සුර කුමරකුගේ අනුවේදනීය ඉරණම

 ඡායාරූපය:

සුර කුමරකුගේ අනුවේදනීය ඉරණම

දශක කිහිපයක සිට සෑම වසරකම දෙසැම්බර් පළමුවැනිදා ලෝක ඒඩ්ස් දිනය ලෙසින් නම් කෙරුණි. එය ඉතා වැදගත්කමින් යුක්තය. මේ රෝගය පිළිබඳව යම් කතිකාවක් සහ දැනුවත්වීමක් ඒ මඟින් සිදුවේ. රෝගය හඳුනාගත් මුල් වකවානුවේ ඉතා ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීමක් දක්නට ලැබුණු බව ඒ ගැන පලවූ ලිපි මඟින් කියවා ඇත්තෙමි. ලිංගිකත්වය අප සැමගේ ජීවිතය හා බැඳී පවතින්නකි. වටහා ගැනීමෙන් තොර අනිසි ලිංගිකත්වය මේ රෝගය වැළඳීමට හේතුවයි. මේ රෝගයේ නිදන් කතාව සොයා යෑම මගේ අරමුණ නොවේ. එය කවදා කෙලෙසකින් හෝ ආරම්භ වී ඇත. වරක් ජනප්‍රිය හින්දි සිනමා නළු දේව් ආනන්ද් මේ රෝගය පිළිබඳව පැවැති සාකච්ඡාවකදී අපූරු තොරතුරක් සඳහන් කළේය. ඒ 50 දශකයේ ඔහුගේ කිට්ටු මිතුරකු පිළිබඳවයි. ඔහු අනිසි ලිංගික ක්‍රියාවන්හි යෙදුණු අයෙකි. හිටිහැටියේ ඔහුගේ ස්වරූපය වෙනස් වී හදිසි මරණයකට ගොදුරු වූ බව දේව් සඳහන් කළේය.

එය යම් විදිහකින් ඒඩ්ස් විය හැකිය යන්න දේව් ආනන්ද් දැරූ අදහසයි. එය එසේ නම් මේ රෝගයේ ඉතිහාසය සිතුවාට වඩා තරමක් දිගු එකකි. කෙසේ වෙතත් 80 දශකයේදී ආන්දෝලනාත්මක ලෙසින් මේ රෝගය පිළිබඳව කතිකාවක් ඇති විය. ඊට හේතුව හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය, ආකර්ෂණීය නළුවකු මේ අවාසනාවන්ත රෝගයට ගොදුරු වීමයි. ඔහු සත්‍ය වශයෙන්ම හොලිවුඩ් පුරවරයේ සුර කුමරෙකි. ග්‍රීක පිලිමයක් සේ මනාව පිහිටා ඇති ඔහුගේ රූපකාය ඊට හේතුවයි. 50, 60 දශකය ඔහු සිනමාවේ වඩාත් බැබලුණු යුගයන් ලෙසින් දැක්විය හැක. ඔහු එලිසබත් ටේලර් හා එක්ව රඟපෑ 'මිරර් ක්‍රැක්ඩ්' 80 දශකයේදී මා සිනමා ශාලාවක නැරඹූ ඔහුගේ අවසන් චිත්‍රපටයයි. අතීත සිනමාව පිළිබඳව උනන්දුවක් ඇති අයට ඔහු අමුතුවෙන් හඳුන්වා දිය යුතු නොවේ. අද මා කතා කරන්නේ කඩවසම් නළු 'රොක් හඩ්සන්' පිළිබඳවයි.

40 දශකයේ අග ඔහුගේ සිනමා නළු ජීවිතයේ ආරම්භයයි. කියවා ඇති පරිදි ඒ වෝනර් බ්‍රදර්ස් නිෂ්පාදනයක් වූ Fighter Squadron චිත්‍රපටයයි. ඔහුට එහි හිමි වූයේ ඉතාමත් සුළු චරිතයකි. කෙසේ වෙතත් අඩි 6 අඟල් 4කට වඩා උසකින් යුක්ත වූ ඉතාමත් සිත් ඇදබැඳ ගන්නා පෙනුමක් ඇති ඔහුට ඉතා කෙටි කලකින්ම සිනමාවේ ස්ථාවරත්වයකට පැමිණීමට හැකි විය. Bright Victory (1951), Bend of the river(1952), The lawless Breed(1953), The golden blade(1953), Taza, son of cichise(1954), Magnificent obsession (1954), All that heaven allows (1955) සිට චිත්‍රපට 70කට ආසන්න ප්‍රමාණයකට ඔහු රංගනයෙන් දායක වී ඇත. එය බටහිර සිනමා නළුවකුගේ පැත්තෙන් ගත් කල සංඛ්‍යාත්මකව සැලකිය යුතු චිත්‍රපට ප්‍රමාණයකි. ඔහු ප්‍රේමය සහ හාස්‍ය මුසු චිත්‍රපට ගණනාවක රඟපෑවේය. සුරූපී 'ඩොරිස් ඩේ' චිත්‍රපට කිහිපයකම ඔහුගේ සහාය නිළිය බවට පත් වූවාය. Pillow Talk, Love Come Back, Send me no Flowers යන චිත්‍රපට ඒ අතර වේ. මීට අමතරව ලොව පිළිගත් ජනප්‍රිය නිළියන් ගණනාවක් සමඟින් ප්‍රේමණීය පෙම්වතා ලෙසින් ඔහු රඟපෑම විශේෂත්වයකි. Giant, Mirror Cracked (එලිසබත් ටේලර්) හා Come September (ජීනා ලොලොබ්‍රිජිඩා) මෙන්ම Darling Lili (ජුලී ඇන්ඩෘස්) ඉන් කිහිපයක් පමණි.

ඔහු මේ සමඟ විවිධ වෙනත් විශිෂ්ට නළුවන් හා එක්ව තැනූ චිත්‍රපට ගණනාවකින් අපට දැකගත හැකි විය. මේ සියල්ල ගැන මෙහි නම්වලින් සඳහන් කිරීම අසීරු කටයුත්තකි. මගේ සිත්ගත් ඔහු රංගනයෙන් දායක වුණු චිත්‍රපට දෙකක් මෙහිදී මගේ සිතට පිවිසේ. ඒ Giant සහ Come September චිත්‍රපට යුගළයයි. එලිසබත් ටේලර් සහ ජේම්ස් ඩීන් සමඟින් රඟපෑ Giant ඉතාමත් අපූරු සිනමා නිර්මාණයකි. මෙහි රඟපෑම වෙනුවෙන් රොක් හඩ්සන්ගේ නම ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම නළුවා නාම යෝජනා අතරට එක්වීම විශේෂත්වයකි. මෙහි ඔහුගේ සහායක නළු කඩවසම් ජේම්ස් ඩීන් හට රඟපෑමට හැකි වූයේ මේ චිත්‍රපටය ඇතුළු සිනමාපට කිහිපයක පමණි. ඒ යුගයේදීම ඔහුට මෝටර් රථ අනතුරකින් ජීවිතයෙන් සමුගන්නට සිදු විය. මේ චිත්‍රපට කිහිපය තුළින් ඔහු අද දවසේද නිරන්තර සැමරුමකට ලක්වන නළුවෙකි.

රොක් හඩ්සන් සහ ජීනා ලොලොබ්‍රිජිඩා එක්ව රඟපෑ Come September ප්‍රහසනය සහ ප්‍රේමය මුසුවූ ඉතාමත් විසිතුරු චිත්‍රපටයක් බව පැවසිය යුතුය. එහි එන අලංකාර තේමා වාදනය දැනුදු මගේ සිතට පිවිසේ. එය ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් බවට පත්වුණි.

70 සහ 80 දශකයේදී ඔහු සිනමාවට සමගාමිව රූපවාහිනී රඟපෑමටද එක්විය. Dynasty සහ Mc millan & wife මාලා නාට්‍යය ඒ අතර විශේෂයක් ගනී. ඔහුට ඒඩ්ස් වෛරසය ශරීරගතව ඇති බව දැනගන්නේ මේ කාලය තුළදීය. රෝගය විසින් ඔහුගේ ජීවිතය තනිකරම කණපිට පෙරලනු ලැබුවා කිව්වොත් නිවැරදිය. ඔහුගේ මනා ආකර්ෂණීය රූපකාය ක්‍රමයෙන් වැහැරිණ. ඔහු මිතුරු මිතුරියන් පිරිවරාගෙන ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ අයෙකි. නමුත් ඔහුගේ මේ තත්ත්වයත් සමඟ එක් අයෙක් හැරෙන්නට ඔහු වටා සිටි සියලු මිතුරු මිතුරියන් ඈත්වූ බව මම එක්තරා ලිපියකින් කියවා ඇත්තෙමි. ඔවුන් කිසිදා වැරදි නොකළ සුදනන් මෙන් ඔහු පිලිකුල් කළේය. ඔහු අසල සිටියේ අන් අයකු නොව, ඔහුගේ සිනමා රංගනයේ සහායිකාවක වූ සුප්‍රසිද්ධ නිළි එලිසබත් ටේලර්ය. ඔවුන් දෙදෙනා අතර අපූරු මිත්‍රත්වයක් පැවතුණි. බොහෝ කලකට පෙර ඇය ඔහුට විවාහ යෝජනාවක් ගෙන ආ බවක් අසා ඇත්තෙමි. කෙසේවෙතත් මෙවන් අසීරු අවස්ථාවක කාන්තාවක වූ ඇය ඔහු වෙනුවෙන් නොබියව අසල සිටීම අපූරු සිදුවීමකි. එය බෙහෙවින්ම අගය කළ යුතු ක්‍රියාවකි. ඇය ඔහු වෙනුවෙන් සානුකම්පිත වීම මරණය අබියස සිටි ඔහුට එකම අස්වැසිල්ල වන්නට ඇත. ඇය ඒඩ්ස් නිවාරණය වෙනුවෙන් සිය පෞද්ගලික ධනයෙන් විශාල මුදලක් පවා පරිත්‍යාග කළේය. මෙය සැබෑ මනුෂ්‍යත්වය ලෙසින් මම දකිමි.

1925 වසරේ නොවැම්බර් 17 වෙනිදා උපත ලැබූ මේ සුකුමාර නළුවා සිය ජීවිතයේ ඉතාමත් කටුක අවසානයක් සනිටුහන් කරමින් 1985 ඔක්තෝබර් 2 වැනිදා මෙලොවෙන් සමුගත්තේය. මියයන විට ඔහු 59 වැනි වියේ පසුවිය.

ඔහුගේ මරණය ඒඩ්ස් රෝගයේ ස්වරූපය ගැන පමණක් නොව, මිනිස් ජීවිතය ගැනද අපූරු පණිවිඩයක් අප හමුවේ තබයි. අප නොසිතනාසුළු සිදුවීමක් තුළින් ජීවිතය හාත්පසින්ම කණපිට පෙරලීමට ලක්විය හැක. ඒ අප පුහුදුන් මනුෂ්‍යයන් වන බැවිනි. ධර්මය පිළිබඳව කිසියම් දැනීමකින් කටයුතු කිරීම මීට ඇති එකම විසඳුම ලෙස මම දකිමි. එලැඹ සිටි සිහියෙන් කටයුතු කිරීම සැමගේ සිත සුව පිණිස හේතු වේ.

දයාබර රොක් හඩ්සන් රංගනවේදියාණෙනි, ඔබ පතනා දහමට අනුව ඔබට මොක් සුව පතමි.

සමාදානයේ සැතපේවා.!!

[ජානක ඉලුක්කුඹුර]

News Order: 
3
මාතෘකා