වැව තනිව ගෙන ප්‍රතිසංස්කරණය කළ නොහැකිය : ආචාර්ය ලයනල් වීරකෝන්

 ඡායාරූපය:

වැව තනිව ගෙන ප්‍රතිසංස්කරණය කළ නොහැකිය : ආචාර්ය ලයනල් වීරකෝන්

ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ භූමි නිර්මාණය (Landscape) යනු ක්ෂුද්‍ර ජල පෝෂකවල එකතුවකි. වර්ෂාපතනය ලැබෙන්නේ කන්න අනුවයි. ඉහළ තීව්‍රතාවකින් යුත් වැසි ඔක්තෝබර් - දෙසැම්බර් මාසවල ලැබේ. මේ නිසා මතුපිටින් ගලා යන ජල කඳක් ජල පෝෂකවලින් ජනනය වේ. දුර්වල වර්ෂාපතන රටාව, එහි ව්‍යාප්තිය මෙන්ම වියළි කලාපයේ වෙනත් ජල මූලාශ්‍ර නොමැතිකම ආහාර නිෂ්පාදනයට හා ජන ජීවිතයට බලපාන ප්‍රමුඛ සාධකයන් වන්නේය. වියළි කලාපයේ අද දක්නට ඇති වැව් ගම්මාන බිහි වූයේ මෙම ක්ෂුද්‍ර ජල පෝෂකවලින් ජනනය වන දිය කඳ රඳවා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසටය. අතීත පදිංචිකරුවන් විසින් වාරි කළමනාකරණ තාක්ෂණික ශිල්පය උපයෝගී කර ගනිමින් මෙලෙස සෑම ගමකටම මෝසම් වර්ෂාවෙන් ලැබෙන ජලය රඳවා ගැනීමට වැව් ඉදිකරන ලදී. වියළි කලාපය පුරා මෙවැනි වැව් විශාල ප්‍රමාණයක් ඉදිකර තිබුණත් මේ වන විට ක්‍රියාකාරී තත්ත්වයේ ඇත්තේ වැව් 14,200ක් පමණ බැව් වාර්තා වේ. මෙමඟින් හෙක්ටයාර 102,000ක පමණ වපසරියක වී ගොවිතැන සිදු කරන අතර ජාතික වී නිෂ්පාදනයෙන් 15%ක ප්‍රමාණයක් ලබා දීමට දායක වේ.

වැවේ පරිසර පද්ධතිය පාලනය කරන ප්‍රධාන අංශ කිහිපයක් ඇත. වෑකන්ද, සොරොව්ව, පිටවාන හා රළපනාවද, ඉස්වැටිය, ගස් ගොම්මන, කට්ටකඩුව හා තාවුල්ලද මෙයට අයත්ය. කුඹුර හා ගම්මානය ද්විතීක භූමි පරිභෝග වන්නේය. ආචාර්ය ධර්මසේනට අනුව වැවකට ස්වාභාවික හැඩතල එක්වන්නේ වැවේ ජල කලාප හතරකිනි. මඩකළුව, ජල ගිල්ම, වැව්තාවුල්ල හා වාන් ගිල්ම මේවාය. වැවක් වාන් දාන විට අමතර ප්‍රදේශයක් ජලයෙන් යටවේ. මෙය ජල ගිල්ම වේ. මෙහිදී ජලය සමඟ පාවී එන ශාකවල බීජ, සුදුසු පරිසර තත්ත්වයන් පැමිණි විට එම ඉහැත්තෑවේ පැළවේ. වැවේ ඉහළ රක්ෂිතය එනම් ‘ගස් ගොම්මන’ නිර්මාණය වන්නේ එලෙසිනි. මෙම ජල ගිල්මේම තුරුලතා පද්ධතියක් ඇති නොවන, විශාල ප්‍රදේශයක් තෘණ වර්ගවලින් වැසී තිබේ. මෙය ‘පෙරහන’ නම් වන්නේය.

පෝෂක ප්‍රදේශවල සිදුවන මානව ක්‍රියාකාරකම් නිසා වැවට ගලා යන්නේ අපවිත්‍ර වූ ජලයයි. ගොඩවළ, මෙම බොර වතුරේ මණ්ඩි රඳවාගෙන පිරිසුදු ජලය වැවට යවයි. නමුත් බොහෝ වැව්වල ගොඩවළක් නොමැත. එම කාරිය දැන් සිදුවන්නේ පෙරහනින්ය. වැව් තාවුල්ල පිහිටා ඇත්තේ වැව තුළය. ඉඩෝර කාලයේදී මෙහි ඉහළ කොටසේ ජලය රැඳි ප්‍රදේශයේ වී වගා කරයි. පසු කලෙක මෙම වගාව අක්‍රමවත් වූ නිසා එහි වගා කිරීම තහනම් කරන ලදී. වැවේ ජලය ඉතිරි කරගෙන ගොවිතැන් කළහොත් දිය ගිල්ම පෙදෙසේද ජලය තරමක් රඳවාගත හැක. මෙය මඩ සහිත සරු පෙදෙසක් නිසා යලේදී ලැබෙන වැස්සද ප්‍රයෝජනයට ගෙන එහිද වී වගා කරනු ලැබේ. මඩකළුව තවත් වැදගත් භූරූපණයකි. මෙය සොරොව්ව මට්ටමින් පහළින් වැවේ ඉතිරි වන ජල කලාපයයි. වැවේ මසුන්ටත් අනෙකුත් සතුන්ටත් මෙන්ම ශාක පරිසරයට භූතල ජල මට්ටම රැක දීමත් මඩෙකළුවේ කාර්යභාරයයි.

වැවේ පාරිසරික රක්ෂිත

වැව් පරිසරයක වැව් රක්ෂිතයක් තිබීම පාරම්පරිකව සිදු විය. වැවට පහළින් කට්ටකඩුවද වැවට ඉහළින් ගස්ගොම්මනද ස්වාභාවික රක්ෂිත ලෙස රැකගන්නා ලදි. උඩාවතේ බිම් තීරුවේ කුඹුක්, නබඩ, කරඹ, හැළඹ, තිඹිරි වැනි ශාකවර්ගද, බොකල වැල්, කයිල, කොතලහිඹුටු වැනි වැල් වර්ගද මෙහි වැඩී ඇත. වැව් ජලය වාෂ්ප වීම අඩු කරන සුළං බාධකයක් ලෙස ගස් ගොම්මන ක්‍රියා කරයි. මත්ස්‍ය විශේෂ ආහාර මෙන්ම වාසය සඳහාද මෙහි පැමිණෙති. කට්ටකඩ, වැව් බැම්මට පහළින් ශාක විශේෂ වර්ධනය වූ රක්ෂිතය වේ. මෙමඟින් අයන මිශ්‍ර ලවණ හා ලෝහ වර්ග කුඹුරට එක් වීම වළක්වයි. වැවෙන් කාන්දු වන ජලය මෙහි අඩියෙහි එනම් වතුර වළ හෙවත් යතුරු වළෙහි ඒකරාශී වේ. වැව් බැම්මෙන් කාන්දු වන ජලය අවම කරන අතර මෙමඟින් ජල මට්ටම ස්ථායීව තබා ගැනීමටද උපකාරී වේ. මෙම පරිසරයෙහි වල් බෙලි, වල් ඉඳි, අඬහැර, ලුණු වරණ, කුඹුක්, මී, කරඳ, වැටකෙයියා, වාසස්ථාන කරගෙන වැඩේ. මෙම ශාක ලවණ අවශෝෂණය කරන නිසා පෙරහනක කාර්යයක්ද ඉටු කරයි.

වැවක විශාල ධාරිතාවක් රොන්මඩවලින් පිරී ඇත. මෙය ඉවත් කිරීම වියදම් අධික ක්‍රියාවකි. වැවේ ප්‍රමිතියට හානියක් නොවන පරිදි මඩකළුව හා දිය ගිල්ම ප්‍රදේශයේ රොන්මඩ පමණක් ඉහැත්තෑවට තල්ලු කර ගොඩ ගැසීම පමණක් සුදුසු යැයි ආචාර්ය ධර්මසේන ප්‍රකාශ කරයි. මෙසේ ගොඩ ගසන මෙම පස් කඳු, වැස්ස සමඟ නැවතද වැවට ගලා ඒම වැළැක්වීමට, එය ගොඩ ගැසූ විගසින්ම තෘණ වර්ග වගාකර ස්ථාවර කර ගත යුතු වේ.

වැවේ පෝෂක ප්‍රදේශය

වැව් ප්‍රතිසංස්කරණ කටයුතුවලදී වැවේ පෝෂක ප්‍රදේශය නොසලකා හැරිය නොහැක. මෙම වැවට ජලය සපයන වැවේ ආධාරක ප්‍රදේශය වේ. මෙම ඉහැත්තෑව වන ලැහැබ, හේන් හා ගෙවතුවලින් සමන්විතය. මානව ක්‍රියාකාරකම් නිසා මතුපිටින් ගලා යන ජලය සමඟ පසද සේදී යයි. මෙම බොරදිය රොන්මඩ ලෙස තැන්පත් වන්නේ වැවෙහිය. ඉහළ සිට ජලය ගලා එන ඇළ මාර්ග, වැවට ආසන්න වන විට විශාල කානු බවට පත් වේ. මෙම කානු හරස් කර කුඩා වැටි බැඳ ජලයේ වේගය අඩු කරගත් විට රොන්මඩ වැවට එන්නට නොදී නවත්වා ගත හැක. ඉහළ ජලාධරයේ වන වැස්ම වැඩි කළ යුතු අතර ගෙවතුවල අනුක්‍රමික පස් වැටි හා කානු ඉදිකර ඒවා ස්ථාවර කර ගැනීමෙන් පස සේදී යෑම වළක්වා ගත හැක. වීදි බෝග වගා ක්‍රමය හඳුන්වා දී එමඟින් තවදුරටත් පාංශු ඛාදනය අවම කරගත හැකි අතර මෙයින් ලබා ගත් කොළ පොහොර මඟින් පසේ සාරවත්භාවයද ඉහළ දමා ගත හැක.

එල්ලංගාව

වියළි හා අතරමැදි කලාපයේ වැවක් යනු හුදෙකලා වූවක් නොවේ. නමුත් එය ජල විද්‍යාත්මකව ඒකාබද්ධ වූ වැව් පද්ධතියක, කොටස් වශයෙන් පවතින පොකුරක තනි ඒකකයකි. පොකුරු කිහිපයක් එකතු වී එල්ලංගාවක් නිර්මාණය වේ. ‘ආචාර්ය තෙන්නකෝන් එල්ලංගාව අර්ථකථනය කරනුයේ ‘උඩාවතේ සිට ගාවින් ගාව යටාවතට එල්ලා වැටෙන වැව් ගණනාවකි’ යනුවෙනි. එල්ලංගාවක ඉහළින්ම තිබෙන වැවට ජලය එකතු වන්නේ මූලික ජල ප්‍රභවයකිනි. මෙම වැවේ සිට තවත් වැවකට ජලය ගෙනයනු ලබන අතර වැවේ පහළ කොටසේ කුඹුරු වගාව සිදු කෙරේ. එල්ලංගාවක ඉහළ උන්නතාංශයේ ඇති වැවේ සිට පහළ ජලය එකතු වන ජලාශය දක්වා දිවෙන මුදුන් ඇළක් වෙයි. එල්ලංගාවක පොකුරු ලෙස ඇති වැව්වල ජලය එකතු වන්නේද මෙම මුදුන් ඇළටය. මෙය පොකුරු, රේඛීය හෝ ජලාකාර විය හැක. මුදුන් ඇළ දෙපස ඈතට උන්නතාංශය වැඩිවේ. මේ අනුව මුදුන් ඇළ යනු එල්ලංගාවක නිම්නය වන්නේය. දෙපස ඇති වැව්වලින් මුදුන් ඇළට එකතුවන ජලය පහතට ගෙන ගොස් ප්‍රධාන වැවකට එකතු වේ. නිදසුනක් ලෙසට නාච්චදූව ජලාශයට මහකණුමුල්ල, තිරප්පනේ, උළුගල්ල වැනි එල්ලංගා ගණනාවක ජලය ගලා යයි.

මෙම ස්වාභාවික එල්ලංගා පද්ධතිය පැහැදිලිව තේරුම් නොගෙන, එහි එක් වැවක් හෝ දෙකක් තෝරා ගෙන ප්‍රතිසංස්කරණය කිරීම දැනට සිදු වන නිවැරදි කළ නොහැකි වරදකි. එවිට පද්ධතියේ අසමතුලිතතාවක් අනිවාර්යයෙන්ම සිදු වන්නේය. මේ නිසා සමස්ත එල්ලංගා පද්ධතියම සංවර්ධන කිරීම ප්‍රතිපත්තිය විය යුතුය. වර්ෂාපෝෂිත ඉහැත්තෑව, වැව, එහි භූ රූපණය, රක්ෂිත, මුදුන් ඇළ හා වැව් පොකුරු සහ කුඹුරු මේ සියල්ල සංවර්ධනය විය යුතුය. දැනට ක්‍රියාත්මක වන වැව් 1000, ගම් 1000ක්, ග්‍රාම ශක්ති හෝ ගම්පෙරළිය වැනි ව්‍යාපෘති වියළි කලාපයට ව්‍යාප්ත වන විට ඉහත සඳහන් කරුණු කෙරේ ද අවධානය යොමු වන්නේ නම් එය වඩාත් ඵලදායී වනු ඇත.

මාතෘකා