

සිය දහසක් රෝගීන්ට සැනසුමක් පිළිකාව නසන බෙහෙතක් : මහාචාර්ය ගෝමික උඩුගමසූරිය

දශක කිහිපයකට ඉහතදී පිළිකාව යනු කලාතුරකින් වැලඳෙන 'අරුම' රෝගයක් විය. නමුත් වර්තමානයේදී පිළිකාව යන රෝගය කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව තරම් සුලබ රෝගයක් බවට පත්වී තිබේ. ඒ නිසාම ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලින් දෙවැනි ස්ථානය හිමිවී ඇත්තේ පිළිකා නිසා සිදුවන මරණවලටය. සෑම වසරකදීම පිළිකා රෝගීන් 17,000 - 20,000ත් අතර සංඛ්‍යාවක් මෙරටින් අලුතින් වාර්තා වන අතර ඉන් පුද්ගලයන් 15,000ක්‌ පමණ වසරකට මියයයි. මෙරටට පමණක් නොව පිළිකා රෝගය මේ වන විට ලොව පුරා ප්‍රබල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වෙමින් තිබේ. පසුගිය වසරේ පමණක් ලොව පුරා නව පිළිකා රෝගීන් මිලියන 18.1ක් හඳුනාගෙන ඇති අතර ඉන් මිලියන 9.6ක් මරු වැලඳගෙන තිබේ. ඉදිරි වසර විස්ස තුළ අලුතින් හඳුනා ගන්නා පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 29.5ක් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය දත්ත අනුව සෑම පිරිමින් පස් දෙනකුගෙන් එක් අයකුට සහ කාන්තාවන් හය දෙනකුගෙන් එක් අයකුට සිය ජීවිත කාලය තුළදී පිළිකා රෝගයට මුහුණ දීමට සිදුවන බවත් දිළිඳු රටවල් සමඟ සංසන්දනය කිරීමේදී ධනවත් රටවලින් පිළිකා රෝගීන් වැඩි පිරිසක් වාර්තාවන බවත් පැවසේ. පිළිකා පිළිබඳ පරීක්ෂණ පවත්වන ජාත්‍යන්තර සංවිධානය (IARC) පවසන්නේ ලොව පුරා පිළිකා රෝගීන් සහ ඒ හේතුවෙන් සිදුවන මරණවල වැඩිවීමක් දක්නට ඇති බවයි. ඔවුන්ගේ නවතම වාර්තාවලින් පැවසෙන්නේ පිළිකා හේතුවෙන් සිදුවන මරණ බහුතරයකට හේතුව පෙණහලු, පියයුරු සහ බඩවැල්වල හටගන්නා පිළිකා බවයි. එතරම් බරපතළ තත්ත්වයකට ලෝකයම ගොදුරු වෙමින් තිබියදී ලෝක පිළිකා දිනය පසුගිය 4 වැනිදාට යෙදී තිබිණි. ලෝකයේ බොහෝ රටවල් මෙන් ශ්‍රී ලංකාවද පිළිකාවෙන් නිදහස් නොවූවද පිළිකා සෛලවලින් නිදහස් වන මං සොයන අනර්ඝ ශ්‍රී ලාංකික සම්පතක් ගැනයි මේ සටහන.

ඔහු නමින් මහාචාර්ය ගෝමික උඩුගමසූරියයි.

ඇමරිකාවේ හුස්ටන් සරසවියේ පිළිකා සහ ඖෂධ රසායන විද්‍යාව පිළිබඳව පර්යේෂණ පවත්වන පර්යේෂකයකු වන මහාචාර්ය ගෝමික, ලොව ප්‍රමුඛතම පිළිකා රෝහලක් සහ පිළිකා පර්යේෂණ ආයතනයක් ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ MD Anderson රෝහලේ පිළිකා පර්යේෂකයකු සහ විද්‍යාඥයකු ලෙස කටයුතු කරයි. පිළිකා සෛල පමණක්‌ විනාශ කර දැමිය හැකි සංයෝග හඳුනාගත හැකි ක්‌ෂණික අඩු වියදම් සරල තාක්‌ෂණයක්‌ සොයාගැනීමට සහ ඒ ඇසුරෙන් පිළිකා සෛලවලට පහර දීමේ හැකියාවක්‌ ඇති සංයෝග කිහිපයක්‌ හඳුනා ගැනීමට ආචාර්ය ගෝමික උඩුගමසූරියට හැකිවී තිබේ. පිළිකා රෝගයෙන් පීඩා විඳින දහස් සංඛ්‍යාත රෝගීන්ට එය සතුටුදායක පුවතක් වනවාට සැක නැත.

පසුගියදා මෙරටට පැමිණි අවස්ථාවේ රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් මහාචාර්ය ගෝමික තමා සොයාගත් පිළිකා සෛළ පමණක් නසන ඒ විස්මිත ඖෂධ සංයෝගය පිළිබඳ විස්තර කළේ සිය පර්යේෂණ සඳහා යොදාගත් වීඩියෝ පටද ඇසුරිනි.

"මේ පර්යේෂණය මගේ පශ්චාත් ආචාර්ය පුහුණුව සඳහා කළ එකක්‌. පිළිකා සෛලවලට පමණක්‌ බැඳිලා ඒවා විනාශ කර දමන සංයෝග කිහිපයක්‌ එහිදී සොයාගත්තා. මේ සංයෝග ප්‍රෝටීන කාණ්‌ඩයට අයත් "පෙප්ටොයිඩ්" කියන අණු වර්ගය වීම තමයි මෙහි තිබෙන විශේෂත්වය. සාමාන්‍යයෙන් ප්‍රෝටීන කාණ්‌ඩයේ අනෙකුත් අණු, ආහාර මාර්ගයේදී ජීර්ණය වීමට ලක්‌ වෙනවා. ඒත් පෙප්ටොයිඩවල විශේෂ ලක්‌ෂණයක්‌ තමයි ආහාර මාර්ගයේ ඇති එන්සයිම නිසා ජීර්ණය නොවී පැවතීම. ඒ නිසා පෙප්ටොයිඩවලින් යම් කිසි ප්‍රතිපිළිකා ඖෂධයක්‌ නිපදෙව්වොත් ඒවා මුඛ මාර්ගයෙන් ලබා ගත හැකිවීම විශේෂ වාසියක්‌ විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඒවායින් විනාශ කරන්නේ පිළිකා සෛල විතරක්‌ නිසා එයින් ඇතිවන අතුරු ආබාධත් අඩුයි. ඒත් ලක්‌ෂ ගණනක්‌ පෙප්ටොයිඩ් සංයෝග අතරින් පිළිකා සෛලවලට පමණක්‌ බැඳෙන පෙප්ටොයිඩ් සංයෝග මොනවාද කියල හඳුනා ගන්න පුළුවන් කාර්යක්ෂම තාක්‌ෂණයක්‌ මෙතෙක්‌ කල් තිබුණේ නැහැ. මගේ පර්යේෂණයේදී එම සංයෝග වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් සරල කාර්යක්‌ෂම තාක්‌ෂණයක්‌ සොයා ගන්නත් පුළුවන් වුණා. ඉහත කියපු සංයෝග මම හඳුනා ගත්තේ ඒ තාක්‌ෂණයේ උදව්වෙන්."

පිළිකා සෛල නැසීමට උපකාරී වන ඖෂධ වගේම තවත් වැදගත් කරුණු කිහිපයක්ම මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විසින් එහිදී අනාවරණය කළේය. ශ්‍රී ලාංකිකයන් තුළ පිළිකා රෝගය වැඩිවීමට හේතුවී ඇත්තේ පාන් පිටි ඇතුළු කෘත්‍රිම සහ ක්ෂණික ආහාරපාන ගැනීමේ නැඹුරුතාව වැඩිවීම නිසා බව මහාචාර්යවරයාගේ අදහසයි. දේශීය අමුද්‍රව්‍ය වන කහ සහ කරවිල පිළිකා නසන ප්‍රධාන ස්වභාවික ඖෂධ දෙකක් බවත් යුරෝපීයන්ද දැන් සතියකට දවසක් දෙකක් එම ද්‍රව්‍ය යොදා පිසූ ආහාර අනුභව කිරීමට පෙලඹී තිබෙන බවද හෙතෙම පැවසීය.

"ඒ වගේම කල් තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු කර වෙළෙඳපොළට නිකුත් කරන සමහර ආහාර ස්වභාවිකයි කියලා කිව්වට ඒවායේ සංයුතිය වෙනස් කර තිබෙන නිසා මිනිස් සිරුරට අහිතකරයි. උදාහරණයක් විදිහට ගෙදරදී හදාගත්ත දොඩම් වීදුරුවක් ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය නිසා අපට පහුවදාට බොන්න සුදුසු තත්ත්වයේ නැත්නම්, ස්වාභාවිකයි කියමින් බෝතල්වල අසුරලා අවුරුද්දකටත් වඩා අධික කාලයක් තබා ගන්නා බීම වර්ග මිනිස් පාරිභෝජනයට සුදුසුයිද? ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය නතර කිරීමට ඒවාට යොදන කල් තබා ගැනීමේ ද්‍රව්‍ය ක්ෂුද්‍ර ජීවීන්ට විතරක් නෙවෙයි මිනිසාටත් අහිතකරයි. ඒ විදිහට විෂ, නොදිරන හා රසායනික ද්‍රව්‍ය දැමූ විට මිනිස් සිරුරත් අබලන් වනවා. එම නිසා හැකි සෑම විටම කලින් සැකසු ආහාර, කෘත්‍රිම රසාකාරක යෙදූ සහ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය යෙදූ ආහාර වෙනුවට නිතරම ස්වාභාවික ආහාරපාන ගැනීමෙන් පිළිකා රෝගයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ දැන් තිබෙන බහුලම පිළිකා රෝගය වන මුඛ පිළිකාවලට හේතුව දුම් පානය හා බුලත්විට කෑමයි"

ඖෂධ ලබාගන්නා අතර භාවනාව තුළින්ද පිළිකා සෛල වර්ධනය වීම පාලනය කරගත හැකි බව මහාචාර්ය ගෝමිකගේ අදහසයි. පිළිකා සෛලයක ප්‍රධාන ආහාරය වන්නේ ඔක්සිජන් හා ග්ලූකෝස් වන අතර භාවනාව මඟින් සිරුර සහ මනස සන්සුන් වේ. එවිට එම සංඝටක දෙවර්ගය අවශ්‍ය නොවන බැවින් පිළිකා සෛල නිරාහාර වීමක් සිදුවන බව මහාචාර්යවරයා පැහැදිලි කළේය. පිළිකා සෛල වර්ධනය වීම භාවනා කිරීමෙන් යම් තරමකට පාලනය වීමක් සිදුවිය හැකි බවයි ඔහුගේ අදහස.

බටහිර වෛද්‍ය විද්‍යාව ඇසුරු කරන පර්යේෂකයෙක්‌ වුවද මහාචාර්ය ගෝමික දේශීය වෛද්‍ය ක්‍රමය අගයන්නෙකි. මේ, ඒ පිළිබඳ ඔහුගේ අදහසයි.

"අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේදී ප්‍රතිකාර කරන්නේ ලෙඩේට නෙවෙයි ලෙඩාටයි. මුලින්ම බටහිර ප්‍රතිකාර කළේ ලෙඩේටයි. නමුත් පිළිකා වර්ග එකිනෙකට වෙනස් නිසා පුද්ගල කේන්ද්‍රීය ප්‍රතිකාර අවශ්‍ය බව දැන් බටහිරත් පිළිගන්නවා. පිළිකා සෛල මරන දේශීය නිෂ්පාදන ගැන බටහිර විශ්වාස නොකරන්නේ ඒවා විද්‍යාත්මකව පෙන්නුම් කරලා නැති නිසයි. අපේ ශාක සාර, සංයෝග කොහොමද වැඩ කරන්නේ කියලා සායනික පරීක්ෂණ ඔවුන්ට අවශ්‍යයි. මොකද බටහිර ඖෂධයක් බවට පත්වෙන්නේ දහදාහකින් එකක් වගේ. නමුත් මගේ අදහස අපේ දේශීය සංයෝග ගැන සායනික පරීක්ෂණ අවශ්‍ය නැහැ කියන එකයි. අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ සායනික පරීක්ෂණ නිරායාසයෙන්ම සිදුවෙලා තියෙන්නෙ. අපි කළ යුත්තේ ඒ ඖෂධීය සංයෝග නව තාක්ෂණය හේතුවෙන් සොයාගැනීමයි. ඒ සඳහා ඩොලර් මිලියන ගණනාවක් වටිනා තාක්ෂණය මා ඇතුළු අපේ විද්වතුන් බටහිරින් ඉගෙනගෙන තිබෙනවා. එයින් අපේ රටට නිසි ප්‍රයෝජනයක් නොගැනීම ගැන යම්කිසි කලකිරීමක් තිබෙනවා. වෘත්තිය සඳහා ඇමෙරිකාවේ ජීවත් වුණත් මම ලංකාවේ නිදහස්‌ අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙන ගත් කෙනෙක්‌. ඒ දැනුමින් ලංකාවට විශේෂයෙන් පිළිකා රෝගීන්ට පිහිටක් වීමයි මගේ බලාපොරොත්තුව. බටහිර තාක්ෂණය එක්ක අපේ සම්පත් එකතු කරගෙන අපේම ගමනක් ගියොත් අපිට බොහෝදුරට පිළිකාව මට්ටු කරන්න පුළුවන්. ඒ වගේම තමයි ආහාරපාන, දෛනික ජීවන රටාව ඇතුළු හැම කාරණාවකදීම ස්වාභාවධර්මයට සමීපව ජීවත්වනවා නම් අපිට පිළිකාව වළක්වා ගන්න පුළුවන්"

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා