නිර්මාණශීලීත්වය, නිර්මාණාත්මක රාජ්‍ය සේවය සහ රාජ්‍ය සේවක නිර්මාණකරුවා

 ඡායාරූපය:

නිර්මාණශීලීත්වය, නිර්මාණාත්මක රාජ්‍ය සේවය සහ රාජ්‍ය සේවක නිර්මාණකරුවා

“රජයේ නිලධාරීන්ගේ කාලය, දැනුම, සහජ දක්ෂතා සහ නිපුණත්වය සම්බන්ධයෙන් ආණ්ඩුවට සම්පූර්ණයෙන් අයිතියක් ඇත්තේය. වෙනත් අයුරකින් විය යුතු බවට විශේෂ විධිවිධාන සලස්වා නැති නම්, ඔවුන්ගේ වැටුප නියම කර ඇත්තේ එම උපකල්පනය මතය.” මේ රාජ්‍ය සේවයේ ධම්මපදය, බයිබලය, කුරාණය බඳු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XXX වැනි පරිච්ජේදයේ 1:1 වගන්තියයි.

“එසේම තම රාජකාරී කටයුතු කරගෙන යන අතර වේවා, රජයේ සේවයේ යෙදී සිටියදී ලත් දැනුම හා ප්‍රවීණත්වය, තමාට ලැබුණු පහසුකම් ආදිය උපයෝගී කොටගෙන වේවා, රජයේ නිලධාරියකු නිපදවන අලුත් දේවල් සම්බන්ධයෙන් ආණ්ඩුවට අයිතිවාසිකමක් ඇත.” එයද අමාත්‍යාංශ ලේකම්වරයකුගේ හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියකුගේ බලාධිකාරී ප්‍රකාශයක් නොව, යට කී ආයතන සංග්‍රහයේම 2:1 වගන්තියයි. ආයතන සංග්‍රහය රටේ උත්තර මණ්ඩලයක් යැයි අදහන අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් එළිදුටුවකි.

අලුත් අලුත් දෑ නො තනන

ජාතිය ලොව නො නඟී

එසේ ලියා තැබුවෝ හෙළ බස් මිණි කුමරතුඟුවෝය. එතුමන්ගේ සිතුවිලි අද අපට මෙසේ පුනර් සේවනයට අවකාශ සැලසෙන්නේ අපේ ආදි මුතුන් මිත්තන් විසින් භාෂාව නමැති මෙවලම නිපදවන ලද බැවිනි. චීන ජාතිකයන් කඩදාසිද මුද්‍රණ ශිල්පයද සොයා ගත් බැවිනි. ගුග්ලි එල්මෝ මාර්කෝනි විසින් ගුවන් විදුලි යන්ත්‍රයද ජෝන් ලොගී බෙයාර්ඩ් විසින් රූපවාහිනියද හඳුන්වා දෙනු ලැබූ බැවිනි. ඉන් ඔබ්බට චාර්ල්ස් බැබේජ් පරිගණකයේ මූල බීජය රෝපණය කරමින් පරිගණකයට පාර තැනූ බැවිනි. ආතර් සී. ක්ලාක් චන්ද්‍රිකා තාක්ෂණයේ දොරටු විවර කළ බැවිනි. මිනිස් සිරුරක අභ්‍යන්තර ඉන්ද්‍රියයන් තරමට මේ උපකරණ, උපාංග වර්තමානයෙහි මිනිසාට නැතිවම බැරි අංග බවට පත් වී තිබේ.

ගල් යුගයේ, එඬේර යුගයේ සිටම සෙසු සත්ත්ව ලෝකය අභිබවාලූ සොයා යෑමේ උවමනාව සහ නිර්මාණශීලීත්වය මිනිසා තුළ නොපැවැතියේ වී නම් අද ඔහු සිටින ආස්ථානයට ළඟා වීමට ඔහුට නොහැකි වනු නොඅනුමානය. එබැවින් මේ නිර්මාණශීලීත්වය කවර මානවයකුට වුවද කුමන පරිමාණයකින් අවශ්‍යදැයි මිනුම් දණ්ඩකට යටත් කළ හැකි නොවේ.

ලොව දෙවියන් වහන්සේ විසින් මවන ලදැයි සැලකෙන මනුෂ්‍යයන් අතර සියල්ලෝම නිර්මාණශීලී තැනැත්තෝ නොවෙති. මෙදියත බහුතරයක් සිටින්නෝ භුක්ති විඳින්නෝය. නිර්මාණකරුවෝ ඒ අතර අල්පයක්ම වෙති. අද අප විස්මයට, ප්‍රමෝදයට පත් කරවන ලොව මහා නිර්මාණ කළෝ මේ අල්පයක් වූ නිර්මාණකරුවෝ ය. මේ පවුල, ගම, නගරය, පාසල, ගොවිබිම, වැඩබිම, පන්සල, කෝවිල, පල්ලිය ආදී කුමන තරාතිරමේ සමාජ සංස්ථාවක වුවද පවතින යථාර්ථයයි. සෑම සමාජ ඒකකයකම සියල්ලෝ සම ශක්තීන්ගෙන්, සම නිර්මාණශීලීත්වයකින් යුක්ත වී නම් ලෝකයට මානව සම්පත් කළමනාකරුවන්ගේ අවශ්‍යතාවක් පැන නොනඟී.

අපට බොහෝ කාර්යභාරයන් ඉටු කර ගැනීමට සිදුව ඇත්තේද ඉටු කර ගනු ලබන්නේද වැඩ කිරීමට කැමැති, වැඩ කරන පාර්ශ්වයන්ගෙනි. මේ වරක් දකුණු පළාතේ ප්‍රධාන ලේකම් ධුරයද හෙබවූ ජ්‍යේෂ්ඨ පරිපාලකයෙක් කළ ප්‍රකාශයකි. එය ප්‍රතිකථනය කරනු ලැබුවේද මිනිස් යන්ත්‍ර ධාරිතාව ඉක්මවා වැඩිපුර වැඩ කිරීමෙන් හෙම්බත් වූ, ආතතියක පසුවූ යටත් නිලධාරියකු විසිනි. මේ අපේ රටේ රාජ්‍ය ආයතනවල දක්නට ලැබෙන අසාමාන්‍ය තත්ත්වයක් නොවේ.

නිර්මාණශීලී නොවන, මන්දගාමී, වැඩකරුවන් වැඩට පොළඹවාලීමට අසමත් එදා - මෙදා මානව සම්පත් කළමනාකාරීත්වය කාලරාමුගත අභිප්‍රේතාර්ථ සාධනයේදී සැමවිටම යැපෙනුයේ ස්වයං අභිප්‍රේරණයක් සහිත පාර්ශ්වයන්ගෙනි. ඉන් අගය කටයුතු ස්වයං අභිප්‍රේරකයන්ට සිදු කර ඇති හානිය සුළුපටු නොවේ.

මන්දගාමී, හොරගල් අහුලන, අක්‍රීය පුද්ගලයන් කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බව සැබෑවකි. එවැන්නන් වැඩට පොළඹවා ගැනීමට අසමත් වීමෙන්, නිශ්චිත කාර්යභාරයක් ඉටු නොකර කල් ගෙවීමට ඉඩ අවකාශ විවර කර තැබීමෙන් අනියම්, අවිධිමත් සංවිධානවලට දොරට බහින්නට ඇර තබන්නේ විසල් ද්වාරයකි. මේ නිරීක්ෂණය ලොව කළමනාකරණ විද්‍යාර්ථීන්ද දැක ඇති සත්‍යයකි. වාණිජ අගනුවර ප්‍රකට පළාත් පාලන ආයතනයක ප්‍රාථමික ශ්‍රේණීන්ගේ පවතින අවිධිමත් සංවිධාන ජාලය මෙහි ගැඹර විදහා දක්වන කදිම නිදසුනකි. එහි සේවය කරන කම්කරුවන්ගෙන් එක් පාර්ශ්වයක් සේවාරම්භක වේලාවට වැඩබිමට පැමිණ වැඩ නිරීක්ෂකයා විසින් පැමිණීම සටහන් කරන ලේඛනයේ (චෙක් රෝලේ) පැමිණීම සටහන් කර තැබීමෙන් පසු එම වැඩ නිරීක්ෂකයාගේම පෞද්ගලික වැඩබිමක හෝ අන්‍ය වැඩබිමක සේවයට යති. තවත් පාර්ශ්වයක් පැමිණීමේ ලේඛනයේ සටහන් තැබීමටවත් වැඩබිමට නොපැමිණෙති. එහෙත් ලිත් මාසය අවසානයේ නියමිත වැටුප නොඌනව ලබති. වැඩබිම අන්වර්ථ හැඳින්වීමට අනුව මොවුහු ‘ආමි’ සහ ‘නේවි’ වෙති. වැඩ කණ්ඩායමක මේ ක්‍රියාදාමයට හවුල් කර නොගත් හෝ මනාප නොවූ ශේෂය පමණක් සත්‍ය වැඩබිමේ දහදිය කඳුළු හෙළති. ඒ යුක්ති ධර්මයට පවා පටහැනි මේ ක්‍රියාදාමය පිරිසිඳ දැන දැනය. පද්ධතියම දුර්වල කරන මේ අවිධිමත් අනියම් සංවිධාන ජාලය අදටත් නොබිඳී, නිරුපද්‍රිතව පවතින බව නොරසහකි. මේ කියාපාන්නේ නිර්භීත, නිර්මාණශීලී කළමනාකරුවන්ගේ, පරිපාලකයන්ගේ අවශ්‍යතාවයි. එහෙත් සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් තිළිණ වූ, සුදු කරපටි මාදිලියේ රාජ්‍ය සේවයක් තුළ එවැනි විභවයක් සිදු වේද යන්න දනවන්නේ චකිතයකි.

සත්‍ය වැඩ කණ්ඩායම නිසි ඇගයීමකට පාත්‍ර නොවීම මෙහි ඊළඟ ඛේදයයි. එසේම මේ අවිධිමත් සංවිධාන ජාලය අක්‍රිය කිරීමට කළමනාකාරීත්වය මැදිහත් නොවන බවත් නොඑසේ නම් අසමත් බවත් වැඩබිමේ පහළ ස්ථරය දැන සිටීමයි. මේ ගැටුම්කාරී, අසහනකාරී වැඩබිමකට පාර කපන පසුතලයකි. වැඩබිම් ආශ්‍රිත නිර්මාණකරුවන්ගේ දහදිය සිත්තම් ඇඳීමෙන් පමණක් ඒවා නිවාරණය කළ හැකි නොවේ.

තවත් එක්තරා සේවා ස්ථානයකදී මගේ කාර්යාල සගයකු වූ සැලසුම් අධ්‍යක්ෂවරයා විසින් ඔහුගේ නිල කුටියට මා කැඳවනු ලබන්නේ සුපුරුදු සුහද සිතිනි. ඒ සිකුරාදාවකය. එහිදී අප අතර ඇතිවූ පිළිසඳරේ මුඛ්‍ය පරමාර්ථය වූයේ පසුදින පළාත් අමාත්‍යවරයාගේ දේශපාලන බල ප්‍රදේශයේ පැවැති යම් රාජකාරියක අධීක්ෂකයා ලෙස මා යොදවා ගැනීමයි. එවැනි රාජකාරීන්ට සහභාගී වීමෙන් මාසික වේතනයට අමතරව සොච්චම් වුව යම් ගතමනාවක් සොයාගත හැකි හෙයින් ස්වේච්ඡාවෙන්ම ඊට මනාප ඇත්තන් සිටියදී මා යොදවා ගන්නට අලුත් අදහසක් ඇති කර ගැනීම මා තරමක් මවිත කරවන්නක් විය. අණදීමකින් තොරවම මා කාර්යාලයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරතත් අමාත්‍යවරයා ඒ බව නොදත් නිසා මේ සඳහා අමාත්‍යාංශ ලේකම්වරියගෙන් ඔහුට පෞද්ගලිකවම උපදෙස් ලැබුණු බව ඊට ප්‍රතිචාර වශයෙන් ඔහු පැවසීය. ඒ, චිත්‍ර විෂය ගුරුවරයකුද වූ අති දක්ෂ ප්‍රාදේශීය සංගීත ශිල්පියකු වන ආරියසිරි විමල් සහෝදරයා බරපතළ ලෙස රෝගාතුරව කොළඹ මහ රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අවධියයි. ඒ වන විට ඔහුගේ දුකසැප බැලීමට යෑමට මට අවකාශ සැලසී තිබුණේ අවස්ථා දෙකකදී පමණි. ඉන් එක් අවස්ථාවක් කරාපිටිය මහ රෝහලේදීය. ඔහු සැලසුම් අධ්‍යක්ෂවරයාගේද සරසවි සගයෙකි. මේ පවසන දවස ඔහු යම් සුවයක් ලබා මහරගම, පමුණුව ප්‍රදේශාසන්නයේ පිහිටි ඔහුගේ නැඟණියගේ නිවසේ නතරව විවේක සුවයෙන් පසුවූ දවසකි. මගේ පූර්ව සැලසුම වූයේ මේ දිනය ඔහු දැකීමට යෑම සඳහා වෙන් කර ගැනීමයි. ලේකම්වරියගේත් සැලසුම් අධ්‍යක්ෂවරයාගේත් වෑයම පවිත්‍ර විය හැකි වුවද එම යෝජනාව මට ඇති කළේ ජුගුප්සාවකි. අමාත්‍යාංශයේ අමාත්‍ය මණ්ඩල සම්පාදකවරයාද වූ මා වැඩ කරන බව අමාත්‍යවරයා නොදනී. කාරුණික ප්‍රතික්ෂේපයකින් පසු නිදහස ලබා මම පසුදින පාන්දරින්ම ආරියසිරි දකින්නට ගියෙමි.

එබඳු තවත් සිදුවීමක් මගේ සමාන්තර ස්වයං අත්දැකීමකි. මේ සටහන් තබන දවස එම වසරේ දකුණු පළාත් සාහිත්‍ය කලා මහෝත්සවය හම්බන්තොට, දෙබරවැව ජාතික පාසලේදී පැවැති දවසයි. සමාප්ති උත්සවය දේශපාලනික කරුණු බැහැර කළ විට ගාම්භීරව පැවතිණි. උත්සවයේ න්‍යාය පත්‍රගත ආරාධිත ප්‍රධාන දේශකයා සේම ප්‍රධාන අමුත්තා වූයේද එවකට ජාතික උරුමය රේඛීය අමාත්‍යාංශයේ අමාත්‍යවරයාය. එසමයෙහි දකුණු පළාත් ආණ්ඩුකාර ධූරය හෙබවූයේද අමාත්‍යවරයාට බන්ධුතා ඇත්තියකි. දිනයේ වැඩසටහන ඇරඹෙන්නට පැවැතියේ මොහොතකි. අමුත්තන් සභා ගැබට ඇතුළු වූයේ මංගල භේරී වාදන මධ්‍යයේය. එසැණ තේපැන් සංග්‍රහයේ කටයුතු නිරීක්ෂණයේ යෙදුණු මා වෙත කලබලයෙන් මෙන් පැමිණියේ අමාත්‍යාංශ ලේකම්වරියගේ කාර්යාල කාර්ය සහායකවරයාය. පණිවුඩය ලද විගස මම ලේකම්වරිය හමුවීමි. අනපේක්ෂිත හදිසි කටයුත්තක් හේතුවෙන් ප්‍රධාන දේශකයා නොපැමිණෙන බැවින් එම හිස්තැන පිරවීමේ වගකීම බාර ගන්නා ලෙස ඈ මගෙන් ඉල්ලා සිටියාය. සභා ගර්භය පාසල් දරු දැරියන්ගෙන්ද අනෙකුත් ප්‍රජාවගෙන්ද පිරී ඉතිරී ගොසිනි. මම අන්දමන්ද නොවීමි. මේ වෙනත් ආදේශයකින් පිරවිය නොහැකි රික්තයක් යැයි ඇය කල්පනා කළා විය හැකිය. නොතකාහැරීම් පැවතියද මම මහජනතාවගෙන් වැටුප් ලබන රාජ්‍ය සේවක පුරවැසියෙක්මි. එබැවින් මගේ හෘද සාක්ෂියද සමඟ ඒ පුරවැසි යුතුකමට හිස නමා පැයක සාහිත්‍ය දේශනයක් සඳහා පූර්ව සූදානමක් හෝ දේශන අත්පිටපතක් හෝ නොමැතිව වේදිකාවට පිවිසියෙමි.

දේශනය අතරමැද ලේකම්වරිය සමඟ අදහස් හුවමාරු කර ගනු දුටු සංස්කෘතික විෂය බාර අධ්‍යක්ෂවරයා විසින් මට හස්ත සංඥාවක් කරනු ලැබුවේ ප්‍රහර්ෂයෙනි. ආරාධිත ප්‍රධාන දේශකයා නොපැමිණියෙන් නික්ම යන්නට සැරසී සිටි, සේද මාවතට දිස්වන ගිරි සිරස් වෙහෙරක වැඩ වෙසෙන නායක යතිවරයෙක් දෙසුම අවසන තෙක් රැඳී සිටියේ දෙසුම නිසාම බව මට පවසා සිටියේ එවකට එම අධ්‍යාපන කලාපයේ සිංහල භාෂා විෂය බාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාය. උලෙළ හමාරවත්ම ප්‍රථමයෙන්ම මා හමුවූ ශ්‍රාවකයා ඔහු විය. හෙළ බස මනඃකාන්ත බසක් යැයි පැවසූ බුද්ධඝෝෂ හිමියන්ගේ කියමනක් පසක් කරන්නට මා නිදසුන් කොට ගත් ද්වි අක්ෂර බන්ධනයක් ඔහු මෝහනයට පත් කර තිබිණි.

“වැල්ලව වෙලේ වේවැල්වල වවුල්ලු

වැව්වල වේලිවල විල්වල ලූල්ලු

වැල්ලව වලව්වේ ලී ලෑලි ලෝලු

වැල්ලව වෙලේ වී වැව්වේ වාල්ලු”

කව් සිළුමිණි කවියා පිල්ලම් හෝඩිය පමණක් වහල් කර ගනිමින් ‘න’ ඒකාක්ෂරයෙන් කරනුයේ මීටත් වඩා ව්‍යක්ත බන්ධනයකි. පසුකලෙක වෘත්තීය සගයන් වී අපි ඒවා ගැන කතා කළෙමු.

“නා නී නූ නේ නී - නන් නී නෑ නා නා

නනු නන නී නන් නී - නේ නී නා නින්න නී”

(කව් සිළුමිණ - 453)

එම උලෙළ දෙබරවැව ජාතික පාසලේ සමාප්ති උත්සවයට සීමා වී නොතිබිණි. සමාන්තරව තදාසන්න ස්ථානයකද උලෙළේම අංගයක් වූ සමගාමී වැඩසටහනක් පැවැත්විණි. එහි සම්පත් දායකයා අන්‍ය නුවරකින් කැඳවාගෙන පැමිණියෙකි. ආයතන සංග්‍රහයේම XXX වැනි පරිච්ජේදයේ 1:4 වගන්තියට අනුව රාජ්‍ය සේවකයකුගේ බුද්ධිමය දේපළක් මූල්‍යමය අගයකින් මැනීමට අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ලැබිය යුතුය. ඒ අවසරයද දිය යුත්තේ එකී කාර්යය ඉටු කර ගන්නට විකල්ප මාර්ගයක් නොපැවතියේ නම් පමණි. කිලෝමීටර 200ක පමණ දුරක් ගෙවා වෙනදාට වඩා බොහෝ සේ ප්‍රමාදව නිවෙස බලා පැමිණි සමාප්ති උලෙළේ ගැලවුම්කාර සම්පත් දායකයාට යට කී සමාන්තර වැඩසටහනේ සම්පත් දායකත්වයේ මූල්‍යමය දීමනාවේ අගය දින කිහිපයකට පසු සැල කරන ලද්දේ කාර්යාලයේ සහෝදර කනිෂ්ඨ සේවකයකු විසිනි. ඒ මා ඇවිස්සීමේ අරමුණකින් නො වේ. ඔහුට ඇති වූ කැක්කුමක් සංසිඳවා ගැනීමේ අභිලාෂයෙනි. මේ සියලු දේ සිදුවන්නේ නිර්මාණකරණයෙහිලා යම් පරිචයක් ලබන්නට රාජ්‍ය සේවා දිවිය අත්වැලක් නොවූ පසුබිමකය. එනම් ආයතන සංග්‍රහයේ XXX වැනි පරිච්ජේදයේ 2:1 වගන්තියේ ප්‍රකාශිත කරුණු සාධනය නොවූ පසුබිමකය.

සටහනේ සංක්ෂිප්තතාව රැක ගත යුතු වුවත් ඊට සමරූපී තවත් අත්දැකීමක් කාලයේ වැලිතලයේ සැඟවී යා නොදෙනු වටී. ඒ 2006 වසරයි. එවකට මා සේවය කරමින් සිටියේ වාණිජ අගනුවර, පූර්වයෙන්ද සඳහන් කළ සේවා ස්ථානයකය. වසරේ අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලියේ තරග දෙකකම මා ජයග්‍රාහකයකු බවත් එම සහතික හා සම්මාන ප්‍රදානෝත්සවය අනුරාධපුර මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැත්වෙන සාහිත කලා උලෙළේදී සිදු කරන බවත් දැනුම් දෙනු ලැබූ ලිපි දෙකක් මා අත පත් වූයේ මෑත ඉතිහාසයේ එම ආයතනයේ එබඳු ආස්ථානයකට ළඟා වූ එකම රාජ්‍ය සේවකයා වශයෙනි. එහෙත් ඊට සහභාගී වීම සඳහා නිවාඩු අනුමත කරවා ගන්නට මට සිදු වූයේ ජීවිතයට තවත් පන්නරයක් එකතු කර ගනිමිනි. මූල්‍ය කළමනාකරුවන් විස්සකට පමණ ප්‍රධානියකු වූ මගේ දෙපාර්තමේන්තුවේ මට ආසන්න ප්‍රධානියාගෙන් ඒ ලැබුණු අකාරුණික ප්‍රතිචාරය බැවින් මානසික සුවය පමණක් පතා මම අනතුරුව ආයතනයේ මානව සම්පත් විෂය බාර සහකාර ලේකම්වරයා මුණගැසුණෙමි. තතු අසා දැනගත් පමණින් ඔහු මට සුබ පැතුවේ සිය අසුනින් නැඟී, මල්ලී යන ආමන්ත්‍රණයෙන් මගේ දෑතම ගනිමිනි. අදාළ තරගයේ මගේ අයදුම්පත් දෙපාර්තමේන්තුව වෙනුවෙන් අත්සන් කරනු ලැබුවේද ඔහු විසිනි. එබැවින් මා ඉල්ලා සිටින නිවාඩුව අනුමත නොකිරීමට හේතුව මගේ සෘජු ආංශික ප්‍රධානියාත් ඔහුත් අතර පවතින විරසකය වන්නට ඇතැයි ඔහු අනුමාන කළේය. එවැන්නක් නොවන බව පවසා මම ඔහු අස්වැසුවෙමි.

අනතුරුව මම මගේ පෞද්ගලික නිවාඩු මත ඊට සහභාගී වීම වාචිකව හෝ වාර්තා කර තැබීමේ අභිලාෂයෙන් ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික, ජ්‍යේෂ්ඨ කාර්ය මණ්ඩලය දසදහසක් පමණ වූ එම ආයතනයේ අග්‍ර කළමනාකාරිණිය හමුවීමි. මා විස්මයට පත්කරවමින් ඇයද මට සුබ පැතුවේ අසුනින් නැඟී සිටිමිනි. ඇයගෙන් ලැබුණු උපාය මාර්ගික කළමනාකරණ උපදෙස් ප්‍රායෝගීකරණය කර නියමිත දින මම උලෙළට සහභාගී වීමි. සිව් දශකයක රාජ්‍ය සේවා දිවියක් ඇති, වසරක තමන්ට හිමි නිවාඩු පවා නොලබා සේවය කළ රාජ්‍ය සේවකයකුට සිය නිර්මාණ කුසලතා පෝෂණයට රජයෙන් ලැබුණු අනුග්‍රහය එබඳුය. ඊට ආසන්න හේතුව ගොවුදක් වැනි මඩ කළල් ගහණ මුඩු වැඩබිම්වල ක්ෂීර පතා ඉල්ලා සිටි සාධාරණ පරිවර්තනයන්ය. භාරතීය උත්තමයකුගේ සදුපදේශයකට අනුව වරදක් දකිමින් නිහඬව සිටින්නා කරනුයේ වරද කළ තැනැත්තාටත් වඩා බරපතළ වරදකි. මේ ජීවන සැරිසරෙහි මෙබඳු විඳුම් අපමණ වුවත් අයකුට ඒ ආත්මාභිවාදන සේ පෙනී යා හැකිය. එසේම පමණ ඉක්මවාලීම ඕලාරිකද විය හැකිය. කෙසේ වුවද රාජ්‍ය සේවය නිර්මාණශීලී රාජ්‍ය සේවකයකුගේ කුසලතා පෝෂණයට කුමන දායකත්වයක් සපයන්නේද යන්න ඉදිරියේ ඇත්තේ නොවිසඳුණු ගැටලුවකි. සහභාගීත්ව කළමනාකරණයේදී නොවක් අදහස් දරන, කශේරුකාවන් සහිත රාජ්‍ය සේවකයන් පරිපාලන යන්ත්‍රවලට ලිහිසි තෙල් නොවේ. මේ පසුබිම නිර්මාණශීලී රාජ්‍ය සේවාවකට ඝර්ෂණයකි. ජ්‍යේෂ්ඨ පරිපාලකයන්ගේ උසස්වීම්, විදේශීය ශිෂ්‍යත්ව ප්‍රතිලාභ ආදියටද ඝර්ෂණයකි.

එවැනි පසුබෑම් මැද වුවද සරසවි විද්‍යාර්ථීන් අතරට වඩා ලිපිකරු සේවාවන් අතර නිර්මාණශීලීත්වයෙන් හෙබි අය සිටිනා බව ගෙවී ගිය දවසක අසන්නට ලැබුණේ නිර්මාණාභ්‍යාසයෙහි අදටත් තත්පර, කවිතාව වැඩූ මහැදුරු සුළවතකුගෙනි. වඩාත් වැදගත් වන්නේ ලිපිකරු හා සමාන්තර සේවාවන් හි නියැලි රාජ්‍ය සේවක නිර්මාණකරුවන් මේ කුසලතා පාන්නේ නිර්මාණ කාර්යය පිළිබඳව හදාරන්නට ශාන්ති නිකේතනයක්, ගුරු ඇසුරක්, සුදුසු වටපිටාවක් නැති පරිසරයක් තුළ වීමය. ස්වෝත්සාහයත්, ආත්ම ධෛර්යයත් නො මැති සපමණක් දුහුනන් රාජ්‍ය සේවා තිඹිරි ගෙදරදීම මියගොස් ඇති බව සංවේගයෙන් දන්වා සිටිනු හැර අපි අන් කුමක් කරමුද? ඒ සංවේග අතරේ ගිලී අපද නිරුත්සාහකව සිටියේ නම් 1989 වසරේ මගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය - ඇස් ලැබීම - එළි නොදකිනු නියතය. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ග්‍රන්ථ සංවර්ධන ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් එළි දුටු එම කෘතිය එහි නිර්දේශ දකින්නටත් පළමුව මුද්‍රණද්වාරයෙන් එළි දැක්වීමට එදා මා දිරි ගැන් වූයේ ධර්මසිරි ගමගේ උත්තම පුරුෂයාණන්ගේ බෝසත් සිරිතත් මහැදුරු බන්දුසේන ගුණසේකරයන්ගේ දිසාපාමොක් සිරිතත් එකල මහජන බැංකුවේ අම්බලන්ගොඩ ශාඛාවේ කළමනාකරණ ධුරය හෙඹවූ මා නමින් නො හඳුනන, ආධුනිකයකුගේ කවි පොතක අත්පිටපතක් ඇපයට තබා ගෙන රුපියල් විසිපන්දහසක ණය මුදලක් මුදා හළ සුන්දර බැංකුකරුවාගේ ප්‍රතික්‍රියාවත් හේතුවෙනි.

(ඉතිරි කොටස ලබන සතියට)

[රංජිත් මල්ලියාවඩු]

News Order: 
13
මාතෘකා